කාලෙන් කාලෙට වෙනස් වූ, රුසියාවේ ජාතික ගීය​

පසුගිය සියවස් දෙකක පමණ කාලය තුළ රුසියාවේ විවිධ ජාතික ගීත භාවිතා වුණා. මේවා ඒ ඒ කාල වකවානුවල පාලකයන් සහ පාලන ක්‍රම අනුවත්, ජනතාවගේ බලාපොරොත්තු ලෙස හඳුනාගත් දේ අනුවත් තීරණය වුණා. වර්තමාන ජාතික ගීය 2000 දී තෝරාගන්නා ලද අතර, එම අවස්ථාවේ එයට විරුද්ධවත් අදහස් පළ වුණා.

සාර් පාලන සමය

රුසියාව පළමුවෙන් ම ජාතික ගීයක් තෝරාගත්තෙ 1816 දි පළමුවන අලෙක්සන්දර් සාර්වරයාගෙ පාලන සමයේ දී යි. මෙම ගීය “රුසියානුවන්ගේ දේව යාතිකාව​” ලෙස හඳුන්වන ලද අතර, එහි තාලය බ්‍රිතාන්‍යයේ “දෙවියන් රජතුමා රැක දේවා” ගීයෙහි තාලය වුණා. මෙම ගීය තෝරාගැනීමට පෙර විවිධ ගීත, සාර්ගේ ගුණ වැයීමට හා ඔහුට ආශිර්වාද කිරීමට යොදාගත්ත ද, එයින් එකක්වත් නිල ගීයක් ලෙස පිළිගැනුණේ නැහැ.

අලෙක්සන්දර්ගේ ඇවෑමෙන් රුසියාවේ සාර් බවට පත් වූයේ පළමුවන නිකුලස් සාර්වරයා යි. නිකුලස් යනු අලෙක්සන්දර්ට වඩා දැඩි මතධාරී, සැර පරුෂ මෙන්ම දේශප්‍රේමී අදහස් දැරූ අයෙකු වුණා. ඔහු රුසියාවේ ජාතික ගීය, බ්‍රිතාන්‍ය ගීයක තාලය අනුව ගැයීම පිළිකුල් කළා. “බ්‍රිතාන්‍ය ගීයේ තාලය මට මහ කම්මැලි එකක්” යනුවෙන් ඔහු සඳහන් කළ බව කියනු ලබනවා. 1833 දී නිකුලස්ගේ නියමයෙන් නව ගීයක් ලියැවුණා. එහි නම බ්‍රිතාන්‍ය ගීයේ නමට ආසන්න නමක් වූ නමුත්, එහි තාලය වෙනස් එකක්.

මෙම රුසියානු ගීයේ නාමය වූයේ “දෙවියනි, සාර්ව රැක දෙනු මැන​” යන්න යි. මෙය සාර්වරයා වර්ණනා කරන ගීයක් වුණා. ප්‍රකට වයලීන් වාදකයෙකු වූ අලෙක්සේයි ලවොෆ් මෙහි සංගීතය නිර්මාණය කළ අතර, වසීලි සුකොව්ස්කි ගීය රචනා කළා.

විප්ලව කාලයට ප්‍රංශ ගීත

1917 දී රුසියාවේ රාජාණ්ඩුව කඩා වැටුණා. විප්ලවකාරී සමයේ රුසියාවේ නිල ජාතික ගීයක් ලෙස භාවිතා වුණේ ප්‍රංශ ජාතික ගීය වන ලා මාර්සේයි හි රුසියානු අනුවර්තනය යි. මෙහි දී සාර් ව ලේ උරාබොන වැම්පයර් කෙනෙකු මෙන් හැඳින්වුණා.

1922 දී සෝවියට් රුසියාව සහ තවත් සෝවියට් සමූහාණ්ඩු කිහිපයක් එක්ව සෝවියට් දේශය නිර්මාණය වුණා. එයට නිල ජාතික ගීයක් මුල් කාලයේ දී තිබුණේ නැතත්, “ජාත්‍යන්තර ගීතයේ” රුසියානු පරිවර්තනය නිල ගීතය ලෙස යොදාගනු ලැබුණා. මෙම ගීයත් මුලින්ම ප්‍රංශ භාෂාවෙන් නිර්මාණය වූවක් බව ඔබ දන්නවා ඇති.

