Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දළදා මාලිගයේ පත්තිරිප්පුව රජ කාලේ හදපු හැටි

දළදා මාලිගය මුල්කර ගත් ඇසළ මංගල්ලය මේ දිනවල පැවැත්වෙනවා. දළදා මාලිගාව හැඳින්වීමට බොහෝ දෙනා යොදා ගන්නා සංකේතය තමයි එහි ඉදිරිපස මණ්ඩපය වන පත්තිරිප්පුව. දෙමහල් දළදා මාලිගය පිහිටා ඇත්තේ ගොඩනැඟිලි කිහිපයකට වට වී නිසා පිටතට පේන්නෙ නෑ.

පත්තිරිප්පුව තමයි මහනුවර දළදා මැදුරේ ඉදිරිපස පිහිටි අලංකාරවත් අගනා නිර්මාණය ලෙස සැලකෙන්නේ. මේ ගොඩනැඟිල්ල දළදා මාලිගා සංකීර්ණයට රජ කාලේ අවසන් වරට එකතු වූ අංගයයි. අපි පත්තිරිප්පුව හදපු අන්දම ගැන සොයා බලමු.

 පත්තිරිප්පුව සහිත දළදා මැදුර- ඉංග්‍රීසි පාලන සමයේ ඇඳි චිත්‍රයක්- lankapura.com

අවසන් රජුගේ දැකුම් මණ්ඩපය

දළදා මාලිගයේ ‘පත්තිරිප්පුව’ නිර්මාණයකර තිබෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ (1798-1815)  රජතුමාගේ සමයේ දි. ඔහු ඒ සඳහා උනන්දු වී තිබෙන්නේ 1811 දී බව පැවසෙනවා. රජුට අවශ්‍ය වී තිබුණේ ජනතාව ඉදිරියේ පෙනී සිටීමට සහ පෙරහර නැරඹීමට අලංකාර මණ්ඩපයක්. රජතුමා පත්තිරිප්පුව හදවන්න කලින් ඒ සඳහා සැලසුම් හා ආකෘති කැඳවලා තිබුණා. ඒ සදහා බොහෝ ශිල්පින් සැලසුම් ඉදිරිපත්කර තිබූ බව සඳහන්. මේ අතර දෙහිගම දියවඩන නිලමේ තමාගේ අදහස කෙසෙල් පිති හා පතුරු යොදා නිර්මාණය කර රජුට ඉදිරිපත් කළා. සැලසුමට ඉතාමත් කැමැත්තක් දැක් වූ රජු ඊට අනුමැතිය දුන්නා.

නියඟය නැවැත්වීම සඳහා සංවිධානය කළ දළදා වහන්සේ විශේෂ ප්‍රදර්ශනයක් – gettyimages.com

 

රජු තම අදහස අනෙකුත් උඩරට ප්‍රධානින්ගෙන් අසා තිබෙනවා. ඔවුන් කිසිවකුත් එවැනි සැලසුමක් ඇති මණ්ඩපයක් තැනීම ගැන ප්‍රසාදය පළ කර නැහැ. එයට එක් හේතුවක් ලෙස පෙනෙන්නේ දෙහිගම නිලමේ රාජ ප්‍රසාදයට පත්වීම අනෙක් උඩරට නායකයන් නොරිස්සීම යි. රාජ සභාවෙන් එයට කැමැත්ත පළ කර ඇත්තේ උනම්බුවේ රාළ පමණ යි. මේ නිසා රජු පත්තිරිප්පුවේ අධීක්ෂණය බාර දුන්නේ උනම්බුවේ රාළට.

වැඩ නිම වූ පසු අධික සතුටට පත් රජු උනම්බුවේ රාළට රන් දම්වැලක් සහ ඌවෙන් ඉඩම් ද ලබාදී තිබෙනවා. මේ කටයුත්තට අධික ව වෙහෙසීම නිසා උනම්බුවේ අසනීප වී අකාලයේ මිය ගිය බවත් පැවසෙනවා. කෙසේ වුවත් උඩරට වාස්තු විද්‍යා ශිල්පයේ අගනා සංකේතයක් බවට පසුව පත්තිරිප්පුව පත් වුණා. අද වනවිට පත්තිරිප්පුවේ ආකෘති සහිත ගොඩනැගිලි රට පුරා විහාරස්ථානවල අපට දැකිය හැකි යි.

 දළදා මාලිගය 1800 අග භාගයේදී – rct.uk 

අටැස් මණ්ඩපයක්

සැලැස්මට අනුව ගොඩනැඟිල්ල ඉදිකිරීමට තීරණය වුණේ ඒ වනවිට රජ වාසල පැරණි මුළුතැන්ගෙය තිබූ තැන යි. එයට පිටුපසින් පිහිටියේ දළදා මාලිගය යි. ඒ සැලැස්ම සැබෑවක් බවට පත් කිරීමට තෝරා ගත්තේ ඒ වනවිටත් මහනුවර රාජධානියේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ කිහිපයක් ම කර සිටි ‘දේවේන්ද්‍ර මූලාචාරි’යි.

අෂ්ටාස්‍ර මණ්ඩපයක් වන පත්තිරිප්පුව ඉදිරිපිට දියඅගලක් ද සැලසුම් කර තිබුණා. දේවේන්ද්‍ර මූලාචාරිට අරත්තන නාරායන ආචාරි මේ සඳහා සහාය වී තිබෙනවා. ගොඩනැඟිල්ලේ වහලයට අවශ්‍ය “නා” ලී ලබාගෙන තිබෙන්නේ මාතලේ නාලන්දෙන්. අලංකාර පත්තිරිප්පුව සාදා නිම කර ඇත්තේ 1812දි යි. ඒ කියන්නේ අපේ රට ඉංග්‍රීසීන් යටත් කරගන්නට අවුරුදු තුනකට කලින්.

 පත්තිරිප්පුව සහිත මාලිගා සංකීර්ණය – semanticscholar.org

 

දළදා මාලිගය වැසෙන සේ පත්තිරිප්පුව ඉදිකිරීමට උඩරට රදළ ප්‍රධානීන් කැමති වී නැහැ. පුස්සැල්ලේ ගබඩා නිලමේ ඇතුළු පිරිසක් පත්තිරිප්පුව සඳහා ගෙන ආ පරාලවල දිග අඟල් දෙක තුනකින් හොර රහසේ කපා දැමූ බව පැවසෙනවා.  

එම නිසා මූලාචාරියා සියලු පරාලවල දිග අඟල් 06ක් අඩු කර  ඒ අනුව පියස්ස සැලසුම් කර තිබෙනවා. මෙලෙස දේවේන්ද්‍ර මූලාචාරී පත්තිරිප්පුවේ වැඩකටයුතු සාර්ථක ව අවසන් කළ නිසා රාජ වරප්‍රසාද ලබා තිබෙනවා.

 දළදා මැදුරේ සංකේතය පත්තිරිප්පුව – makemytrip.com 

 

පත්තිරිප්පුවක් මොකට ද?

පත්තිරිප්පුව සඳහා නම ලැබී ඇත්තේ පාර්තු (බලනවා) + ඉරිප්පු (ඉඳගෙන) යන දෙමළ වදන්වලින්. එහි අර්ථය ඉඳගෙන නරඹනවා යන්න යි. රජතුමා මේ වගේ ගොඩනැඟිල්ලක් ඉදි කළේ දළදා මාලිගාවේ කොටසක් හැටියට නොවේ. එය දළදා මාලිගය මෙන් පූජනීය තැනක් නොවෙ යි. එය තැනුවේ රජුට වැසියන් ඉදිරියේ පෙනී සිටීම සඳහා යි. විවේකයෙන් නගරයේ සිරිය නැරඹීමටත් රජු මෙය භාවිත කර තිබෙනවා. යුක්තිය පසිඳලීම සඳහා ද රජතුමා මෙතැනට පැමිණෙනවා. රජ මාලිගාව තියෙන්නෙත් ඒ අසල ම නිසා රජතුමාට මෙතැනට එන්න ලේසි වුණා.

මහමළුවේ පවත්වන මල්ලව පොර හා කඩු සටන්, ඇත් පෙර ආදී තරග නැරඹීමට, මහමළුවේ එකතු වන ජනතාවට රජතුමා බැහැ දැකීමට අවස්ථාව ලබා දීම ආදී දේවල් ද පත්තිරිප්පුවෙන් ඉටු වුණා. විශේෂ අවස්ථාවලදී මෙහි දළදා ප්‍රදර්ශන ද  පවත්වා තිබෙනවා. අදත් දළදා ප්‍රදර්ශන පැවැත්වීමට යොදා ගන්නේ පත්තිරිප්පුව යි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දළදා පෙරහර ගමන් ගන්නා විට කරඬුවට ඉහළ උසක සිට එය නැරඹීම නුසුදුසු බවට භික්ෂූන් සහ අතර මතයක් පැතිරුණා. ඒ නිසා එයට පහළින් තාවකාලික පත්තිරිප්පුවක් සකස් කළ අතර එය ‘අටවන පත්තිරිප්පුව’ නම් වුණා.

 පත්තිරිප්පුව ඉදිරිපිට දියඅගල සිතුවමක් – wikipedia.org

දේවේන්ද්‍ර මූලාචාරී

රජුගේ සිත් දිනා ගන්නා ලෙසින් අගනා නිර්මාණවලට දායක වන දේවේන්ද්‍ර මූලාචාරීට වර්ෂ 1780 දී රන් නළල්පතක සටහන් කරලා දේවේන්ද්‍ර කියන නාමයත්, මූලාචාරී කියන පදවි නාමයත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු  ප්‍රදානය කළ බව පැවසෙනවා.

මහනුවර දළදා මාලිගාවේ පත්තිරිප්පුව ඉදිකර ශ්‍රී වික්‍රම රාජසිංහ (1798-1815) රජුගේ සිත දිනා ගත් දේවේන්ද්‍ර මූලාචාරි, කීර්ති ශ්‍රී රාජසිංහ ( 1747-1782) සහ රාජාධි රාජසිංහ ( 1782-1798) යන රජවරුන්ටත් සේවය කර තිබෙනවා.

