Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිට්ලර්ගේ ප්‍රසිද්ධම කමාන්ඩෝ නිලධාරියා- ඔටෝ ස්කෝර්ට්සෙනි

දෙවන ලෝක යුධ සමයේ දී සෑම ප්‍රධාන රටක්ම පාහේ විශේෂ මෙහෙයුම්වල නිරත වුණා. මෙම මෙහෙයුම් සමහරක් පසු කලෙක දී ඉතා ප්‍රසිද්ධ වූ අතර, ඒවාට සහභාගී වූවන් සමහරෙක් ද ඒ හේතුවෙන් ම ප්‍රකට චරිත බවට පත් වුණා. මේ අය අතර ප්‍රකටම තැනැත්තෙකු ලෙස අවිවාදයෙන්ම සැලකිය හැක්කේ ජර්මන් එස්.එස්. බලකායේ නිලධාරියකු වූ ඔටෝ ස්කෝර්ට්සෙනි යි.

කියවන්න​: හිට්ලර්ගේ පරමාණු බෝම්බ ව්‍යාපෘතිය පසුබැස්සූ කමාන්ඩෝ ප්‍රහාරය

1908 ජූනි 12 වන දා ඔස්ට්‍රියාවේ වියානා නගරයේ දී ඔටෝ ස්කෝර්ට්සෙනි උපත ලැබුවා. ඔහු තම මතක සටහන්වල සඳහන් කරන අයුරින් පාසැල් සමයේ දී ස්වාභාවික විද්‍යාවන් සඳහා ඔහු දක්ෂතා දක්වා තිබෙන නමුත් ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා ඉගෙනීම ඔහුට එතරම් පහසු වී නැහැ. ඔහුගේ පියා මෙන්ම සහෝදරයා ද ඉංජිනේරුවන් වූ අතර, ඔටෝ ද ඉංජිනේරු වෘත්තියට පිවිසීම සඳහා 1926 දී ඔස්ට්‍රියානු තාක්ෂණික විශ්වවිද්‍යාලයට ඇතුල් වුණා. තරුණ කාලයේ පටන් ක්‍රීඩා සඳහා විශේෂ උනන්දුවක් දක්වා ඇති ඔහු පාසැල් කාලයේ දී කණ්ඩායම් ක්‍රීඩාවල නිරත වී තිබෙනවා. තරුණ කාලයේ කඩු සටන් සඳහා ද ඔහු දක්ෂතා දැක්වූ බව යි සඳහන් වන්නේ.

ස්කෝර්ට්සෙනි සරසවි අධ්‍යාපනය ලබන සමයෙහි ලෝක ආර්ථික අවපාතය සිදුවුණා. මෙකල ඔස්ට්‍රියාවේ ද දේශපාලන තත්ත්වය ව්‍යාකූලව පැවති අතර, 1931 දී සරසවියෙන් පිට වූ පසු රැකියාවක් සොයා ගැනීමත් තරමක් අසීරු වූ බව ඔහු සිය මතක සටහන්වල සඳහන් කරනවා.

ඔහු සඳහන් කරන ආකාරයට 1932 දී වියානා නගරයේ පැවති ජර්මන් නට්සි පක්ෂ සමුළුවක දී ජෝසෆ් ගොබෙල්ස් විසින් කළ කතාවක් ඇසීමෙන් පසු ස්කෝර්ට්සෙනි නට්සි පක්ෂයට එක් ව තිබෙනවා. පක්ෂය තහනම් කරන ලද පසු ඔහු එහි කටයුතුවලින් ඉවත් වූ බව ස්කෝර්ට්සෙනි කියා සිටිනවා. කෙසේ වෙතත් ඔහු 1935 පමණ සිට ජර්මන් ජිම්නාස්ටික් සංගමය නම් වූ සංවිධානයෙහි සාමාජිකයකු වුණා. මෙය 1938 නට්සි ජර්මනිය විසින් ඔස්ට්‍රියාව ඈඳාගත් අවස්ථාවේ කැඳවනු ලැබුවා.

