Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඛේදනීය ඉරණමකට ගොදුරු වූ හිට්ලර්ගේ සිත්ගත් දැරිය : හෙල්ගා

හිට්ලර් සහ දරුවන් පිලිබඳ කතා කරන විට සැණින් මතකයට පැමිණෙන්නේ යුදෙව් සම්භවයක් ඇති දරුවන්, යුරෝපය පුරා සිටි දරුවන් මෙන්ම විශේෂයෙන් සෝවියට් රුසියාවේත් දරුවන් ලක්ෂ ගණනකට වේදනාකාරී මරණයන් අත්කර දුන් මිලේච්ඡ අතීතයයි. දරුවන්ට දෙමාපියන්ද, දෙමාපියන්ට දරුවන්ද කෝටි සංඛාත මිනිසුන්ට ජීවිතද අහිමි කරමින් හඹා ගිය  සංහාරය අදටද යුද්ධයේත්, ජාතිවාදයේත් සාහසික බව යළි යළිත් භයංකර ලෙස සමාජය තැති ගන්වයි.

අනෙක් දරු දැරියන්ට මෙවන් ඉරණමක් අත්කළ ඇඩොල්ෆ් හිට්ලර් ජර්මන් දරුවන් කෙරෙහි දැඩි ආදරයක් දක්වන අයුරින් රට හමුවේ පෙනී සිටීමට දැක්වුයේ දැඩි උනන්දුවකි. මගතොටේදී පවා දරුවන් ආදරයෙන් වැළඳ ගනිමින් රට හමුවේ ඉතා ආදරණිය පියෙකුගේ චරිතය රඟ දැක්වීමට මහත් උත්සහයක් ගනු ලැබිය.

Daily Mail

ඒ අතර හිට්ලර්ගේ සිත විශේෂයෙන් දිනා සිටි කුඩා දැරියක් විය. ඇය හෙල්ගා සුසන් ගොබෙල්ස්ය. හිට්ලර්ගේ ප්‍රියතම දැරිය ලෙස සැලකෙන්නේ හෙල්ගායි. ඇය හිට්ලර්ගේ අමාත්‍යවරයකු මෙන්ම ඉතා සමීපතමයෙක් ලෙස කටයුතු කළ ජෝෂප් ගොබෙල්ස්ගේ සය දෙනෙකුගෙන් (පිරිමි දරුවකු සහ ගැහැණු දරුවන් පස් දෙනෙකු) යුත් පවුලේ වැඩිමහල් දියණියයි. ජෝෂප් ගොබෙල්ස් නාසිවාදී ප්‍රචාරක කටයුතු භාරව සිටියේය.  (‘බොරුවක් එක්වරක් ප්‍රකාශ කලහොත් එය බොරුවක් ලෙසම පවතිනු ඇත. නමුත් එය දහස් වරක් ප්‍රකාශ කළහොත් එය සත්‍යයක් බවට පත්වේ’ යන ප්‍රකට කියමන ඉදිරිපත් කළේද ඔහුය)

ගොබෙල්ස් පවුල[ ඉහළම දකුණු පස සිටින්නේ හෙල්ගා ය][ඉහළ මැද සිටින්නේ ඥාති පුත්‍රයකු වන හැරල්ඩ් කාන්ඩ්ත් ය] (Wikipedia)

ජෝෂප් ගොබෙල්ස් සිය දරුවන් සය දෙනාගේම නම යොදන්නේද හිට්ලර් වෙනුවෙන් H අක්ෂරයෙන් ඇරඹෙන ලෙසය. Helga, Hedwig, Helmut, Hildegard, Holdine සහ Heidrun ලෙසයි. හෙල්ගා උපත ලැබුයේ 1932 සැප්තැම්බර් මස පලමුවනදායි.  කුඩා කළ සිටම සුරතල් දියණියක් වූ ඇයව ගොබෙල්ස් හිට්ලර් යටතේ සිටි නිසා කුඩාකල සිටම සිත දිනාගත් දැරියක් බවට පත්වීය.

