යුධ සමයේ ක්‍රෙම්ලිනය ජර්මානුවන්ගෙන් සැඟවූ හැටි

දෙවන ලෝක යුද්ධය පවතින අතරවාරයේ, 1941 ඔක්තෝබර් – නොවැම්බර් වන විට​, නට්සි ජර්මන් හමුදා සෝවියට් දේශයේ මොස්කව් නගරය අසලට පැමිණියා. සෝවියට් රජයෙන් කොටසක් කුයිබිෂෙෆ් නගරය දෙසට පළා ගිය අතර, තවත් කොටසක් මයාකොව්ස්කායා මෙත්‍රො නැවතුමේ රැකවරණ ලබා ගත්තා. නගරයේ ජනයා හැකි දේ කරපින්නා ගෙන පලා ගියා. කර්මාන්ත ශාලා හැකි පමණින් නගරයෙන් ඉවත් කරගනු ලැබුණා. මේ අවස්ථාවේ රජයට ජනතාවගේ චිත්ත ධෛර්යය නැංවීම සඳහා දැනෙන යමක් කරන්නට සිදුවුණා.

සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් මෙහි දී තීරණාත්මක තීන්දුවක් ගත්තා. සාමාන්‍ය පරිදි නොවැම්බර් 7 වනදා පැවැත්වෙන බෝල්‍ෂවික් විප්ලව සැමරුම රතු චතුරශ්‍රයේ දී වෙනදා මෙන්ම පැවැත්වීම එම තීරණය යි. එය මොස්කව් ජනයාගේ චිත්ත ධෛර්යය නැංවූ අනගි සිද්ධියක් වුණා. රතු හමුදාවේ 28,500ක් ඊට සම්බන්ධ වූ අතර, ඔවුන් රතු චතුරශ්‍රයෙන් කෙළින්ම ගියේ යුධ පෙරමුණ වෙත යි.

1941 නොවැම්බර් 7 වනදා ඓතිහාසික හමුදා පෙළපාලිය (russiainphoto.ru)

මෙම හමුදා පෙළපාලියේ ඡායාරූප දකින අයකුට නිතැතින්ම සිතෙන දෙය නම්, යුධ සමයේ ද රතු චතුරශ්‍රය වෙනදා මෙන්ම පැවති බව යි. එය නිවැරදි නැහැ. නොවැම්බර් 7 වනදා එය සම්පූර්ණයෙන් විවෘත භූමියක් සේ පෙනුණ ද, මොස්කව් අසල යුද්ධය පැවති අනෙක් දිනවල එය විවෘත භූමියක් ලෙස පැවතියේ නැහැ.

සෝවියට් පාලන තන්ත්‍රයේ කේන්ද්‍රය වූයේ මොස්කව් ක්‍රෙම්ලීනය යි. එහෙයින් ක්‍රෙම්ලීනයට ගුවන් ප්‍රහාර එල්ල වීම හැකි සෑම ලෙසම වළක්වා ගැනීමට සෝවියට් බලධාරීන්ට අවශ්‍ය වුණා. ඒ සඳහා ඔවුන් විවිධ උපක්‍රම යොදාගත්තා. රතු චතුරශ්‍රය ද ඒ අනුව වෙනස් කරනු ලැබුණා.

ක්‍රෙම්ලිනය සැඟවීම​

යුධ අවස්ථාවක දී, ඉහළ අහසෙහි සිට බලන විටෙක ක්‍රෙම්ලිනය දර්ශනය නොවන සේ සැඟවීම පිළිබඳ මුලින්ම අවධානය යොමු වී තිබුණේ ජර්මන් ආක්‍රමණයට ද පෙර යි. ක්‍රෙම්ලිනයෙහි හමුදා අණදෙන නිලධාරී නිකොලායි ස්පිරිදනොෆ් ඒ පිළිබඳ අදහස් දක්වා තිබුණා. ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කර දින කිහිපයක් ඇතුළත ස්පිරිදනොෆ් සිය අවසන් සැලැස්ම ඉදිරිපත් කළා.

ඔහු මුහුණ දුන් ප්‍රධාන අභියෝග දෙකක් වුණා. එකක් නම් ඉහළ අහසේ සිට ක්‍රෙම්ලිනය දර්ශනය වීම වැළැක්වීම යි. අනෙක නම් බෝම්බ හෙළන යානා විසින් කිමිදෙමින් එල්ල කරන ප්‍රහාර, ක්‍රෙම්ලිනය තුළ වූ ගොඩනැගිලි වෙත එල්ල වීම සීමා කිරීම යි.

රතු චතුරශ්‍රය 1941 ජූනි මාසයේ දී (Sputnik)

ක්‍රෙම්ලිනය පැහැදිලිව පෙනෙන ත්‍රිකෝණාකාර පවුරකින් සමන්විත කොටසක්. එම පවුරේ දිග කිලෝමීටර් දෙකකට මඳක් වැඩි යි. එමෙන්ම එහි කුළුණු 20ක් වන අතර ඒවා පවුරට වඩා සැලකිය යුතු උසකින් යුතු යි. ඊටත් අමතරව​, ක්‍රෙම්ලින් භූමිය තුළ පිහිටි ආසන දෙව් මැදුරු සහ වෙනත් ගොඩනැගිලි සමහරක් පැහැදිලිව පෙනෙන ආකාරයේ ඒවා යි. තවද, ක්‍රෙම්ලිනයේ එක් පසෙක සීමාවෙහි වන රතු චතුරශ්‍රය ද පැහැදිලිව පෙනෙන හිස් ඉඩක් වනවා.

