පෙර ලිපියක දී උඩරට රාජධානියේ අධිකරණය හා දණ්ඩ නීතිය පිළිබඳ කියෙව්වා ඔබට මතක ඇති. මෙම ලිපියෙන් කීමට යන්නේ උඩරට රජ කෙනෙකු මියගිය විට සිදු කරන චාරිත්‍ර පිළිබඳව යි. පළමුව රජකෙනෙකු මියගිය විට අලුත් රජකෙනෙකු පත් කරගන්නා ආකාරය සැකෙවින් සොයා බලමු.

රජ කෙනෙකු මියගිය විට එසැනින්ම රටේ ජනතාවට රජතුමා මියගියා යැයි පවසන්නේ නැත. රජතුමා රෝගාතුර බවට ප්‍රකාශයක් නිකුත් කර, රාජ්‍යයේ ඇමතිවරු එක්රැස් වී ඊළඟට රජකම ලබා ගන්නා පුද්ගලයා කවුරුන්දැ යි තීරණය කරයි. මේ උදෙසා රටේ වැදගත් පුද්ගලයන්ට නුවරට ඒමට ආඥා නිකුත් කරයි.

පිළිමතලාවේ අදිකාරම්. (aagiyakatha.blogspot.com)

රජකම සදහා වූ උරුමක්කාරයා මතබේදාත්මක නම්, අදිකාරම්වරු ඒ සදහා සුදුසු අය යෝජනා කර, ප්‍රධානීන්ගේ ඒකමතික කැමැත්ත ලබා ගනියි. උරුමක්කාරයා මතබේදාත්මක නැත්නම් ඊළඟට සිදු කරන්නේ ඔහුගේ නිවස ආරක්ෂා කිරීමට හේවායන් යැවීම යි. මෙයින් ජනතාවට රජතුමා මියගියා යැයි ඉඟියක් ලැබේ. රජතුමා ඉතා රෝගාතුර බවත්, සිදුවීමට යන ඛේදජනක අවස්ථාවට මුහුණදීමට සූදානම් වන බවත් පවසා නැවත ආඥාවක් ජනතාවට යවයි.

ඉන්පසු සිදු කරන්නේ එක් එක් දිස්ත්‍රික්ක වලින් ජනයා ගෙන්වා ඔවුන්ට රජතුමාගේ රෝග තත්ත්වය ඉතා අසාධ්‍ය බව පැවසීම යි. එක් දිස්ත්‍රික්කයකින් එක් පුද්ගලයෙක් බැගින් ගෙන, ඔවුන්ට ඊළඟට රජකමට පත් වීමට සිටින තැනැත්තා පෙන්වයි.

සෙංකඩගල රජ මාලිගය (aagiyakatha.blogspot.com)

දැන් අදිකාරම්වරුන් මඟුල් මඩුවට රැස් වෙයි. එහි දී ජනතාව ද ඔවුන් ඉදිරිපිට රැස්ව සිටියි. රජතුමා රෝගාතුර බැවින් ජනතාව ඉන්පසු කුමක් කිරීමට කැමැත්තෙන් සිටීදැයි අදිකාරම්වරුන් ජනතාවගෙන් විමසයි. මෙවිට ජනතාව, ඔවුන්ට පෙර දී පෙන්වූ කුමාරයා රජකමට සුදුසු බව පවසයි. ඉන්පසු අදිකාරම්වරුන් මෙය ජනතාවගේ තීරණයක් බවත්, පසුව ඔහුගෙන් සිදුවන දෑ පිළිබඳ තමන්ට දෝෂාරෝපණය නොකළ යුතු බවත් පවසයි. මේ වන විට රජතුමා මිය ගොස් ඇති බව පැහැදිලි යි.

රාජකීය සළුපිළි භාරව සිටින ප්‍රධානියා වන සළුවඩන නිලමේ සහ දියවඩන නිලමේ විසින් රජකම ලැබීමට සිටින කුමාරයා හට සළුපිළි හා රාජකීය ආභරණ ලබා දේ. කුමාරයා ඒවාත් පැළද දෝලාවෙන් දළදා මාළිගයට පැමිණ, දළදා වහන්සේ වැද මල් පූජා කරයි. ඉන්පසු ඔහු යන්නේ පත්තිරිප්පුව වෙතයි. නොඑසේනම් දළදා මාළිගාවේ ඉහළ මළුව වෙත යි. දළදා මාළිගාව ඉදිරිපිට රැස්ව සිටින ජනතාව මේ අවස්ථාවේ දී කුමාරයා සිංහාසනාරූඪව සිටිනවා දකියි. ඉන්පසු බෙර වැයුම් ද නර්ථන ද කුමාරයා ඉදිරියේ පෙන්වයි. අදිකාරම්වරු ඇතුලු සියලු ප්‍රධානීන් රජතුමා ඉදිරියේ දණ්ඩ නමස්කාරය කර දිස්ත්‍රික්කය ගැන විස්තර පවසයි. පසුව කුමාරයා එතනින් පිටත්ව යයි.

මඟුල් මඩුව ඉදිරිපිට මණ්ඩපයක් සාදා, එහි වී ගොඩක් ගොඩගසා, ඒ මත පස්ලෝ බදුනක් තබා, ඒ මත මිනිසෙක් නැගී මළබෙර වාදනය කරයි. මේ රජතුමා මියගිය බවට කරන ප්‍රසිද්ධ සංඥාව යි. මියගිය රජු ආදාහනය කර අවසන් වන තුරු කුමාරයා ආහාර පාන කිසිවක් ලබා නොගත යුතු යි.

