සුද්දන්ගේ නම් වැජඹෙන කොළඹ පැරණි වීදි කතා

අද කොළඹ හැමතැනම මහාමාර්ග. මේවායේ ඉඩ මඳිවීම නිසා දැන් මාර්ගයටත් ඉහළින් තවත් පාරවල් හදන්න පටන් අරන්. ඉංග්‍රීසි කාලේ කොළඹ පාරවල්වලට සුද්දන්ගේ නම් යෙදීමේ සිරිතක් පටන් ගත්තා. අදටත් ඒ අතරින් සමහර නම් භාවිත කරන්නේ යටත්විජිත මතකය ඉතිරි කරමින්. මේ නම් වැටුණු පුරාණ කතා සෙයාබැලීමත් රසවත් වැඩක්.

අශ්ව කරත්ත ගිය කොළඹ පාරවල්

පසුව නම වෙනස් කළ කොටුවේ රැජන වීදිය 1920 දී – lankapura.com

කොළඹ නග­රයේ මීට ශත වර්ෂ­ එකහමාරකට පමණ ඉහ­ත දී හැමෝම ගමන්බිමන් ගියේ අශ්වරථයෙන්. අද ත්‍රිවීලර් මෙන්, තනි පුද්ගලයන්ට කෙටි ගමන්වලට යොදාගත්තේ මිනිසෙක් විසින් ඇදගෙන යන රික්ෂෝ රථ යි. එහෙත් ඒවා පරි­හ­ර­ණය බ්‍රිතාන්‍ය පාල­ක­යන්ට හා වෙනත් ප්‍රභූන්ට සීමා වුණා. අශ්ව රථ සඳහා යෙදූ අසුන් සංඛ්‍යා­ව ද ඒ ඒ පුද්ග­ල­යාගේ සමාජ මට්ටම අනුව වෙනස් වූ අතර, ඒ අනුව අය කෙරුණු ගාස්තුව ද වෙනස් වුණා. කොළඹ මාර්ග සකස්වී තිබුණෙත් අශ්ව රථ ධාවනයට සුදුසු ලෙස යි. ඒවා වැලි පාරවල් ලෙස යි පැවතුණේ. සමහර අතුරු මාර්ග කොබ්ල් නම් කළුගල් අල්ලා තිබුණා. 1930 දශ­කය වන විට මෝටර් රථ සහ ට්‍රෑම් කාර් රථ පැමිණීමත් සම­ගම අශ්ව ­රථ භාවිතය  ටිකෙන් ටික ඉවත් වී ගොස් තිබෙනවා.

පිටකොටුව හෙවත් පෙටා

කයිමන් දොරටුව අසල පිටකොටුවේ මහවීදිය- lankapura.com

කොළඹ වාණිජ්‍ය වෙළෙඳසල්වල කේන්ද්‍රස්ථානය වන්නේ පිටකොටුව යි. පිටකොටුව ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ අමුතුම නමකින්. ඒ Pettah කියලයි. ඉංග්‍රීසින් ඉන්දියාවේ දී කොටුවකින් පිට පෙදෙස හැඳින්වීමට ඒ නම භාවිත කළ අතර, තම යටත්විජිතයක් වූ ශ්‍රී ලංකාවටත් එය යොදාගෙන තිබෙනවා.

