ණයක් ගැනීමට ගොස් තෑග්ගක් ලෙස ලැබුනු වික්ටෝරියා ජලාශය

ලංකාවේ දෛනික විදුලි අවශ්‍යතාව සඳහා වැඩිම දායකත්වයක් සපයන්නේ වික්ටෝරියා ජලාශය මඟිනි. අපට මෙය ලැබුනේ එංගලන්තයෙන් ත්‍යාගයක් ලෙස යි. ණයක් ලෙස ගැනීමට ගොස් ත්‍යාගයක් ලෙස මෙම ජලාශය අපට ලැබුනේ ජේ.ආර්. ජයවර්ධනගේ තැනට සුදුසු නුවණ නිසාවෙනි.

වික්ටෝරියා ජලාශය සාදා තිබෙන්නේ මධ්‍යම කඳුකරයේ දුම්බර මිටියාවත මැද්දෙන් ගලන මහවැලි ගඟට හුළු ගඟ එකතු වන ස්ථානයට මදක් පහළිනි. මෙය සාදා තිබෙන්නෙ මහවැලි ගඟේ පටුම ස්ථානයේ දී යි. දෙනිගල කන්ද හා බෝලගල කන්ද එකට යා කර සාදා ඇති වික්ටෝරියා වේල්ල තිබෙන ස්ථානයේ එය සෑදීමට පෙර එයට 300m පහළින් තිබුනේ වික්ටෝරියා දිය ඇල්ල යි. වික්ටෝරියා වේල්ලට එම නම ලැබුනේ වික්ටෝරියා දිය ඇල්ල නිසා යි. මෙම දිය ඇල්ල 10m උසකින් යුක්ත වූ අතර මහවැලි ගඟෙන්, හුළු ගඟෙන්, ගල්මල් ඔයෙන්, තලවතු ඔයෙන් හා මා ඔයෙන් එන ජලය දිය ඇල්ලෙන් බැස කිසිදු ප්‍රයෝජනයකින් තොරව මහ මුහුදට ගලා බසියි. වික්ටෝරියා වේල්ල සෑදීමට යන්නේ මෙයින් ප්‍රයෝජනයක් ගෙන රටේ දැවෙන ප්‍රශ්න කිහිපයකට විසදුමක් ලෙසට යි. 1948 වසරේ දී ලංකාවට නිදහස ලැබෙන විට ලංකාව ‘සංවර්ධනය වෙමින් පවතින රටක්’ ලෙස නම් කළේය.

වික්ටෝරියා වේල්ල සාදමින් (thetruth.lk)

දැවැන්ත වේල්ලක් සෑදීමට ප්‍රථම එය පිළිබඳ සමීක්ෂණ පැවැත්විය යුතු යි. 1949 සිට 1980 වසර දක්වා පුරා වසර 31ක කාලයක් ලංකාව පාලනය කළ සියලු රජයයන් මෙම වේල්ල සෑදීම සඳහා වූ සමීක්ෂණ සඳහා දායක වුනා. සමීක්ෂණ සිදු කළ නමුත් වේල්ල සෑදීමට තරම් ලංකාවට ආර්ථික ශක්තියක් තිබුනේ නැහැ. එකල රටේ තිබූ මුදල අනුව මෙම වේල්ල සාදනවා නම් වසර 30ක කාලයක් ගතවන බව පැවසුවා. 1980 වසර වන විට ලංකාවේ ජනාධිපති වී සිටියේ ජේ.ආර්. ජයවර්ධන වන අතර ඉඩම් සංවර්ධන, මහවැලි සංවර්ධන හා විදුලි බල අමාත්‍ය ලෙස සිටියේ ගාමිණී දිසානායක යි. වේල්ල සෑදීම සඳහා ලංකාවේ මුදල් නොමැති නිසා ජේ.ආර්, ගාමිණී, සහ ලලිත් ඇතුලත්මුදලි යන තිදෙනා එක්සත් රාජධානිය වෙත යන්නේ මෙයට ණය මුදලක් ලබා ගැනීම සඳහා යි.

