Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුදල් භාවිතය ඇරඹුණු අයුරු

මුදල් අද වන විට කොයි කාටත් නැතුව ම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. වර්තමානයේ දී මුදල් කියන්නේ වත්කම පෙන්විය හැකි මාධ්‍යයක් ම පමණක් වුවත් මුදලේ ඉතිහාසය, මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය තරම් ම ඈතට දිව යන බව ඔබ දැන සිටියා ද?

අද අපි භාවිතා කරන ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසිවල ඉතිහාසය, මුදල් භාවිතයේ ඉතිහාසය සමග බොහෝ කලක් තිස්සේ එකට බැඳී ආ ගමනක් බව පැවසීම වැරදි නැහැ. එසේ ම කාලයෙන් කාලයට මුදල් සඳහා ලබා දී ඇති අර්ථ නිරූපණයන් ද බොහෝම යි. වඩාත් සරල ව අදහසින් ගතහොත් භාණ්ඩ සහ සේවා හුවමාරුවේ අන්තර් මාධ්‍යය ලෙස මුදල් හැඳින්විය හැකි යි.

බාටර් ක්‍රමයෙන් පොදු මාධ්‍යයකට

© Getty Images

මිනිස් ශිෂ්ටාචාරය ආරම්භයේ දී මිනිසා තමන් සතු වූ අතිරික්ත ද්‍රව්‍ය හුවමාරු කර ගනිමින් තමන්ට අවශ්‍ය දෑ ලබා ගැනීමට පුරුදු වී සිටියා. මෙසේ භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කර ගැනීම හැඳින්වෙන්නේ බාටර් ක්‍රමය ලෙස යි. කෙසේ හෝ ඉතිහාසාඥයින් පවසන්නේ භාණ්ඩ හුවමාරුවේ පැවති දුර්වලතාවයන් මග හරවා ගැනීම සඳහා පොදු මාධ්‍යයක් භාවිතා කිරීම අවශ්‍යතාවක් පැන නැගුණු හෙයින් අදින් වසර 10,000 කට පමණ පෙර මිනිසා බාටර් ක්‍රමය අත් හැර දැමූ බව යි.

ඒ අනුව සත්ත්වයින්, ධාන්‍ය වර්ග සහ ඛනිජ ද්‍රව්‍ය වැනි එකිනෙකට නොගැළපෙන ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම වෙනුවට පහසුවෙන් මැනිය හැකි මාධ්‍යයක් භාවිතා කිරීමට මිනිසා යොමු වී තිබෙනවා. ඒ අනුව ක්‍රිස්තු පූර්ව 10 වැනි සහස්‍රයේ දී මුල් කාලීන මුදල් ලෙස භාවිතා වී ඇත්තේ ගවයින් සහ එළුවන්. නමුත් කෘෂිකාර්මික දියුණුව සමග ක්‍රිස්තු පූර්ව 8 වැනි සහස්‍රයේ දී මෙසපොතේමියාව ආශ්‍රිත ප්‍රදේශවල ධාන්‍ය වර්ග මුදල් ලෙස භාවිතා වීම ඇරඹුණා. එවකට පාලන බලයේ සිටි සුමේරියානු රජවරුන් තමන්ගේ රාජ්‍යයන් වන සුවිසල් ධාන්‍යාගාර තනවා ඇති අතර ගොවියන් සහ පාලන ආයතන අතර සාධාරණ හුවමාරු අගයන් පවත්වාගෙන යාම සඳහා සංකීර්ණ ගිණුම් ක්‍රම ද හඳුන්වා දී තිබෙනවා.

(© David Stanley) ගබඩා 114 කින් යුතු පැරණි ධාන්‍යාගාරයක්

මේ කාලයේ දී කෘෂි නිෂ්පාදනයන්ගෙන් එතරම් ආඪ්‍ය නොවූ අනෙකුත් සාමාජයන්, කාසිවලට සමාන යැයි පැවසිය හැකි නොයෙකුත් ටෝකන භාවිතා කිරීම ආරම්භ කළා. මෙසේ ටෝකන භාවිතා කිරීම අරමුණ වුණේ හුවමාරු වූ භාණ්ඩ පිළිබඳ ව මතක් කිරීම යි.