කුමාර වීදිය අවුරුදු 100කට පෙර- pinrest.com

පිටකොටුවේ කුමාර වීදිය පුරාණයේ පටන්ම ඒ නමින් හැඳින්වූ බව පැවසෙනවා. ජනප්‍රවාද අනුව ලන්දේසීන් එම නම තබන ලද්දේ මහනුවර දෙවැනි රාජසිංහ රජුගේ පුත් කුමරු සිහිපත් කිරීමට යි. එය ඉංග්‍රීසින් Prince Street ලෙස ඉංග්‍රීසියට හරවා ගත්තා. තවමත් ඒ නම තමයි, භාවිත කරන්නේ. වීදුරු වෙළෙඳසල් ඇතුළු සාප්පු බහුල කුමාර වීදියේ දෙමහල් විශාල ඕලන්ද ගොඩනැගිල්ලක  කෞතුකාගාරය  පිහිටා තිබෙනවා. එම ඕලන්ද ගොඩනැගිල්ල මුලින්ම අනාථ නිවාසයක් ලෙසත් පසුව තැපැල් කාර්යාලයක් ලෙසත් භාවිත කළ එකක්. ඒ හැරෙන්නට ලන්දේසීන් තැනූ ගොඩනැගිලි අද පිටකොටුවේ දක්නට නැහැ.

කුමාර වීදියේ ඕලන්ද කටුගෙය- pinrest.com

පිටකොටුවේ මැලිබන් වීදියට එම නම යෙදී ඇත්තේ ලන්දේසි යුගයේ දී යි. සක්මන් මළුව යන අර්ථය ඇති මැලිබෝ යන වචනයෙන් එම නම උපත ලැබූ බව පැවසෙනවා. ලන්දේසි කාන්තාවන් සක්මන් කිරීමට මේ පෙදෙස භාවිත කළ බව ආර්. එල්. බ්‍රෝහියර් කොළොම්පුර පුරාවෘත්ත කෘතියේ සඳහන් කරනවා. පසුව මැලිබන් වීදියේ මැලිබන් හෝටලය ආරම්භ කළේ ව්‍යාපාරික ඒ.ජී. හින්නි අප්පුහාමියි. අද වනවිට මැලිබන් වීදියට වඩා මැලිබන් වෙළෙඳ නාමය ප්‍රසිද්ධ වී තිබෙනවා.

කොටුවේ මාර්ග

ඕල්කට් මාවත-elevation.maplogs.com

මැලිබන් වීදියට නුදුරින් ආරම්භ වන ඕල්කට් මාවත කොටුව දුම්රියපොළ ඉදිරියෙන් ඇරඹී පිටකොටුව දක්වා ඇදී යනවා. කොටුවේ එංගලන්තේ සුද්දන්ගේ නම් තැබූ වීදි අතර හමුවන අමෙරිකානු සුද්දකුගේ නම ඇති එකම මාර්ගය ඕල්කට් මාවත යි. එම මාවතට කලින් දී තිබුණු නම නොරිස් පාර යි. ශ්‍රී ලංකාවට පැමිණ බුදු දහමේ පුනර්ජීවනයක් ඇති කිරීමට කැපවූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් (1832-1907) සිහිපත් කිරීමට එම මාවතට ඔහුගේ නම යෙදූ අතර, ඔහුගේ ප්‍රතිමාවක් ද කොටුව දුම්රියපොළ ඉදිරිපිට විවෘත කළා.  අමෙරිකන් හමුදා නිලධාරියකු මෙන්ම මාධ්‍යවේදියකු ද වූ කර්නල් ඕල්කට් පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ පළමු සභාපති වුණා.

මරදානට යන ගමන්

ලේක්හවුස් ඉදිරිපිටින් යන පැරණි මැකලම් පාර ( ඩී. ආර්. විජේවර්ධන මාවත) -Lakehouse.lk

ඕල්කට් මාවත පසුකරගෙන ලේක්හවුස් මන්දිරය ඉදිරිපිටට පැමිණෙන අප පිවිසෙන්නේ කලින් මැකලම් පාර ලෙස හැඳින්වූ මාර්ගයට යි. සමහරු අදත් මැකලම් පාර ලෙස එය හැඳින්වුවත් එහි වර්තමාන නාමය ඩී. ආර්. විජයවර්ධන මාවත යි. හෙන්රි එඩ්වඩ් මැකලම් 1907 සිට 1913 දක්වා මෙරට ආණ්ඩුකාරයා වශයෙන් කටයුතු කළා. ඔහු සිහිපත් කිරීමට ඉංග්‍රීසින් එම නම ලබා දී තිබෙනවා.