සෝවියට් ජාතික ගීත

දෙවන ලෝක යුද්ධ සමයේ දී එවකට සෝවියට් නායකයා වූ ජෝසෆ් ස්ටාලින්ට අලුත් ගීයක් අවශ්‍ය වුණා. මෙයට මූලික වශයෙන් හේතු වූයේ දේශපාලනික කරුණක් බව යි පැවසෙන්නේ. නට්සි ජර්මනිය පරාජය වන විට සෝවියට් හමුදා යුරෝපය කරා ඇදී එන්නට වූ අතර, යුරෝපා රටවල් සියල්ල සෝවියට් පාලනයට යට වේදැ යි බියක් ඇති වුණා. නමුත් “ජාත්‍යන්තරය​” වෙනුවට සෝවියට් දේශය පිළිබඳ ගීයක් ජාතික ගීය ලෙස හඳුන්වා දීම එවැන්නක් නොවන අබවට ඇඟවීමක් වුණා. එමෙන්ම 1943 දී තුන්වන ජාත්‍යන්තරය විසුරුවා හැරීම ද මීට සමගාමී ව සිදුවුණා.

නව සෝවියට් ජාතික ගීය ලියන ලද්දේ සර්ගෙයි මිහාල්කොෆ් සහ ගේබ්‍රියෙල් එල්-රෙගිස්තාන් විසින්. අලෙක්සන්දර් අලෙක්සන්ද්‍රොෆ් විසින් බෝල්‍ෂවික් පක්ෂ ගීය වෙනුවෙන් නිර්මාණය​ කළ සංගීතය මෙම නව ගීතය සඳහා ද යොදා ගැනුණා. 1944 දී මෙම ගීය භාවිතයට ගැනුණා.

මිහාල්කොව් සහ පුටින් 2002 දී (kremlin.ru)

නව සෝවියට් ජාතික ගීය ස්ටාලින්ව උසස් කර තැබූ අතර, සෝවියට් රතු හමුදාව පිළිබඳව ද කොටසක් එහි අඩංගු වුණා. මෙම කොටස ස්ටාලින් විසින් කරන ලද නියෝගයක් මත ගීයට ඇතුල් කරන ලද්දක්.

1953 දී සිදු වූ ස්ටාලින්ගේ මරණින් පසුව සෝවියට් ජාතික ගීයේ වචන ගායනා කෙරුණේ නැහැ. එහි ස්ටාලින්ගේ නම අඩංගු වීමත් ස්ටාලින් මරණයට පත් වූ පසු සිදු වූ වෙනස්කම් සමග එය නොගැළපීමත් ඊට හේතු වුණා. මිහාල්කොෆ් මෙම ගීයෙහි පද වෙනස් කළ අතර, 1977 දී ඔක්තෝබර් විප්ලවයේ 60 වන සංවත්සර සැමරීමට සමගාමී ව මෙසේ වෙනස් කෙරුණ පද මාලාව හඳුන්වා දෙනු ලැබුණා.

රුසියානු ජාතික ගීතය

1991 දී සෝවියට් දේශය බිඳ වැටුණ පසු සෝවියට් ජාතික ගීය භාවිතය නවතා දමනු ලැබුණා. ඉන්පසු 2000 වසර වන තුරු නිල ජාතික ගීයක් නොවූ අතර, නොනිල ජාතික ගීය ලෙස භාවිත වූයේ ප්‍රකට රුසියානු සංගීතඥයෙකු වූ මිහායිල් ග්ලින්කා (1804-1857) විසින් නිර්මාණය කළ​, එතරම් ම ජනප්‍රිය නොවූ “දේශප්‍රේමී ගීතය​” නම් නිර්මාණයක්. මෙහි වචන නොවූ අතර, එම නිසා එය “ජාතික වාදනය”යැ යි නම් කළත් වරදක් නැහැ.

නමුත් නව ජනාධිපති ව්ලැදිමීර් පුටින් 2000 දී නව ගීතයක අවශ්‍යතාව ප්‍රකාශ කළා. මේ අනුව තුන්වන වතාවටත් ජාතික ගීයක් ලිවීමට අවකාශ ලැබුණේ මිහාල්කොෆ්ට යි. මේ අනුව පැරණි සෝවියට් නිල ගීයේ සංගීතයට ම මෙම නව ගීතය ලියනු ලැබුණා.

මෙම ගීතය පැරණි සෝවියට් දේශය සිහි ගන්වන බව චෝදනා කරමින් ඇතැමුන් ඊට ගෞරව නොකරන බවත් ප්‍රකාශ කළා. නමුත් පුටින්ගේ අනුග්‍රහය ද ඇති ව මෙම ගීය පිළිගනු ලැබුණ අතර, අදටත් රුසියාවේ ජාතික ගීය එය යි.

මෙහි දිගු ආකාරයක් මෙන්ම කෙටි ආකාරයක් ද තිබෙනවා. බොහෝ අවස්ථාවන් හි ගීයේ පළමු පද්‍යය සහ අන්තරා කොටස ගායනා කරනු ලබනවා. ඇතැම් අවස්ථාවන් හි සම්පූර්ණ ජාතික ගීය ම ගායනා කරනු ලබනවා.

කවරයේ පින්තූරය: මැයි 9 විජයග්‍රහණයේ දිනය 2018 දී සැමරූ අවස්ථාව (The Presidential Press and Information Office)

Related Articles