දෙවන සේන රජතුමා පාණ්ඩ්‍ය අධිරාජ්‍යයාට පාඩමක් ඉගැන්වූ හැටි

පණ්ඩුකාභය රජතුමා පිහිටුවන ලද අනුරාධපුර රාජධානිය වසර 1400කට අධික කාලයක් පැවතුණා. එම කාලය තුළ රජවරුන් 120කට අධික දෙනෙකු අතින් පාලනය කෙරුණු එම රාජධානිය විටින් විට සතුරු ආක්‍රමණවලටත් මුහුණදුන්නා. අනුරාධපුරයට නිතරම සතුරු ආක්‍රමණ එල්ලවුණේ පාණ්ඩ්‍ය සහ චෝළ දේශයන්ගෙන්. ඒ, ඒවා ලක්දිවට ඉතාමත් ආසන්නයේ පිහිටා තිබුණු නිසා යි. එකල අනුරාධපුර රාජධානියේ පාලකයා දුර්වල වුණු බොහෝ අවස්ථාවල දී දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් අනුරාධපුරයට පහරදුන්නා.

අනුරාධපුර රාජධානියේ අවසානය සිදුවුණේත් චෝළ ආක්‍රමණයකින්. රාජ රාජ නම් චෝළ අධිරාජයා ක්‍රි. ව. 993 දී අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කරමින්, එහි අවසන් පාලකයා වුණු 5 වැනි මිහිඳු පරාජයට පත්කළා. රාජ රාජගේ ආක්‍රමණයට පෙර අනුරාධපුරයට තර්ජනයක් එල්ලවුණේ පළමු වන සේන රජුගේ රාජ්‍ය කාලයේ දී යි. එවර පාණ්ඩ්‍ය ආක්‍රමණිකයන් අනුරාධපුරය යටත් කරගෙන මෙහි තිබුණු සියලුම වස්තුව කොල්ලකනු ලැබුවා. පාණ්ඩ්‍යයන් අනුරාධපුරයට සිදුකළ විනාශයට වාඩුව ගත්තේ එම ආක්‍රමණයෙන් පසුව අනුරාධපුරයේ රජවුණු දෙවන සේන රජතුමා යි. 

චෝල දේශය සහ පාණ්ඩ්‍ය දේශය ලක්දිවට සමීපව පිහිටා තිබුණු ආකාරය (quora)

8 වන සියවසේ දී පාණ්ඩ්‍ය අධිරාජ්‍යය බලවත්වීම

ක්‍රි. ව. 8 වන සියවසේ මැදභාගය පමණ වන විට ඉන්දියාවේ පල්ලව රජවරුන්ගේ බලය පිරිහෙමින් තිබුණා. ඒ අතරතුර දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය අධිරාජ්‍යය යළි බලවත් වෙමින් පැවතුණා. එවැනි කාල සමයක පළමු වන වර්ගුණවර්මන් පාණ්ඩ්‍ය දේශයේ පාලකයා වශයෙන් අභිෂේක ලැබුවා. රණකාමියෙකු වශයෙන් ප්‍රසිද්ධව සිටි එම රජතුමා කොංගු රට (වර්තමානයේ බටහිර තමිල්නාඩුව) සහ වෙනඩු රට (වර්තමානයේ දකුණු කේරළය) යන ප්‍රදේශ අල්ලාගත්තා. 

ඉන් නොනැවතුණු වර්ගුණවර්මන් කාවේරි නදියෙන් දකුණට වන්නට පිහිටා තිබුණු සියලුම ප්‍රදේශවල පාලන බලය සියතට ගත්තා. ක්‍රි. ව. 815 දී වර්ගුණවර්මන්ගේ පාලන කාලය අවසන් වන විට පාණ්ඩ්‍ය අධිරාජ්‍යය දකුණු ඉන්දියාව තුළ බලවත්ව සිටියේ මේ හේතුවෙන්. වර්ගුණවර්මන්ගෙන් පසු පාණ්ඩ්‍ය දේශයේ පාලකයා බවට පත්වුණු ශ්‍රී මාර ශ්‍රී වල්ලභ සිය අධිරාජ්‍යයේ බලය තවදුරටත් ව්‍යාප්ත කරගැනීමට උත්සාහ කළා. එම නිසා ඔහු පාණ්ඩ්‍ය රටට ආසන්නව පිහිටා තිබුණු ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව උනන්දුවෙන් පසුවුණා.