මැකලම් පාර දිගේ ගොස් ටී. බී. ජයා මාවත හෙවත් කලින් ඩාර්ලි පාර පසුකරගෙන යන විට අප ළඟා වෙන්නේ පුරහලට යි. කුරුඳුවත්ත පුරහල අවට සුද්දන්ගේ නම් රැගත් මාර්ග කිහිපයක්ම හමුවේ. අප තවමත් සුද්දන්ට යටත් රටක්දැ යි සිතෙන තරමට කොළඹ 7 අවට බ්‍රිතාන්‍ය නම් ගම් පැතිර තිබෙනවා.

කොළඹ හතේ රජකරන සුද්දෝ

පුරහලට නුදුරින් පිහිටි නේවාසික ගොඩනැගිලි සහිත එක් මාර්ගයක් වන්නේ බාන්ස් පෙදෙස යි. ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් (1776-1838) ආණ්ඩුකාරයා සිහිපත් වීමට බ්‍රිතාන්‍ය යුගයේ දී ඒ නම ලබා දී තිපෙනවා. ඔහු මෙරට පාලනය කළේ 1824 සිට 1831 දක්වා යි. බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියකු වන බාන්ස් ලුතිනන් ජනරාල්ධුරයට පත්වූ පසු ශ්‍රී ලංකාවට පැමිණියේ වැඩබලන ආණ්ඩුකාරයා වශයෙන්. ඒ 1820 පෙබරවාරි 1 දා යි. 1822 දක්වා එම ධුරයේ වැඩ බැලූ ඔහු 1824 දී ආණ්ඩුකාරධුරයට පත් වෙනවා. බාන්ස් ආණ්ඩුකාරයා කොළඹ නුවර මහාමාර්ගය ඉදිකිරීමට මුල්වී කටයුතු කළ අතර කෝපි වගාව මෙරටට හඳුන්වාදීමට ද පෙරමුණ ගත් නිලධාරියෙක්.

විල්මට් හෝටන්-  wikipedia.org

හෙන්රි ජෝජ් වෝඩ් (1797-1860) ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර ධුරය හෙබවූයේ 1855 සිට 1860 දක්වා වික්ටෝරියා රැජනගේ කාලයේ යි. දේශපාලනඥයකු ද වන හෙන්රි වෝඩ් මෙරට දුම්රිය මාර්ග ඉදිකිරීමට මුල් වූ බ්‍රිතාන්‍ය නිලධාරියෙක්. බාන්ස් පෙදෙසට නුදුරින් පිහිටි මාර්ගය වෝඩ් පෙදෙස වුණේ ඔහු නිසයි.

වෝඩ් පෙදෙසට සමාන්තරව පිහිටා ඇත්තේ බොරැල්ල සේනානායක හන්දිය දක්වා දිවෙන හෝර්ටන් පෙදෙස යි. ගස්වැල්වලින් සෙවණ වූ මේ මාර්ගයේ නිවාස, තානාපති කාර්යාල මෙන්ම අවන්හල් රාශියක් ද දැකගත හැකියි. රොබට් විල්මට් හෝර්ටන් ආණ්ඩුකාරයා සිහිපත් කරවන මේ මාර්ගයේ ගමන් කරන වැඩි දෙනෙක් හෝර්ටන් කළු ද සුදු ද කියාවත් දන්නේ නැහැ. ඔහු 1831 සිට 1837 දක්වා මෙරට පාලනය කළ අත, 1841 දී එංගලන්තයේ දී මියයන විට වයස අවුරුදු 56ක් වුණා. කෝල්බෘක් – කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අප රටට හඳුන්වාදුන්නේ ඔහුගේ පාලන කාලයේ දී යි. නුවරඑළියේ හෝර්ටන් තැනිතලාවට ඒ නම ලැබුණේ ද හෝර්ටන් ආණ්ඩුකාරයා සිහිපත් කිරීමට යි. ඔහු එකල අසුපිට නැගී බලංගොඩ හරහා හෝර්ටන් තැනිතලාවට සංචාරයක් ද ගොස් තිබෙනවා.