මෘත ශරීරය මිනී පෙට්ටියක බහා දෝලාවක් මගින් රාජකීය සුසාන භූමිය වෙත රැගෙන යයි. රජුගේ භාර්යාවන්, දරුවන්, ප්‍රධානීන් ඇතුලු පරිවාර ජනයා දෝලාව පිටුපස ගමන් කරයි. මෙම අවමංගල්‍ය පෙරහැර ගමන් කරනා විට හතර දෙනෙකු අල්ලා සිටින පෝරුවක් මත නැගුනු කාන්තාවන් දෙදෙනෙක් මිනී පෙට්ටියට සහල් විසි කරයි. රාජකීය සුසාන භූමියට පැමිණි පසු රටේ නොයෙක් පෙදෙස් වල සිටි භික්ෂූන්වහන්සේලා එහි වැඩම කර ධර්ම පද සඡ්ඣායනාවක් සිදු කරයි. ඉන්පසු රජතුමාගේ සිරුර මත තිබූ රෙදිපෙළි භික්ෂූන්වහන්සේලාට පිරිනමයි.

රාජකීය මෘත ශරීර ආදාහනය. (බැල්දියස් විසින් රචනා කළ Description of The East Indian Countries of Malabar, Coramandel, Ceylon කෘතියෙන්)

ඉන්පසු රාජකීය දෙණ මැදිරියක තබා දරවලින් වසා දමයි. රජතුමාගේ ඥාතියෙකු විසින් සෑයට ගිනි තැබූ පසු එම ගින්නට තෙල්, සදුන් දර, සහ නොයෙකුත් සුවද ද්‍රව්‍ය දමයි. පසුව ප්‍රධානීන් එතැනින් පිටත්ව කුමාරයා වෙත රජතුමාව ආදාහනය කළ බව දැනුම් දෙයි. ඉන්පසු කුමාරයා නිවස වෙත ගොස් ස්නානය කර පවිත්‍ර වීම පිළිවෙතයි.

චිතකයෙහි ගින්න දින 11ක් පමණ දැල්වී තිබේ. මළබෙර දිගටම වාදනය වේ. ප්‍රධානියෝ රජකෙනෙකුට කෑමට උචිත ආහාර සොහොන වෙත ගෙන ගොස් පුදපූජා කරති. පසුව කිරි හා පොල් වතුර ඉස ගින්න නිවා දමයි. එහි දී භෂ්මාවශේෂ මැටි බඳුනක දමා මුද්‍රා තබයි. රජුට පූජා කළ ආහාර හා අනෙකුත් දෑ සමග චිතකයේ ඉතිරිවූ දෑ සියල්ල එකතු කර සොහොනක් සාදයි.

රාජකීය මෘත ශරීර ආදාහනය. (රොබට් නොක්ස්ගේ එදා හෙළදිව කෘතියෙන්)

මීළඟට කළු වෙස් මුහුණක් හා කළු වතින් සැරසුනු මිනිසෙක් භෂ්මාවශේෂ කලය හිස මත තබාගෙන කඩුවක් සමග අශ්වයෙකු පිට නැගී රටේ ප්‍රධානියන් සමග මහවැලි ගඟ කරා ගමන් කරයි. එහි කටුගස්තොට නම් තොටුපලට පැමිණ, කැකුන්ගා නම් ලීයෙන් සාදන ලද ඔරු දෙකක් මත සෑදූ අඟුලකට කළු වතින් සැරසුනු පුද්ගලයා නගියි. තවත් මිනිසුන් දෙදෙනෙක් ඔහු නැගි අඟුල ගග මැදට තල්ලු කර එතනින් පිට වේ. ඒත් සමගම කළු වතින් සැරසුනු මිනිසා භෂ්මාවශේෂ මැටි භාජනය කඩුවෙන් කඩා දමා එයත් සමග හැකි උපරිම ගැඹුරකට ජලය තුලට කිමිදෙයි. එසේ කිමිදී ඔහු අනෙක් ඉවුරෙන් ගොඩ වී දිව යයි. ඔරුව ගඟ හරහා ගහගෙන යෑමට සලස්වයි. භෂ්මාවශේෂ රැගෙන ආ මිනිසා නැගි අශ්වයා ද ගඟෙන් එගොඩ කර යන්නට සලස්වයි. එම සතා නැවත කිසිදු දිනක මිනිසෙකු විසින් ප්‍රයෝජනයට නොගත යුතු විය.

මිනී පෙට්ටියට සහල් විසි කළ කාන්තාවන් දෙදෙනා ද, ඔවුන්ව ඔසවාගෙන ගිය මිනිසුන් හතර දෙනා ද ග‍ඟෙන් එගොඩ කර පිටත් කර යවයි. ඔවුන්ට නැවත ගඟෙන් මෙගොඩට ඒමට අවසරයක් නැත. මේ සියල්ල අවසන් වූ පසු ප්‍රධානීන් කුමාරයා වෙත ගොස් උත්සවය අවසන් බව දන්වයි. ඉන්පසු කුමාරයා නැවත ස්නානය කර පවිත්‍ර වෙයි.

මූලාශ්‍රයයන්:

සිංහල සමාජ සංවිධානය - රැල්ෆ් පීරිස්
එදා හෙළදිව - රොබට් නොක්ස්
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 3 කොටස , අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

කවරයේ පින්තූරය- රාජකීය අවමංගල්‍ය පෙරහැරක්. (බැල්දියස්ගේ Description of The East Indian Countries of Malabar, Coramandel, Ceylon කෘතියෙන්)