මෙම සිද්ධිය අවස්ථාවේ නව චාන්සලර්වරයා ලෙස ආතර් සයිස්-ඉන්කාර්ට් පත් කරනු ලැබුණා. ජනාධිපති විල්හෙල්ම් මික්ලාස් සමග සිටි ආරක්ෂක බලකා සාමාජිකයන් සහ නට්සි එස්.එස්. භටයන් අතර ගැටුමක් ඇති වීමේ බියක් මෙම අවස්ථාවේ ඇති වූ අතර, එය වැළැක්වීම සඳහා ස්කෝර්ට්සෙනි යවනු ලැබුවා. ඔහු එම කටයුත්ත සාර්ථකව සිදුකළා.

ඔටෝ ස්කෝර්ට්සෙනි එස්. එස්. නිල ඇඳුමින් සැරසී (Getty Images)

දෙවන ලෝක යුද්ධය අවස්ථාවේ ස්කෝර්ට්සෙනි ලුෆ්ට්වෆේ හෙවත් ජර්මන් ගුවන් හමුදාවට බැඳීම පිණිස ඉදිරිපත් වුව ද, ඔහුගේ වයස හේතුවෙන් ඔහුට එම අවස්ථාව මඟ හැරුණා. ඔහු ඒ අනුව එස්.එස්. බලකායට එක් වුණා. එස්.එස්. බලකායෙහි සාමාජිකයෙකු ලෙස ඔහු ප්‍රංශයේ ද පසු කාලීනව සෝවියට් දේශයේ ද යුධ මෙහෙයුම් සඳහා සම්බන්ධ වුණා.

1942 අග දී නැගෙනහිර පෙරමුණේ දී ස්කෝර්ට්සෙනි තුවාල ලැබුවා. ඉන්පසු ඔහු බර්ලින් නගරයට පැමිණියා. ඔහු එහි සිටින අතරතුර විශේෂ මෙහෙයුම් පිළිබඳ කටයුතු ඇරඹුණා.

ඔවුන් විසින් සිදුකරන ලද මුල්ම මෙහෙයුමක් වූයේ ඉරානයේ ගරිල්ලා ප්‍රහාර සැලසුම් කළ ෆ්‍රංශුවා මෙහෙයුම යි. මෙහි අරමුණ වූයේ ජර්මන් නිලධාරීන් ඉරානයට ගොඩබස්වා කැරලිකාර ඉරාන ගෝත්‍ර සමග එක්ව මිත්‍ර පාක්ෂික සැපයුම් මාර්ග වෙත පහර දීම යි. මෙම මෙහෙයුම එතරම් සාර්ථක වූයේ නැහැ.

මුසෝලිනී බේරා ගැනීම​

1943 ජූලි 25 වන දා ඉතාලියේ ඒකාධිපති පාලක බෙනීටෝ මුසෝලිනී බලයෙන් පහ කරනු ලැබුණා. ඔහුව විවිධ ස්ථානවල රඳවන ලද අතර, අවසානයේ දී ග්‍රෑන් සැසෝ සානුවේ හෝටලයක රඳවනු ලැබුණා.

මුසෝලිනී බලයෙන් පහ කරන ලද අවස්ථාවේ හිට්ලර්ට ඔහු බේරා ගැනීමට අවශ්‍ය වුණා. ඔහු එය පැවරූයේ ස්කෝර්ට්සෙනිට යි. හිට්ලර් විසින් ස්කෝර්ට්සෙනි වෙත පුද්ගලිකවම එම මෙහෙයුම පවරනු ලැබුණා. එය හිට්ලර් හමුවට ස්කෝර්ට්සෙනි ගිය පළමු අවස්ථාව වුණා.

ස්කෝර්ට්සෙනිගේ කණ්ඩායම මුසෝලිනී සිටින ස්ථාන පිළිබඳ සෙවීමට වූයේ ඔහු අත්අඩංගුවට ගෙන දින කිහිපයක් ඇතුළතම යි. එක් වරක් ඔහුව සාර්ඩිනියාව අසල දූපතක රඳවා සිටිය දී ස්කෝර්ට්සෙනිගේ පිරිස ඒ බව සොයාගත්තා. නමුත් ඔවුන් මුසෝලිනී ගලවා ගැනීමට පෙර ඔහුව ග්‍රෑන් සැසෝ වෙත​ රැගෙන යනු ලැබුණා.

