නුවර කලාවියේ පදවිය වැවේ සැඟවුණු ඉතිහාසේ

නුවරකලාවියට එම නම ලැබෙන්නට හේතුවුණු අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල ම වැව තමයි පදවිය වැව. මේ වැව ඉතා සුන්දර වටපිටාවක පිහිටා තිබෙනවා. පාරිසරික සංචාරකයන් සඳහා කදිම ගමනාන්තයක් වුණත් තවමත් එහි පරිසරය විඳ ගැනීමට විශාල පිරිසක් උනන්දු වන්නේ නෑ.

මෙම වැව ඓතිහාසික වශයෙන් ද වැදගත්කමක් හිමි කර ගන්නවා. මේ, පදවිය වැව ගැන ඉතිහාසයේ කරුණු හෙළිදරව් කිරීමට ගත් උත්සාහයක්.

වැවේ සොරොව්ව -lankapradeepa.com

පිහිටීම

අනුරාධපුරය සිට පදවිය දක්වා දිවෙන මාර්ගයේ මැදවච්චිය සහ කැබිතිගොල්ලෑව යන නගර පසු කර කිලෝමීටර් 89 ක් පමණ ගමන් කළ විට පදවිය වැව හමු වෙනවා.  පදවිය වැව නැරඹීම සඳහා ප්‍රධාන මාර්ගයෙන් හැරී තරමක් දුර ගමන් කළ යුතු යි. සුවිසල් වැව් බැම්මකින් යුක්ත රමණීය පරිසරයකින් යුක්ත පදවිය වැව දකින විට ඔබ පුදුමයට පත්වනු ඇති.

වැවේ පිහිටීම – Reseachgate.com

 නුවරකලාවිය

 ලොකු කුඩා වැව් දහස් ගණනකින් යුක්ත නුවර කලාවියට ඒ නම වැටී තිබෙන්නේ වැව් තුනක් මුල් කර ගෙන යි. මේ වැව් අතර පිහිටි භුමිය  කුඹුරු ගොවිතැනින් මෙන් ම ඓතිහාසික වශයෙන් ද සාරවත් වුණු පෙදෙසක්.

මේ වැව් අතර මුලින් ම සඳහන් වන්නේ අනුරාධපුර නගරයේ පිහිටි නුවර වැව යි. අනෙක් වැව කැකිරාවට ආසන්න අතිවිශාල වැවක් වන කලා වැව යි. අනෙක තමයි අනුරාධපුරයෙන් උතුරට පිහිටා ඇති පදවිය වැව. නුවර කලාවිය වදන සෑදී ඇත්තේ මේ වැව් තුනේ මුල් නම් එකතුවීමෙන්.

විදේශිකයන් පුදුම කළ වැව් බැම්ම – Serendib.btoptions.lk

වැවේ විශාලත්වය

මාඔයේ ප්‍රධාන අතු ගංගා දෙකක් වන මොරඔය සහ මුකුණු ඔය හරස් කර තැනූ මේ ජලාශයේ වැව් බැම්ම සැතපුම් 2.75ක් දිග යි. එය සම්පූර්ණයෙන් පිරුණු විට අක්කර 6500ක විශාලත්වයෙන් යුත් ජල තලයක් සහිත යි. මෙහි ධාරා ප්‍රදේශය අක්කර 83200ක් වෙනවා. හොඳින් වර්ෂාපතනය ලැබෙන කාලවල දී අක්කර අඩි 85000ක ධාරිතාවක ජල කඳක් දරා සිටින පදවිය වැවෙන් ඉහළ සහ පහළ ප්‍රධාන ඇළමාර්ග දෙකෙන් කුඹුරුවලට ජලය සපයනවා.

ඉහළ ප්‍රධාන ඇළ මාර්ගය කිලෝමීටර් 16 1/2ක දිගින් යුක්ත යි. පහළ ප්‍රධාන ඇළේ දිග  කිලෝමීටර් 33 ක්. ඉහළ ප්‍රධාන ඇළට සම්බන්ධ බෙදුම් ඇළ 25ක් ද පහළ ප්‍රධාන ඇළ යටතේ බෙදුම් ඇළ 42ක් ද ඊට අමතර කෙත් ඇළ පද්ධතියක් ද පවතිනවා. මේ ඇළ පද්ධතිය 1956 පදවිය වැව නවීකරණය කළ අවස්ථාවේ ඉදිකළ ඒවා යි.

