වසර හයක් නාසි කඳවුරුවල දිවි ගෙවූ යුදෙව් තරුණිය – ගෙර්ඩා වයිස්මෙන්

හිට්ලර්, ජර්මානු ආර්ය ජාතිය මුල් කරගනිමින් ඔවුන්ගේ පැවැත්ම උදෙසා යුදෙව්වන් ඇතුළු අනෙකුත් ජාතින් ලෝකයෙන් විනාශ කර දැමිය යුතු යි කල්පනා කළ අයෙක්. මේ අනුව මිලියන 6කට අධික යුදෙව්වන් ප්‍රමාණයක් ජර්මානු වධ කඳවුරු තුළ මරණයට පත් කෙරුනා. 

කුඩා දරුවන්, රෝගීන් හා, බර වැඩ කළ නොහැකි සිරකරුවන් මුලින්ම මරා දැමුණු අතර වැඩ කළ හැකි ගැහැණු හා පිරිමි සිරකරුවන් අමානුෂික ආකාරයට වහල් සේවයේ යොදවා ඔවුන් දුර්වල වූ පසුව මරා දැමීම ද සිදු කරනවා. දෙවන ලෝක යුද්ධය අවසන් කරමින් ඇමරිකානු හා සෝවියට් හමුදා මෙවැනි වධ කඳවුරු අල්ලා ගන්නා විට දකින්නට ලැබෙන්නේ ඉතා දුර්වල මිනිස් ඇටසැකිලි මෙන් සිරකරුවන් හා, මරා දමන ලද සිරකරුවන් විශාල ප්‍රමාණයකගේ සිරුරු යි.

මේ ආකාරයට නාසි වධ කඳවුරක වසර 5කට අධික කාලයක් අමානුෂික ලෙස වහල් සේවයේ යෙදුනු තරුණියක් පසුව ඇමරිකානු හමුදා විසින් බේරා ගන්නා අතර, ඇය දෙවන ලෝක යුද්ධයේ නාසි හමුදාවේ අමානුෂික බව පසුව මුළු ලොවටම හෙළි කරනවා.

තරුණ ගෙර්ඩා (mrsmcdermotthour2english.blogspot.com)

1924 වසරේ මැයි 8 වන දා පෝලන්තයේ බීල්ස්කෝ (bielsko) හි උපත ලබන ගෙර්ඩා වයිස්මාන් (Gerda Weissmann) දරුවන් දෙදෙනෙක්ගෙන් යුත් මධ්‍යම ප්‍රාන්තික යුදෙව් පවුලක දෙවැනි දරුවා වුණා. ජූලියස් වයිස්මාන් (Julius Weissmann) නම් වූ ඇයගේ පියා ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේ‌වය කරනවා. මව ගෘහණියක් ලෙස කටයුතු කළ අතර ඇයට ආතර් නමින් වැඩිමහල් සොයුරෙක් ද වුණා.

1939 වසරේ නාසි හමුදා පෝලන්තය ආක්‍රමණය කරන විට 15 වැනි වියේ පසු වූ ගෙර්ඩා, ඒ වන විට කාන්තා කතෝලික පාසලක අධ්‍යාපනය ලබමින් සිටිනවා. පසුව නාසින් පෝලන්තයේ වාසය කළ යුදෙව්වන් කඳවුරුවලට ගාල් කිරීම ආරම්භ කරන අතර, ඒ යටතේ වයස අවුරුදු 16ත් 50ත් අතර යුදෙව් ජාතික පිරිමි පුද්ගලයන් වහාම නාසි හමුදාවට භාර විය යුතු වුණා. ඇයගේ වැඩිමහල් සොයුරා 1939 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී නාසින් විසින් රැගෙන ගිය අතර ඉන් පසු කිසිදිනෙක ඔහුව දැකීමට ගෙර්ඩාට හැකි වන්නේ නෑ. 

