Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆොටෝෂොප් නැති කාලෙ කරපු ෆොටෝ එඩිටිං

වර්තමානය වන විට ප්‍රකට හා කුප්‍රකට මිනිසුන්ගේ හිස් හා කඳවල් වෙනත් අයෙකුගේ ශරීරය සමග සමපාත වන අයුරින් ඡායාරූප සංස්කරණය කිරීම දිනපතා බහුලව දක්නට ලැබේ. මෙසේ ඡායාරූප සංස්කරණය අද ඊයේ පටන් ගත්තක් නොවේ. ඡායාරූපවල මුල් අවධියේ පටන් සිදු වූවකි. අද වන විට ඒවා පහසුවෙන් සිදු කිරීමට තාක්ෂණය තිබේ. නමුත් අතීතයේ දී එසේ නොවේ. ඡායාරූප සංස්කරණය ඉතා අපහසු කටයුත්තකි. මෙම ලිපියෙන් කීමට යන්නේ අතීතයේ දී සංස්කරණය වූ ප්‍රකට ඡායාරූප කිහිපයක් පිළිබඳව යි.

ලින්කන්

මුල්ම මහා පරිමාණයේ ඡායාරූප සංස්කරණය 1860 අවධිය දක්වා දිව යයි. ඊට පෙර කුඩා ඡයාරූප සංස්කරණ කටයුතු සිදු වී ඇත. මෙසේ සංස්කරණය වූ ඡායාරූපවලට හිමිකරු වූයේ ඇමරිකාවේ 16 වෙනි ජනාධිපති වූ ඒබ්‍රහම් ලින්කන් ය. ඡායාරූප ගැනීමේ මුල් අවධිය ලෙස සනිටුහන් වූයේ ඔහුගේ කාලයේ දී ය. රටේ බහුතර ජනතාව තම රටේ පාලකයන්ව හැබැහින් දැක තිබුනේ නැත. ඔවුන්ගේ හැඩහුරුව කුමන ආකාරයේ ද යන්න ඔවුන් දැනගත්තේ පුවත්පත්වල වූ සටහන් ඇසුරෙනි. ලින්කන් ජනාධිපතිවරණයට තරග කළ වකවානුවේ දී රටේ නොයෙක් පුවත්පත්වල ලින්කන්ගේ හැඩහුරුකම් පිළිබඳව තොරතුරු පළ වෙන්නට පටන් ගත්තේ ය. අවාසනාවකට මෙසේ පළ වූ තොරතුරුවලින් ලින්කන්ගේ පෙනුම ගැන ජනතාව දැනගත්තේ ප්‍රියමනාප ආකාරයට නොවේ.

මේ හේතුවෙන් බොහෝ දෙනා ඉල්ලා සිටියේ ලින්කන්ගේ ඡායාරූපයක් පුවත්පත්වල පළ කරන ලෙස යි. ඒ අනුව එකල සිටි ප්‍රකට ඡයාරූප ශිල්පියෙකු වූ මැතිව් බ්‍රැඩී හරහා ලින්කන් තමන්ගේ ඡායාරූප ලබාගත්තේ ය. එසේ ලබාගත් ඡායාරූප මාධ්‍යට නිකුත් කළේ ඒවා බ්‍රැඩී විසින් සුළු සුළු සංස්කරණයන්ට භාජනය කිරීමෙන් අනතුරුව යි. එය කෙතරම් සාර්ථක වූවා ද කිවහොත් ලින්කන් පසුකාලීනව පවසා සිටියේ “මාව ජනාධිපති කලේ බ්‍රැඩී” ලෙස යි. ලින්කන්ගේ හොඳම ඡායාරූප සංස්කරණය වූයේ එය නොවේ. ලින්කන්ව ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිහිවටන අතර තැබීමට ඇමරිකාවේ හත්වන උප ජනාධිපති වූ ජෝන් සී. කැල්හෝන්ගේ පින්තූරයක ඔහුගේ සිරුරට ලින්කන්ගේ හිස සම්බන්ධ කළේය. පහත දැක්වෙන්නේ එය යි.

iconicphotos.wordpress.com

ජෙනරල් ග්‍රාන්ට්

ඡායාරූප සංස්කරණ ඉතිහාසයේ මුල්ම අවධියේ ඡායාරූප අතරින් හොඳම ඡායාරූප සංස්කරණය තෝරන්නට කිවහොත් ඉහත සංස්කරණය මුල් තැන ලබාගන්නා බව නිසැක යි. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ ඇමරිකාවේ 18 වෙනි ජනාධිපති වූ ජෙනරල් යුලිසීසස් එස්. ග්‍රාන්ට් ඇම‍ෙරිකානු සිවිල් යුද්ධය අවධියේ දී වර්ජීනියහි දී ගන්නා ලද ඡායාරූපයකි (1864). පසුකාලීනව මෙය ඡායාරූප තුනක් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක් බව සොයාගන්නා ලදී. ජෙනරල් ග්‍රාන්ට්ගේ ඡායාරූපයකින් හිස කොටස ලබාගත් අතර අශ්වයා සහිත මිනිස් ශරීර කොටස ලබාගන්නා ලද්දේ මේජර් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් එම්. කුක්ගේ ඡායාරූපයක් ඇසුරෙනි. එසේම පසුබිම සපයා ගන්නා ලද්දේ වර්ජීනියාවේ ෆිෂර්ස් හිල්හි සටනේ දී අල්ලාගත් සිරකරුවන්ගේ ඡායාරූපයක් ඇසුරෙනි.