මුසෝලිනී බේරා ගැනීම​ (German Federal Archive)

ස්කෝර්ට්සෙනිගේ කණ්ඩායමට ආපසු මුල සිට කටයුතු අරඹන්න සිදුවුණා. මුසෝලිනී සිටින තැන සොයාගත් ඔවුන් 1943 සැප්තැම්බර් 12 වන දා එම ප්‍රදේශයට ගොඩබැස මුසෝලිනීව ගලවාගත්තා.

පසු කාලීන මෙහෙයුම්

ස්කෝර්ට්සෙනි මෙම මෙහෙයුමෙන් පසු ප්‍රකට අයෙකු බවට පත් වුණා. මෙයින් පසු ඔහු විවිධ මෙහෙයුම් සඳහා දායක වූ අතර, ඉංජිනේරුවකු ලෙස​ වූ දැනුම හේතුවෙන් තාක්ෂණික කටයුතුවලට ද දායක වුණා. V-1 බෝම්බය අනුසාරයෙන් නියමුවකු විසින් පාලනය කෙරෙන මිනිස් බෝම්බයක් නිපදවීම සහ මිනිස් ටෝර්පිඩෝ නිපදවීම මේ අතරින් ඔහු දායක වූ ව්‍යාපෘති වුණා.

මේ අතර 1943 දී සෝවියට් නායක ජෝසප් ස්ටාලින්, ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රූසවෙල්ට්, සහ බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් යන තිදෙනා ටෙහෙරානයේ දී හමු වූ අවස්ථාවේ ඔවුන් ඝාතනය කිරීමට ස්කෝර්ට්සෙනි සැලසුම් කළ බව සඳහන් වනවා. නමුත් මෙම කාරණය ස්කෝර්ට්සෙනි පුද්ගලිකව ප්‍රතික්ෂේප කරනවා.

ඔහු දායක වූ අනෙක් ප්‍රධාන මෙහෙයුම් දෙකක් වූයේ පැන්සර්ෆවුස්ට් මෙහෙයුම සහ ග්‍රයිෆ් මෙහෙයුම යි. පැනසර්ෆවුස්ට් මෙහෙයුම සිදුවූයේ 1944 ඔක්තෝබරයේ දී යි. හන්ගේරියාවේ පාලකයා වූ අද්මිරාල් හෝර්ති ජර්මනියට රහසේ සෝවියට් දේශය සමග වෙනම ම සාම ගිවිසුමක් වෙත එළඹුණ දින මෙය සිදුවුණා. ස්කෝර්ට්සෙනි සහ ඔහුගේ භටයින් හෝර්තිගේ පුත්‍රයා පැහැරගෙන පසුව නගරයේ පාලන මධ්‍යස්ථානය ද අල්ලාගත්තා. හන්ගේරියාවේ ජර්මන් හිතවාදී නව රජයක් ස්ථාපිත කෙරුණා.

ස්කෝර්ට්සෙනි සහ හිට්ලර් (Getty Images)

1944 දෙසැම්බරයේ දී සිදු වූ ආර්ඩෙන් මෙහෙයුම (බැට්ල් ඔෆ් ද බල්ජ් හෙවත් නෙරුවෙහි සටන​) අවස්ථාවේ ඇමරිකානු සෙබළුන් සේ සැරසුන ජර්මන් සෙබළුන් විසින් මිත්‍ර සේනාංක ව්‍යාකූල තත්ත්වයට පත් කිරීම සඳහා කළ මෙහෙයුම හඳුන්වන්නේ ග්‍රයිෆ් මෙහෙයුම යනුවෙන්. මෙය යම් තරමකට සාර්ථක වූ නමුත් අවි ආයුධ​, වාහන, සහ නිල ඇඳුම් හිඟය විසින් එය සීමා කරනු ලැබුණා.

