Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජෝසප් ඉග්නේස් ගිලටින් ගේ ගිලටීනයේ ඉතිහාස තතු

මීට සියවස් කිහිපයකට පෙර ප්‍රංශය වැනි යුරෝපා රටවල බරපතල චෝදනා සම්බන්ධයෙන් වැරැදිකරුවන් වී මරණ දඬුවමට නියම වන පුද්ගලයන්ගේ හිස ගසා දැමීම සඳහා භාවිත කළ ගිලටීනය පිළිබඳ ව ඔබ අසා ඇති. දැවයෙන් නිර්මාණය කළ ගිලටීනයේ පහළ කොටස මත, මරා දැමීමට අවශ්‍ය පුද්ගලයාගේ හිස ස්ථානගත කර, එහි ඉහළ කොටසේ ඇති ඉතා තියුණු තලයක් එක්වරම පහළට වැටීමට සැලැස්වීම මඟින් අපරාධකරුවන්ට මරා දැමීම එහිදී සිදු වේ.

18 වැනි සියවසේ අගභාගයේ, එනම් ප්‍රංශ විප්ලවය සිදු වූ කාලයේ ප්‍රංශයේ බහුල වශයෙන් ගිලටීනය භාවිත කර විශාල පිරිසක් ඝාතනය කර ඇත. මිලියන ගණනක් ජනතාවගේ සහභාගීත්වයෙන් රාජාණ්ඩුවට විරුද්ධ ව ක්‍රියාත්මක වූ ජනතා අරගලයක් වූ ප්‍රංශ විප්ලවය පැවැති කාලයේ ප්‍රභූවරුන්, දේශපාලඥයන්, සහ රාජ්‍ය නිලධාරීන් පමණක් නොව, ප්‍රංශය පාලනය කළ 16 වැනි ලුවී රජු සහ ඔහුගේ බිසව වූ මාරි ඇන්ටනට් රැජන පවා ගිලටීනය භාවිත කරමින් ඝාතනය කර ඇත.

ගිලටීනය භාවිතා කර මරණ දඬුවම ලබා දෙන අයුරු දැක්වෙන සිතුවමක් – www.francetoday.com

ප්‍රංශයට අමතර ව තවත් යුරෝපා රටවල් ගණනාවක ද සමකාලීන ව ගිලටීනය භාවිත කර ඇත. ගිලටීනය සහ එය භාවිත කරමින් මරා දැමූ පුද්ගලයන් පිළිබඳ ව බොහෝ දෙනා දැනුම්වත් ය. ගිලටීනයේ ඉතිහාසය සහ ඒ සමඟ බැඳුණු සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳ තතු මේ ලිපියෙන් සොයා බලමු.

ජෝසප් ඉග්නේස් ගිලටින්

මරණ දඬුවම ලබා දීම සඳහා ගිලටීනය භාවිත කිරීම වඩාත් සුදුසු බව පෙන්වා දුන් ප්‍රංශ ජාතික ජෝසප් ඉග්නේස් ගිලටින් ගේ නමින් එය නම් කර ඇත. 1738 මැයි 28 දින බටහිර ප්‍රංශයේ මධ්‍යම පාන්තික පවුලක උපත ලැබූ ඔහුගේ මව්පියන් වූයේ ජෝසප් ඇලෙක්සැන්ඩර් ගිලටින් සහ කැතරින් අගතා මා(ර්)ටින් යුවළ යි. ඔහුගේ මව්පියන් ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය ජාතිකයෝ වූහ.

එවකට ප්‍රංශයේ ක්‍රියාත්මක වූ මරණ දඬුවම ලබාදීමේ එක් ක්‍රමවේදයක් වූයේ රෝදයකට යට කර අපරාධකරුවන්ගේ ඇටකටු තලා, ඔවුන් මිය යාමට සැලැස්වීම යි. එසේ මරණ දඬුවමට ලක් වූ පුද්ගලයකුගේ විලාප හඬ අසා කැතරින් කම්පාවට පත් වූ බැවින් නියමිත දිනට පෙර ගිලටින් ගේ උපත සිදු විය.

බෝඩෝ හි පාසලකින් මූලික අධ්‍යාපනය හැදෑරු ගිලටින්, 1761 දෙසැම්බර් මස බෝඩෝ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ඇක්විටයින් විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේ ය. උපාධිය ලබා ගැනීම සඳහා ඔහු රචනා කළ නිබන්ධනය පිළිබඳ ව පැහැදුණු එක්තරා ආගමික නිකායක පූජකවරු එම නිකායට අයත් උසස් අධ්‍යාපන ආයතනයක මහාචාර්යවරයෙක් ලෙස ඊට සම්බන්ධ වන ලෙස ඔහුට ආරාධනා කළ බව කියැවේ.