හිට්ලර් කුඩා හෙල්ගා සමග (rarehistoricalphotos)

සෑමවිටම සුන්දර සිනහවකින් යුතු වූ මේ දැරිය පිලිබඳ මතකයන් අවදි කළ එක් තැනැත්තියක් නම් 1942 -1945 දක්වා හිට්ලර්ගේ පෞද්ගලික ලේකම්වරියක් ලෙස කටයතු කළ Traudl Junge විසිනි. හිට්ලර් හා ඇගේ පෙම්වතිය සියදිවි නසාගන්නා තෙක්ම බර්ලින්හි ආරක්‍ෂිත භූගත බංකරයේ සිටින ඇයට වරෙක හෙල්ගා ඇතුළු දරුවන් රැකබලා ගැනීමද සිදුකරනු ලබනවා.

Traudl Junge (pinterest)

ගොබෙල්ස්ගේ බිරිඳ මැග්ඩා දරුවන් සය දෙනා සමග බංකරයට පැමිණෙන්නේ 1945 අප්‍රේල් මස 22 දින ය.  පැමිණි පසුව ඔවුන්ගේ සමීප බව​ සහ හිට්ලර් කෙරෙහි ඇති ගෞරවය නිසාම හෙල්ගා, සොයුරා සමග සොයුරියන් සිව්දෙනාද එක්ව හිට්ලර් වෙත ගී ගායනක්ද සිදු කල බවත් සඳහන්.

1945 අප්‍රේල් මස 30 වනදා හිට්ලර් හා බිරිඳ ඊවා සියදිවි හානිකර ගත්තා. මැග්ඩා ගොබෙල්ස් හිට්ලර් වෙත ඉතාම පක්ෂපාති කාන්තාවක් වූ අතර බොහෝ නාසි ප්‍රධානීන්ගේ මග යමින් ඇය කිසිවක් නොදත් සිය දරුවන් සය දෙනාගේද දිවි හානිකර තමන්ද ජෝෂප් සමග සියදිවි නසා ගැනීමට තීරණය කරනු ලැබුවා. මුලින්ම දරුවන් සිහි මුර්ජා කර නින්දේදී සයනයිඩ් ශරීරගත කිරීමෙන් ඝාතනය කරනු ලබනවා. මෙහිදී හෙල්ගා දැඩි ලෙස සිහිමුර්ජා කිරීමට ලබාදුන් පානය ප්‍රතික්ෂේප කළ බවත් සඳහන්. බොහෝවිට ඇය ඒ වනවිට වයස අවුරුදු 12ක දැරියක් නිසා ඇතිවූ චකිතය නිසා විය හැකියි.

හිට්ලර්, ජෝෂප් ගොබෙල්ස් සහ හෙල්ගා (rarehistoricalphotos)

අවසානයේ තමන් විසින් අන් දරුවන්හට අත්කළ ඉරණමම කිසිදු පැකිලීමකින් තොරව තමන්ගේම දරුවන් වෙතද ලඟා කිරීමට ඔවුන් කටයුතු කරන ලදී. මෙහිදී මැග්ඩා ගොබෙල්ස් විසින් ප්‍රකාශ කර ඇත්තේ ‘මෙය එකම ගෞරවාන්විත තීරණය’ බවයි.

ලේකම් Trauld Junge විසින් මේ දරුවන් ඉරණම පිලිබඳ සඳහන් කර ඇත්තේ මෙවැන්නක්.

ඔවුන් සිටියේ බොහොමත් සතුටින්… ඔවුන් කිසිවක් දැන සිටියේ නැහැ නුදුරු මොහොතකදී අත්වීමට නියමිත ඉරණම පිළිබඳව. එසේම සියලුම වැඩිහිටියන් මෙහි සිදුවීමට නියමිත දේ දරුවන්ට නොදනිමට වගබලා ගැනීමට සමත් වුනා. නමුත් වැඩිහිටි දැරිය වූ හෙල්ගා සමහරක්විට ඇගේ විශාල දුඹුරු දෑසින් දුක් සහගත හැඟීමක් ප්‍රකාශ කළා. විටෙක මම භීතියකින් යුක්තව කල්පනා කළා ඇගේ හදවත වැඩිහිටියන්ගේ බොරු මවාපෑම දුටුවාද කියා.’