පාණ්ඩ්‍ය ධජය (Wikimedia)

එකල ලක්දිව දේශපාලන වාතාවරණය 

ශ්‍රී මාර ශ්‍රී වල්ලභ පාණ්ඩ්‍ය දේශයේ පාලකයා බවට පත්වුණු වසරේ දීම ලංකාවේ රජකම් කළ 8 වන අග්බෝ රජතුමා මියගියා. එයින් පසු රජකමට පත්වුණේ ඔහුගේ බාල සහෝදරයෙකු වුණු දෙවන දප්පුල. දප්පුල රාජ්‍ය සමයේ දී මෙරට තිබුණු පැරණි වෙහෙර විහාර කිහිපයක් ප්‍රතිසංස්කරණය වුණා. ඒ හැර එම කාලයේ සිදුවුණු වෙනත් විශේෂ යමක් ගැන අසන්නට ලැබී නැහැ. දෙවන දප්පුල රජතුමා වසර 16ක කාලයක් අනුරාධපුරය පාලනය කිරීමෙන් පසුව ඔහුගේ පුත් අග්බෝ කුමරු 9 වන අග්බෝ නමින් අනුරාධපුරයේ රජකමට පත්වුණා. 

9 වන අග්බෝ රජකමට පත්වී ටික කලකින් ඔහුගේ ඥාති සොහොරෙකු රජකම සඳහා සටනට පිවිසුණා. සටනට පිවිසියේ අග්බෝ රජුගේ පියාගේ වැඩිමහල් සොහොයුරාගේ පුතෙකු වුණු මහින්ද නම් කුමාරයා යි. දෙවන දප්පුල රජවුණු පසුව ඔහුට බියෙන් ඉන්දියාවට පැනගිය මහින්ද, 9 වන අග්බෝ රජවුණු බව අසා විශාල සේනාවක් සමගින් ලංකාවට පැමිණියා. දෙදෙනා අතර පැවති සටනින් මහින්ද කුමරා පරාජයට පත්වුණා. ඔහු යළි ඉන්දියාවට පළා ගියා.

පළමුවන සේන රජකමට පත්වීම 

ක්‍රි. ව. 833 දී 9 වන අග්බෝ රජුගේ සොහොයුරා පළමුවන සේන නමින් අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත්වුණා. ඔහු රජකමට පත්වුණු විගසම ඉන්දියාවේ වාසය කරමින් සිටි මහින්ද කුමරු පිළිබඳව සොයා බැලුවා. මහින්ද කුමරු යළි සේනාවක් සමග ලංකාවට පැමිණේයැ යි යන බිය සේන රජුගේ සිතෙහි ඇතිවුණා. සේන රජතුමා සිය චර පුරුෂයන් යොදවා මහින්ද කුමරාව මරා දැමුවා. 

ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව අවධානයෙන් සිටි ශ්‍රී මාර ශ්‍රී වල්ලභට අසන්නට ලැබුණේ 1 වන සේන රජතුමා එතරම් දක්ෂ රජ කෙනෙකු නොවන බව යි. එසේම දේශීය කුමාරවරුන් පිරිසක් ද ලක්දිව බලය අල්ලාගැනීමට මාන බලමින් සිටින බව ශ්‍රී මාරට ආරංචි වුණා. එම නිසා වැඩිකල් යාමට මත්තෙන් ලංකාව ආක්‍රමණය කිරීමට ශ්‍රී මාර තීරණය කළා.

ශ්‍රී මාර ශ්‍රී වල්ලභ ලංකාව ආක්‍රමණය කරයි 

පාණ්ඩ්‍ය දේශයේ සිට ශ්‍රී මාර ශ්‍රී වල්ලභ නම් රජ කෙනෙකු ලංකාව ආක්‍රමණය කිරීමට එන බව සේන රජුට ආරංචි වුණා. එම අවස්ථාවේ දී සේන රජු සිය බාල සොයුරා වුණු යුවරජ මහින්ද යටතේ සේනාවක් යවනු ලැබුවේ ශ්‍රී මාර ඇතුළු පිරිස ලක්දිවට ඇතුළුවීම වැලැක්වීමට යි. නමුත් එදා සිංහල සෙනෙවිවරුන් අතර ඇතිවුණු අසමගියක් නිසා ශ්‍රී මාරට පහසුවෙන්ම ලංකාවේ උතුරුකරයේ ප්‍රදේශ අත්පත් කරගැනීමට හැකිවුණා. දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය රාජ්‍යයෙන් ශ්‍රී මාරට අමතර සේනා ලැබීම සිංහල හමුදාව පරාජයවීමට ප්‍රධානතම හේතුවක් වුණා.

