Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ අතීත ගෘහ නිර්මාණයේ සලකුණ – කටුමැටි නිවාස

සුවිසල් රජ මාළිගා, වලව් අතර අපේ සාමාන්‍ය ජනතාව තමන්ගේ පවුල් ජීවිතය ගත කරන්නට සකසා ගත්තේ කටුමැටි පැල යි. ඉතා සරලව ගොඩනැගුණු මේ නිවාසවල ඔවුන් කෙතරම් සතුටින් කල් ගෙවී ද යත් “පිදුරු සෙවිකල පැල්පතේ ඇති – සාමෙ නැත මහ මන්දිරේ” වැනි සාහිත්‍ය නිර්මාණවල උපමාවන්ට පවා ගැමි පැල්පත හේතු විය.

විවිධ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි සැකසුණු මෙම නිවාස වාතාශ්‍රය, සිසිලස සහ ආලෝකය ලැබෙන පරිදි සැකසුණු අතර, පසුකාලීනව ලීවලින් සැකසූ ජනෙල් පවා එක් කරනු ලැබී ය. කටුමැටි නිවාසවල කොටස් කිහිපයකි. ගෙහිමියා සඳහා බූරු ඇඳක් තැබූ පිල, බොහෝ විට නිදන කාමරය ලෙස භාවිතා වූ සාලය, සහ කුස්සිය (නිවසේ පසුපස කොටස) එම කොටස් අතර වේ.

හල්දුම්මුල්ලේ පිහිටි ඉපැරණි නිවසක අත්තිවාරම – කි‍්‍රස්තු පූර්ව 1750 (e-thaksalawa.moe.gov.lk)

ක්‍රි.ව. 240 දී පමණ තිබූ නිවෙස්වල සෙන්ටිමීටර් 35ක් පමණ ගැඹුරට පොළොව සෑරීමෙන් අත්තිවාරම සකසා ගැණිනි. එම නො ගැඹුරු වළෙහි පතුලේ සහ ඉවුරුවල ගොම මිශ්‍රිත හුඹස් මැටි ආලේප කර ගෙබිම නිමැවිණි. පොළොව හාරා ගෙබිම සකස් කර ගැනීමෙන් අත් වන නිවාසයේ වහල උස් නොකොට සකසා ගත හැකි වූ නිසා කොළ අතු සෙවිලි කළ විට ඒවා සුළඟට ගසාගෙන යාමේ අවදානම පහ කරගන්නට අ‍පේ අතීත වැසියෝ ඥානාන්විත වූහ.

ගෙබිම බොරළු, කළුගල් අතුරා මට්ටම් කර ගැණුනු අතර ඉන් හොඳ සවිමත් බවක්, භූ ඛාදනයන්ට ඔරොත්තු දීමක් ලබා ගැනීමට හැකි විය. අනතුරුව ගෙබිම සුමට කිරීම සඳහා ගොම මිශ්‍රිත මැටි යොද‍ාගෙන තිබේ. නිවස සැකසීමෙන් අනතුරුව ගෙබිම පිරියම් කිරීම බොහෝවිට කාන්තාවන් අතිනි සිදු කෙරිණි.

කටුමැටි නිවෙස්වලට නම ලැබෙන්නට ප්‍රධානම හේතුව එහි ඇති ‘වරිච්චි බිත්ති’ ය. ‘වරිච්චි බිත්ති’ යනු, බිත්ති බැඳීමේ දී මැටි පිඬු රඳා සිටීම සඳහා බිත්තියේ ප්‍රමාණයට ලී කණු සිටුවා හරස් අතට රිටි බැඳ සාදන සැකිල්ල යි. මෙම වරිච්චි බිත්ති සකස්‌ කිරීමේදී බටදඬු, උණ පතුරු, පුවක්‌ පටි ආදිය යොදා ගනිමින් රාමුව හෙවත් වරිච්චිය සකස්‌ කරගනු ලැබිණි. රාමුව ශක්‌තිමත්ව බැඳ ගැනීම සඳහා ඔවුහු විවිධ වැල් වර්ග යොදාගත්හ.

වරිච්චි බිත්තියක් (blogspot.com)

අනතුරුව, බිත්ති බැඳීම සඳහා මැටි සකස් කිරීම සිදු කෙරේ. මේ සඳහා පස් කොටා ජලයෙන් මිශ්‍ර කොට කකුලෙන් පාගමින්, තෙරපීමට ලක් කොට, පදම් කර දින දෙකක් තැම්බෙන්නට ආවරණය කර තැබේ. ඉන්පසු ඒවා බෝල ආකාරයට ගුලි කරගනියි. එම මැටි බෝල නිසි අයුරින් පේලියකට අඩුක් කරමින් හිස්තැන් ද මැටියෙන් වසමින් බිත්ති සැකසීම සිදු කරයි. ඉන්පසු අතිරික්ත ජලය ඉවත්ව බිත්ති ශක්තිමත් වන්නට දින දෙක තුනක් ඉඩ හැර, ක්‍රම ක්‍රමයෙන් බිත්තිය ඉහළට නැංවිම සිදු කරති.