ජාතික කෞතුකාගාරය- thrillophillia.com

කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට මාකස් ප්‍රනාන්දු මාවත සම්බන්ධ වන්නේ මෙට්ලන්ඩ් චන්ද්‍රවංකයට යි. තෝමස් මෙට්ලන්ඩ් (1760-1824) මෙරට ආණ්ඩුකාරයා ලෙස කටයුතු කළේ 1805 සිට 1811 දක්වා යි. එකල බ්‍රිතාන්‍යයන් පාලනය කළේ අප රටේ මුහුදුබඩ පෙදෙස් පමණක් වුව ද අදත් ඔහුගේ නම අපි කියනවා. මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයා එකල ජීවත් වූ මන්දිරය අද ගල්කිස්ස මහ හෝටලය යි.

ග්‍රෙගරි පාරත් කොළඹ 7 පිහිටි යටත්විජිත මතක සිහිපත් කරවන තවත් මාර්ගයක්. විලියම් හෙන්රි ග්‍රෙගරි 1872 දී මෙරට ආණ්ඩුකාර ධුරයට පත්ව 1877 දක්වා එම තනතුර දැරුවේ ය. ඔහු එංගලන්තයට තරමක් සමාන දේශගුණයක් ඇති නුවරඑළිය ප්‍රදේශයට දැඩි කැමැත්තක් දැක්වූ නිසාම එහි වැඩිපුර වාසය කළා බව සඳහන් වෙනවා. නුවරඑළියේ ග්‍රෙගරි වැව ද ඔහුගේ මූලිකත්වයෙන් ඉදිකළ ජලාශයක්. කෞතුකාගාර පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ ග්‍රෙගරි කොළඹ ජාතික කෞතුකාගාරය පිහිටුවීමට ද මුල් වුණා. ජාතික කෞතුකාගාරය ඉදිරිපිට ඔහුගේ ප්‍රතිමාවක් ද දැකගත හැකියි.

තර්ස්ටන් පාර

කෞතුකාගාරය පසු කරගෙන කොළඹ විශ්වවිද්‍යාලයය දෙසට යන විට අපට කුමාරතුංග මුනිදාස මාවත හමුවෙනවා. මෑත අතීතයේ එම නම යෙදුව ද, තවමත් වැඩි දෙනෙක් ඒ පාර හඳුන්වන්නේ තර්ස්ටන් පාර යනුවෙන්. තර්ස්ටන් විදුහල පිහිටා ඇත්තේ එම මාවතේ යි. එම නම ලැබී ඇත්තේ ඇංග්ලිකන් පූජකවරයකු වූ ඒ. ජේ. තර්ස්ටන් සිහිපත් කරවමින්. ඔහු 1859 දී එහි කෘෂිකර්ම හා තාක්ෂණික පුහුණු විදුහලක් ආරම්භ කළා. එය ටික කලකින්ම වැසී ගොස් තිබෙනවා. නැවත රජයේ අනුග්‍රහය ඇතිව 1884 දී කුරුඳු නිෂ්පාදන පුහුණු විදුහලක් ආරම්භ කළා. තර්ස්ටන් විද්‍යාලය එම මාර්ගයේ ඉඩමක ඇරඹු‍ණේ 1950 දී යි.

