ඤාණසීහ හිමි රවටා මෙරට පළමු අගමැති පත්වුණු හැටි

ඩී. ඇස්. සේනානායක නම් දේශපාලඥයාට මෙරට ඉතිහාසය තුළ හිමිව තිබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ, ඔහුට ලංකාවේ පළමු අගමැතිවරයා වන්නට හැකිවුණු නිසා යි. තරුණ වියේ සිටම දේශපාලන කටයුතුවල නියැලුණු ඩී. ඇස්. සේනානායක මිනුවන්ගොඩ ආසනය නියෝජනය කරමින් පළමු සහ දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවන් සඳහා තේරී පත්වුණා. එහි දී කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යධූරය හෙබවූ ඔහු ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කරමින් විශාල ජනතා ආකර්ෂණයක් ලබාගත්තා.

රට වෙනුවෙන් විශාල සේවයක් කළ ඩී. ඇස්. සේනානායක ලංකාවට නිදහස ලබාගැනීම සඳහා ද කැපවී වැඩ කළා. එම නිසා 1947 මැතිවරණයෙන් පසුව ඩී. ඇස්. සේනානායක ලංකාවේ පළමු අගමැතිවරයා බවට පත්වන තුරු බොහදෙනෙකු ඇඟිලි ගනිමින් සිටියා. එවර මැතිවරණයේ දී මීරිගම අසුනට තරග කළ ඩී. ඇස්. සේනානායකගේ ප්‍රතිවාදියා වුණේ එඩ්මන්ඩ් සමරක්කොඩි නම් සමසමාජ පක්ෂ අපේක්ෂකයා යි. 

මැතිවරණය පැවැත්වීම මාස කිහිපයකට පෙර ඩී. ඇස්. සේනානායක භික්ෂූන්වහන්සේ කෝපයට පත්වන ආකාරයේ කතාවක් කර තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මීරිගම සමසමාජ පක්ෂ අපේක්ෂකයාට භික්ෂූන්ගේ සහයෝගය ලැබුණා. මීරිගම ආසනය තුළ ඩී. ඇස්. සේනානායකට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙද්දී ඔහු හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ගෙන් උදව් ඉල්ලා සිටියා. එදා යම්කිසි පොරොන්දුවක් මත ඤාණසීහ හිමියන් සේනානායකට උදව් කළා. අවසානයේ දී ඤාණසීහ හිමියන් ලබාදුන් සහාය නිසා ඩී. ඇස්. සේනානායක ලංකාවේ පළමු අගමැතිවරයා බවට පත්වුණා. 

ඩී. ඇස්. සේනානායක ගොවි ජනපද ව්‍යාපාරවල සංචාරය කරමින් (Deshaya)

භික්ෂූන්වහන්සේ ඉදිරියේ ඩී. ඇස්. සේනානායක කට වරද්දා ගත් හැටි 

මාතලේ ධර්මරාජ පිරිවෙනේ පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙසින් පැමිණ සිටියේ ඩී. ඇස්. සේනානායක යි. එදිනම මිනිපේ ප්‍රදේශයේ පැවති උත්සව කිහිපයකට සහභාගී වුණු ඩී. ඇස්. සේනානායක ත්‍යාග ප්‍රදානෝත්සවයට පැමිණෙන විට පැයක් පමණ ප්‍රමාදවී තිබුණා. ඒ වන විටත් ධර්ම ශාලාව භික්ෂූන්වහන්සේගෙන් පිරී තිබුණා. එම කාලය වන විට භික්ෂූන් දේශපාලනයට ඇඟිලි ගසමින් සිටියා. උන්වහන්සේලා කළේ පාලකයින්ගේ වැරදි පෙන්වාදීම යි. 

මේ හේතුව නිසා, ධර්මශාලාවට රැස්ව සිටි භික්ෂූන්වහන්සේට අවවාදයක් දෙන්නට සිතූ ඩී. ඇස්. සේනානායක පහත සඳහන් වචන ස්වල්පය පවසා සිටියා.