1945 පෙබරවාරියේ දී ස්කෝර්ට්සෙනිගේ සෙබළුන් තමන්ට වඩා විශාල සෝවියට් රතු හමුදා සේනාවකට එරෙහිව ෂ්වෙඩ් ඉවුරුහිසෙහි සටනට සම්බන්ධ වුණා. ස්කෝර්ට්සෙනි විසින් මෙහෙයවූ මෙම ජර්මන් බල ඇණි මාසයක් තිස්සේ රතු හමුදා සමග සටන් වැදී පසුබැස්සා.

ස්කෝර්ට්සෙනි යුද්ධයේ අවසන් දවස් ගත කළේ යුද්ධයෙන් පසු යටිබිම්ගත නට්සි විරෝධතා ව්‍යාපාරය සංවිධානය කිරීම සඳහා යි. මේ අතර සෝවියට් හමුදා විසින් වියානාව අල්ලා ගැනීමට ඉතා ආසන්න අවස්ථාවේ ඔහු තමා උපන් නගරයට ද ගියා. ඔහු එහි නට්සි ප්‍රතිප්‍රහාර සංවිධානය කිරීමට​ උත්සාහ ගත්තා.

යුද්ධයෙන් පසු

යුද්ධයෙන් පසු ස්කෝර්ට්සෙනි ඇමරිකානුවන්ට බාර වුණා. ඔහු දෙවසරක් රඳවා තැබීමෙන් පසු නඩු විභාගයකට යොමු කෙරුණා. ඒ ඔහු ආර්ඩෙන්හි දී කළ මෙහෙයුමේ දී සිය හමුදාවන්ට ඇමරිකානු ඇඳුම් ඇන්දවීම ආදියෙන් යුධ නීතිය උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනා යටතේ යි.

ස්කෝර්ට්සෙනි 1948 ජූලි මාසයේ දී රැඳවුම් කඳවුරෙන් පළා ගියා. ඔහු මාස 18ක් පමණ බැවේරියාවේ ගොවිපලක සැඟව සිට පසුව ස්පාඤ්ඤයට පළා ගියා. එහි දී ඔහු කුඩා ඉංජිනේරු සමාගමක් ආරම්භ කළා.

ඊජිප්තුවේ යුධ හමුදා නිලධාරීන් පිරිසක් 1952 දී එරට බලය අල්ලාගත් පසු ස්කෝර්ට්සෙනි එහි ළඟා වූයේ නව ඊජිප්තු නායක මේජර් ජෙනරාල් මොහොමඩ් නගීබ්ගේ හමුදා උපදේශකයා ලෙස යි. නගීබ් බලයෙන් පහ කළ පසු ගමාල් අබ්දෙල් නසාර් යටතේ ද ස්කෝර්ට්සෙනි ඊජිප්තු යුධ හමුදාව දියුණු කිරීමට දායක වුණා.

මේ අතර ඔහු ආර්ජන්ටිනාවේ ඒකාධිපති හුවාන් පෙරෝන් සමග ද සබඳතාවක් ගොඩනඟා ගත්තා. ඔහුගේ ද උපදේශකයෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ලෙස ස්කෝර්ට්සෙනි යම් කාලයක් කටයුතු කළා.

මේ අතර ඇතැම් පාර්ශව චෝදනා කරන පරිදි ඔහු ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය වෙනුවෙන් ද කටයුතු කර තිබෙනවා. ඔහු ඝාතනය කිරීමට මොසාඩ් සංවිධානයට අවශ්‍යව තිබූ බවට විශ්වාස කරනු ලබන අතර, ඔහු එම සංවිධානය සමග එකඟතාවයකට පැමිණි බව යි මෙම චෝදනාව එල්ල කරන්නන් කියා සිටින්නේ. මේ අනුව ස්කෝර්ට්සෙනි ඊජිප්තු හමුදාවන් පිළිබඳ තොරතුරු ඊශ්‍රායලයට ලබා දුන්නේ යයි මතයක් ඉදිරිපත් වනවා.

ස්කෝර්ට්සෙනි 1975 ජූලි 5 වන දා පෙණහලු පිළිකාවකින් මියගියා. ඔහු කිසිදු අවස්ථාවක තම නට්සි මතවාදයෙන් ඉවත් වූයේ නැහැ.

Related Articles