Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අවුරුදු තුන් දහසකට පෙර අපේ මුතුන්මිත්තෝ යකඩ හැදූ හැටි

ඩොලර් හිඟය නිසා පිටරටින් යකඩ ගෙන්වීම ගැටලුවක් වී ඇති බවත් යකඩ කම්බි ඇතුළු නිෂ්පාදන තුන් ගුණයකින් මිල වැඩි වී ඇති බවත් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ පැවසුණා. අද යකඩ ඇණය පවා පිටරටින් ගෙන්වන අප අදින් අවුරුදු 2900කට පෙර යකඩ නිපදවා පිටරටට පවා අලෙවි කළ බව පුරාවිද්‍යා සාධකවලින් හෙළිවී තිබෙනවා. මේ අපේ පුරාණ යකඩ තාක්ෂණය ගැන කළ සොයා බැලීමක්.

 සීගිරියෙන් ලැබුණු වානේ භාණ්ඩ- knl.ac.lk

පූර්ව ඓතිහාසික යුග

මහාවංශයට අනුව අපේ ලෝහ තාක්ෂණය ක්‍රිස්තු පූර්ව 3000 දක්වා පැරණි යි. පූර්ව ඓතිහාසික යුගවල දී අප ලෝහ තාක්ෂණය දැන සිටි බව මහා ශිලා සුසානවලින් හමුවන ලෝභ භාණ්ඩවලිනුත් ඔප්පුවන කරුණක්. අතීතයේ දී අප රටේ මුලින් ම භාවිත කළ ලෝහය වුණේ තඹ යි.  යකඩ නිපදවා භාවිතය ආරම්භ කර ඇත්තේ ඉන්පසුව බවත් පැහැදිලි වී තිබෙන කරුණක්.

 ශ්‍රී ලංකාවේ තඹ ලෝහය භාවිතයට අරගෙන අවුරුදු 5000කට පමණ කාලයකට පසුව යි, යකඩ නිපදවීම සහ භාවිතය සිදු වී තිබෙන්නේ.  ඉතා උසස් තත්ත්වයේ යකඩ නිපදවූ ලාංකිකයන් එම ලෝහ පිටරටවලට අපනයනය කළ බවට ද සාධක ඓතිහාසික මූලාශ්‍රවලින් හමුවෙනවා. ලංකාවේ යකඩ තාක්ෂණය ක්‍රිස්තු පූර්ව 900- 1000 දක්වා ඈත කාලයකට ( අදින් වසර 2900කට ඉහත) අයත් බව සීගිරිය අලකොළ වැව පුරාවිද්‍යා කැණීම්වලින් පැහැදිලි වුණු කරුණක්.

 ස්වභාවික පරිසරයේ හමුවන යකඩ බහුල යපස් සහිත ගල්වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කළ යුතු යි. යකඩ උණුවීමට සෙල්සියස් අංශක 1538 ක උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට කාර්යක්ෂම තාක්ෂණයක් තිබීම අවශ්‍ය වෙනවා. යපස්වලින් යකඩ වෙන් කර ගැනීමට අතීතයේ යොදාගත් යකඩ උදුන් බලංගොඩ සමනළවැව. සීගිරිය අලකොළ වැව සහ දඹුල්ලේ වෑවල, පුත්තලම දිස්ත්‍රික්කයේ පනිරෙන්ඩාව, රිදීගම ආදී ස්ථානවලින් හමුවී තිබෙනවා. 

රොබට් නොක්ස්, ජෝන් ඩේවි, ආනන්ද කුමාරස්වාමි වැනි විද්වතුන් මහනුවර යුගයේ පැවති අපේ පැරණි සම්ප්‍රදායික ලෝහ තාක්ෂණය ගැන සඳහන් කර තිබෙනවා. පසුගිය සියවසේ මුල්  කාලය වන තෙක් පැවති සම්ප්‍රදායික ලෝහ තාක්ෂණය පසුව අපෙන් ගිලිහිලා ගියා.

ඉබ්බන්කටුව සුසානය- tripadvisor.com

 

ඉන්දියාව සමඟ සම්බන්ධයක්

ලංකාවේ ලෝහ කර්මාන්තයට   අර්ධද්වීපික ඉන්දීය මහා ශිලා සංස්කෘතික කණ්ඩායම් සමඟ සම්බන්ධතා තිබෙන බව ආචාර්ය සිරාන් දැරණියගල හා ආචාර්ය සුදර්ශන් සෙනවිරත්න පෙන්වා දී තිබෙන කරුණක්. ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ යකඩ ලබා ගැනීමට භාවිත කර තිබෙන ලෝහ අමුද්‍රව්‍ය ලෙස හෙමටයිට් (Hematite) හා ලිමොනයිට් (Limonite) මෙන්ම මැග්නයිට් ( Magnetite) ප්‍රධාන වුණු  බව සුදර්ශන් සෙනෙවිරත්න සඳහන් කර සිටිනවා. හෙමටයිට් හා ලිමොනයිට්   උතුරුමැද පළාතේ හා වයඹ පළාතේ දී පොළොව මතුපිටින් හඳුනාගත හැකි බව පුරාවිද්‍යා පර්යේෂණවල දී හෙළිවී තිබෙනවා.