“මෙතන තරුණ සංඝයාවහන්සේලා රැසක් එක් රැස්වෙලා ඉන්න හින්දා උන්වහන්සේලාට දැනමුතුකමක් දෙන්නට මම කැමතියි. ඒ මොකද කියනවා නම් දැන් ටික කාලෙක හිටං අපේ හාමුදුරුවරු උන්වහන්සේලාට අයිති නැති වැඩකට අතගහල තියනවා. ඒ මොකක්ද කියනවා නම් දේශපාලන වැඩවලට ඇඟිලි ගැසීම. ඒ භික්ෂූන්වහන්සේලා කවුන්සලේට ගිහිල්ලා හිටං ගැලරිවල වාඩිවෙලා හිටං එතැන මන්ත්‍රීගොල්ල කරන කතා අහගෙන ඉන්නවා විතරක් නොවෙයි, සමසමාජ පක්ෂයේ රැස්වීම්වලට ගිහිල්ල හිටං කෝටියක් සංවර සීලෙ අමතක කරල හිටං දරුණු විදිහට කතා පවත්වනවා. එච්චරක් විතරක් නොවෙයි, හාමුදුරුවරු මන්ත්‍රීගොල්ලො හම්බවෙන්න යනව. වෙනත් දේශපාලන ලොක්කො හම්බවෙන්න යනව. ඒක බොහොම වැරදි වැඩක්. ගිහියෙක් කොයිතරම් ලොක්කෙක් වුණත් හාමුදුරුවරු ඒ ගිහිය ළඟට යන එක වැරදියි. ඒකෙන් වෙන්නෙ ශාසනේ විනාශ වෙන එක. ඒ හින්ද මං හාමුදුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන වැඩ කවුන්සිලේට ගිහිල්ල ඉන්න ගිහි අපට භාරදීල හාමුදුරු පන්සල්වලට වෙලා වැඩක් බලාගෙන ඉන්න කියල යි.”

ඩී. ඇස්. සේනානායක සිය කතාව කරගෙන යද්දී තරුණ භික්ෂූන්වහන්සේ කිහිපනමක් ඔහුගේ චෝදනාවලට පිළිතුරුදීමට නැගී සිටියා. නමුත් එම අවස්ථාවේ දී වැඩිහිටි භික්ෂූන්වහන්සේ වහා මැදිහත්වී තරුණ භික්ෂූන්වහන්සේ මෙල්ල කරනු ලැබුවා. 

ඩී. ඇස්. සේනානායක (Dinamina)

ඩී. ඇස්. සේනානායකට විද්‍යාලංකාර පිරිවෙනෙන් එල්ල වුණු විරෝධය

ඩී. ඇස්. සේනානායක මාතලේ දී කළ කතාව දින හතරකට පසුව දිනමිණ සහ ඩේලි නිවුස් යන පුවත්පත් දෙකෙහි පළවුණා. එය දුටු විට මුළු විද්‍යාලංකාරයම ඇවිස්සී ගියා. පුවත්පත පැත්තක දැමූ රාහුල හිමියන් වහාම දුරකථනය වෙත ගොස් ඩී. ඇස්. විසූ වුඩ්ලන්ඩ්ස් මන්දිරයට දුරකථන ඇමතුමක් වෙන්කර තබා කොළඹ දුරකථන මධ්‍යස්ථානය මඟින් ඇමතුම සම්බන්ධ කරන තුරු එහාට මෙහාට සක්මන් කරමින් සිටියා. විද්‍යාලංකාරය සහ වුඩ්ලන්ඩ්ස් මන්දිරය අතර දුරකථන ඇමතුම සම්බන්ධ වුණු පසුව සේනානායකට දොස් පවරමින් රාහුල හිමියන් කතා කළේ මෙසේ යි.