1939 වසරේ සැප්තැම්බර් මාසය වන විට ඔවුන් සිටින නිවසට පැමිණෙන නාසි හමුදා සාමාජිකයන් ඇය සහ ඇයගේ දෙමවුපියන් යුදෙව්වන් සමූහ වශයෙන් රඳවා ඇති රැදවුම් ස්ථානයකට රැගෙන යනවා. 1942 වසරේ අප්‍රේල් මාසය වන විට ඇයගේ පියා ද ඔවුන්ගෙන් වෙන් කර රැගෙන යන අතර, ජූනි මාසය වන විට ඇය හා ඇයගේ මවත් වෙන් වෙන්ව කඳවුරු කරා පිටත් කර හරින්නේ තරුණ ගෙර්ඩාගේ විලාපය මැද යි. ඉන් පසුව ඇයට කිසිම දිනෙක තම දෙමවුපියන් මුණ ගැහෙන්නේ නෑ.

අමානුෂික පීඩා මධ්‍යයේ කඳවුරෙන් කඳවුරට 

යුදෙව්වන් සිරකර තැබූ කඳවුරක් (United States Holocaust Memorial Museum)

පළමුවෙන්ම ඇය බොල්කන්හායින් (Bolkenhain) කඳවුරට යැවුණු අතර එහිදී ඇයට සිදු වන්නේ නාසි ගුවන් හමුදා භටයන් සඳහා පැරෂුට් මැසීමට යි. 1942 වසරේ ජූලි මාසයේ සිට 1943 වසරේ අගෝස්තු මාසය වන තුරු එහි රැදී සිටිමින් නාසින්ගේ තාඩන පීඩන හමුවේ වැඩ කිරීමට ඇයට සිදු වෙනවා. පසුව ලැන්ඩෙෂුට් (Landeshut) කඳවුරට ඇය ඇතුළු තරුණියන් පිරිසක් යැවෙන අතර එහිදීත් ඇයට සිදු වෙන්නේ පැරෂුට් මැසීමට යි. ඉතා ස්වල්ප ආහාර ප්‍රමාණයක් ඔවුන්ට ලැබුණු අතර ඇඳීමට ද ලැබුනේ දුර්වරණ වූ කිළුටු රෙදියි.

තවත් ටික කාලයක් තුළ වැඩ භූමි කිහිපයකට මාරු කරන ලද අතර අවසානයේ ඇය මෙයැත්ස්ඩොෆ් (Marzdorf) කඳවුර වෙත එවනු ලබනවා. එම කඳවුර මිහිමත වූ අපායක් මෙන් බව ඇය විසින් පසු කාලයේ දී සඳහන් කර තිබෙනවා. මනුෂ්‍යයෙකුට දරා ගැනීමට අපහසු තරම් වැඩ ප්‍රමාණයක් එහි සිටි භටයන් විසින් මෙම සිරකරුවන්ට පවරන අතර බොහෝ දෙනෙක් අධික ලෙස මහන්සි වීම හා හරි හැටි ආහාර ප්‍රමාණයක් නොලැබීම හේතුවෙන් මරණයට පත්වෙනවා. මෙහිදී ගෙර්ඩා ද කිහිපවතාවක් උණ රෝගයට ලක් වී මරණාසන්න අවස්ථාවට පත්වෙනවා. එක දිගට ගල් අඟුරු බෑම, ගොඩනැගිලි ඉදිකිරිම සඳහා ගල් ඇදීම වැනි අසීරු කාර්යයන්වල නිරත වීම හේතුවෙන් ගර්ඩාට එම කඳවුරේ දීම සියදිවි නසා ගැනීමට බොහෝ වාරයක් සිතුණු බව පසුව සදහන් කරනවා.

මරණයේ පා ගමන 

1945 වසරේ අප්‍රේල් මාසය වන විට මිත්‍ර පාර්ශවය විසින් යුද්ධයේ ජයග්‍රහණය රාශියක් අත්පත් කරගනිමින් ඉදිරියට ඒම හේතුවෙන් කඳවුරුවල රදවාගෙන සිටි සිරකරුවන් 4000ක් පමණ සැතපුම් 300කට අධික දුරින් පිහිටි චෙකොස්ලෝවකියාව වෙත රැගෙන යෑමට නාසීන් විසින් කටයුතු කරනවා. ප්‍රමාණවත් ආහාරයකින් හෝ ජලය සැපයීමකින් තොරව අධික සීතලේ පා ගමනින්ම මෙම සිරකරුවන් සැතපුම් 300 ගමන් කළ යුතු වූ බැවින් මෙය හඳුවන ලද්දේ “මරණයේ පාගමන” (Death March) ලෙස යි.

මෙම ගමන සදහා ඇතුළත් වූ තරුණියන් අතරට ගෙර්ඩා ද අයිති වුණා. අධික ගමන් විඩාව, දරා ගැනීමට නොහැකි සීතල හා, අධික කුස ගින්න හේතුවෙන් පාගමන අතරතුර දී බොහෝ දෙනෙකු මරණයට පත්වෙනවා. මාස තුනක් තිස්සේ ඇවිද ගොස් චෙකොස්ලෝවැකියාවේ අදාළ ස්ථානයට ළඟා වන විට ජීවත්ව සිටි සිරකරුවන් ප්‍රමාණය 120ක් පමණ යි. මේ වන විට ගෙර්ඩාගේ හොදම මිතුරිය ද පාගමන අතරතුර දී මියගොස් සිටි අතර ගෙර්ඩා ද ඇවිද යාමට නොහැකි තරම් දුර්වල තත්ත්වයකට පත් වී සිටිනවා.

මරණයේ පාගමනින් නැවත ජීවිතය ලැබීම  

විවාහ වීමෙන් පසුව (Yad Vashem)

1945 වසරේ මැයි මාසයේ දී මරණයේ පා ගමනින් ඉතිරිව සිටි ගෙර්ඩා ඇතුළු සිරකරුවන් චෙකොස්ලෝවැකියාවේ දී මුදා ගැනීමට ඇමරිකානු භට පිරිසකට හැකියාව ලැබෙනවා. ඇය බේරා ගැනීමෙන් අනතුරුව තාවකාලිකව ඉදිකර තිබූ ඇමරිකානු ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කරන අතර ඉතා කෘශ වී සිටි ඇයගේ බර රාත්තල් 68ක් දක්වා අඩු වී තිබුනා. තව ද වසර 3කින් ඇය ස්නානය කර තිබුණේ ද නෑ. ටික දිනකින් සුව අතට හැරෙන ඇයගේ ජීවිතයේ සුන්දරතම අවධිය උදා වන්නේ ඉන් පසුව යි. 

ඇය බේරා ගත් ඇමරිකානු භට ඛණ්ඩයේ සිටි කර්ට් ක්ලයින් (kurt klein) නම් ලුතිනන්වරයෙකු හා පෙමින් බැදෙන ඇය 1946 වසරේ දී ප්‍රංශයේ දී ඔහු හා විවාහ වෙනවා.

මානව හිමිකම් ක්‍රියාකාරිණියක් ලෙස 

ඔබාමා විසින් “Presidential Medal of Freedom” සම්මානය පැළදවීම (OregonLive.com)

විවාහයෙන් පසුව ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පදිංචි වෙන ඇයට හා ක්ලයින්ට දාව දරුවන් තිදෙනෙක් මෙලොව එළිය දකින අතර ඇය විසින් තම ජීවන අත්දැකීම් අළලා ග්‍රන්ථ කිහිපයක් ලියා පළ කරනවා. All but my life, The hours after, Promise of a new spring, හා The blue rose ඉන් කිහිපයක්.

යුධ සමයේ තම අත්දැකීම් උපයෝගී කරගනිමින් ජාතික හා ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරිණියක් ලෙස කටයුතු කළ ඇයට 2011 වසරේ පෙබරවාරි මාසයේ දී ඇමරිකානු ජනාධිපතිවරයා විසින් “Presidential Medal of Freedom” සම්මානය පිරිනමනවා. 2001 වසරේ චාප්මන් විශ්ව විද්‍යාලයයෙන් ඇයට ආචාර්ය උපාධියක් පිරිනමනවා. 

මෑත කාලයේදී (Teaching Tolerance)

තව ද 2006 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළමුවරට පවත්වන ලද යුදෙව්වන් මිලියන 6ක් සමූලඝාතනය වීම අනුස්මරණ වැඩසටහනේ දී (International Holocaust Remembrance Day) ප්‍රධාන දේශකයා ලෙස ආරාධනා ලබන්නේත් ඇය යි. තම අත්දැකීම් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලොවට බෙදා හරිමින් මානව හිමිකම් ක්‍රියාකාරිණියක් ලෙස 95 වියේ පසුවන ඇය මේ වන විට ඇමරිකාවේ ගෞරවණිය පුරවැසියෙක් ලෙස ජීවත් වෙනවා.

Related Articles