සිංහල සේනාව පරාජයට පත්වීමෙන් පසුව යුවරජ මහින්ද සතුරාට හසුවීමෙන් වැළැකීමට සිය පණ නසාගත් බව පැරණි ඉතිහාස පොත්වල සඳහන් වනවා. සිය බාල සොයුරු මහින්දගේ සේනාව පරාජයට පත්වුණු බව අසා බියට පත්වුණු සේන රජතුමා තම ආරක්ෂාව සඳහා මලය රටට පළා ගියා. නමුත් සේන රජුගේ තවත් බාල සොයුරෙකු වුණු ආදිපාද කස්සප ආක්‍රමණිකයන්ට බියේ පළාගියේ නැහැ. ඔහු සතුරා සේනාවට එරෙහිව අනුරාධපුරයට ආසන්න ප්‍රදේශයක දී සටනක් දියත් කළා. නමුත් ප්‍රමාණයෙන් විශාල වුණු පාණ්ඩ්‍ය සේනාව හමුවේ ආදිපාද කස්සපගේ සේනාව පරාජය වුණා. එම සටනේ දී ආදිපාද කස්සප කුමරා මරණයට පත්වුණා. 

ශ්‍රී මාරගේ රුව දැක්වෙන පැරණි සිතුවමක් (wikipedia)

ශ්‍රී මාරගේ සේනාවන් අනුරාධපුරයට කළ විනාශය 

සේන රජතුමා ඇතුළු නගර වැසියන් අනුරාධපුරය අතහැර පළාගොස් තිබුණු අවස්ථාවේ ශ්‍රී මාර ඇතුළු සේනාව එහි කඩාවැදුණා. ඔවුන් වෙහෙර විහාර කඩාදමමින් ඒවායේ වස්තුව කොල්ලකන්නට වුණා. නගරයේ තිබුණු සියලුම වටිනා වස්තූන් කොල්ල කෑ ශ්‍රී මාරගේ සේනාවන් රාජ්‍ය භාණ්ඩාගාරය ද හිස්කරනු ලැබුවා.

ඒ වන විට මලය රටේ සැඟවී සිටි පළමු සේන රජතුමා ශ්‍රී මාරගෙන් යළි අනුරාධපුරය ලබාගන්නා ආකාරය පිළිබඳව කල්පනා කළා. ඒ වන විට ශ්‍රී මාර, සේන රජතුමාට යළි අනුරාධපුරය ලබාදීමට කැමැත්ත පළකර තිබුණා. නමුත් ඒ සඳහා ඔහුට විශාල මුදලක් ගෙවීමට සේන රජතුමාට සිදුවුණා. ශ්‍රී මාරගෙන් රාජ්‍යය නැවත ලබාගත් සේන රජු ඇතුළු පිරිස යළි අනුරාධපුරයට එන විට අනුරාධපුර නගරය යකුන් නැටූ පිටියක් සේ දිස්වුණු බව ඉතිහාස කතාවල ලියැවී තිබෙනවා.

ශ්‍රී මාරගේ සේනාවන් කළ විනාශයෙන් පසුව යළි අනුරාධපුර නගරය ගොඩනැගීමේ වගකීම සේන රජුට පැවරුණා. එසේම පාණ්ඩ්‍යයන් විසින් විනාශ කෙරුණු වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමත් රජු අතින් ඉටුවුණා. අනුරාධපුරය යළි තිබුණු තත්ත්වයටම පත්කළ පළමුවන සේන රජතුමා ක්‍රි. ව. 853 දී මරණයට පත්වුණා.

දෙවන සේන අනුරාධපුරයේ රජවීම 

පළමු සේන රජතුමාගේ බාල සොයුරන් දෙදෙනෙකු වුණු මහින්ද සහ ආදිපාද කස්සප යන කුමාරවරුන් පාණ්ඩ්‍යයන් සමග සටන්කිරීමට ගොස් මියගියා. ඉතිරි සහෝදරයා වුණු උදය, යුවරජ තනතුරක් දරමින් සිටිය දී අසනීප තත්ත්වයක් නිසා මරණයට පත්වුණා. උදයගේ මරණයෙන් පසුව පළමුවන සේන රජතුමා සිය යුවරජ තනතුර ආදිපාද කස්සපගේ වැඩිමහල් පුත්‍රයා වුණු සේන කුමරාට ලබාදුන්නා. පළමු සේනගේ අභාවයෙන් පසුව ආදිපාද කස්සප කුමරුගේ වැඩිමහල් පුත්‍රයා දෙවන සේන නමින් අනුරාධපුරයේ රජවුණා.

