Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බලවත් ජාතීන් තුනකට යන-එන මං නැති වූ සූවස් ඇළ අර්බුදය

එදා මෙදාතුර ඊජිප්තුවේ බිහි වූ විශිෂ්ටතම නායකයා ලෙස එරට රටවැසියන් සලකන්නේ ගමාල් අබ්දෙල් නසාර් ව යි. ඊජිප්තුවට පමණක් සීමා නොවූ ඔහුගේ බලපෑම අනෙක් අරාබි රටවල් කරාද පැතිර යනවා. බොහෝ අරාබි රටවල් ප්‍රමාණයක නායකයන් ඔහුට හදවතින් ම ගරු කළ බව ද, තවත් මුලධර්මවාදී නායකයන් ස්වල්ප ප්‍රමාණයක් ඔහු කෙරේ ඇති බයෙන් ඔහුට ගරු කළ බව ද සදහන් කළ යුතු යි. තවද, ඔහු ව අරාබි ජාතිකත්වයේ නියමුවා ලෙස ද සඳහන් කළ හැකි යි.

කෙසේ හෝ එවකට අරාබිකරයේ පරමාදර්ශී නායකයා වූයේ අබ්දෙල් නාසාර් නම් මේ ඊජිප්තු නායකයා යි. ඔහු රටවැසියන් අතර මෙන්ම අරාබි ලෝකයේ වඩා ජනප්‍රිය වීමට මුලික ම හේතුව වන්නේ  1965 වසරේ දී ඇති වූ සූවස් ඇළ අර්බුදය යි. එම අර්බුදයෙන් දේශපාලනික වශයෙන් ජයග්‍රහණය ඊජිප්තුවට හිමි වීමත් සමග එතෙක් අරාබි ලෝකයේ නායකයෙකුට ලබා ගත හැකි උපරිම ගෞරවය ඔහු තම රටේ වැසියන්ගෙන් මෙන්ම අසල්වැසි රටවල රාජ්‍ය නායකන්ගෙන් ලබා ගන්නවා.

සූවස් ඇළ නිර්මාණය වීම

සූවස් ඇළ (Map Archive)

යුරෝපයේ සිට ආසියාවට පැමිණෙන නෞකා අප්‍රිකානු මහද්වීපය වටා ඉතා විශාල දුරක් යාත්‍රා කර අනතුරුව ආසියාවට ළඟා විය යුතු ව තිබුණා. නමුත් මෙම මාර්ගය කෙටි කිරීම සඳහා ඊජිප්තුව හරහා මධ්‍යධරණි මුහුද හා රතු මුහුද යා කරමින් ඉන්දියන් සාගරයට පිවිසීම සඳහා සූවස් ඇළ නිර්මාණය වෙනවා.

එම ඇළ ප්‍රංශ රජයේ වුවමනාව මත නිර්මාණය වූ අතර, වැඩ ආරම්භ කර වසර 10කින් එනම් 1869 වසරේ දී මෙය විවෘත කරනවා. මෙම ඇළේ පාලන බලය හිමිවන්නේ ප්‍රංශයේ හා බ්‍රිතානයේ වෙළඳ සමාගම්වලට යි. මේ හරහා ගමන් කරන වෙළඳ නෞකාවලින් ඉතා අධික ලාභයක් ලැබීමට එම සාමාගම්වලට හැකියාව ලැබෙනවා.

සූවස් ඇළ අර්බුදය ගොඩනැඟෙන්නේ මෙම ඇළ එවකට ඊජිප්තු ජනාධිපතිවරයා විසින් ජනසතු කර එහි ආදායම ඊජිප්තු රජයට පවරා ගැනීමට තීරණය කිරීමත් සමග යි.

අර්බුදය නිර්මාණය වෙන්නේ කොහොමද?

අබ්දෙල් නසාර් (CairoScene)

නයිල් ගඟ ආශ්‍රිත ව ජල විදුලිය ලබා ගැනීමේ පළමු පියවර ලෙස අස්‌වාන් වේල්ල ඉදිකිරීමේ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු බැංකුවක් හා ගිවිසුමකට එළඹෙන නමුත්, අස්වාන් වේල්ල ඉදිකිරිම ආරම්භ කිරීමට මත්තෙන් ඇමෙරිකානු රජය විසින් ණය මුදල් දීම අත්හිටුවීමට තීරණය කරනවා.

එයට මූලික ම හේතුව වන්නේ එවකට ඊජිප්තු පාලනය, සෝවියට් දේශය සමග ඉතා කිට්ටු රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වී ම යි. ඊජිප්තු පාලනය විසින් කොමියුනිස්ට්වාදී සෝවියට් සමූහාණ්ඩුවෙන් අවි ආයුධ තොග වශයෙන් මිල දී ගැනීම ධනවාදී ඇමෙරිකානු පාලනයට ඉවසීමට නොහැකි වූ සිදුවීමක් ලෙස හඳුන්වාදිය හැකි යි.

අස්වාන් වේල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා නොදීම හේතුවෙන් එයට එකකට එකක් කිරීම ලෙසත් අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහාත් සූවස් ඇළ මාර්ගය ජනසතු කිරීමට අබ්දෙල් නසාර් තීරණය කරනවා. ඒ අනුව 1956 ජූලි මාසයේ දී සූවස්‌ ඇළ ජනසතු කෙරෙනවා. ඊට පෙර ද ඊජිප්තුව හා බටහිර රටවල් අතර සූවස් ඇළ සමබන්ධයෙන් මත ගැටුම් ඇති වී තිබුණ ද එම අවස්ථා මෙතරම් උග්‍ර තත්ත්වයට හැරෙන්නේ නෑ.