“ඇත්තටම ඇමතිතුමා මොකක්ද මේ මාතලේදි කරල තියෙන කතාවෙ තේරුම? තමුන්නාන්සේ වගේ රටේ වගකිවයුතු නායකයෙක් ප්‍රසිද්ධ කතාවක් කරනකොට කටට ආපු දේවල් ඔහේ දෙසාබාන්නෙ නැතුව ටිකක් ගැඹුරට කල්පනා කරල කතා කරන්න ඕනෑ නේද? අනික මේ රටේ මහා සංඝයාවහන්සේලාට අවවාද කරන්න තමුන්නාන්සේට තියන අයිතිය මොකක්ද? ඔය වගේ කතාවලින් සංඝයාවහන්සේලාගේ කටවහන්න පුළුවන් කියල හිතනවනම් ඒක මහ මෝඩකමක්. කැලේ යන නයි අල්ලල රෙද්ද අස්සෙ දාගන්නෙ නැතුව ඇමතිතුමාට තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න කියන්න යි මම මේ තකහනියක් කතාකළේ.”

රාහුල හිමියන් පැවසූ දේවල්වලට ඉවසීමෙන් කන්දුන් ඩී. ඇස්. පිළිතුරු කීමට සැරසුණත් රාහුල හිමියන් ඊට ඇහුන්කම් නොදී දුරකථනය විසන්ධිකර දැමුවා. ඉන් නොනැවතුණු විද්‍යාලංකාරයේ භික්ෂූන්, සේනානායකගේ කතාවට විරෝධය පළකිරීමටත්, ඊට පිළිතුරු ලබාදීමටත් රැස්වීමක් සංවිධානය කරනු ලැබුවා. කොටහේන කුමාර විදුහලේ පැවති එම රැස්වීමේ දී ඩී. ඇස්. විවේචනය කරමින් රාහුල හිමියන් වේගවත් කතාවක් කළා.

විද්‍යාලංකාර පිරිවෙන (Lankadeepa)

විද්‍යාලංකාර පිරිවෙනට එරෙහිව මර්දන ව්‍යාපාරයක් 

විද්‍යාලංකාර භික්ෂූන් සේනානායක විවේචනය කිරීම නිසා එවකට බෞද්ධ විරෝධී ව්‍යාපාර විද්‍යාලංකාර පිරිවෙනට එරෙහිව නැගී සිටින්නට වුණා. එහි දී දිනමිණ ඇතුළු රජයේ පුවත්පත් විද්‍යාලංකාරයේ භික්ෂූන්ට එරෙහිව මඩ ප්‍රචාර ගෙන ගියා. එසේම එම භික්ෂූන්වහන්සේගේ චරිත ඝාතනය කරන්නට වුණා. ඉන් නොනැවතුණු ඔවුන් පිරිවෙනට දානය පවා නොලැබී යන තැනට වැඩකටයුතු සිද්ධ කළා. 

එක් දිනක් ලොකු දායකයෙකුගේ ගෙදරකින් විද්‍යාලංකාරය වෙත විශාල කරත්තයක් පටවාගෙන දානය රැගෙන ආවා. කලකින් පසුව දානය ලැබී තිබුණු නිසා කිරිවත්තුඩුවේ නාහිමි ඇතුළු සියළුම ස්වාමීනවහන්සේ දානය වැළඳීම සඳහා දාන ශාලාව වෙත වැඩියා. නමුත් දානේ භාජන තණකොළවලින් පුරවා තිබුණු බව ආවතේවකරුවන් කිරිවත්තුඩුවේ හිමියන් වෙත දන්වා සිටියා. ඒ මොහොතේ දී ඒ හිමියන්ගේ නෙත්වලින් කඳුළු රූරා වැටුණේ සාමණේර හිමිවරුන්ට තවත් වේලක් බඩගින්නේ සිටීමට සිදුවුණු නිසා යි. එම සිදුවීමෙන් පසුව විද්‍යාලංකාර පිරිවෙණ තුළම දානය සැකසීමේ කටයුතු සිදුවුණා. ඒ සඳහා ආවතේවකරුවන් මූලිකත්වය ගෙන ක්‍රියා කළා. විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂූන්වහන්සේ මෙහෙයවනු ලැබූ විවිධ රැස්වීම් සඳහා මැර ප්‍රහාර එල්ල වුණා. 

විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂූන් වහන්සේලාට දැඩි ලෙස හිරිහැර සිදුවෙමින් පැවති කාල සමයක 1947 මහා මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කෙරුණා. එවර මහා මැතිවරණයේ දී කැළණිය අසුන සඳහා තරග කළ ජේ. ආර්. ජයවර්ධනත්, මීරිගම අසුන සඳහා තරග කළ ඩී. ඇස්. සේනානායකවත් පරාජයට පත්කිරීම සඳහා විද්‍යාලංකාර භික්ෂූන් පෙළ ගැසුණා.

ඩී. ඇස්. සේනානායකට එරෙහිව විද්‍යාලංකාර භික්ෂූන් පෙළගැසුණු හැටි 

1947 මහා මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමගම විද්‍යාලංකාරයේ භික්ෂූන්වහන්සේ පිරිසක් මීරිගම ආසනය වෙත ගොස් එහි සිටි හිතවතෙකුගේ නිවසේ නතර වුණා. උන්වහන්සේලා සමසමාජ පක්ෂ අපේක්ෂක එඩ්මන්ඩ් සමරක්කොඩිගේ ජයග්‍රහණය සඳහා ගෙයින් ගෙට ගොස් මිනිසුන්ව දැනුවත් කළා. එදා සමාජයේ සිටි මිනිසුන් භික්ෂූන්වහන්සේගේ අදහස් හිස් මුදුනින්ම පිළිගත් නිසා එඩ්මන්ඩ් සමරක්කොඩිට මීරිගම ආසනය තුළ වාසිදායක තත්ත්වයක් නිර්මාණය වුණා. එසේම මීරිගම ආසනය තුළ පහත්යැ යි සම්මත කුලවලට අයත් ජනතාව වැඩි වශයෙන් වාසය කළා. ඔවුන්ගෙන් බහුතරයකගේ සහාය ද සමසමාජ පක්ෂ අපේක්ෂකයාට හිමිවන බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබුණා. දැඩි ලෙස අසරණ වුණු ඩී. ඇස්. සේනානායක හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ගෙන් උදව් ඉල්ලීමට සූදානම් වුණා.

සේනානායකගෙන් ඤාණසීහ හිමියන්ට ඇරයුමක් 

ඒ දිනවල හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් රත්නපුර දිස්ත්‍රික්කයේ පාතකඩ නම් ප්‍රදේශයේ භික්ෂු විශ්වවිද්‍යාලයයක් ඉදිකරවමින් සිටියා. එම නිසා උන්වහන්සේට එහි කාර්‍යබහුලව සිටියා. එවැනි අවස්ථාවක ඩී. ඇස්. සේනානායක උන්වහන්සේට දුරකථනයෙන් කතාකොට වුඩ්ලන්ඩ්ස් මන්දිරයට වඩින මෙන් ආරාධනා කළා. එදා උන්වහන්සේට තිබුණු අවිවේකී බව නිසා ඩී. එස්. හමුවීමට වෙලාවක් තිබුණේ නැහැ. නමුත් ඔහු නුදුරු දිනෙක රටේ අගමැතිවරයා වශයෙන් පත්වීමට සිටි නිසා පසුවදාම කොළඹ යාමට ඤාණසීහ හිමියන් තීරණය කළා.

සේනානායක කළ ඉල්ලීම 

තම ඉල්ලීම පරිදි වුඩ්ලන්ඩ්ස් මන්දිරයට පැමිණි ඤාණසීහ හිමියන්ට හොඳින් සත්කාර කළ සේනානායක ඉන්පසුව උන්වහන්සේ සමග දීර්ඝ කතාබහක යෙදුණා. එම අවස්ථාවේ දී ඤාණසීහ හිමියන් සහ සේනානායක අතර මෙවැනි ආකාරයේ සංවාදයක් ඇතිවුණා.

