සෝවියට් හමුදා විසින් පාගා දැමුණු 1956 හන්ගේරියානු විප්ලවය​

දෙවන ලෝක යුද්ධයේ දී හිට්ලර්ගේ නට්සි ජර්මන් හමුදා විසින් අල්ලාගන්නා ලද නැගෙනහිර යුරෝපයේ වූ ප්‍රදේශ බොහොමයක් නිදහස් කරගන්නා ලද්දේ සෝවියට් හමුදා විසිනුයි. ඉන්පසු ගතවූ වසර කිහිපය තුළ එම ප්‍රදේශ බොහොමයක කොමියුනිස්ට් පාලනයන් බිහි වුණා. කෙසේ නමුත්, මෙසේ බිහිවූ පාලකයන්ට ඒ රටවල ජනතාවගෙන් වැඩි පිරිසකගේ ප්‍රසාදය හිමි වූයේ නැහැ. මේ හේතුවෙන් ඇතැම් රටවල විරෝධතා ඇතිවූ අතර ඇතැම් විට ඒවා උත්සන්න වූ විට සෝවියට් දේශය ඊට හමුදා යොදා පිළිතුරු දුන්නා. 1956 හන්ගේරියානු විප්ලවය මර්දනය කිරීම එවන් බරපතල අවස්ථාවක් වුණා.

සෝවියට් හමුදා හන්ගේරියාවට පැමිණීම​

හන්ගේරියාවට සෝවියට් හමුදා පැමිණියේ 1944 අවසාන භාගයේයි. මේ වෙද්දි නැගෙනහිර මෙන්ම බටහිර පෙරමුණේද ජර්මන් හමුදා පරාජය වෙමින් පැවතුණා. හන්ගේරියාවේ රජය මිත්‍ර රටවල් සමඟ සාම කතා ඇරඹීමට සූදානම් වන බව දැනගත් හිට්ලර් තමන්ට හිතවත් රජයක් එහි පිහිටවූවා. නමුත් 1944 දෙසැම්බර් මස අවසානයේදී සෝවියට් හමුදා බුඩාපෙස්ට් අගනුවර වටලාගත්තා. නගරය 1945 පෙබරවාරි 13 වනදා යටත් වුණා. ඉන් මාස තුනකට අඩු කාළයකදී යුරෝපයේ යුද්ධය නිම වුණා.

ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ

සෝවියට් අනුග්‍රහය යටතේ හන්ගේරියානු කොමියුනිස්ට් පක්ෂය එරට දේශපාලනයේ ප්‍රබල භූමිකාවක් රඟ දැක්වූවා. එකල හන්ගේරියාවේ කොමියුනිස්ට් නායකයා වූයේ උග්‍ර ස්ටාලින්වාදියකු වූ මට්යාස් රාකෝසි යි. නැගෙනහිර යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල සිදු වූ පරිදි එකවර කොමියුනිස්ට් පාලනයක් බිහිකිරීමට තම අදහසක් නොමැති බව සෝවියට් නායක ජෝශප් ස්ටාලින් හන්ගේරියාවේ කොමියුනිස්ට් නායක රාකෝසි සමඟ කියා සිටියා. ඊට හේතු වූයේ එවන් බලය ඩැහැ ගැනීම් හේතුවෙන් අනෙකුත් මිත්‍ර රටවල් සෝවියට් දේශය විවේචනය කිරීමයි.

මට්යාස් රාකෝසි (Hungarian National Museum)

1945 නොවැම්බර් මාසයේ පවත්වන ලද මැතිවරණය හන්ගේරියානු කොමියුනිස්ට්වාදීන් බලාපොරොත්තු නොවූ පරිදි පසු බැස්වීමට සමත් වුණා. මෙහිදී ස්වාධීන​ කුඩා ඉඩම් හිමියන්ගේ පක්ෂය (Independent Smallholders Party) ආසන 245 ක් දිනාගත්තේ ඡන්දවලින් සියයට 57 ක් ලබා ගනිමින්. කොමියුනිස්ට්වාදීන් ආසන 70 ක් ලබා ගත්තේ සියයට 17 ක් වූ ඡන්ද ප්‍රතිශතයක් සමඟිනුයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 69 ක්, ජාතික ගොවිජන පක්ෂය ආසන 23 ක් යනාදී වශයෙන් අනෙකුත් ආසන බෙදී ගියා. ව්‍යවස්ථාදායකයේ සමස්ථ ආසන සංඛ්‍යාව වුණේ 409 ක්.

කෙසේ නමුත් මෙම පසු බැසීම පිළිබඳ රාකෝසි එතරම් කලබලයට පත් වූයේ නැහැ. සෝවියට් හමුදා රැඳී සිටීම සහ සෝවියට් ආධාර ලැබීම හේතුවෙන් හන්ගේරියානු කොමියුනිස්ට්වාදීන්ට ප්‍රජාතාන්ත්‍රික මැතිවරණ පිළිබඳ එතරම් වද වීමට අවශ්‍ය නොවීම ඊට හේතුවයි.

“සලාමි උපක්‍රම

රාකෝසි විසින්ම සිය ඊළඟ පියවර පසු කලෙකදී හඳුන්වා දෙන ලද්දේ “සලාමි උපක්‍රම​” ලෙසින්. සලාමි කැබලි කපන පරිද්දෙන් විරුද්ධ පක්ෂවල කැබලි කපමින් ඒවා දුර්වල කිරීම මෙම ක්‍රමය වුණා. මෙහිදී එම පක්ෂ අභ්‍යන්තරයේ හිඳිමින් කටයුතු කරන කොමියුනිස්ට් හිතවාදීන් සමහරෙකුගෙන් රාකෝසිට​ සහය ලැබුණ අතර ඇතැම් විරුද්ධවාදීන් අත් අඩංගුවට ගැනීම​, බිය වැද්දීම, සහ රටින් පළවා හැරීම හෝ ඝාතනය කිරීම ද කොමියුනිස්ට්වාදීන් විසින් සිදු කළා.

1947 දී පවත්වන ලද මැතිවරණය දූෂිත එකක් වූ බවට චෝදනා නැගෙනවා. එහිදී ආසන 411 ක් තිබුණු ව්‍යවස්ථාදායකයේ තනි විශාලම පක්ෂය වන්නට කොමියුනිස්ට්වාදීන් සමත් වුණා. ඔවුනට ආසන 100 ක් ලැබුණ අතර ස්වාධීන කුඩා ඉඩම් හිමියන්ගේ පක්ෂය ආසන 68 ක්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 67 ක් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂය ආසන 60 ක් දිනාගත්තා. මේ අවස්ථාවේ කොමියුනිස්ට්වාදීන් ද ඇතුලත් සභාගයක් පිහිටුවාගත් අතර අනෙකුත් පක්ෂ එකින් එක දේශපාලන වේදිකාවෙන් ඉවත් කිරීමට කොමියුනිස්ට්වාදීන් කටයුතු කළා. 1948 දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කොමියුනිස්ට් පක්ෂය සමඟ එක් වූ අතර​ හන්ගේරියානු වැඩකරන ජනතාවගේ පක්ෂය (Hungarian Working Peoples’ Party) බිහි වුණා.

ස්ටාලින්ගෙන් පසු

රාකෝසි 1953 වනතුරුම හන්ගේරියාව පාලනය කළේ විරුද්ධවාදීන් මර්දනය කරමින්. විශේෂයෙන්ම කොමියුනිස්ට් පක්ෂය තුළ වූ ඔහුට එරෙහි වන්නේ යයි සැක සිතූ අය ඉවත් කිරීම, සිරගත කිරීම හෝ ඝාතනය කිරීම මගින් ඔහු බලය තහවුරු කරගත්තා.

මේ අතර ආර්ථිකය දෙස සැළකීමේදී රාකෝසි විසින් දැඩි ස්ටාලින්වාදී ප්‍රතිපත්ති අනුගමනය කරනු දක්නට ලැබුණා. ඉඩම් ප්‍රතිසංස්කරණ යනු හන්ගේරියානුවන් වැඩි දෙනෙකු බලාපොරොත්තු වූ දෙයක්. ඒ බව 1945 දී කුඩා ඉඩම් හිමියන්ගේ පක්ෂය ලබාගත් මැතිවරණ ජයග්‍රහණයෙන් ද පැහැදිලි වනවා. නමුත් රාකෝසි අනුගමනය කළේ සම්පූර්ණ ගොවිතැනම සමූහ ගොවිපලවල් වෙත ඒකරාශී කිරීමේ ස්ටාලින්වාදී ක්‍රමයයි. මෙයට ජනතාව වැඩි දෙනෙකුගේ කැමැත්තක් වූයේ නැහැ.

1953 මාර්තු මාසයේ සෝවියට් නායක ජෝශප් ස්ටාලින් මිය ගිය පසු සෝවියට් ප්‍රතිපත්තිවල යම් වෙනසක් සිදු වුණා. ඒ සමඟම රාකෝසිට ද සිය දැඩි ප්‍රතිපත්ති මදක් ලිහිල් කිරීමට සිදු වුණා. 1953 ජූනියේදී ඉම්ර නාගි අගමැති ධූරයට පත් වූයේ මේ අනුවයි. ඔහු පළමු වතාවේ 1955 වනතුරු අගමැති ලෙස කටයුතු කළා.

ඉම්ර නාගි කතාවක් පවත්වමින් (Hungary Today)

1956 දී සෝවියට් නායක නිකිටා කෘශෙව් විසින් ස්ටාලින්ගේ ප්‍රතිපත්ති නිර්දය ලෙස විවේචනය කිරීම සෝවියට් කඳවුර දෙදරාලීමට සමත් වුණා. එක් අතකින් මෙම විවේචන ඇල්බේනියාව සහ චීනය සෝවියට් දේශයෙන් ඈත් කිරීමට සමත් වුණා. අනෙක් අතින් කොමියුනිස්ට් පක්ෂ තුළම යම් යම් බල අරගලයන් ඇති වන්නට පටන් ගත්තා.

නැගෙනහිර යුරෝපයේ පෝලන්තය සහ හන්ගේරියාව මෙම විපර්යාසය තදින් දැනුණ රටවල් වුණා. පෝලන්තයේ වඩා මධ්‍යස්ථ මතධාරී කොමියුනිස්ට්වාදීන්ට අවශ්‍ය වූයේ ස්ටාලින්වාදී ප්‍රතිපත්ති ලිහිල් කිරීමයි. විශේෂයෙන්ම ආගමික පීඩනය​, සමූහ ගොවිපලවල්, පාරිභෝගික භාණ්ඩ වෙනුවට බැර කර්මාන්ත කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම වැනි ආර්ථික සහ දේශපාලන කරුණු හේතුවෙන් පෝලන්ත ජනයා තුළ කොමියුනිස්ට් පාලනය කෙරේ අප්‍රසාදයක් ගොඩ නැගී තිබුණා. මෙම තත්ත්වය හන්ගේරියාව පිළිබඳවත් ඒ ආකාරයෙන් ම සත්‍ය වුණා.

කෘශෙව් රැළියක් අමතමින්. ස්ටාලින්ගේ චිත්‍රයක් පිටිපසින් දිස්වේ (RIA Novosti)

1956 මැද දී රාකෝසිට සිය තනතුරු අත හරින ලෙස සෝවියට් පාලනය විසින් බල කෙරුණා. රටේ ප්‍රතිසංස්කරණ ඇතිවන ලකුණු පෙනෙන්නට වුණා. මේ අතර පෝලන්තයේද වෙනස්කම් සිදු වෙමින් පැවතුණා.

පෝලන්ත ඔක්තෝබරය​

ඔක්තෝබර් මාසයේදී දැඩි මතධාරී කොමියුනිස්ට්වාදීන් බලයෙන් ඉවත් කර නව පාලනයක් පෝලන්තයේ බිහි වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසු කෙටි කලක් පෝලන්තයේ නායකයාව සිටි ව්ලැඩිස්ලාව් ගොමුල්කා යළි බලයට පත්වූ අතර ඔහු විසින් එතෙක් පෝලන්‍ත ආරක් ෂක ඇමති ලෙස කටයුතු කළ සෝවියට් මාර්ෂල් කොන්ස්ටන්ටයින් රකොසොව්ස්කි එම තනතුරින් ඉවත් කළා.මෙම පියවර සෝවියට් නායකත්වය බියට පත් කළා. කෘශෙව් සැක කළේ පෝලන්ත නායකත්වය බටහිර සමඟ සබඳතා ඇතිකරගනු ඇත යන්නයි. සෝවියට් දේශයේ දේශසීමාවෙන් නැගෙනහිරට වූ මිත්‍ර රටවල් අහිමි කරගැනීමට ඔවුන් කැමැත්තක් දැක්වූයේ නැහැ.මේ අනුව කෘශෙව් ප්‍රමුඛ ප්‍රබල සෝවියට් දූත පිරිසක් පෝලන්තයේ අගනුවර වෝර්සෝව කරා පැමිණියා. ඒ සමඟම පෝලන්තයේ රැඳී සිටි සෝවියට් හමුදා සිය බැරැක්කවලින් පිටතට පැමිණ පෝලන්තයේ ප්‍රධාන නගර දෙස ගමන් කළා. ලෝකයම මෙම සිද්ධීන් දෙස බලා සිටියේ ලේ වැගිරීමක් වනු ඇතැයි සැකයෙන්.නමුත් වෝර්සෝවේ සාකච්ඡා සාර්ථක වුණා. තම අවශ්‍යතාව වන්නේ සෝවියට් දේශය ප්‍රමුඛ රටවල් විසින් අත්සන් කර තිබූ වෝර්සෝ ආරක්ෂක සම්මුතියෙන් ඉවත් වීම නොවන බවත්, රට අභ්‍යන්තරයේ ප්‍රතිසංස්කරණයන් සඳහා පමණක් තමන් පියවර ගන්නා බවත් ගොමුල්කා කෘශෙව්ට ඒත්තු ගැන්වූවා. සෝවියට් නායකත්වය ආපසු මොස්කව් බලා පිටත් වුණා.

කෘශෙව් (වමේ) සහ ගොමුල්කා 1960 දී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී (Getty)

හන්ගේරියානුවන් ද මෙම සිදුවීම් දෙස ඉතා උනන්දුවෙන් බලා සිටියා. පෝලන්තයේ සිදු නොවූ ලේ වැගිරීම සති දෙකක් ඇතුලත තම රට තුළදී සිදුවනු ඇතැයි ඒ අවස්ථාවේ ඔවුන් නොසිතන්නට ