රුසියාවට ලජ්ජාසහගත පරාජයක් ගෙනා පළමු චෙච්නියානු යුද්ධය​

රුසියාව යනු ලෝකයේ විශාලම රාජ්‍යය මෙන්ම හමුදාමය අතින් ප්‍රබලයකු බව අප දන්නවා. කෙසේ නමුත් සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු සිදු වූ යුද්ධයක දී රුසියාව අන්ත පරාජයට පත් වුණා. මෙය රුසියාවට ඉතා ලජ්ජා සහගත පරාජයක් වූ අතර ලෝක දේශපාලනය තුළ රුසියාව මහ බලවතකුය යන අදහසට ඉන් දරුණු පහරක් වැදුණා.

චෙච්නියාවේ නිදහස් සටනට මුල් වූ හේතු සැලකීමේ දී එම ඉතිහාසය වසර සිය ගණනක් ඈතට දිව යනවා. චෙච්නියාව ඇතුළු කොකේසස් කඳුකරය ශිෂ්ටාචාරයන් අතර ස්වාභාවික බාධකයක් වුණා. උස් කඳු, ජල මාර්ග​, පටු මාවත් හේතුවෙන් මෙම කඳුකරය හරහා ගමනාගමනය පහසු වූයේ නැහැ. මේ හේතුව නිසා එහි ජනතාව පවා තම තමන්ගේ ගම්මානවලින් ඈත ගමන් බිමන් ගියේ අඩුවෙන්.

කොකේසස් කඳුකරයේ විවිධ ගෝත්‍ර තමන්ටම ආවේණික ජනජීවිතයක් ගොඩනගා ගත්තා. ඇතැම් ජනකොටස් තම ගම්මානවල ආරක්ෂාව සඳහා ගලින් තැනූ මුර කණු පවා ඉදි කළා. ඔවුනගේ ජන ජීවිතයේ වැදගත් කරුණු වූයේ පවුල​, ආගම සහ නිදහස යි. මෙය කොකේසස් ප්‍රදේශවල මුස්ලිම් මෙන්ම ක්‍රිස්තියානි ගෝත්‍රවලට ද පොදු කරුණක් වුණා. බාහිර ජනයා පැමිණ තම නිදහසට බාධා කිරීම මේ කිසිදු ගෝත්‍රයක් ඉවසූයේ නැහැ.

වර්තමාන චෙච්නියාව සහ අවට ප්‍රදේශ​ (The Washington Post)

මහා කැතරින් අධිරාජිණියගේ පාලන සමයේ දී රුසියානුවන් කොකේස්ස් ප්‍රදේශයේ බලය පැතිරවීමට පටන් ගත්තා. මෙම ක්‍රියාවලිය 19 වන සියවසෙහිත් බොහෝ කලක් තිස්සේ ඇදී ගියා. මෙම යුද්ධ අවසන් වූයේ වසර 25ක් එම සටන මෙහෙයවූ ඉමාම් ෂාමිල් 1859 දී අත් අඩංගුවට පත් වීමත් සමග යි.

දෙවන ලෝක යුධ සමයේ දී ජර්මන් හමුදා මෙම ප්‍රදේශයන් ආසන්නයට පැමිණියා. නමුත් සෝවියට් හමුදාවන්හි ජයග්‍රහණවලින් පසු එම ප්‍රදේශයෙන් ඔවුන් පළවා හරිනු ලැබුණා. එම අවස්ථාවේ සෝවියට් පාලනය විසින් චෝදනා කෙරුණේ චෙච්නියානුවන් ජර්මානුන්ට සහය දුන් බව යි. ඒ අනුව ජෝසප් ස්ටාලින්ගේ අණ පරිදි චෙච්නියානුවන් සිය ගම් බිම්වලින් පිටුවහල් කෙරුණා. ඔවුනට ආපසු පැමිණීමට අවසර ලැබුණේ නිකිතා කෘශ්ෂොෆ්ගේ ප්‍රතිසංස්කරණ අතරතුර 1957 දී යි.

නිදහස ප්‍රකාශ කිරීම

සෝවියට් දේශයේ අවසන් දිනවල රුසියාවේ සුළු ජාතිකයන් ජීවත් වූ ප්‍රදේශයන් සමහරක අනාගතය පිළිබඳ විවිධ ප්‍රශ්න ඇති වුණා. සෝවියට් පාලන සමය තුළ මේ බොහොමයක් සුළු ජාතීන් වෙනුවෙන් උප පාලන ප්‍රදේශ නිර්මාණය වී තිබුණා. උදාහරණයක් ලෙස රුසියානු සෝවියට් සමාජවාදී ෆෙඩරල් සමූහාණ්ඩුව තුළ චෙච්නියන් සහ ඉන්ගුෂ් ගෝත්‍ර වාසය කළ ප්‍රදේශ ආවරණය වන සේ චෙචන් – ඉන්ගුෂ් ස්වතන්ත්‍ර සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව පිහිටුවාගෙන​ තිබුණා.

1991 සැප්තැම්බර් 6 වනදා හිටපු සෝවියට් ගුවන් හමුදා ජෙනරාල්වරයකු වූ ජොහාර් දුදායෙෆ්ගේ අනුගාමිකයන් චෙචන් – ඉන්ගුෂ් උත්තරීතර සෝවියට් සභා රැස්වීමකට කඩා වැදුණා. මෙහිදී ඇතිවූ නොසන්සුන්තාව අතරතුර දී, එවකට චෙචන් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානියා ජනේලයකින් වැටී මියගියා. ඔහුව පහළට තල්ලු කරන ලද්දේ ද යන්න තහවුරු වූයේ නැහැ.

මෙයින් පසු මතුවූ තත්ත්වයන් යටතේ දුදායෙෆ්ගේ අනුගාමිකයන් චෙච්නියාවේ සිය බලය තහවුරු කරගත්තා. ඉන්ගුෂේතියාව ඉන් වෙන්ව ගිය අතර චෙච්නියාව බොහෝ දුරට දුදායෙෆ් යටතේ වූ සන්නද්ධ කණ්ඩායම් අතට පත් වුණා.

ජොහාර් දුදායෙෆ් (Public Domain)

සෝවියට් දේශය 1991 අවසානයේ බිඳවැටීමෙන් පසු මුල් කාලවල රුසියානු ජනාධිපති බොරිස් යෙල්ට්සින්ට චෙච්නියාව පිළිබඳ අවධානය යොමු කිරීමට හැකියාවක් වූයේ නැහැ. රුසියාව මෙකල උත්සාහ කළේ දුදායෙෆ්ට විරුද්ධ පිරිස් දිරිගැන්වීම යි.

මෙකල චෙච්නියාව තුළ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගියා. දුදායෙෆ්ට එරෙහි පිරිස්වල ක්‍රියාකාරකම් ද ඊට තරමකට හේතු වුණා. මෙම පසුබිමේ දී චෙච්නියානු නොවන ජාතීන් එම ප්‍රදේශයෙන් පළා ගියා. 1989 දී කළ ජන සංගණනය අනුව චෙච්නියාවේ ජනගහනයෙන් තුනෙන් එකක්ම චෙචන් නොවන්නන් වූ අතර ඉන් බහුතරය රුසියානුවන් වුණා. ප්‍රචණ්ඩකාරී වාතාවරණය හමුවේ රුසියානුවන් පළා යාමත් සමග ප්‍රදේශයේ දක්ෂම නිලධාරීන් සහ අනෙකුත් ශ්‍රමිකයින් බොහෝ දෙනෙක් චෙච්නියාවට අහිමි වුණා. ප්‍රදේශයේ බොහෝ කටයුතු අකර්මණ්‍ය වීමට එය බලපෑවා. මේ අතර 1993 දී චෙච්නියාව නිල වශයෙන් නිදහස ප්‍රකාශ කළා. කෙසේ වෙතත් වෙනත් කිසිදු රාජ්‍යයක් විසින් එය පිළිගැනුණේ නැහැ.

රුසියන් හමුදා මෙහෙයුම්

රුසියාව විසින් දුදායෙෆ්ගේ පාලනය පෙරලා දැමීමට කළ උත්සාහයන් සාර්ථක වූයේ නැහැ. එහෙයින් 1994 දෙසැම්බර් 11 වන දා රුසියානු හමුදා චෙච්නියාවට එරෙහි ඍජු මෙහෙයුම් ඇරඹීමට කටයුතු කළා. මෙම මෙහෙයුම් අපහසු වේයැ යි රුසියානු රජය විශ්වාස කළේ නැහැ. ඔවුන්ගේ සැලසුම ද සරල එකක් වුණා. උතුරින්, බටහිරින්, සහ නැගෙනහිරින් හමුදා කණ්ඩායම් තුනක් පැමිණ චෙච්නියාවේ අගනුවර ග්‍රොස්නි වෙත තුන් පැත්තෙන්ම ඇතුල් වීම එක සැලැස්මේ මූලික ඉලක්කය වූ අතර රුසියානුවන් සතු වූ ප්‍රබල හමුදා ශක්තිය හේතුවෙන් එය පහසු ඉලක්කයක් වේයැ යි විශ්වාස කෙරුණා. යුධ හමුදාවෙහි කාර්යය පහසු කිරීම සඳහා ගුවන් හමුදාව විසින් ග්‍රොස්නිහි වැදගත් ඉලක්ක වෙත පහර දීමට වුණා.

මූලික ප්‍රහාරයේ සැලැස්ම (Wikipedia Commons)

චෙචන් සටන්කාමීන් ගෙන් ඇතමෙක් සෝවියට් හමුදාවල සේවය කළ අය වූ අතර අනෙක් අය ද හොඳ ආත්ම විශ්වාසයකින් යුතු වුණා. එහෙත් රුසියන් හමුදාවන්හි සිටි බොහෝ දෙන අලුතින් බඳවාගත් අය යි. එමෙන්ම පැවති ආර්ථික තත්ත්වය හමුවේ ඔවුන් පවා හරිහැටි වැටුප් සහ සැලකුම් ලැබුයේ නැහැ. එහෙයින් රුසියන් සෙබළුන් බොහෝ දෙනකු ප්‍රබල ප්‍රතිරෝධයක් හමුවේ සටන් කළ හැකි තත්ත්වයක වූයේ නැහැ.

චෙච්නියාවේ කඳුකර ප්‍රදේශ හරහා හමුදා මෙහෙයවීම එතරම් පහසු වූයේ නැහැ. දුදායෙව් සිය හමුදා ඒකක කඳුකරය වෙත යවා ඔවුනට සටන් බිමේ දී තීරණ ගැනීමේ නිදහස ලබා දුන්නා. කුඩා කණ්ඩායම් ලෙස ගරිල්ලා සටන් අනුගමනය කරමින් ඔවුන් රුසියානු හමුදාවල​ ඉදිරි ගමන අඩාල කළා. මේ නිසා රුසියානුවන්ට ඉදිරි ගමන පහසු වූයේ නැහැ.

අවසානයේ රුසියානුවන් ග්‍රොස්නි නගරයට කඩා වැදුණේ 1994 දෙසැම්බර් 31 වන දා යි. මෙහිදී චෙච්නියානුවන් ඔවුනට නගරයට ඇතුල් වීමට දී වට කර පහර දුන්නා. එහෙයින් මුල් ප්‍රහාරයේ දී රුසියානුවන් අසාර්ථක වුණා.

විනාශ වූ රුසියන් ට්‍රක් රථයක් (Alexandra Nemenesova)

නමුත් ඉන්පසු රුසියානුවන් බර අවි සහ ගුවන් හමුදා යොදවා නගරයට පහර දුන්නා. මේ අතර චෙච්නියානුවන්ට ද ඔවුනගේ මූලික ලක්ෂණයක් හේතුවෙන් මේ අවස්ථාවේ දී ආවාසියක් සිදු වුණා.

අප කලින් ද සඳහන් කළ පරිදි කොකේසියාවේ බොහෝ ජනයා සිය ගම් පෙදෙසෙන් ඔබ්බෙහි කරුණු පිළිබඳ විශාල තැකීමක් කළේ නැහැ. ඔවුන් නිදහස ඇගයූ හෙයින් රුසියානුවන්ට එරෙහි සටනේ දී පොදු සතුරාට එරෙහිව එක් වූ බව ඇත්ත යි. නමුත් චෙචන් සටන්කාමීන් පිළිගත්තේ තම ප්‍රාදේශීය යුධ නායකයන් දුන් නියෝග මිස දුදායෙෆ් හෝ චෙචන් හමුදාවල මාණ්ඩලික ප්‍රධානී කර්නල් අස්ලාන් මස්කදොෆ් ලබා දුන් නියෝග නොවේ. ප්‍රාදේශීය ගරිල්ලා සටන්වල දී මෙය විශාල ගැටළුවක් නොවුණත් නාගරික සටන්වල දී එය ගැටළුවක් වුණා.

විනාශ වූ ගොඩනැගිල්ලක් (Alexandra Nemenova)

සටන් දරුණු අතට හැරුණ අතර රුසියානු ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් ද දහස් ගණනක් මියගියා. ඇතැම් ඇස්තමේන්තු අනුව මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 27,000ක් පමණ වනවා. රුසියන් ප්‍රහාර හමුවේ ජනවාරි 19 වනවිට ග්‍රොස්නි නගරයේ බොහෝ ප්‍රදේශවලින් චෙචන් සටන්කාමීන් පසුබස්වනු ලැබුණා.

ගරිල්ලා සටන් සහ ප්‍රාණ ඇපකරුවන්

ග්‍රොස්නි නගරයේ බොහෝ ප්‍රදේශ රුසියානුවන් අල්ලාගත් නමුත් එයින් ඒ අවට සටන් නිම වූයේ නැහැ. එමෙන්ම සටන්කාමීන් දිගටම රුසියානු හමුදාවට පහර දුන්නා. කඳුකරයේ සැඟව සිටිමින් දිගටම එල්ල කළ ප්‍රහාර හමුවේ රුසියානුවන් දැඩි පීඩනයකට පත් වුණා. මෙම යුද්ධය ඔවුනට කිසිදු අයුරකින් හෝ පහසු වූයේ නැහැ. දරුණු සටන් සිදු වෙද්දී ගම් බිම් අතැර යන චෙචන් වැසියන් සටන් නිම වූ පසු ආපසු ගම් බිම් කරා පැමිණියා. මේ සරණාගතයින් සමග සටන්කාමීන් ද එම ප්‍රදේශයන් කරා පැමිණ යළිත් රුසියන් හමුදාවට පහර දුන්නා. කිසිදු ප්‍රදේශයක් වැඩි දිනක් සාමකාමීව තබා ගැනීමට චෙචන් සටන්කාමීන් ඉඩ දුන්නේ නැහැ.

නමුත් පිරිස් සහ අවි බලය හේතුවෙන් රුසියානුවන් කෙමෙන් කෙමෙන් චෙචන් ප්‍රදේශ අල්ලාගන්නට වුණා. මේ අවස්ථාවේ සටන් විරාමයක අවශ්‍යතාව චෙචන් සටන්කාමීන්ට තදින් දැනුණා.

1995 ජූනි 14 වනදා ෂමිල් බසායෙෆ් නම් චෙචන් කැරලි නායකයා 200 දෙනකුගෙන් පමණ යුතු පිරිසක් සමග චෙචන් සීමාවෙන් කිලෝමීටර් 100ක් පමණ ඈතින් වූ රුසියානු නගරයක් වූ බුඩොන්නොව්ස්ක්හි රෝහලකට කඩා වැදී එහි වූ 1,800ක් පමණ ප්‍රාණ ඇපයට ගත්තා. සටන්කාමීන් රජයට කියා සිටියේ සටන් විරාමයකට එකඟ වන ලෙස යි. රුසියානු රජය රෝහල මුදාගැනීමට කළ හමුදා ප්‍රහාරයක් අසාර්ථක වුණා. ඒ අනුව ඔවුන් සටන් විරාමයකට එකඟ වුණා.

