Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සීතල යුද්ධය උණුසුම් කළ කොරියානු යුද්ධය​

දෙවන ලෝක යුද්ධයෙන් පසු ව ලෝක දේශපාලනයේ ප්‍රධාන ම නැඹුරුවක් වුණේ ඇමෙරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුර සහ සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර අතර ඇති වූ නිරවි යුද්ධය යි. මෙහි දී ඇමෙරිකාව සහ සෝවියට් දේශය අතර ඍජු යුද්ධ සිදු නොවුණත් ඔවුන්ගෙන් එක් පාර්ශවයක් සහභාගී වූ යුද්ධ කිහිපයක් ම සිදු වුණා.

කොරියානු යුද්ධය එවැනි එක් ප්‍රකට​, එමෙන්ම මුල් කාලීන අවස්ථාවක්. මෙහි දී කොරියානු අර්ධද්වීපය දැඩි ලෙස විනාශයට පත් වූ බවත් සඳහන් කළ යුතු යි.

කොරියාව බෙදීම​

කොරියාව 1910 සිට 1945 තෙක් පාලනය කළේ ජපන් අධිරාජ්‍යය විසින්. 1945 දී දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමත් සමග යුද්ධයේ අවසන් දිනවල සෝවියට් හමුදා සහ ඇමෙරිකන් හමුදා කොරියාවට ළඟා වුණා. ඔවුන් අතර කොරියානු අර්ධද්වීපය බෙදී ගියේ දළ වශයෙන් උතුරු දේශාංශ 38 රේඛාව ඔස්සේ යි.

මුල් කාලීන බලාපොරොත්තුව වූයේ මැතිවරණයක් පවත්වා නව රජයක් පිහිටුවීමෙන් පසු ඇමෙරිකන් සහ සෝවියට් හමුදා පාලනය අවසන් කිරීමට යි. එහෙත් විවිධ හේතූන් මත එය සිදු වූයේ නැහැ. මේ අනුව 1948 මැයි මාසයේ දී දකුණු කොරියාවේ පමණක් මැතිවරණයක් පවත්වන ලද අතර, එහි ජනාධිපතිවරයා ලෙස සිංග්මන් රී පත් කරගනු ලැබුවා. එම වසරේ දී ම අගෝස්තුවේ දී සෝවියට් පාලනය යටතේ වූ උතුරු කොරියාවෙහි වෙනම ම මැතිවරණයක් පවත්වනු ලැබුණා.

1948 අගෝස්තු 15 වන දා දකුණු කොරියාවේ දී කොරියානු ජනරජය නිල වශයෙන් පිහිටුවනු ලැබුණා. එම වසරේ ම සැප්තැම්බර් 9 වන දා සෝවියට් පාලන ප්‍රදේශයේ දී කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුව පිහිටුවනු ලැබුණා. එහි නායකයා වූයේ කිම් ඉල් සුංග්.

ස්වල්ප කලෙකින් සෝවියට් දේශය සහ ඇමෙරිකාව කොරියාවේ තමන් රැඳී සිටි ප්‍රදේශයන්ගෙන් හමුදා ඉවත් කරගත්තා.

උතුරු සහ දකුණු කොරියා හමුදා ශක්තිය​

එකිනෙකට ප්‍රතිවිරුද්ධ රාජ්‍යයන් දෙක ම කොරියාව එක්සත් කිරීම පිළිබඳ බලාපොරොත්තු තබා සිටියා. එහෙයින් ඒ ඒ රටවල හමුදා ශක්තිය පිළිබඳ ඔවුන් අවධානය යොමු කළා. නමුත් මෙහි දී සෝවියට් ආධාර ලැබූ උතුරු කොරියාව බර අවි සහ යුධ ටැංකි ආදියෙන් සන්නද්ධ වූ වෙඩි බලයෙන් වඩා ප්‍රබල හමුදාවක් නිර්මාණය කළා. මෙම හමුදාව නිල වශයෙන් හඳුන්වන ලද්දේ කොරියානු මහජන හමුදාව යන නමින්. දකුණු කොරියානු හමුදාවට​ බර අවි එතරම් වූයේ නැහැ.

යුද්ධයෙන් පසු කොරියාව (University of Texas)

මේ සමය තුළ ඇමෙරිකානු යුධ ආධාර ද දකුණු කොරියාවට විශාල වශයෙන් ලැබුණේ නැහැ. කොරියාව පිළිබඳ ඇමෙරිකාවේ අවධානය එතරම් ම ප්‍රබල වූයේ නැහැ. ඇමෙරිකාව ඒ අවස්ථාව වන විට කලාපයේ වැඩිපුර අවධානය යොමු කර තිබුණේ ජපානය වෙත යි.