pinterest.com

හිට්ලර් , මුසොලිනි හා මාඕ

1937 දී ගන්නා ලද හිට්ලර් සිටින ඡායාරූපයක ජෝසප් ගොබෙල්ස් ඉවත් කර ඇත. ගොබෙල්ස් යනු හිට්ලර්ට ඉතාමත් හිතවත් පුද්ගලයෙක් වූ අතර දෙවන ලෝක යුද්ධය අවසානයේ දී මේ දෙදෙනාම සිය දිවි නසා ගන්නා ලදී. කෙසේවෙතත් ගොබෙල්ස්ව උක්ත ඡායාරූපයෙන් ඉවත් කිරීමට හේතුව සිතා ගැනීමට අපහසු ය.

ඉතාලියේ බෙනිටෝ මුසොලිනි යනු කවුරුත් හඳුනන පාලකයෙකි. ඔහුට තමන්ගේ අශ්වයා හරිහැටි හසුරවන්න නොහැකි යි යන්න ජනතාව දැනගතහොත් ඔහුගේ කීර්ති නාමය පළුදු වනු නිසැක ය. එම නිසා 1942 වසරේ දී ගන්නා ලද මෙම ඡායාරූපයෙන් අශ්වයාව පාලනය කළ පුද්ගලයාව මකා දමා මාධ්‍යයට ඡායාරූපය නිකුත් කර තිබේ.

මාඕ සේතුං ගැනත් ඔබ අසා ඇතුවාට සැක නැත. ඔහු ද කලක් ගත වන විට තමන්ට අනවශ්‍ය යි කියා හැඟුණු පුද්ගලයින්ව ඉවත් කර තිබේ. තමන්ගේ ආශ්‍රයෙන් පමණක් නොව ඡායාරූපවලින් ද ඉවත් කර තිබේ. පහත දැක්වෙන ඡායාරූපයේ මාඕ සමග සිටින පෝ කු පෙර දී මාඕට වඩාත් හිතවත්ව සිටි පුද්ගලයෙකි. මෙය 1936 දී ගන්නා ලද ඡායාරූපයකි.

dailymail.co.uk

සෝවියට් හමුදාවේ ඔරලෝසු

පහත දැක්වෙන්නේ ඉතාමත් ප්‍රකට ඡායාරූපයකි. සෝවියට් හමුදා බර්ලීනයට පැමිණ හිට්ලර් පරාජය කළ පසු සෝවියට් සෙබලුන් දෙදෙනෙකු එහි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මතට නැගී සෝවියට් ධජය එසවීම පහතින් දැක්වේ. මෙය සිදුවූයේ 1945 වසරේ මාර්තු දෙවන දා ය. මීට පසු දින ජර්මන් වැසියන් විසින් මෙම ධජය පහත හෙළා ඇත. මෙය ඕගොනියොක් සඟරාවේ පළ වූයේ 1945 වසරේ මාර්තු 13 වන දින යි. එම පළ කිරීමට ප්‍රථම ඔවුන් මෙම ඡායාරූපයේ විශේෂිත දෙයක් නිරීක්ෂණය කළේ ය. එනම් ධජය ඔසවන සෝවියට් සෙබලුන් දෙදෙනාගේ අත් දෙකේ ඔරලෝසු දෙක බැගින් තිබීම යි. මොවුන් බර්ලීනයට පැමිණෙන විට අත්වල ඔරලෝසු තිබුනේ නැත. එසේ නම් නිසැක වශයෙන්ම මෙම ඔරලෝසු සොරකම් කළ ඒවා විය යුතු යි. මෙය මාධ්‍යයට මුදා හැරියහොත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවන බව දැනගත් සඟරාවේ කර්තෘ, ඡායාරූපයෙන් ඔරලෝසු ඉවත්කර පළ කරන ලෙසට නියෝග කළේ ය.

rerehistoricalphotos.com

ලෙනින් සහ ස්ටාලින්

1920 මැයි 5 වන දින ලෙනින් විසින් සෝවියට් හමුදාවට ප්‍රසිද්ධ දේශනයක් මොස්කව්හි දී ලබා දුන්නේ ය. පහත ඡායාරූපයේ සිටින ලියොන් ට්‍රොස්කි සහ ලෙව් කාමෙනෙව් පසුකාලීනව ඡායාරූපයෙන් ඉවත් කර ඇත.

පහත දැක්වෙන අනික් ඡායාරූපයෙන් දැක්වෙන්නේ ස්ටාලින් සමග ඔහු හට යාමට පාර පෙන්වන තරුණයෙක් ය. ස්ටාලින් වැනි අයෙකුට මෙවන් තරුණයෙක් පාර පෙන්වීම ඔහුට එතරම් සුදුසු නැතැ යි සැලකූ නිසා එම තරුණයාව ඡායාරූපයෙන් ඉවත් කර මාධ්‍යයට නිකුත් කර තිබේ.

wikipedia.org

මූලාශ්‍රයයන්:

Dailymail.co.uk

rerehistoricalphotos.com

history.com

සත් සමුදුර බ්ලොග් අඩවිය

කවරයේ පින්තූරය – ලෙනින්ගේ දේශනයක් අතරතුර දැක්වෙන පින්තූරයක්. මෙම සිදුවීම දැක්වෙන ඡායාරූපය සංස්කරණය වී තිබේ. (thenation.com)

Related Articles