කාසියේ පැමිණීම

ක්‍රිස්තු පූර්ව 7 වැනි සහස්‍රය වන විට බටහිර සහ මධ්‍යම ආසියාව ආශ්‍රිත ව වර්ධනය වූ ශිෂ්ටාචාරයන් හුවමාරු මාධ්‍යයක් ලෙස රන්, තඹ සහ ටින් වැනි ලෝහ කැබලි භාවිතා කිරීම ආරම්භ කර තිබෙනවා. එය වේගයෙන් දියුණු වූ අතර ක්‍රිස්තු පූර්ව 3 වැනි සහස්‍රය වන විට ඊජිප්තුව සහ මෙසපොතේමියාව නිසි ප්‍රමාණයකින් යුතු රන් කුට්ටි භාවිතා කිරීම කෙරෙහි යොමු වෙනවා. නමුත් නැගෙනහිර​ ආසියාවේ සහ අප්‍රිකාවේ පැවති එතරම් දියුණු නැති සමාජයන් ඒ වන විටත් ඔවුන්ගේ පොදු හුවමාරු මාධ්‍ය ලෙස භාවිතා කරමින් සිට ඇත්තේ ගල් කැබලි, කවඩි, පබළු, සත්ත්ව සම් සහ පිහි වැනි ආයුධ යි. එළැඹෙන සහස්‍රයේ දී කාසිය භාවිතයට පැමිණෙන තෙක් ම ඔවුන්ගේ හුවමාරු මාධ්‍යය, මෙම ද්‍රව්‍යයන්ට ම සීමා වී පැවතුණා.

(© Ancient Art & Numismatics) මුල් කාලීන ලිඩියානු කාසි

ඉතිහාසඥයින් විශ්වාස කරන අන්දමට ලොව ප්‍රථම කාසිය ලොවට හඳුන්වා දී ඇත්තේ පුරාණ රාජධානියක් වූ ලිඩියාව (වත්මන් තුර්කිය ආශ්‍රිත ප්‍රදේශය) යි. ඔවුන් කාසි නිෂ්පාදනය කර ඇත්තේ රන් සහ රීදී 4 : 1 ලෙස මිශ්‍ර කරමින් සකසා ගත් ඉලෙක්ට්‍රම් නම් මිශ්‍රණය භාවිතා කරමින්. වර්තමානයේ දක්නට ලැබෙන කාසි මෙන් රවුම් හැඩයෙන් යුතු නොවූ අතීත කාසි බොහෝ විට විෂම හැඩයන්ගෙන් සහ ප්‍රමාණයන්ගෙන් යුතු වුණා. නමුත් සමාන බරින් යුතු වූ පැරණි ලිඩියානු කාසිවල පුරාතන ලිඩියානු අක්ෂරයන්ගෙන් ඔවුන්ගේ රජුවරුන්ගේ නම් සටහන් කර ඇති ආකාරය පවා දැක ගැනීමට හැකි යි.

(© Ancient Art & Numismatics) පැරණි ග්‍රීක කාසි

ලිඩියාවෙන් ඇරඹුණු කාසි නිෂ්පාදනය වේගයෙන් ඇනටෝලියානු (උතුරින් කළු මුහුදට, බටහිර දෙසින් එජියන් මුහුදට සහ දකුණින් මධ්‍යධරණී මුහුදට සීමා වූ භූමි ප්‍රදේශය) වෙරළ තීරයේ පිහිටා තිබුණු ග්‍රීක් නගර කරා පැතිරී ගිය අතර ක්‍රමයෙන් ග්‍රීසිය ද කාසි භාවිතය කෙරෙහි යොමු වුණා.

චීනයෙන් බිහි වූ මුදල් නෝට්ටු

ලිඩියාව සහ ග්‍රීසිය ඔවුන් විසින් සොයා ගන්නා ලද කාසි භාවිතා කරන සමයේ ආසියාවේ කෙළවරක සිටි චීනය ද ඔවුන්ගේ ම කාසි විශේෂයක් සංවර්ධනය කර තිබෙනවා. මුල් කාලීන චීන කාසි පිහි, කෘෂිකාර්මික උපකරණ සහ පොරොව වැනි උපකරණවල ක්ෂුද්‍රරූපී ස්වරූපයක් ගෙන ඇති අතර පසු ව චීන ජාතිකයන් රවුම් හැඩයෙන් යුතු කාසි නිෂ්පාදනය ආරම්භ කළා.