උතුරු කොරියාව සතු වූ හමුදා පිරිස් ශක්තිය යුද්ධය ඇරඹෙන අවස්ථාව වන විට 150,000කට වැඩි වූ බව සිතනු ලබන අතර, දකුණු කොරියාව සතු ව 100,000ක පමණ හමුදා ශක්තියක් වූ බව සඳහන් වෙනවා.

ආක්‍රමණයට කොළ එළිය

උතුරු සහ දකුණු කොරියානුවන් අතර 1949 සිට ම දේශසීමා ගැටුම් සිදුවෙමින් තිබුණා. මේ අතර උතුරු කොරියානු නායක කිම් ඉල්-සුංග් දකුණු කොරියාව ආක්‍රමණය කිරීමේ අදහස සෝවියට් නායකත්වයට ඉදිරිපත් කළා. ජෝසප් ස්ටාලින් එම අවස්ථාව ඒ සඳහා සුදුසුයැ යි කල්පනා කළේ නැහැ.

උතුරු කොරියාව නිරීක්ෂණය කරන දකුණු කොරියානු හමුදා සාමාජිකයන්. යුද්ධය ඇරඹීමට ආසන්න දිනෙක (National Air and Space Museum)

කෙටි කලෙකින් භූ දේශපාලනික තත්ත්වය වෙනස් වූ අතර දකුණු කොරියාව ආක්‍රමණය කිරීමේ හැකියාව පිළිබඳ ස්ටාලින් සලකා බැලුවා. 1949 අවසාන වන විට චීන සිවිල් යුද්ධය අවසන් වූ අතර, මේ අනුව අවශ්‍ය විටෙක චීනයේ ආධාර උතුරු කොරියාව වෙත ලබාගැනීමේ ඉඩකඩ උදා වුණා. ඇමෙරිකාව යුද්ධයට සහභාගී වනු ඇතැ යි සැක සිතූ සෝවියට් දේශය එම හේතුව මත ඍජු ව ඊට හමුදා යැවීමට සූදානම් වූයේ ද නැහැ. නමුත් ඇමෙරිකාව දකුණු කොරියාවේ උපකාරයට පැමිණියහොත්, එවිට උතුරු කොරියාවට යමෙකුගේ ආධාරය අවශ්‍ය වන බව අමුතුවෙන් කිව යුතු වූයේ නැහැ. පිරිස් ශක්තිය අතින් ඉතා විශාල වූ චීන හමුදාව ඒ සඳහා කැමැත්ත පළ කිරීම කිම්ගේ සිතෙහි වූ විශාල බරක් සැහැල්ලු වෙන්න බලපෑවා.

උතුරු කොරියානු ආක්‍රමණය

1950 ජූනි 25 වන දා උතුරු කොරියාව විසින් දකුණු කොරියාව ආක්‍රමණය කෙරුණා. මෙහි දී සත්‍ය වශයෙන් ම මුල්ම ගැටුම සිදු වූ ස්ථානයේ දී දකුණු කොරියානුවන් විසින් මුල්ම ප්‍රහාරය එල්ල කළ බවට ද චෝදනාවක් එල්ල වුණා. නමුත්, එය එසේ වී නම් ඒ උතුරු කොරියානුවන්ට නිදහසට කරුණක් වූවා පමණයි. සමස්ථ දේශසීමාව හරහා ම උතුරු කොරියානු හමුදා දකුණු කොරියාවට කඩා වැදුණා.

මේ ප්‍රහාරයට මුහුණදීමට දකුණු කොරියාවට කිසිදු හැකියාවක් වූයේ නැහැ. දකුණු කොරියානුවන් වේගයෙන් පසු බස්වන ලද අතර දින දෙකක් තුළ​, එනම් ජූනි 27 වන දා, සෝල් අගනුවර උතුරු කොරියානුවන් අතට පත් වුණා.

ඇමෙරිකානු හමුදා භට පිරිසක් බූසාන් ආසන්නයේ (Public Domain)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය ජූනි 25 වන දා ම උතුරු කොරියාවේ ක්‍රියාමාර්ගය විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කළා. ඉන් දින දෙකකට පසු එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් දකුණු කොරියාවට යුධ ආධාර ලබාදිය යුතුය යි ද ආරක්ෂක මණ්ඩලය ප්‍රකාශ කළා.