 පත්තිරිප්පුව ඉදිරිපිට දියඅගල අද – gettyimages.com

මඟුල් මඩුව, වැව වටා පිහිටි වලාකුළු බැම්ම, දළදා මාලිගාවේ දිය අගල, දළදා මාලිගාවේ ප්‍රාකාර බැම්ම, නුවර වැව, වැව මැද ඇති දියතිලක මණ්ඩපය, උල්පැන්ගෙය ආදී නිර්මාණ සැලසුම් කර ඉදි කළ බව පැවසෙන්නේ ද දේවේන්ද්‍ර මුලාචාරීන්. එමෙන් ම දේවේන්ද්‍ර මූලාචාරියා හා රජු අතර දැඩි මිත්‍රත්වයක් තිබී ඇති බවත් පැවසෙනවා.

පත්තිරිප්පුවේ ඉහළ මාලය අද – daladamaligawa.org

මූලාචාරි සිය දිවි නසා ගත්තාද?

පරාලවල දිග දේවේන්ද්‍ර මූලාචාරීන් ඕනැකමින් ම අඩු කළ බව උඩරට ප්‍රධානින් රජුට ගතු කියා තිබෙනවා. ඒ දේවේන්ද්‍ර මුලාචාරී රජුගෙන් ලබන වරප්‍රසාදවලට ඊර්ෂ්‍යාව නිසා යි. ඉන් කෝපයට පත් රජු මූලාචාරියාගේ මහපට ඇඟිල්ලක් කපා දැමීමට නියෝග කර තිබෙනවා. ඉන් ලජ්ජාවට පත් මුලාචාරියා තමා ම සැලසුම් කළ කිරි මුහුදට (නුවර වැවට) පැන සිය දිවි හානි කර ගත් බව ජනප්‍රවාදවල පැවසෙනවා. සමහරුන් සඳහන් කරන්නේ ඔහු මහනුවර නගරයෙන් පිට වී ගොස් ලියන්වල සැඟවී සිට අවසන් භාගය රාජශිල්ප නමින් ගත කළ බව යි.  
 ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ කුංකුණාවේ හිමියන් විසින් රචනා කරන ලදැයි සැලකෙන පාලි සිරි රාම සංදේශයේ පත්තිරිප්පුව අටැස් හැඩයෙන් යුත්, උස ධවල පලක් ඇති, රජුගේ සිත් සතුටු කරවන, උස් රන්කොතක් ඇති, කිරි මුහුදින් මතු වු පෙණ පිඬක් ලෙසින් දිස් වන බව සඳහන් කර තිබෙනවා.

 විදුලි ආලෝකයෙන් අලංකාර වුණු පත්තිරිප්පුව – tripadvisor.com

පෙරදිග පුස්තකාලය

1815 දී මෙරට ඉංග්‍රීසින්ට යටත් විමෙන් පසුව මෙම ගොඩනැඟිල්ල මහනුවර කච්චේරියේ කොටසක් ලෙස භාවිත කොට තිබෙනවා. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මෙය කාර්යාලයක් ලෙස ද භාවිත කර තිබෙන බව සඳහන්. පසුව පෙරදිග පුස්තකාලය වශයෙන් නම්කර පොත්ගුලක් බවට පත් කළා. මහනුවර අවට සිටින ඉංග්‍රීසි නිලධාරින්, වතු පාලකයන් මෙහි පොත් කියවීමට පැමිණියා.

1948 දී අප ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබුවා. ඒ සමඟ ම ඉංග්‍රීසින් භාවිත කළ පැරණී ගොඩනැඟිලි අපේ අයිතියට යටත් වුණා. පත්තිරිප්පුව එසේ බාරදී නැති බවයි සඳහන් වන්නේ. එහි අයිතිය ඔප්පුවක් මගින් ලංකා ආණ්ඩුවට බාරදී ඇත්තේ 1966දි යි. අද පත්තිරිප්පුවේ උඩුමහලෙහි දළදා මාලිගයට අයත් පුස්කොළ පොත් තැන්පත් කර තිබෙනවා. එහි කුඩා බුදු පිළිමයක් ද තබා ඇත්තේ පූජනීය බවක් ලැබීමට යි.
 
1998 ජනවාරියේ දළදා මාලිගයට එල්ල කළ කොටි බෝම්ම ප්‍රහාරයෙන් පත්තිරිප්පුවේ පියය්සටත් හානි සිදුවුණා. ඉන්පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය මුනිදාස රත්නවීර එය පරික්ෂා කර පියස්ස නැවත පුරාවිද්‍යා මූලධර්මවලට අනුව ප්‍රතිසංස්කරණයට දායක වුණා.  

කවරයේ ඡායාරූපය -  පත්තිරිප්පුව - www.gettyimages.com 

මූලාශ්‍ර :
මහනුවර ලෝක උරුම නගරයේ ස්මාරක- කුසුම්සිරි විජයවර්ධන
Sridaladamaligawa.com
Dailymirror.lk

Related Articles