කොල්ලුපිටියේ ඇල්ෆ්‍රඩ් හවුස් 

ඇල්ෆ්‍රඩ් හවුස්- wikipedia.org

තර්ස්ටන් පාර අසලින් හැරී කොල්ලුපිටිය දෙසට යන විට ඇල්ප්‍රඩ් හවුස් ගාර්ඩ්න් වෙත ළඟාවීමට අපට පුළුවන්. බ්‍රිතාන්‍ය කවුන්සිලය පිහිටා ඇත්තේ මේ මාර්ගයේ යි. කොල්ලුපිටිය බගතලේ විසූ දානපතියකු වූ චාල්ස් හෙන්රි ද සොයිසා තැනූ මන්දිරයට “ඇල්ප්‍රඩ් හවුස්” යන නම ලබා දුන්නේ එඩින්බරෝ ආදිපාදවරයා හෙවත් ඇල්ප්‍රඩ් කුමාරයා 1870 දී ශ්‍රී ලංකාවට පැමිණීම සැමරීමට යි. එම මන්දිරය පිහිටි ඉඩම ඇල්ප්‍රඩ් හවුස් ගාර්ඩ්න් වුණා. අද මන්දිරය නැතත් එදා ලැබුණු නම තවමත් භාවිතයේ පවතිනවා.

1870 දී ලංකාවේ සංචාරයක නිරත වූ එඩින්බරෝ ආදිපාදවරයාට සහ වික්ටෝරියා රැජනට නවාතැන් සැපයීමට තරම් ධනවත්කමක් සමාජමය පසුබිමක් ප්‍රකට ව්‍යාපාරික චාල්ස් හෙන්රි සතු වුණා. ලංකාවට පැමිණි එංගලන්තයේ අග රැජින කාමර සීයකින් සමන්විත වූ චාල්ස්ගේ නිවෙසේ නවාතැන් ගත්තා. ඇය වෙනුවෙන් රත්රන් පිඟන්වල භෝජන පිළිගැන්වූ බවයි පැවසෙන්නේ. රැජනගේ සහ ආදිපාදවරයාගේ සංචා‍රයෙන් පසු එය සිහිගන්වනු වස් තම නිවසේ නම ආදිපාදවරයාගේ නමින් ඇල්ෆ්‍රඩ් ලෙසින් වෙනස් කිරීමට එහි හිමිකරු චාල්ස් හෙන්රි කටයුතු කර තිබෙනවා.

ඇල්‍ෆ්‍රඩ් හවුස්හි උද්‍යානය කොටස් දෙකකට වෙන් කරමින් 1922 දී ඩුප්ලිකේෂන් පාර ඉදිකෙරුණු අතර එය අතීතයේ සිටම ගාලු පාරේ මාර්ග තදබදයට විසඳුමක් ලෙසින් භාවිත කර තිබෙනවා. පසුව ක්‍රමක්‍රමයෙන් සෙසු අතුරු මාර්ග ද බිහි කෙරුණූ අතර ඇල්ෆ්‍රඩ් හවුස් උද්‍යාන‍ය හරහා වැටී තිබුණූ බැවින් ඇල්ෆ්‍රඩ් හවුස් යන නාමය ඒ සෑම අතුරු මාර්ගයකටම ද හිමි වී තිබේ. ක්‍රමයෙන් ගරා වැටුණු මහා මන්දිරය අවසානයේ 1980 දී සම්පූර්ණයෙන් කඩා බිඳ දමා තිබෙනවා. කොල්ලුපිටියේ ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩ්න්ස්, ඇල්ෆ්‍රඩ් හවුස් ඇවනියු, ඇල්ෆ්‍රඩ් හවුස් පාර, සහ ඇල්ෆ්‍රඩ් පෙදෙස ඒ සඳහා තවමත් උදාහරණ සපයනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

 http://www.silumina.lk/2019/11/16

කොළොම්පුර පුරාවෘත්තය- ආර්. එල්. බ්‍රොහියර් පරි. පද්මා එදිරිසිංහ

කවරය- එදා පිටකොටුවේ මහවීදිය ට්‍රෑම් රථ හා කරත්ත lakdivanews.com

Related Articles