මෙම සමයෙහි සෝවියට් දේශය ආරක්ෂක මණ්ඩලය වර්ජනය කර සිටි අතර, මෙම නිවේදනයන් සම්මත වීමට එය හේතු වුණා. සෝවියට් දේශයට නිෂේධ බලය තිබූ හෙයින් එරට ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට සහභාගී වෙමින් සිටියේ නම් එම නිවේදනවලට එරෙහිව සිය නිෂේධ බලය භාවිතා කරනු ඇති බව නිසැක ව කිව හැකියි.

එක්සත් ජාතීන්ගේ රටවල් දහයකට වැඩියෙන් කොරියානු යුද්ධයට දායක වූ නමුත් එයින් අතිවිශාල ම දායකත්වයක් දැක්වූයේ ඇමෙරිකාව යි. ජූලි මස මුල වන විට ඇමෙරිකානු හමුදා දකුණු කොරියාව වෙත පැමිණ තිබුණ අතර, ජූලි 5 වන දා ඔසාන් සටනේ දී ඔවුන් උතුරු කොරියානුවන් සමග පළමු වරට සටන් වැදුණා. මෙම සටනේ දී උතුරු කොරියානු යුධ ටැංකිවලට මුහුණදිය හැකි අවි නොතිබීම හේතුවෙන් ඇමෙරිකානුවන්ට පසු බැසීමට සිදු වුණා.

අගෝස්තු මාසය වන විට උතුරු කොරියානුවන් දකුණු කොරියාවේ බූසාන් නගරයෙන් තරමක් එපිට ප්‍රදේශයට ළඟා වුණා. මේ වන විට ඇමෙරිකාව ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ හමුදා සහ දකුණු කොරියානු හමුදා උතුරු කොරියානුවන්ට මුහුණ දුන්නා.

මෙහි දී ඇමෙරිකානුවන්ට වාසිදායක වූ ප්‍රධාන කරුණ වූයේ ගුවන් ආධිපත්‍යය ඔවුන් අතට පත් වීම සමග උතුරු කොරියානුවන්ගේ සැපයුම් මාර්ගවලට පහරදීමට හැකි වීම යි. මේ අතර උතුරු කොරියානුවන්ට බරපතල ජීවිත හානි ද සිදුවෙමින් තිබුණා.

බූසාන් හි මාස එකහමාරක් තිස්සේ සටන් පැවතුණා. මේ අවස්ථාවේ කොරියාවේ එක්සත් ජාතීන්ගේ හමුදා ප්‍රධානී ජෙනරාල් ඩග්ලස් මැක්ආතර් තීරණය කළේ සටන් පෙරමුණෙන් බොහෝ පිටුපසින් හමුදාවක් ගොඩබස්වා උතුරු කොරියානුවන් කොටු කළ යුතු බව යි.

ඉන්චොන්

සැප්තැම්බර් 15 වන දා ඇමෙරිකානු හමුදා සෝල් නගරය අසල ඉන්චොන් නගරයට ගොඩබැස්සා. උතුරු කොරියානු සේනාංක මෙම බලාපොරොත්තු නොවූ ප්‍රහාරයෙන් සම්පූර්ණයෙන් ම විමතියට පත් වූ අතර, දින කිහිපයක දී එම ප්‍රදේශයට විශාල එක්සත් ජාතීන්ගේ සේනාවක් ගොඩබැස්සා. සැප්තැම්බර් 25 වන දා එම හමුදා විසින් සෝල් නගරය අල්ලාගත්තා.

ඇමෙරිකානු කාලතුවක්කු හමුදා භට පිරිසක් (US Army)

මේ අතර ඉන්චොන් ගොඩබැසීමෙන් පසු බූසාන් ප්‍රදේශයේ එක්සත් ජාතීන්ගේ හමුදා එහි උතුරු කොරියානු සීමා බිඳගෙන ඉදිරියට පැමිණෙන්නට වුණා. උතුරු කොරියානුවන් සෝල්වල දී කොටු වේ යන බිය හේතුවෙන් පසුබසින්න පටන් ගත්තා. නමුත් මෙම සේනාවලින් බොහොමයක් උතුරු කොරියාව වෙත පසුබැසීමට පෙර කොටු කරගනු ලැබුණා.

ඔක්තෝබරයේ දී එක්සත් ජාතීන්ගේ සේනා උතුරු කොරියාව ආක්‍රමණය කළා. ඔක්තෝබර් 19 වන දා ප්‍යොංග්යෑංග් අගනුවර එම හමුදා අතට පත් වුණා. උතුරු කොරියානු හමුදා සම්පූර්ණයෙන් ම පසුබසින්නට වුණා. මේ අනුව චීන දේශසීමාව දක්වා ම එක්සත් ජාතීන්ගේ හමුදා ළඟාවීමේ හැකියාවක් ද මතු වුණා.