කෙටි කලක් එහි සේවය කළ ඔහු වෛද්‍යවරයෙක් වීමේ අරමුණින් පැරීසියට පිටත් ව ගියේය. එහිදී වෛද්‍යවරයෙක් වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගත් ඔහු ටික කලක් වෛද්‍ය විද්‍යාල කිහිපයක ආචාර්යවරයෙක් ලෙස ද කටයුතු කළේ ය.

ජෝසප් ඉග්නේස් ගිලටින් – www.wikipedia.org

වේදනාකාරී මරණ දඬුවම පිළිබඳ විවේචන

18 වැනි සියවසේ ආරම්භයේ පටන් එවකට යුරෝපා රටවල ජීවත් වූ බොහෝ දෙනෙක් මානව හිමිකම් සහ පුරවැසියන්ට හිමි විය යුතු වෙනත් අයිතිවාසිකම් පිළිබඳ ව කතිකාවක් ඇති කිරීමට උනන්දු වූහ. එහි ප්‍රතිපලයක් ලෙස ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය වැනි රටවල්, මධ්‍යතන යුගයේ සිට මරණ දඬුවම ලබා දීම සඳහා භාවිත වූ අතිශය වේදනාකාරී ක්‍රමවේද වෙනුවට වෙනත් ක්‍රමවේද හඳුන්වා දීම පිළිබඳ ව අවධානය යොමු කළහ.

මේ කාලය වන විට මායාකාරියන් බවට සැක කළ කාන්තාවන්ගෙන් පාපෝච්චාරණ ලබා ගැනීම සඳහා ඔවුන් අමානුෂික වදහිංසාවලට ලක් කිරීම නිරන්තරයෙන් සිදු විය. කෙසේ වෙතත් මානව හිමිකම් පිළිබඳ ව බොහෝ දෙනකුගේ අවධානය යොමු වීමත් සමඟ කාන්තාවන්ට හිමි විය යුතු අයිතිවාසිකම් පිළිබඳ ව ද විශාල කතාබහක් ඇති වූ බැවින් බොහෝ යුරෝපා රටවල් එවැනි වදහිංසා පැමිණවීම් තහනම් කෙරිණි.

16 වැනි ලුවී රජු – www.wikipedia.org

වේදනාකාරී නොවන හිස ගසා දැමීම්?

සමූල ඝාතන සහ රාජද්‍රෝහී ක්‍රියාකාරකම් වැනි බරපතල චෝදනා සම්බන්ධයෙන් වැරැදිකරුවන් වූ පුද්ගලයන් මරා දැමීමට භාවිත කළ හිස ගසා දැමීමේ ක්‍රමවේද පිළිබඳ ව වෛද්‍යවරයෙක් බවට පත් වූ මුල් කාලයේ සිට ම ගිලටින් උනන්දු විය. 1757 දී ප්‍රංශයේ 15 වැනි ලුවී රජු ඝාතනය කිරීමට තැත් කළ මානසික ආබාධයකින් පෙළුණු රොබට්-ෆ්‍රැන්කොයිස් ඩේමියන්ස් නම් පුද්ගලයා ඉතා දරුණු ලෙස මරා දැමීම පිළිබඳ ව එවකට විශාල කතාබහක් ඇති විය. මෙවැනි සිදුවීම් හේතුවෙන්, ගිලටින් වැනි වෛද්‍යවරු කිහිප දෙනෙක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට භාවිත කළ හැකි වඩාත් මානුෂීය ක්‍රම සෙවීමට පටන් ගත්හ.

ගිලටීනය සොයා ගැනීම

1780 දශකයේ අගභාගය වන විට 16 වැනි ලුවී රජුගේ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කළ ඇන්ටන් ලුවී සහ ජර්මානු ජාතික ඉංජිනේරුවෙක් වූ ටෝබියස් ස්මිත් එක් ව මරණ දඬුවම ලබා දීමට භාවිත කළ හැකි මෙවලමක් නිර්මාණය කළහ. ඔවුන් මූලික වශයෙන් නිර්මාණය කළ මෙවලමේ (පසුකාලීනව ගිලටීනය බවට පත් විය) තලය සෘජු එකක් විය. පසුකාලීන ව මෙහි අංග කිහිපයක් මුල් නිර්මාණයට වඩා අඩුවැඩි වශයෙන් වෙනස්කම් සහිත ව සකස් කර තිබේ.