වැවට නුදුරින් පිහිටි පැරණි නාග කැටයමක්- Serendib.btoptions.lk

ඉතිහාසය

මෙහි මූලාරම්භය පිළිබඳ තොරතුරු නම් අපැහැදිලි යි.  වැව මුලින් ම ප්‍රතිසංස්කරණය කර තිබෙන්නේ වැව් සහ වාරිමාර්ග රාශියක් තැනවූ  මහසෙන් රජ (ක්‍රිස්තු වර්ෂ 276-303) සමයේ යි.  ඒ වනවිටත් වැව පැවති බව ඒ අනුව හෙළි වෙනවා. එකල වැව හඳුන්වා ඇත්තේ රත්මල්කන්දවාපී කියල යි.  පසුව දෙවැනි මුගලන් රජ කාලයේ (ක්‍රිස්තු වර්ෂ 535-555) ධනවාපී ලෙසට වැව හඳුන්වා ඇති බව ඓතිහාසික මූලාශ්‍ර හෙළි කරනවා.

පළමුවැනි පරාක්‍රමබාහු රජු සමයේ (ක්‍රිස්තු වර්ෂ 1153-1186 ) එය හඳුන්වා ඇත්තේ පදිවාපී ලෙස යි.  ඔහු පදීවැව සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරවූ බව මහාවංශය සඳහන් කරනවා. පොලොන්නරුවේ නිශ්ශංකමල්ල රජුගේ සෙල්ලිපියක මෙය වන සත්ත්ව සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා.  මෙම වැවේ මාළුන් හෝ වෙනත් පණ ඇති සතුන් ඇල්ලීම ද තහනම් කර සෙල්ලිපි පිහිටුවා තිබෙනවා. පෞරාණික යුගවලට අයත් නාගයන් පහක් කෙටූ සෙල් පුවරුවක් ද, පැරණි සංඝාරාම නටබුන් ද වැවට නුදුරින් හමුවෙනවා.

වැවේ ජලය එක් ප්‍රධාන සොරොව්වක් මඟින් පමණක් නිකුත් කර අතර එම  ජලය මා ඔයට මුදා හැර  පසුව  අමුණක් මාර්ගයෙන් ප්‍රධාන ඇළ පද්ධති දෙකක් වෙත යොමු කොට මා ඔයෙහි දකුණු ඉවුරෙහි කෝකිලායි කළපුව දක්වා පිහිටි ඉඩම්වලට ජලය සපයන්නේ වාරිඉංජිනේරුවන් පවා පුදුමයට පත්කරමින්.

වැවේ තවත් දසුනක්-ඉතිහාසය  facebook page

විදේශිකයන් දුටු පදවිය

ඉංග්‍රීසි පාලන කාලයේ විදේශීය නිලධාරින් රාශියක් මේ වැව් කර්මාන්තයේ සුවිශේෂත්වය ගැන අවධානය යොමු කර තිබෙනවා. හෙන්රි පාකර් වාරිමාර්ග ඉංජිනේරුවරයෙක් වශයෙන් රජයට1886 දී ඉදිරිපත් කර ඇති වාර්තාවේ මෙසේ සඳහන් කොට තිබෙනවා: 

“විශාලත ම ජලාශය වුව ද දිවයිනේ පිහිටි විශිෂ්ට වාරිමාර්ග අතුරින් අඩුවෙන්ම දැනුවත්ව ඇත්තේ පදවිය පිළිබඳවයි. එයට හේතුව එම ප්‍රදේශය ඝන කැළෑවෙන් වටිවී තිබිමත් ජනශුන්‍යව තිබීමත් ය.” වැවට ඉහළින් පිහිටි ගම්වැව 150ක් ගැනත් පාකර් එහි සඳහන් කර තිබෙනවා.