චීනය යුද්ධයට සම්බන්ධ වේ

ඔක්තෝබර් 25 වන දා චීනය කොරියාවට හමුදා එවීමට කටයුතු කළා. ඔවුන් මෙම හමුදා හැඳින්වූයේ මහජන ස්වෙච්ඡා හමුදා යන නමින්. චීන සෙන්පති පෙංග් ඩෙහුවායි මෙහි ප්‍රධාන අණ දෙන්නා වුණා.

මෙම හමුදාවේ ආධාරයෙන් කෙමෙන් කෙමෙන් එක්සත් ජාතීන්ගේ හමුදා යළිදු පසුබැස්වීමට හැකියාව ලැබුණා. 1951 පෙබරවාරිය පමණ වන විට යළිත් යුද්ධයට පෙර පැවති දේශසීමාව ආසන්නයට සටන් පැමිණියා. එතැන් පටන් මීළඟ වසර දෙකකට ටිකක් වැඩි කාලය තුළ දිගටම සටන් පැවතියේ එම ප්‍රදේශයේ යි.

න්‍යෂ්ටික යුද්ධයක්?

මේ අතර ඩග්ලස් මැක්ආතර් සහ ජනාධිපති හැරී ටෲමන් අතර මතභේදයක් හට ගත්තා. ඊට හේතු වූයේ චීනය පිළිබඳ දෙදෙනා දැරූ පරස්පර විරෝධී මතය යි. මැක් ආතර් කියා සිටියේ කොමියුනිස්ට්වාදය පරාජය කළ යුතු බවත් චීනයට එරෙහිව ඍජුව ම යුධ ප්‍රකාශ කළ යුතු බවත්. එමෙන්ම න්‍යෂ්ටික අවි ප්‍රහාරයන් මඟින් චීනය බිම දැමිය යුතු බව ද ඔහු කියා සිටියා. නමුත් ටෲමන් යුද්ධය කොරියානු අර්ධද්වීපයෙන් එහාට යැවීමට කැමති නුවූවා සේ ම න්‍යෂ්ටික අවි භාවිතා කිරීම ද තරයේ ප්‍රතික්ෂේප කළා. මේ අනුව අප්‍රේල් මාසයේ දී ඔහු මැක්ආතර් ව කොරියාවේ එක්සත් ජාතීන්ගේ හමුදා අණදෙන නිලධාරී තනතුරින් ඉවත් කළා.

1951 දී ම දෙපාර්ශවය අතර සාම සාකච්ඡා ද ආරම්භ වුණා. එය කලක් තිස්සේ ඇදෙමින් ගිය අතර 1953 ජූලි 27 වන දා සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීමෙන් යුද්ධය නිමා වුණා. මෙම ගිවිසුම අත්සන් කෙරුණේ දේශසීමාව අසල වූ පන්මුන්ජෝම් ගම්මානයේ දී යි.

සටන් විරාමයෙන් පසු

මෙම සටන් විරාමයට එක්සත් ජාතීන් ද​, උතුරු කොරියාව ද, චීන මහජන ස්වෙච්ඡා හමුදාව ද අත්සන් තැබූ නමුත් දකුණු කොරියාව අත්සන් තැබුවේ නැහැ. යුද්ධයෙන් පසු ව දේශසීමාව පැරණි දේශසීමාවෙන් විශාල වශයෙන් වෙනස් වූයේ නැහැ. එමෙන්ම දේශසීමාවෙහි යුධ මුක්ත කලාපයක් ස්ථාපිත කිරීමට ද එකඟත්වය පළ වුණා.

අද වන තුරු කොරියානු යුද්ධය නිමවා සාම ගිවිසුමක් අත්සන් කර නැහැ. එම නිසා ඇතැම් නීති විශේෂඥයන්ට අනුව උතුරු සහ දකුණු කොරියාව තවමත් යුධ වැදී සිටින රටවල් දෙකක්. කෙසේ නමුත් මෑත දී ඇරඹුණ සාම වැඩපිළිවෙල සමග නිත්‍ය සාම ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ද මතු ව තිබෙනවා.

කවරයේ පින්තූරය: චෝසින් ජලාශයේ සටනින් පසුබසින මැරීන් භටයින් පිරිසක් (Public Domain)

මූලාශ්‍රයයන්:

  • The Korean War (history.com)
  • A Short History of the Korean War (Imperial War Museums)
  • The Mammoth Book of Modern Battles – Edited by Jon E. Lewis

Related Articles