ගිලටීනයේ කොටස් – www.guillotine.dk

ප්‍රංශ විප්ලවය

මේ කාලය වන විට එවකට පැවැති රාජාණ්ඩුවට විරුද්ධ ව ප්‍රංශ විප්ලවය ආරම්භ විය. 1789 වන විට එය සම්පූර්ණයෙන් ම රජුගේ පාලනයෙන් ගිලිහී ගියේ ය. පැවැති තත්ත්වය සැලකිල්ලට ගත් එවකට ප්‍රංශයේ ජාතික සභාවේ (පාර්ලිමේන්තුව) සාමාජිකයෙක් වූ ගිලටින් සහ එහි අනිකුත් සාමාජිකයන් වේදනාකාරී දඬුවම් ක්‍රම අහෝසි කර, කෙටි වෙලාවක දී, වේදනාව අවම වන සේ, අපරාධකරුවන්ගේ හිස ගසා දැමිය හැකි ක්‍රමයක් භාවිත කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන හඳුන්වා දුන්හ.

එම නීති ප්‍රතිපාදනවල ප්‍රතිපලයක් වශයෙන් ලුවී සහ ස්මිත් නිර්මාණය කළ මෙවලම මරණ දඬුවමට ලක් වන පුද්ගලයන්ගේ හිස ගසා දැමීම සඳහා භාවිත කරන නිල ක්‍රමය බවට පත් විය. ඒ සඳහා මූලික වී ක්‍රියා කළ ගිලටින්ට උපහාරයක් ලෙස එය ගිලටීනය ලෙස නම් කර තිබේ. එහි මුලින් තිබූ සෘජු තලයට වඩා ආනත හැඩයකින් යුතු තලයක් වඩාත් කාර්යක්ෂම බැවින් පසුකාලීන ව ගිලටීනයේ ඉහළ කොටසේ ඇති තලය ආනත හැඩයකින් යුක්ත වන සේ සකස් කර ඇත.

ප්‍රංශ විප්ලවය ඇති වූ කාලය තුළ ගිලටීනය විශාල වශයෙන් භාවිත විය – www.britannica.com

පසුකාලීන තත්ත්වය

1793 සැප්තැම්බර් සිට 1794 ඔක්තෝබර් දක්වා කාලය තුළ ප්‍රංශ විප්ලවයට විරුද්ධ ව ක්‍රියා කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් දහස් ගණනකගේ හිස ගසා මරා දමා තිබේ. “ත්‍රස්ත පාලනය” යනුවෙන් හැඳින්වූ මෙම කාල සීමාවේ දී පුද්ගලයන් 20,000කට වැඩි සංඛ්‍යාවක් මහජනතාවට පෙනෙන සේ ගිලටීනය භාවිත කර හිස ගසා මරා දමා ඇත.

එසේ හිස ගසා මරා දැමූ පුද්ගලයන් අතර 16 වැනි ලුවී රජු සහ ඔහුගේ බිසව වූ මාරි ඇන්ටනට් රැජන ද වූහ. ඔවුන් දෙදෙනාගේ හිස ගසා දැමූ කාලය ලෙස පිළිවෙළින් 1793 ජනවාරි සහ 1794 ඔක්තෝබර් මූලාශ්‍රයන්හි සඳහන් වේ. විප්ලවයට නායකත්වය දුන් පුද්ගලයා ද 1794 ජූලි මස දී හිස ගසා මරා දැමූ බව කියැවේ.

කෞතුකාගාරයක තබා ඇති ගිලටීනයක් – www.history.com

ප්‍රංශ විප්ලවයෙන් පසු ගිලටීනය පිළිබඳ බොහෝ දෙනෙක් දැක්වූ අවධානය ටිකෙන් ටික අඩු වූ නමුත් ප්‍රංශය ඇතුළු බොහෝ යුරෝපා රටවල මරණ දඬුවම ලබා දීමේ ක්‍රමය ලෙස 19 වැනි සියවස දක්වා එය භාවිත විය. පසුකාලීන ව මාරාන්තික විෂ එන්නත් කිරීම සහ විදුලි පුටුව වැනි ක්‍රම හඳුන්වා දීමත් සමඟ බොහෝ යුරෝපා රටවල ගිලටීනය භාවිත කිරීම අවසන් විය. එහෙත් 20 වැනි සියවසේ මරණ දඬුවම අහෝසි කරන තෙක් ප්‍රංශයේ මරණ දඬුවම ලබා දීම සඳහා ප්‍රචලිත ව පැවැති ක්‍රමය වන්නේ ගිලටීනය භාවිත කර හිස ගසා දැමීම යි.

කවරයේ ඡායාරූපය - බොහෝ යුරෝපා රටවල මරණ දඬුවම ලබා දීමේ ක්‍රමය ලෙස 19 වැනි සියවස දක්වා ගිලටීනය භාවිතා විය/ www.teenvogue.com

මූලාශ්‍ර - www.historydefined.com
www.history.com
www.guillotine.dk
www.britannica.com

Related Articles