සොරොව්වට යොදා ඇති ගඩොල් පරීක්ෂා කිරීමේදී ඒවා ක්‍රිස්තු වර්ෂ 3-4 සියවස්වලට හෙවත් මහසෙන් රජ සමයට අයත් බව පාකර් තම පුරාණ ලංකාව කෘතියේ සඳහන් කරනවා. ජලාශය අසල ඇති කඳු ශිඛරයෙහි මහසෙන් රජුගේ පුතුන් සටහන් කළෑයි සැලකෙන සෙල් ලිපියක් තිබී ඇති අතර නිදන් හොරුන් විනාශ කිරීම හේතුවෙන් එය කියවීමට නොහැකි ලෙස විනාශ වී ඇති බව පාකර් සටහන් කර තිබෙනවා.

පදවිය නටබුන් – Serendib.btoptions.lk

පදවියේ නටබුන්

හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා කැලෑව මැදින් දුෂ්කර ගමනක් යමින් පදවිය වැව් බැම්මට සේන්දුවීමෙන් පසු සඳහන් කරන්නේ වැව් බැම්ම තැනීමට මිලියනයන ජනකායක් වසර 10-15ක් තිස්සේ යොදවන්නට ඇතැයි සිතන බව යි.  

ලංකාවේ පුරාණ වාරිමාර්ග ගැන ගවේෂණය කළ ආර්. එල්. බ්‍රෝහියර් ද පදවිය වැව දැක බලා ගෙන ඒ ගැන විස්තර තම කෘතියට ඇතුළත් කර තිබෙනවා. මේ වැව අනුරාධපුර යුගයේ පටන් පැවති විශිෂ්ට වාරිමාර්ගයක් බවයි බ්‍රෝහියර් ද පවසන්නේ. පදවිය හා වාහල්කඩ වැව් යම්දිනෙක ප්‍රතිසංස්කරණය කළොත් එකල වන්නිය සශ්‍රීක පෙදෙසක් වනු ඇතැයි බ්‍රෝහියර්  විශ්වාසය පළ කර තිබුණා.  

වැව් බැම්මේ ටැම් ලිපිය – lankapradeepa.com

පරාක්‍රමබාහු රජුගේ ටැම් ලිපිය

පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ උපදෙස් පරිදි සිටුවා ඇති මේ ටැම් ලිපිය අදත් වැව් බැම්ම මත දැක ගත හැකි යි. එහි සඳහන් වන්නේ පරාක්‍රමබාහු භුමිපාලයන් සකල ලෝක සත්වයාගේ පහයපත සඳහා ගොවිතැනට ජලය සැපයීමට මෙම වැව ඉදි කළ බව යි. නමුත් මෙය  ප්‍රතිසංස්කරණය කිරිමක් තමයි සිදුකර තිබෙන්නේ. ටැම් ලිපිය අලංකාර කැටයමින් ද යුක්ත යි. ටැඹ මුදුනේ නෙළුම් මලක ආකාරයේ බොරදමක් කැටයම් කර ඇති අතර ටැඹ මැදින් ද නෙළුම් මල් සහිත පුන්කලසක් කැටයම් කර තිබෙනවා.    

වැව අද්දර ගිමන් නිවන තැනක් – visit Anuradhapura facebook page

මෑත අතීතයේ ප්‍රතිසංස්කරණ

වැව් බැම්ම හා වාරිමාර්ග පද්ධතිය පිළිබඳ ව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වසර ගණනාවක් මිනුම් කටයුතු සිදු කළ අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු  1954- 1960 අතර කාලයේ සිදුකර තිබෙනවා. මේ නිසා පදවිය ගොවි ජනපද කටයුතු ද සාර්ථකව සිදුව තිබෙනවා. පස් පුරවා  වැව් බැම්ම ශක්තිමත් කිරීම ද මෙහිදී සිදුවූ අතර නව සොරොව් ඉදිකිරීම හා පිටවාන අරීය දොරටු සහිතව ඉදිකිරීමත් එහිදී සිදු වුණා.