(© Tokyo Currency Museum) චීන නෝට්ටු මුද්‍රණය සඳහා භාවිතා කළ ලී පුවරුවක්

එසේ ම ප්‍රථම මුදල් නෝට්ටු භාවිතා කිරීමේ ගෞරවය හිමි වන්නේ ද චීනයට යි. ක්‍රිස්තු වර්ෂ 100 පමණ වන විට චීන ජාතිකයන් ලිනන්, උණ බට, මල්බෙරි ගසේ පොත්ත සහ කංසා යොදා ගනිමින් කඩදාසි නිපදවීම ආරම්භ කර තිබුණා. ඔවුන් කඩදාසි සහ මුව සම් මත ණයවර ලිපි ලිවීම ආරම්භ කර තිබුණේ ද මේ කාලයේ දී ම යි. එහි ප්‍රතිඵලයක් ලෙස 7 වැනි සියවසේ දී කහ ගංගා නිම්නය ආශ්‍රිත ව වර්ධනය වුණු ටැංග් රාජ සමයේ දී මුදල් නෝට්ටු භාවිතයට පැමිණ තිබෙනවා. බරින් වැඩි දහස් ගණනක් වූ කාසි සඳහා සාර්ථක ආදේශකයක් වූ මුදල් නෝට්ටු වේගයෙන් වෙළෙන්දන් අතර ජනප්‍රිය වුණා. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 960 දී සොන්ග් රාජ සමය වන විට චීන ආණ්ඩුව මුදල් නෝට්ටු භාවිතය සංස්ථාගත කර තිබෙනවා.

යුරෝපයේ බැංකු නෝට්ටු

චීනයේ භාවිතා වූ මුදල් නෝට්ටු සාම්ප්‍රදාය යුරෝපයට රැගෙන ගියේ දේශ ගවේෂකයන් වූ මාර්කෝ පෝලෝ සහ රූබෘෘක් හි විලියම් වැනි අය යි. නමුත් ඒ කාලයේ දී යුරෝපයේ කඩදාසි නිෂ්පාදනයක් නොතිබුණු හෙයින් මුදල් නෝට්ටු භාවිතය එතරම් ජනප්‍රිය වුණේ නැහැ. ප්‍රථම වරට යුරෝපයේ කඩදාසි කම්හල් ආරම්භ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1150 දී එවකට​ ස්පාඤ්ඤයේ ඇතැම් ප්‍රදේශවල පාලනය හෙබවූ මුස්ලිම්වරුන් විසින්.

(© Joanbanjo) ක්‍රිස්තු වර්ෂ 1431 දී භාවිතා කරන ලද අතින් ලියූ පොරොන්දු නෝට්ටුවක්

මේ අනුව මුල් කාලීන පුනරුද සමයේ දී කාසි ප්‍රවාහනය එතරම් ආරක්ෂිත නොවන බව යුරෝපීයයන්ට ද වැටහුණු අතර වෙළඳුන් සහ ආණ්ඩු එක් ව අතින් ලියන ලද පොරොන්දු නෝට්ටු භාවිතා කිරීම ආරම්භ කර තිබෙනවා. මෙහි අවසන් ප්‍රතිඵලය වුණේ ක්‍රිස්තු වර්ෂ 1500 වන විට බැංකු ආයතන බිහි වීම යි. ඒ අනුව මුදල් නෝට්ටුවලට වඩා වැඩි වේගයකින් බැංකු නෝට්ටු (චෙක්පත් සහ විනිමය බිල්) යුරෝපයේ ජනප්‍රිය වුණේ ඒවා මුදල් නෝට්ටුවලට වඩා ආරක්ෂිත වීම හේතුවෙන්.

(© 123RF Stock Photos)

මෙසේ දිගු ගමනක් පැමිණි මුදල් භාවිතය අද වන විට ණයපත්, බැරපත් සහ ඉලෙක්ට්‍රොනික මුදල් ඒකක බවට පත් වී හමාර යි. දැනට අනාවැකි පළ වී ඇති අන්දමට මෙම ඉලෙක්ට්‍රොනික මුදල්වල ඇති පහසුව සහ ආරක්ෂාව හේතුවෙන් කාසි සහ මුදල් නෝට්ටු භාවිතය ලොවෙන් තුරන් වී යන දිනය වැඩි ඈතක නොවන බව පැවසීමේ වරදක් නැහැ.

කවරයේ පින්තූරය : © Juan Luis Nogués Sánchez

Related Articles