දෙවන සේන අනුරාධපුරයේ රජවන විටත් ශ්‍රී මාර පාණ්ඩ්‍ය දේශය පාලනය කරමින් සිටියා. ශ්‍රී මාර සිය පියාව මරා දැමූ නිසා දෙවන සේන රජතුමා ඔහු සමග දැඩි වෛරයකින් පසුවුණා. නමුත් පාණ්ඩ්‍ය දේශයේ රජතුමාට එරෙහිව සටන් කිරීමට තරම් බලයක් දෙවන සේන රජතුමාට තිබුණේ නැහැ. එම නිසා ඔහු සිය සතුරාගෙන් පළිගැනීමට සුදුසුම අවස්ථාව එනතුරු බලා සිටියා.

දෙවන සේන රජතුමා ශ්‍රී මාරට පාඩමක් උගන්වයි 

දෙවන සේන රජු රජකමට පත්ව වසර 8ක් පමණ ගතවෙද්දී සිය සතුරාගෙන් පළිගැනීමට කදිම අවස්ථාවක් ඔහුට හිමිවුණා. දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය රාජධානිය තුළ ඇතිව තිබුණු බල අරගලයක් නිසා ශ්‍රී මාරගේ පුත් වර්ගුණවර්මන් සිය පියාට එරෙහිව සටනට පිවිස තිබුණා. නමුත් ඒ වන විට ශ්‍රී මාරට විශාල පිරිස් බලයක් තිබුණු නිසා ඔහුව පරාජය කිරීමට විශාල සේනාවක් අවශ්‍ය වුණා. 

වර්ගුණවර්මන් අසල තිබුණු රාජ්‍යයන්ගෙන් උදව් ඉල්ලා සිටියා. ඔහු ලංකාවේ දෙවන සේන රජතුමාගෙන් ද උපකාරයක් ඉල්ලා තිබුණා. ශ්‍රී මාරගෙන් පළිගැනීමට මාන බලමින් සිටි සේන රජතුමා වර්ගුණවර්මන්ට සහාය පළකිරීමට එකඟවුණා.  

වර්ගුණවර්මන්ගේ සහායට කුට්ඨික සෙනවියාගේ නායකත්වය යටතේ විශාල සේනාවක් ලංකාවේ සිට පාණ්ඩ්‍ය දේශය බලා පිටත්ව ගියා. ශ්‍රී මාර සමග හතුරු වී සිටි පාලකයන් රැසක් වර්ගුණවර්මන්ට සහාය පළකළා. එම නිසා ශ්‍රී මාර සහ වර්ගුණවර්මන් අතර පැවති යුද්ධය දරුණු වුණා. නමුත් ශ්‍රී මාරගේ සේනාවන් යුද භූමිය තුළ මැරී වැටෙද්දී ඔහුගේ බලය ක්‍රමයෙන් අඩපණ වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ දී වර්ගුණවර්මන්ගේ සේනාව යුද්ධයෙන් ජයග්‍රහණය කළා.

සිංහල සේනාව සහ වර්ගුණවර්මන්ගේ සේනාව එක්වී ඔහුව දෙවන වර්ගුණවර්මන් නමින් රජකමට පත්කරවනු ලැබුවා. ශ්‍රී මාරගේ සේනා පරාජය කළ සිංහල සේනාව යළි ලංකාවට පැමිණෙමින් සිටි අවස්ථාවේ අපගේ හමුදා නායක කුට්ඨිකට පාණ්ඩ්‍යයන් අනුරාධපුරයට කළ විනාශය සිහිපත් වුණා. එයට එකට එක කිරීමක් ලෙස කුට්ඨික ඇතුළු පිරිස පාණ්ඩ්‍ය දේශයේ අගනුවර වුණු මදුරාපුරය කොල්ල කෑවා. 

 

කවරයේ ඡායාරූපය- දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් දැක්වෙන සිතුවමක් (tamilandvedas.com)  

මූලාශ්‍රයයන්- මහාවංසය

Related Articles