සේනානායක: හාමුදුරුවො තවම දන්නෙ නැතුව ඇති ලංකාවට නිදහස ලබාගන්න වැඩපිළිවෙළ දැන් හුඟක් දුරට සාර්ථක වෙලා තියන වග. 

ඤාණසීහ හිමි: හැබෑටම? බොහොම හොඳ ආරංචියක්. දැන් කවද විතර ඕක අපට ලැබෙයි කියල ද ඔබතුමා හිතන්නෙ?

සේනානායක: ඔන්න අහගන්න හාමුදුරුවනේ මේකෙ තත්ත්වය. අපට නිදහස ලබාදීම ගැන කතා කරනව මිසක් මේ වෙනකම් වෙච්ච දෙයක් නෑනෙ. ඉතින් මම ඔලිවර් ගුණතිලකව එංගලන්තෙට යවල හිටං එහෙ රාජ්‍ය ලේකම් ක්‍රිච් ජෝන්ගෙ මූණටම නෝක්කඩු කියල හිටං ලංකාවට නිදහස ලබාගැනීම පිළිබඳව ගිවිසුමක කෙටුම්පතක් ලබාගත්තා. හෙට අනිද්දම තියන මේ ඡන්දෙන් මම දිනල අගමැති වුණාට පස්සෙ වැඩි කල් යන්න කලින් අපට නිදහස ලබාගන්න පුළුවන්. සුද්දො අපේ මිත්‍රයො උනත් හාමුදුරුවනේ මේ කැලෑ ජෝන් එක්ක බොරු කරන්න හම්බෙන්නෙ නෑ.

ඤාණසීහ හිමි: හැබෑට අහන්නත් සතුටු යි ඇමතිතුමා. ඒත් ඔබතුමා හිතනවද සුද්දො ඔය තරම් ඉක්මනට අපේ රට දාලා යන්න කැමති වෙයි කියල.

සේනානායක: නෑ අපේ හාමුදුරුවනේ මේ පාර අපට නිදහස ලැබෙන එක සිකුරු යි. අනික මන් මේ පාර ඡන්දෙට යන්නෙත් රටට නිදහස අරන් දෙනව කියන පොරොන්දුව මත. ඒ හන්දා මං ඒ රාජකාරිය ඉටු කරල තමයි පස්ස බලන්නෙ 

ඤාණසීහ හිමි: ඇත්තටම ඇමතිතුමා මම කවදාවත් එන ගමනක් නෙවෙයි අද ආවෙ. ඔබතුමාගේ වචනෙට පිටුපාන්න බැරිකමටයි අද මේ ආවෙ. ඒත් තවම ඔබතුමා මාව කැඳවපු කාරණය කීවෙ නෑනෙ. 

සේනානායක: හාමුදුරුවනේ, මට ඔබ වහන්සේගෙන් ලොකුම ලොකු උදව්වක් ඕනි. ඒකනම් ආයිත් බෑ නොකිය කොහොම හරි කරල දෙන්න ඕනි.

ඤාණසීහ හිමි: මොකක්ද අප්පේ මගෙන් බලාපොරොත්තු වෙන ඔච්චර ලොකු උදව්ව?

සේනානායක: මේකයි අපේ හාමුදුරුවනේ උදව්ව. මේ පාර මැතිවරණෙදි මම තරග කරන්නෙ අළුතින් කඩපු මීරිගම ආසනයට. මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා තමයි සමසමාජ පක්ෂයේ එඩ්මන්ඩ් සමරක්කොඩි. පසුගිය කාලයේ දී මං එක්ක අමනාප වුණු විද්‍යාලංකාරයේ හාමුදුරුවරු මීරිගම ආසනය පුරාම ඇවිදිමින් සමසමාජ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරනවා. ඔබ වහන්සේ දන්නවනෙ මීරිගම ආසනයේ වැඩිපුර ඉන්නෙ එක්තරා කුලයකට අයත් මිනිස්සු බව. ඉතින් සමරක්කොඩි උන්නැහැ ඒ මිනිස්සු අතර ප්‍රචාරය කරල තියෙන්නෙ උන්නැහැ දිනුවොත් ඒ මිනිස්සුන්ටත් සමාජයේ ඔළුව උස්සල ඉන්න පුළුවන් වෙයි කියල. ඉතින් හාමුදුරුවනේ මේ වෙලාවෙ මට ඔබ වහන්සේගේ උදව් ඕනි. කරුණාකරල මීරිගම ආසනයට ඇවිල්ල ඡන්දෙ ඉවර වෙනකම් මගේ වැඩවලට උදව් වෙන්න.