ක්‍රි. පූ. 1000 – 800 අතර කාලයේ දී  ලෝහ වර්ග නිපදවීමේ තාක්ෂණය උතුරුමැද හා වයඹ පළාතේ පෙදෙස්වල, අනුරාධපුර ඇතුළුනුවර, යාන්ඔය නිම්නය, ඉබ්බන්කටුව, අන්දරවැව, යාපහුව පිංවැව ගල්සොහොන් කනත්ත, පොල්පිතිගම ආදී ප්‍රදේශවල සිදුවූ  බව මේ වන විට හඳුනා ගෙන තිබෙනවා.  ශ්‍රී ලංකාවේ ලෝහ තාක්ෂණයේ වර්ධනයක්  ක්‍රිස්තු පූර්ව 700න් පසුව ඇතිව තිබෙන බව අනුරාධපුරය ඇතුළු නුවර හා වයඹ පොම්පරිප්පුවලින් හමු වී ඇති ලෝහ සාධකවලින් තහවුරු වී තිබෙනවා. ඒ වනවිට හොඳ යකඩ සහ වානේ නිපදවීමට අපේ ශිල්පීන් දැන සිට තිබෙනවා.

සමනළවැව යකඩ උදුනක් ( නැවත ප්‍රතිනිර්මාණය කළ)- facebook

බලංගොඩ යකඩ

 ලංකාවේ යකඩ නිස්සාරණය කිරීමේ පැරණි තාක්ෂණය ගැන උදාහරණ සපයන ප්‍රධාන ස්ථානයක් තමයි බලංගොඩ සමනළවැව. සමනළවැව ජලාශයට එම යකඩ උදුන් පිහිටි පෙදෙස යට වී ගියා.  1900 ආරම්භය වන විටත් බලංගොඩ අවට යකඩ නිපද වූ බව ආනන්ද කුමාරස්වාමි සඳහන් කරනවා. වර්ෂ 1908 දී මුද්‍රණය කෙරුණු ආනන්ද කුමාරස්වාමිගේ මධ්‍ය කාලීන සිංහල කලා කෘතියේ ලංකාවේ පැවති යකඩ කර්මාන්තය ගැන බොහෝ කරුණු ඇතුළත් කර තිබෙනවා.

ඔහු පවසන අන්දමට ඒ වනවිට ලංකාවේ යපස්වලින් යකඩ නිපදවීම සිදුකෙරී ඇත්තේ බලංගොඩ පමණ යි. යකඩ වානේවලට පෙරළන ක්‍රමය දන්නා මහලු මිනිසුන් දෙදෙනෙක් ඔහුට බලංගොඩ දී හමු ව තිබෙනවා. ඒ දෙදෙනාගේ අභාවයත් සමඟ එම කර්මාන්තය ද අතීතයට අයත් වන බව ඔහු සඳහන් කර සිටිනවා:

බලංගොඩ අසල හතරබාගේ යමන්නු විසින් දැනුදු යකඩ උණු කෙරේ. ලෝපස් එකතු කර ගිනි උදුනට දමා යකඩ නිස්සාරණය කර ගනී.  උණු කිරීමට ප්‍රථම ලෝපස් කැබලි කුඩා කැබලිවලට කඩා තෙතමනය පහ කරනු පිණිස රත් කරනු ලැබේ. ගිනි උදුන ක්‍රියා කරන්නේ මයිනහම මගිනි. ලිපේ පත්ල වැලිවලින් වසනු ලැබේ. ඒ අතර නොකඩවා මයිනහමෙන් සුළං එවනු ලැබේ. තෙපැයකට හෝ ඊට වැඩි කාලයකට පසු යකඩ තැනී තිබේ. ලංකාවේ වානේ කර්මාන්තය දැනටම මැරී තිබේ. ළඟදී වෙළෙදාම සදහා වානේ නොසාදන ලදී. එසේම එය සාදන මහලු මිනිසුන්ට වැඩි කලක් ජීවත් විය නොහැක‍. එහෙත් පවුල් කිහිපයක් යකඩ උණු කිරීමේ රක්ෂාවෙහි අඩ වශයෙන් යෙදී සිටිති. ( මධ්‍යකාලීන සිංහල කලා- 187 පිට)

මෙසේ සාදන යකඩ මෘදු බවත්, එක් ගුලියක් රාත්තල් හයක් පමණ බර බවත් කුමාරස්වාමි සඳහන් කරනවා. නිපදවන එක් යකඩ ගුලියක් ආයුධ තැනීමට ආචාරින්ට විකුණන්නේ ශත පනහකට බවයි ඔහු පවසන්නේ.