යුද්ධය අවසානය කරා

මෙම සටන් විරාමය දෙපාර්ශවය විසින්ම භාවිතා කළේ තම තමන් ගේ යුධ ශක්තිය වර්ධනය කරගැනීමට යි. වැඩිකල් යාමට මත්තෙන් නැවතත් සටන් ඇති වුණා. මේ සටන් ද ඇදි ඇදී ගියේ රුසියානු ජනතාව තුළ රජය අප්‍රසාදයට පත් කරමින්. 1996 ජූනි සහ ජූලි මාසවල ජනාධිපතිවරණය ද පැවැත්වීමට ද නියමිත වුණා. චෙචන් යුද්ධය සහ යෙල්ට්සින්ගේ සෞඛ්‍යය තත්ත්වය හේතුවෙන් මෙම ජනාධිපතිවරණයේ දී කොමියුනිස්ට් පක්ෂයේ ගෙනඩි සියුගනොෆ් ජයග්‍රහණය කරනු ඇතැ යි යන සැකය ද වර්ධනය වුණා.

රුසියානු රජයට හමුදාමය වශයෙන් කෙසේ වෙතත් ප්‍රචාරක වශයෙන් වැදගත් ජයග්‍රහණයක් 1996 අප්‍රේල් 21 වන දා ලැබුණා. මිසයිල ප්‍රහාරයකින් දුදායෙෆ් මියගියා. එය තම ජයග්‍රහණයක් ලෙස පෙන්නුම් කිරීමට රුසියන් රජයට හැකි වුණා.

1996 ජූනි සහ ජූලි මාසවල පැවති ජනාධිපතිවරණයේදී බොරිස් යෙල්ට්සින් ජයග්‍රහණය කළා. එහෙත් ඉන් මාසයකට පමණ පසු, අගෝස්තු මාසයේ දී, චෙච්නියානු කැරලිකරුවන් විසින් ග්‍රොස්නි නගරය වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කෙරුණා. එහිදී රුසියානු හමුදා පසුබස්වනු ලැබුණා.

තවදුරටත් මෙම යුද්ධය පවත්වාගෙන යා යුතු ද යන කරුණ පිළිබඳ මෙහිදී රුසියාවට සලකා බලන්න සිද්ධ වුණා. රුසියාව තුළ යුද්ධය බෙහෙවින් අප්‍රසාදයට පත්ව තිබුණා. එහෙයින් චෙචන් සටන්කාමීන් සමග සටන් විරාමයක්ට පැමිණීමට රුසියාව කටයුතු කළා.

1996 අගෝස්තු 30 වනදා රුසියාව සහ චෙච්නියාව විසින් අත්සන් කළ ඛසව්-යුර්ට් ගිවිසුම අනුව චෙච්නියාවෙන් රුසියන් හමුදා ඉවත් කරගැනීමටත්, දෙපාර්ශවය අතර ගැටළු නිරාකරණය කරගැනීම 2001 තෙක් කල් දැමීමටත් එකඟ වුණා. රුසියාව චෙච්නියානු සීමාවට ගරු කරන නමුත් එය පිළිනොගන්නා බවට එකඟ වුණා. ඒ අනුව චෙච්නියාව නිදහස් රාජ්‍යයක් ලෙස පැවතුණ නමුත් එහි ස්වෛරීභාවය කිසිදු රටක් විසින් පිළිගැනුණේ නැහැ.

මෙම යුද්ධයේ දී සිදු වූ පරාජය රුසියාවට ජාත්‍යන්තර වශයෙන් ද විශාල අපකීර්තියක් බවට පත් වුණා. එම තත්ත්වය ආපසු හැරවීමේ වගකීම බාරගෙන එය ක්‍රියාවට නැගුවේ ව්ලැදිමීර් පුටින් විසින්.

Related Articles