මේ සියලු කරුණු සමග​, ක්‍රෙම්ලිනය සැඟවීමේ කාර්යය භාර දෙන ලද්දේ එකල ප්‍රකටම සෝවියට් ගෘහනිර්මාණ ශිල්පියා වූ බොරිස් ඉයොෆාන් වෙත යි. ක්‍රෙම්ලිනයෙහි ප්‍රධාන උස් කොටස් ඒ අවට ප්‍රදේශ හා එකට බැඳී සිටින අයුරින් පෙනෙන සේ පින්තාරු කිරීම ඔහුගේ අදහසක් වුණා.

ඉයොෆාන්ගේ සැලසුම (Archive Photo)

පින්තාරු කිරීමේ කටයුතු 1941 ජූනි 28 වනදා අරඹන ලද අතර​, අගෝස්තු මාසය වන තෙක් එම කටයුතු සිදුවුණා. ඊට රතු හමුදාව යොදවනු ලැබුණා.

ඉවාන් ග්‍රොස්නි ඔරලෝසු කණුව, ක්‍රෙම්ලිනයෙහි තරු සහ ආසන දෙව් මැදුරුවල ඉහළ කොටස් ආවරණය කෙරුණා. ඉන් අනතුරුව ඒවා මත තීන්ත ආලේප කළේ ඒවා අවාට පරිසරය හා මුසු වන ලෙසයි. ප්‍රධාන කුළුණු තට්ටු නිවාස සේ පෙනෙන්නට සැලැස්වූ අතර ක්‍රෙම්ලින් තාප්පයෙහි වීදි පින්තාරු කෙරුණා.

ලෙනින් සමාධිය ද ආවරණය කරන ලද අතර එය දැවයෙන් කළ නිවසක් මෙන් දිස් වුණා. ලෙනින්ගේ සිරුර 1941 ජූලි 3 වනදා මොස්කව්වලින් ඉවත ගෙන යනු ලැබුණා. ලෙනින් සමාධිය සම්පූර්ණ යුද්ධ සමයේම පාහේ ආවරණය කරනු ලැබ තිබුණා. ලෙනින්ගේ සිරුර ද යළි මොස්කව් වෙත ගෙනෙන ලද්දේ 1945 දී යි.

ලෙනින් සමාධිය මතින් ඉදි වූ දැව නිවස​ (Archive Photo)

රතු චතුරශ්‍රයේ විවෘත භූමිය සැඟවීමට එහි ව්‍යාජ ගොඩනැගිලි ඉදි කිරීමට කටයුතු කෙරුණා. 1941 නොවැම්බර් 7 වනදා පෙළපාලියට පෙර ඒවා ඉවත් කෙරුණ අතර පෙළපාලියෙන් පසු යළි එම ව්‍යාජ ගොඩනැගිලි ඉදි කරනු ලැබුණා.

සාර්ථකත්වය​

සෝවියට් නිරීක්ෂණ යානා මීටර 1,000ක උඩක සිට නගරය නිරීක්ෂණය කරමින් තම සැඟවුම් උපක්‍රම සාර්ථක බව වටහා ගත්තා. ඒ අනුව ජර්මන් නියමුවන්ට ක්‍රෙම්ලිනය සොයාගැනීම අපහසු බව සෝවියට් නියමුවන්ගේ මතය වුණා.

කෙසේ නමුත්, ජර්මන් යානා පහතට පැමිණියේ නම් මෙම සැඟවීම් නිරීක්ෂණය කිරීමේ යම් ඉඩක් තිබුණා. එය වැළැක්වීමට නම් ජර්මන් යානා පහතට පැමිණීම වැළැක්විය යුතු වුණා. මේ සඳහා මොස්කව් හි ගුවන් ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කෙරුණා. එහෙයින් ගුවන් යානාවලට දැඩි ප්‍රහාරයන්ට ලක් නොවී පහතට පැමිණීම පහසු වූයේ නැහැ. මෙහි ප්‍රතිඵලය වූයේ ජර්මන් ගුවන් යානා කිලෝමීටරයකට වඩා ඉහළ සිට හෝ රාත්‍රී කාලයේ හෝ මොස්කව් වෙත පහර දීමට පැමිණීම යි.

අගෝස්තු 21-22 රාත්‍රියේ මුල් වරට ජර්මන් බෝම්බ හෙලන යානා මොස්කව් වෙත පහර දුන්නා. එදින ක්‍රෙම්ලිනය සැඟවුම් කටයුතු නිමවා තිබුණේ නැහැ. විශාල බෝම්බයක් මහා ක්‍රෙම්ලින් මන්දිරයේ වහල පසාරු කරගෙන සාන්ත ජෝර්ජ් ශාලාවට වැටුණා. එහෙත්, ප්‍රාතිහාර්යයකට මෙන් එය පුපුරා ගියේ නැහැ.

සමාන්‍යයෙන් ගත් විට​, මොස්කව් ක්‍රෙම්ලිනය ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂා වුණා. යුධ සමයේ දී මොස්කව් වෙත ගුවන් ප්‍රහාර 141ක් එල්ල වූ නමුත්, ක්‍රෙම්ලිනයට බෝම්බ හෙලන ලද්දේ අට වතාවක් පමණයි.

ක්‍රෙම්ලිනය මෙන්ම ගුවනෙහි සිට පැහැදිලිව පෙනෙන ඇතැම් ස්ථාන මෙන්ම කර්මාන්තශාලා වැනි ඉලක්ක විය හැකි ස්ථාන ද ගුවනෙහි සිට නොපෙනෙන පරිදි සඟවා දමනු ලැබුණා. මෙය, මොස්කව් වෙත එල්ල වූ ජර්මන් ගුවන් ප්‍රහාර සිතූ තරම් සාර්ථක නොවීමට හේතු වුණා.

Related Articles