එකල පදවිය සංවර්ධන ව්‍යාපාරය විශාල අවධානයක් දිනා ගත් සංවර්ධන ව්‍යාපෘතියක්. ජලය බෙදා හරින අමුණු, ඇළ මාර්ග සහිත වාරිමාර්ග පද්ධතිය ඉදිකිරීම, කැළෑවෙන් යටවුණු  ඉඩම් හෙළි පෙහෙලි කර කුඹුරු ඉඩම් තැනීමත්, ජානපදිකයන්ගේ නිවාස හා පොදු පහසුකම් සඳහා යටිතල පහසුකම් පද්ධති ඉදිකිරීමත් 1950 දශකයේ සිදු වුණා.

පදවිය වැවේ ධීවර ඔරු- youtube.com

අලුත් ගොවි ජනපදයක්

පදවිය ගොවි ජනපදය සඳහා 1957 සිට 1967 දක්වා කාලයේ ජනතාව පදිංචි කිරීම සිදුවුණා.     අනුරාධපුර, ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, මහනුවර, ගාල්ල, මාතර හා කොළඹ යන දිස්ත්‍රික්කවලින් තෝරාගත් පවුල් 3700ක් පදවියේ පදිංචි කර තිබෙනවා. වැව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව  අනුරාධපුරයේ සිට පහසුවෙන් ගමන් කළ හැකි මාර්ග පද්ධතියක් ද ඉදිවුණා. රෝහල්  සහ පාසල් ද අනෙකුත් යටිතල පහසුකම් ද  සැපයීම නිසා වනගත ව පැවති පදවිය නව ජනපදිකයන් සහිත පෙදෙසක් බවට පත්වුණා. 

කුඹුරු අක්කර 12,660 ක් සහ ගොඩ ඉඩම් අක්කර 4,460 ක් සංවර්ධනය කිරීමට කටයුතු සැලසුම් කර තිබුණත් පසුව ජනගහණය වර්ධනයත් සමඟ මේ වනවිට රක්ෂිත හා වෙනත් ඉඩම් අක්කර 5,000 ක් පමණ ගොවීන් අනවසරව වගා කිරීමත් සිදුවෙනවා. මිරිදිය ධීවර කර්මාන්තයත් 1990 දී මෙහි ආරම්භ වුණා. ධීවර පවුල් 400ක් පමණ මෙහි මසුන් ඇල්ලීමෙන් ජීවිකාව සපයා ගන්නවා.

පදවියේ ගැටලු

ජලාශය ප්‍රතිසංස්කරණය කළේ සශ්‍රීක කලාපයක් බලාපොරොත්තුවෙන්. එ් සඳහා කුඹුරු ගොවිතැන සාර්ථකව සිදුවුණත් ගොවි ජනතාවගේ ජීවිතවලට නොසිතූ විපතක් මුලින් ම  ළඟාවුණේ කොටි තර්ජන නිස යි.  යුද්ධය අවසන් වුවත් පදවිය ජනපදිකයන් හඳුනා නොගත් වකුගඩු රෝගයේ ගොදුරු බවට පත් වීම ඉතා කනගාටුදායක සිද්ධියක්.  විවිධ හේතු නිසා ඇති වූ ජල හිඟයන් මෙන් ම ගංවතුර තර්ජනයන්ට ද ඔවුන් නිතර මුහුණ දෙනවා. ජල හිඟයට පිළිතුරක් ලෙස යාන් ඔය හරහා ඉදි වූ යාන්ඔය ජලාශයේ දකුණු ඇළ   සොරොව්ව යටතේ වගා බිම් අක්කර 6000කට විසඳුමක්  ලැබෙන බව පැවසෙනවා. 

කවරයේ ඡායාරූපය - පදවිය වැව ගුවනට පෙනෙන අයුරු - youtube.com
මූලාශ්‍ර:
Dinamina.lk
Serendib.btoptions.lk
ලංකාවේ පුරාතන වාරිමාර්ග- ආර්. එල්. බ්‍රොහියර්, පරි. එල්. පියසේන
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් හද්‍රා කමලදාසගේ සටහන්
Sirimunasiha.wordpress.com

Related Articles