මෙම බිත්තිවල තිබූ සුවි‍ශේෂීතාව නම්; කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දීම, අමුද්‍රව්‍ය ඉතාම පහසුවෙන් සොයා ගත හැකි වීම, පරිසර හිතකාමී බව සහ මැටි තාප කුසන්නායකයක් වශයෙන් නිවසේ සිසිලස හොඳින් පවත්වා ගැනීම යි.

වහල සඳහා යට ලී, පරාල, සහ වැරණිය ‍කෝටු රීප්ප වශයෙන් ගෙන වැල්වලින් බැඳ සකසා ගෙන අවසානයේ, ප්‍රදේශය අනුව වඩාත් පහසුවෙන් සොයාගත හැකි සිහින් කොළ වර්ගයක් (ඉලුක්, මානා, පිදුරු, පොල් අතු ආදිය) එකට තබා බැඳ වහල සෙවිලි කිරීම සිදු කෙරේ. ඉලුක් වැනි පත්‍රවලින් සීත කාලයේ දී නිවස තුළ උෂ්ණයත්, උෂ්ණ කාලයේ දී නිවස තුළට සිසිලසත් ලබා දීම විශේෂත්වයක් විය. කල්යත්ම මේවා දිරායන විට ගෘහණිය විසින් නැවත පොල්අතු වියා ස්වාමියා ලවා ඒවා සෙවිලි කරවා ගැනීම සිදු කෙ‍රිණි.

හුණු කපරාරු කළ නිවසක් (lankadeepa.lk)

දොර සැකසුණේ බට පැළලිවලිනි (බට පතුරු එකට තබා බැඳි). එය ඉතා සරලව අසව්වක් හෝ ‍නොමැතිව උස්සා පැත්තකින් තැබිය හැකි ලී රාමුවක් බඳු විය. පසුකාලීනව අතමිට ඇති අය තම නිවස හුණු පිරියම් කරන්නට (කපරාරු කරන්නට) කටයුතු කළහ. යාපනය වැනි ප්‍රදේශවල ඇති පැල්පත්වල වර්ණ සහිත ගල් කුඩු වලින් සකසාගත් සායම් වලින් නිවස අලංකාර කිරීම ද සිදුකෙරේ. ඊට අමතරව ශාක ඇට සහ සත්ත්ව ඇට යොදාගෙන නිවාස අලංකරණයට අපේ ජනතාව උත්සුක වූහ.

කෘෂිකාර්මික පෙදෙස්වල නිවසට යාබදව වී බිස්සක් දක්නට තිබිණි. ගල් කණු හතරක් මත බුරුත දැවයෙන් කළ සමචතුරස‍්‍රකාර වේදීකාවක් හෝ දෙකක් මත ඉලිප්සාකාර හැඩැතිව වරිච්චි බිත්ති බැඳ සකස් කළ ගෘහයට ඉවත් කළ හැකි වහලක් යොදා වී බිස්ස නිර්මාණය කෙරිණි. උස්ව සැකසූවක වී කි.ග්‍රෑ. 3000ක් පමණ යෙදවිය හැකි වූ අතර එය නිවසට බාහිර අලංකරණ අංගයක්, සමෘද්ධියෙහි සංකේතයක් මෙන්ම බත බුලතින් සරු බවට ස්වයංව උදම් අනන්නක් විය.

වී බිස්සක් සහිත කටු මැටි ගෙයක සිතුවමක් (පියල් රන්ජන් – piyalranjan.blogspot.com)

තමන්ගේ නිවස හොඳින් සකස් කර ගැනීම අපේ පුරාතනයන් ඉතා හොඳින් අවධානයට යොමු කළ කාරණයක් වන අතර එහි කල් පැවැත්ම, විසීමට සුදුසු බව, කාලගුණයට හා උෂ්ණත්ව වෙනස්කම්වලට ඔරොත්තු දීම පමණක් නොව අලංකාරය සඳහා ද ඔවුන් තම කාලය හා ශ්‍රමය වැය කළහ. නිවසේ හැඩි දැඩි වූ පුතෙක් ඉ‍ඩමක් එළි පෙහෙළි කොට කටු මැටි ගෙයක් තනන්නට පටන් ගැනීම වනාහි තමා විවාහයට සූදානම් බව දෙමව්පියන්ට නොකියා කීමක් ද විය.

අපේ සංස්කෘතියේ ලුණු ඇඹුල රැගත් මේ අපූරු නිර්මාණ හෙළ ගෘහ නිර්මාණ ශිල්පය අනුරපුර, පොළොන්නරු රජවරුන්, මඩුවන්වෙල වැනි දිසාවේවරුන් පමණක් නොව සාමාන්‍ය වැසියන් වෙත පවා දිවෙමින් ඔවුන් තාක්ෂණික වශයෙන් හොඳ නිවසකට හිමිකම් කී බව, විද්‍යාව හා සොබාදහම පිළිබඳ ඔවුන් සතුව තිබූ දැනුම ඉතා හොඳින් පිළිඹිබු කරන ශ්‍රී විභූතීන් නොවේ ද?

Related Articles