එංගලන්තයට ගොස් දෙවන එළිසබෙත් රැජිණ හමුවූ ජේ.ආර්. ජයවර්ධන තමන් ආ කාරණය පවසනවා. ලංකාවේ සාදන විශාලතම ජලාශය සඳහා ණය මුදලක් අවශ්‍ය බවත්, මෙය ණයක් ලෙස ගත්තත් ජලාශය නම් කරන්නේ එලිසබෙත් රැජිණගේ මිත්තනිය වන වික්ටෝරියා රැජිණගෙ නමින් බවත්‍ පවසනවා. නමුත් සැබවින්ම වික්ටෝරිය ජලාශයට එම නම මීට පෙර සිටම යෝජනා වී තිබුණු එකකි. මන්ද වේල්ල නිර්මාණය වූයේ වික්ටෝරියා දිය ඇල්ල මත නිසාවෙනි. මෙයින් පැහැදුනු එලිසබෙත් රැජිණ, මෙම ජලාශය සාදන්නේ වික්ටෝරියා රැජිණගේ නමින් නම් ණයක් නොව ආධාරයක් දීමට කැමැත්ත පල කරනවා. එදිනම ගාමිණී දිසානායක, ජේ.ආර්., සහ එලිසබෙත් රැජිණ එවකට එංගලන්තයේ අගමැතිව සිටි මාග්‍රට් තැචර් හමුවීමට තීරණය කරයි. මාග්‍රට් තැචර් හමුවූ විට ඇය, මෙම වික්ටෝරියා ව්‍යාපෘතිය සෑදීමේ අරමුණු අසා සිටිනවා. එයට පිළිතුරු ලෙස ගාමිණී දිසානායක වික්ටෝරියා ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු 5ක් කියාපානවා. එනම්;

  1. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් බැවින් කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය ගබඩා කරගැනීම
  2. ජල විදුලිය නිශ්පාදනය
  3. වේල්ලේ ඉහළ ප්‍රදේශයේ සිටිනා අයගේ ජල පරිභෝජනයට
  4. මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීමට
  5. ගංවතුර පාලනය කිරීමට ආදී වශයෙන්.
මාග්‍රට් තැචර්, ගාමිණී දිසානායක හා ජේ.ආර්. ජයවර්ධන (thetruth.lk)

අවසානයේ දී වික්ටෝරියා ව්‍යාපෘතියට රු. මිලියන 8900ක ආධාරයක් දීමට ඔවුන් කැමති විය. එවිට ගාමිණී දිසානායක විසින් තවත් ඉල්ලීමක් මාග්‍රට් තැචර් හට යොමු කෙරිනි. ලංකාවේ ප්‍රමාණවත් තරම් ඉංජිනේරුවන් හා තාක්ෂණික ශිල්පීන් නොසිටින නිසා මෙම ව්‍යාපෘතිය එංගලන්තයේ ඉංජිනේරු අයතනයකට බාර දෙන ලෙස යි ඒ. එයටත් ඔවුන් කැමති වන අතර මෙම ව්‍යාපෘතිය එංගලන්තයේ CCB ආයතනය වෙත පවරා සිටිනවා. මීට පෙර පොල්ගොල්ල වේල්ල සෑදීමේ දී එහි ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස කටයුතු කළ චන්ද්‍රා පෙරේරාව වික්ටෝරියා ව්‍යාපෘතියේ නේවාසික ඉංජිනේරුවරයා ලෙස ඒකමතිකව පත්කර සිටිනවා.

චන්ද්‍රා පෙරේරා මහතා එංගලන්තයෙන් පැමිණි ඉංජිනේරුවන් තිදෙනෙක්ට වසර 31ක වික්ටෝරියා ව්‍යාපෘතිය සඳහා කරන ලද සමීක්ෂණ වාර්තා පෙන්වූ පසු ඔවුන් මාස තුනක දී පුළුල් සමීක්ෂණ වාර්තාවක් සාදනු ලබනවා. මෙය සිදු කරනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාල හා එංගලන්තයේ භූ විද්‍යා පිළිබඳ සොයිල් මෙකැනිකල් ආයතනය මඟිනුයි. මෙම සමීක්ෂණ වාර්තාවලට අනුව සොයාගනු ලබනවා මෙම වේල්ල සෑදීමට යන්නේ පිහිටි කළු ගලක් මත බව. ගැඹුර 237m වන එහි 25m පළලට 25m ගැඹුරට හාරා වේල්ලේ අත්තිවාරම දමනු ලබනවා. වේල්ල සෑදූ පසු එහි උස 122, දිග 520m වන අතර මෙය දෙවක් ආරුක්කු කොන්ක්‍රීට් වේල්ලකි. ජලාශය තුළ ජලය ඝන මීටර මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ගබඩා කළ හැකියි.