ඤාණසීහ හිමි: අපෝයි බෑ ඇමතිතුමා, ඒකනම් කරන්න බෑ. පළමුවෙනි කාරණේ තමයි මම ඔය දේශපාලන වැඩවලට හවුල්වෙන්න කැමැත්තක් නෑ. අනිත් එක තමයි පාතකඩ භික්ෂු විශ්වවිද්‍යාලය හදන වැඩේ අතරමග නවත්වල මට එන්න බෑ. අපි අවුරුදු ගාණක් රටපුරා ඇවිදල ආධාර එකතු කරල තමයි ඔය වැඩේට අත ගැහුවෙ. ඉතින් හිතුමතේට මට ඒක දමල ගහල එන්න බැරි බව ඔබතුමාට තේරෙනව ඇතිනෙ. 

සේනානායක:  අපේ හාමුදුරුවනේ මං මේ ඡන්දෙන් දිනල අගමැති වුණාම අපේ රජයේ අනුග්‍රහයෙන්ම ඔය විශ්වවිද්‍යාලය හදල දෙන්නම්. ඒ විතරක් නෙවෙයි මං මේ රටේ නායකයා වුණාම රජ කාලෙ වගේ අපේ සම්බුද්ධ ශාසනය දියුණු කරන්නත් හිතාගෙන ඉන්නව. 

එම අවස්ථාවේ ඤාණසීහ හිමියන් මඳක් කල්පනා කරන්නට වුණා. මෙතුමා කෘෂිකර්ම ඇමති වශයෙන් ඉන්න කාලේ රටට විශාල සේවයක් කළා. ඉතින් රටට නිදහස ලබාදී බුදු සසුන දියුණු කරන්න බලාගෙන සිටින සිංහලයාට මම උදව් කළ යුතු යි යන සිතිවිල්ල උන්වහන්සේගේ සිතේ පහළ වුණා. උන්වහන්සේ මෙසේ පවසා සිටියා. 

ඤාණසීහ හිමි: ඇමතිතුමා ඉල්ලන උදව්ව ඒ තරම් ලොකු එකක් නොවන නිසා මම කරල දෙන්නම්. හැබැයි ඇමතිතුමා පොරොන්දු කඩ කරල මාව අතරමං කරන්නෙ නෑනෙ?

සේනානායක: මොන පිස්සුද අපේ හාමුදුරුවනේ, ඡන්දෙන් දිනල හිටං, අගමැති වෙලා හිටං, ඊළඟට මම ඔබ වහන්සේගේ  වැඩේට මුල් තැනක් දීල කරල දෙනව.

හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් (Youtube)

ඩී. ඇස්. සේනානායක රටේ අගමැති වෙයි 

එදා පොරොන්දු වුණු පරිදිම ඤාණසීහ හිමියන් මීරිගමට පැමිණ එහි නවාතැන් ගෙන සේනානායකගේ මහා මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවා. ගෙයින් ගෙට ගිය ඤාණසීහ හිමියන් සේනානායක පිළිබඳව ගම්මුන්ගේ සිත් තුළට කාවද්දවා තිබුණු වැරදි මත ඉවත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස මැතිවරණ දිනය ළං වන විට මීරිගම ආසනයේ ජනරැල්ල සේනානායක වටා එකතු වී තිබුණා. එම නිසා මීරිගම ආසනය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට ඔහුට හැකියාව ලැබුණා. පහත දැක්වෙන්නේ එදා මීරිගම ආසනයේ ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණු ආකාරය යි.

ඩී. ඇස්. සේනානායක (එක්සත් ජාතික පක්ෂය)- ඡන්ද 26,762

එඩ්මන්ඩ් සමරක්කොඩි (ලංකා සමසමාජ පක්ෂය)- ඡන්ද 10,673

ඩී. ඇස්. සේනානායක කැබිනට් මණ්ඩලය (Daily FT)

බලයට පත්වුණු පසුව පොරොන්දු කඩකළ අගමැතිවරයා

සේනානායක රටේ අගමැතිවරයා බවට පත්වී කාලයක් ගතව තිබුණත් ඤාණසීහ හිමියන්ගේ පොරොන්දුව ඉටුකරන පාටක් තිබුණේ නැහැ. එම නිසා එක්තරා දිනක ඤාණසීහ හිමියන් අගමැතිවරයාව බැහැදැකීම සඳහා අරලියගහ මන්දිරයට ගියා. එදා හාමුදුරුවන්ව ගෞරවයෙන් පිළිගෙන ගිලන්පස පූජාකළ අගමැතිවරයා රට තොටේ තොරතුරු පිළිබඳව කතා කළා. ඉන් අනතුරුව අගමැතිවරයා සහ හාමුදුරුවන් අතර පහත ආකාරයේ කතාබහක් ඇතිවුණා.

ඤාණසීහ හිමි: මම බලාගෙන ඉඳල බැරිම තැන ඔබතුමාව හම්බෙන්න ආවෙ මට පොරොන්දු වුණු වැඩේ ගැන කතා කරගන්න.

සේනානායක: මොන වැඩේ ද හාමුදුරුවනේ?

ඤාණසීහ හිමි: ඇයි මතකනැද්ද ඡන්දෙන් දිනල අගමැති උනාට පස්සෙ මගෙ අර පාතකඩ භික්ෂු විද්‍යාලය ආණ්ඩුවේ වියදමින් හදල දෙන්න වෙච්චි පොරොන්දුව?

සේනානායක: ආහ් මේකනෙ අපේ හාමුදුරුවනේ ඔය වැඩේ ඇවිල්ල හිටං බුද්ධාගමේ වැඩක්. අපි දැන් පිහිටුවල තියන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවට ආගමක් නෑ. සංඝයාවහන්සේගේ ඉගැන්වීම්වලට වියදම් කරන්න ගියොත් පාදිලිවහන්සේගේ ඉගැන්වීම්වලටත් වියදම් කරන්න වෙනවා. ඒහින්ද ආණ්ඩුව පස්සේ යන්නෙ නැතුව ඒ වැඩේ කරගන්න බලන්න හාමුදුරුවනේ. දැන් බලන්න අපේ හාමුදුරුවනේ බුද්ධං සරණං ගච්ඡාමි කියනව මිසක් ආණ්ඩුව සරණං ගච්ඡාමි කියල එකක් නෑනෙ යනුවෙන් පවසා අගමැතිතුමා මහ හඬින් සිනාසුණා.

ඒ වදන් පෙළ ඇසීමත් සමගම කෝපයට පත්වුණු ඤාණසීහ හාමුදුරුවන් අගමැතිවරයාට දෝෂාරෝපණය කර අරලිය ගහ මන්දිරයෙන් පිටත්ව ගියා. එසේම ඩී. ඇස්. සේනානායක අගමැතිවරයා ලෙස සිටි තාක් කල් කිසිදු දිනක උන්වහන්සේ යළි අරලියගහ මන්දිරයට වැඩියේ නැහැ.

කවරයේ ඡායාරූපය- ඩී. ඇස්. සේනානායක (Dinamina)

---මූලාශ්‍රයයන්- ගමන නොනිමෙයි- ගුණදාස ලියනගේ 

Related Articles