 සමනළවැව යකඩ උදුන් ගැන මහාචාර්ය ජූලිෆ් පර්යේෂණ කරමින්- Lifetravelerlk

සමනළවැව යකඩ උදුන්

සමනළ වැව ජලාශය තැනීමට පෙර ජලාශයට යටවන බිම් පෙදෙස්වල 1988 දී කළ පුරාවිද්‍යා සමීක්ෂණයේ දී තමයි මුලින් ම පුරාණ යකඩ උදුන් හමුවුණේ. එහිදී යකඩ හා සම්බන්ධ ස්ථාන 139ක් හමු වුණා. පසුව 1990 දශකයේ මුල් භාගයේ සමනළ වැව නිම්නයේ වැඩිදුරටත් සිදු කළ පුරාවිද්‍යා ගවේෂණවලින් යකඩ නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ පැහැදිලි සාක්ෂි හමු වුණා.

ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී පමණ සමනළ වැව යකඩ නිස්සාරණය කර තිබෙනවා. ඒ සඳහා යොදා ගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිත කර ඇත්තේ ස්වභාවික සුළං බලය යි. උදුන් සහිත ස්ථාන 41ක් ගැන සාධක එළිදරව් වුණා.

 යකඩමරං ගස්- Wasithaya.blogspot.com

 

යකඩ සහිත ස්වභාවික ගල් කැබලි කොටා මැටියෙන් සකස් කළ උදුන්වලට දමා ඒ මතට අඟුරු  එකතුකර  සවස ගිනි දැල්වීමෙන් පසු ස්වභාවික සුළං ධාරාවල බලයෙන් පසු දින අලුයම තෙක් උදුන ඇවිළී  යකඩ වෙන්වීම සිදු ව තිබෙනවා.

මෙම යකඩ නිස්සාරණයට යොදාගෙන ඇත්තේ ලිමොනයිට් හා හෙමටයිට් යන යපස් බහුල  ගල් වර්ග යි. මෙම උදුන්වල ගිනි දැල්වීමට ‘මරං’ හෙවත් යකඩ මරං නමින් හැඳින්වෙන ගස් පුළුස්සා ලබා ගන්නා අඟුරු භාවිත කර තිබෙනවා.   අදත් බලංගොඩ අවට මරං ගස් සුලබ ව දැකගත හැකි යි.

 සමනළවැව යකඩ උදුන් ක්‍රියාත්මක වන අයුරු – slideplayer.com

පුරාවිද්‍යා සාධක

පුරාවිද්‍යා ගවේෂණවලදී මුලින්ම බෙලිහුල් ඔයට දකුණෙන් පිහිටි ගලේවලහින්න ප්‍රදේශයෙන් මීටර් 10 x 10 ප්‍රමාණයේ හොඳ තත්ත්වයේ පැවති උදුන් හතරක් සොයා ගැනීමට හැකි වුණා. මේ එක උදුනක් මීටර් 2ක ගැඹුරින් යුතුයි. යකඩ නිෂ්පාදනයේ දී අපද්‍රව්‍යයක් ලෙස පිටවන යබොර උදුනෙන් ඉවත් කිරීමට භාවිත කළ  මැටි නළ ද උදුන් ආශ්‍රිත ව හමු ව තිබෙනවා. පුරාවිද්‍යා කාලනිර්ණ අනුව මේ උදුන් ක්‍රිස්තු වර්ෂ 7 – 10 අතර කාල සීමාවට අයත්. උදුන් තනා තිබුණේ බෙලිහුල්ඔයට  ඉහළින් කඳු බෑවුමේ බටහිරට මුහුණ දෙන අයුරින්.

සියලුම උදුන්   කඳු බෑවුමේ සුළං කපොල්ලක එකම උස් මට්ටමකින් තිබීම විශේෂත්වයක්. මේ කඳු බෑවුමට මැයි – අගෝස්තු දක්වා දැඩි මෝසම් සුළං ධාරාවක් ලැබෙනවා.  එය පැයට කිලෝමීටර 70 ක පමණ වේගවත්. එම සුළං ධාරා උදුන් තුළට හරවා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දී යපස්වලින් යකඩ වෙන් කිරීම සඳහා වැඩි උෂ්ණත්වයක් ලබා ගෙන තිබෙනවා.

 අලකොළවැව යකඩ උදුන් ගැන නිකුත් කළ මුද්දරයක්- Jungle.com

සමනළවැව යකඩ තාක්ෂණය ගැන එංගලන්තයේ ජීන් ජූලිෆ් ආචාර්ය උපාධි නිබන්ධයක් රචනා කළ අතර ඉන් පසු ලෝකය පුරා ඒ ගැන අවධානයක් යොමු වුණා‍. පසුව 2013 දී මහාචාර්වරියක ලෙස නැවත ලංකාවට පැමිණි ඇය බලංගොඩ බෙලිහුල්ඔය කිංචිගුණේ ප්‍රදේශයට ගොස් පුරාණ ක්‍රමයට යකඩ උදුනක් කඳු බෑවුමක සකස් කර ස්වභාවික සුළං බලයෙන් යපස්වලින් යකඩ වෙන්කර ගැනීම අත්හදා බැලුවා. එම පර්යේෂණ කටයුත්තටත් ලොව පුරා අවධානයක් යොමු වුණා.

සීගිරිය අලකොළවැව

මධ්‍යම පළාතට අයත් සීගිරියට නුදුරු අලකොළ වැව දෙහිගහ ඇළකන්ද නම් ප්‍රදේශයෙන් සොයා ගත් පැරණි යකඩ උදුන් අපේ යකඩ තාක්ෂණය ගැන තවත් උදාහරණ සපයන තැනක්. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය රෝස් සෝලංගආරච්චි ඇතුළු පර්යේෂකයන් 1990 දශකයේ මේ ගැන අධ්‍යයනය කර තිබෙනවා. එම ස්ථානයේ විශාල වශයෙන් යකඩ නිපදවූ බවට සාධක හමු ව තිබෙනවා.  

 අලකොළවැව යකඩ උදුන්වල වායු නල- knl.ac.lk

 

අලකොළවැව යකඩ උදුන් දැල්වීමට අවශ්‍ය කරන සුළං බලය ලබාගෙන තිබෙන්නේ මයිනහමක ආධාරයෙන් බව හෙළි ව තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 180 සිට ක්‍රිස්තු වර්ෂ 400 පමණ දක්වා කාලය තුළ එහි යකඩ නිස්සාරණය කර තිබෙනවා.

ගල්ගමුව අන්දරවැව

රජරට විශ්වවිද්‍යාලය මගින් වයඹ පළාතේ  ගල්ගමුව අන්දරවැව මෙගලිතික සුසානය ආශ්‍රිත ව කළ කැණීම්වලින් ලෝහ නිෂ්පාදනය ගැනත් සාධක හමු වී තිබෙනවා.  යකඩවලින් නිර්මාණය කරන ලද තල දෙකක් එම කැණීම්වලින් වාර්තා වුණු බව මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් සඳහන් කරනවා.  සුසානයට අවට කලාපයේ ස්ථාන කිහිපයකින් ලෝහ බොර විශාල වශයෙන් හමුවී තිබෙනවා.

 අන්දරවැව නිපදවූ යකඩ -archaeology.lk

ක්‍රිස්තු පූර්ව 500 පමණ කාලය වන විට ගල්ගමුව අන්දරවැව ප්‍රදේශයේ ලෝහ තාක්‍ෂණය සිදු වූ බව මහාචාර්ය තුසිත සඳහන් කරනවා. වයඹ පළාතේ යකඩ නිෂ්පාදනය ගැන සාධක රාශියක් ලැබී තිබෙනවා.  විලගෙදර පනිරෙන්ඩාව ආශ්‍රිත ව නිධිගත වී ඇති මැග්නටයිට් යපස් නිධිය තුළ ටොන් හයකට වඩා වැඩි යපස් තැන්පත්ව තිබෙන ගණන් බලා තිබෙනවා.

කවරය- සමනළවැව යකඩ උදුන් ස්වභාවික සුළඟෙන් ක්‍රියාත්මක වූ අයුරු- Lifetravelerlk 

මූලාශ්‍ර:

මධ්‍යකාලීන සිංහල කලා- ආනන්ද කුමාරස්වාමි පරි. එච්. ඇම්. සෝමරත්න

kln.ac.lk

vidusara.com

silumina.lk

repository.kln.ac.lk 

researchgate.net

Related Articles