හිට්ලර්ගේ ප්‍රියතම දැරිය හෙල්ගා ය(rarehistoricalphotos)

මේ අනුව ඛේදාන්තයක් ලෙස මේ දරුවන්ගේ ඉරණමද විසඳුනි. මේ වනවිට බර්ලින් මුලුමුලින්ම මිත්‍ර පාර්ශවයට යටතටපත්ව තිබුණි. මැයි මස දෙවැනිදා බර්ලිනයේ හිට්ලර් වාසය කළ භූගත බංකරය වෙත සෝවියට් රතු හමුදා පැමිණෙන අතර මුලින්ම ජෝෂප් ගොබෙල්ස්ගේත් මැග්ඩා ගොබෙල්ස්ගේත් පිලිස්සුණු සිරුරු සොයාගනු ලබනවා. මෙම භූගත බංකරය තුළ කුටියක තිබී දරුවන්ගේ සිරුරු හය සොයා ගැනිමටත් රතු හමුදාවන් සමත් වනවා. ඔවුන්ට හමුවුයේ නිදන ඇඳුමින් ඇඳන් මත දිගාවී තිබුණු නිසල සිරුරු ය. එක් සිරුරක් හැර අන් සියල්ලෙහිම කිසිදු බාහිර සලකුණක් ඉතිරි නොකර යළි නොනැගිටින නින්ද වෙත පියමැන තිබුණි. විශේෂ තත්ත්වයක් ඇතිව තිබුයේ හෙල්ගාගේ සිරුරේය.

හෙල්ගාගේ මරණ පරීක්ෂණය අනුව ඇගේ මුඛයේ තැලුම් තුවාල තිබෙන බව සොයාගැනීමත් සමග වඩාත් පැහැදිලිව සිදුවීම වටහා ගැනීමට හැකිවනවා. දරුවන්ගේ ශරීරයට සයනයිඩ් ඇතුළු කර තිබුයේ සිහි මුර්ජා කර  නින්දේදී සයනයිඩ් කරල දත් අතර රඳවා මව විසින් බලයක් යොදා සයනයිඩ් කරල සැපීම මගිනි. නමුත් එය පහසුවෙන් සිදුකිරීමට හෙල්ගා හමුවේ නොහැකි වී ඇති බවයි මෙම තැලුම් තුවාල මගින් පෙන්නුම් කරන්නේ. බොහෝ වෙහෙසක් ගෙන බලහත්කාරයෙන් හෙල්ගාට​ සයනයිඩ් ශරීර ගත කිරීමට මැග්ඩාට සිදුව ඇත. කෙසේ නමුත් අවසානයේ පරාජය භාර ගනිමින් මරු තුරුලට යාමට හෙල්ගාට සිදුවනවා. නොදැනෙන ලෙසත් බලහත්කාරී ලෙසත් මැග්ඩා ගොබෙල්ස් විසින් සිය දරුවන්ව ඝාතනය කරන ලද බව අවසානයේ සනාථ කරගන්නා ලදී.

pinterest

යුද්ධයකදී මියයන සාතිශය බහුතරය එවන් යුද්ධයක් සඳහා මග විවර කළ අය නොවෙති. දරුවන්ද වැඩිහිටියන්ද කාන්තාවන්ද යන කිසිදු බේදයකින් තොරව යුද්ධය බොහෝ පිරිසකගේ ජිවිත නසන බව ලෝකයෙන්ද අප රට තුලින්ද අත්දැකීම් ලබා ඇති නිසා යුද්ධයේ සිත්පිත් නොමැති බිහිසුණු බව යළි යළිත් සිහිපත් වේ.

කවරයේ පින්තුරය: Pinterest

මුලාශ්‍ර:

Downfall (2004) – සිනමා නිර්මාණය

Hitler’s Last Day: Minute by Minute – By Emma Craigie, Jonathan Mayo

Related Articles