එලිසබෙත් රැජිණ ලංකාවට පැමිණි දා (thetruth.lk)

මෙම වේල්ල අභ්‍යන්තරය තට්ටු හතකින් සමන්විත වන අතරම වේල්ලේ එක් කොනක සිට අනෙක් කොනටත් වේල්ලේ ඉහළ සිට අඩියටත් වේල්ල අභ්‍යන්තරයෙන් ඇවිදගෙන යා හැකි වීම මෙහි විශේෂත්වයක්. ජලාශයේ ජල මට්ටම එහි උපරිමයට (මුහුදු මට්ටමේ සිට 438.04m) ළඟා වූ විට වේල්ල පහළට ඉතා සුළු ප්‍රමාණයකින් තල්ලු වේ (අවම – 30mm උපරිම -68mm). වික්ටෝරියා ජලාශයේ සිට වික්ටෝරියා ජල විදුලි බලාගාරය තෙක් උමඟක් මාර්ගයෙන් ජලය ගෙන යයි. මෙම උමඟ බෙලිගල කන්ද යටින් 5.4 km දුරක් ගමන් කර කොටස් තුනකට බෙදී ටර්බයින් තුනක් වෙත යයි. මෙමඟින් මෙගා වොට් 210ක විදුලිය නිපදවයි.

වේල්ලේ අභ්‍යන්තරය (thetruth.lk)

වේල්ලේ ස්වයංක්‍රීයව පාලනය වන සොරොව් 8ක් තිබේ. මෙමඟින් ඕනෑම ගංවතුරක් පාලනය කළ හැකියි. වේල්ලේ පහළම තිබෙන සොරොව්ව මාස තුනකට වරක් විනාඩි 15 -20ක් දක්වා විවෘත කරනු ලබයි. එයට හේතුව වන්නේ ජලාශයේ ඇති රොන් මඩ ඉවත් කිරීමට හා විදුලි බලාගාරය දක්වා වූ ස්වභාවික ගඟේ ජලය ගලා යෑමට යි. වික්ටෝරියා ජලාශයේ මාළු අල්ලා ජීවත් විය හැකි පවුල් ගණන 6900කි. එය දැන් පවුල් 3900ක් දක්වා බැස ඇත්තේ වික්ටෝරිය ගොල්ෆ් පිට්ටනිය අසලට සී ප්ලේන් ගොඩබෑම නිසාවෙනි.

වේල්ල විවෘත කිරීමේ උත්සවය දින (thetruth.lk)

වේල්ල සෑදීමේ දී රෑ දවල් දෙකෙහි මිනිසුන් 7000ක් සේවයේ නියැලී සිටි අතර මුල දී පැවසුවේ වේල්ලේ වැඩ අවසන් වන විට අවම වශයෙන් මිනිසුන් 1200ක් මියයයි කියා ය. නමුත් මියගියෙර් මිනිසුන් 50 දෙනෙකු පමණයි (එංගලන්තයෙන් 3, ලංකාවෙන් 47). වේල්ල නැරඹීම සඳහා 1981 වසරේ ඔක්තෝබර 21 වන දින දෙවන එලිසබෙත් රැජිණ ලංකාවට පැමිණියා ය. වේල්ල දුටු ඇය අතිශයින් සතුටට පත්වූ බව පවසයි. 1984 දී ජලාශයට ජලය පුරවනු ලැබූ අතර 1985 අප්‍රේල් 12 වන දින මාග්‍රට් තැචර් විසින් නිල වශයෙන් මෙම වේල්ල ලංකාවට පවරනු ලබනවා.

මූලාශ්‍රයයන්:

1)You Tube

2)sathsamudura.blogspot.co

3)දිවයින, මව්බිම පුවත්පත්

කවරයේ පින්තූරය -වේල්ල සාදමින් සිටින අවධිය (thetruth.lk)

Related Articles