ප්‍රංශය, බ්‍රිතාන්‍ය, හා ඊශ්‍රායලය, ඊජිප්තුවට එරෙහිව

බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදා (iwm.org.uk)

මෙම අර්බුදය අවස්ථාවේ සෝවියට් දේශය ඊජිප්තු පාර්ශවය ගෙන ක්‍රියා කළ අතර, බටහිර රටවල් මුලිකත්වයෙන් රටවල් 22ක් සමග සූවස් අර්බුදය පිළිබඳ ව අන්තර්ජාතික සමුළුවක් අගෝස්තු 16 වන දා ලන්ඩනයේ පැවැත්වෙන අතර, ඒ සඳහා සහභාගී වීම නාසාර් විසින් ප්‍රතික්ෂේප කරනවා. ඉන් රටවල් 18ක් ම සූවස් ඇළ ඊජිප්තු රජයට හිමි වීම පිළිබඳ ව තම අකමැත්ත ප්‍රකාශ කරනවා. නමුත් එම යෝජනාව පිළිගැනීම ඊජිප්තුව විසින් ප්‍රතික්ෂේප කරනවා.

සැප්තැම්බර් මාසයේ මැදභාගය වන විට සූවස් ඇළ මාර්ගයේ ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන් ම පාහේ ඊජිප්තුව විසින් පාලනය කරන අතර, ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම සපයන්නේ සෝවියට් දේශය යි.

මෙම තත්ත්වය හමුවේ එක්සත් ජාතීන් විසින් නිසි පියවරක් නොගන්නේ නම් ඊජිප්තුව ආක්‍රමණය කර සූවස් ඇළ අර්බුදය විසඳා ගතයුතු බව එවකට ඊශ්‍රායල් විදේශ අමාත්‍යවරිය වන ගෝල්ඩා මෙය ප්‍රකාශ කරනවා.

ඔක්තෝම්බර් 29 වන විට ඊශ්‍රායල් හමුදාව පහර දීම ආරම්භ කරන අතර, එක්සත් ජාතීන්ගේ විරෝධතාවය නොසලකා හරිමින් ප්‍රංශ හා බ්‍රිතාන්‍ය හමුදා පැරෂුට් බලකායන් සූවස් ඇළ ප්‍රදේශයට ගුවනින් අවතීරණය වෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදෙයේ උදාසීනත්වය හා එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම

ප්‍රංශ හමුදා විසින් ඇළ මාර්ගයේ ඊජිප්තු කම්කරුවන්ව අත්අඩංගුවට ගැනීම (www.alaraby.co.uk)

මෙම ක්‍රියාවලියේ දී ඇමෙරිකා එක්සත් ජනපදය බටහිර රටවල් සමග එකතු වී හමුදා ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ නොවීම විශේෂ සිදුවීමක් ලෙස දැකිය හැකි යි. ඒ හේතුව හා එක්සත් ජාතීන්ගේ බලවත් විරෝධතාව යන හේතූන් නිසා නොවැම්බර් 29 වන දා වන විට ඊජිප්තුවට එරෙහි හමුදා මෙහෙයුම් අකමැත්තෙන් හෝ නැවැත්වීමට ආක්‍රමණික රටවල් තුනට සිදුවෙනවා.

ආක්‍රමණය ඉවත් කළ පසු එක්සත් ජාතීන්ගේ හමුදා මැදිහත්වීම (www.history.com)

දෙසැම්බර් 24 වන දා වන විට සියලු මෙහෙයුම් නවත්වා ප්‍රංශ හා බ්‍රිතාන්‍ය හමුදා නැවතත් තම මවු රට බලා පිටත් වන අතර, ඊශ්‍රායල් යුධ සිරකරුවන් හතර දෙනෙක් වෙනුවෙන් ඊජිප්තු යුධ සිරකරුවන් 5580 දෙනෙක් හුවමාරු කරගැනීමට ද ඊශ්‍රායලයට සිදුවෙනවා.

ලැබූ මේ ජයග්‍රහණයත් සමග උද්දාමයට පත්වෙන එරට වැසියන් වීදි බැස ජය ඝෝෂා පවත්වන අතර, තමාගේ එකම ගැලවුම්කරුවා අබ්දෙල් නාසාර් බව ප්‍රකාශ කරනවා.

ගමාල්ගේ වීදි සංචාරය (BT.com)

අර්බුදය නිම වීමෙන් පසුව එරට තිබූ ප්‍රංශ හා බ්‍රිතාන්‍ය සමාගම් හි දේපළ ජනසතු කරන අබ්දෙල් නසාර්, සූවස් ඇළ හරහා ඊශ්‍රායල් නෞකා ගමනාගමනය ද තහනම් කරනවා.

1957 අප්‍රේල් 19 වන දා පළමු බ්‍රිතාන්‍ය නැව සූවස් වෙත ඇතුළු වෙන්නේ ඊජිප්තුවට අදාළ බදු මුදල ගෙවීමෙන් පසුව යි.

කවරයේ පින්තූරය: විනාශ වී ගිය ඊජිප්තු යුද ටැංකි (Wikipedia)

මූලාශ්‍රයයන්:

thoughtco.com

bbc.com

history.com

britannica.com

Related Articles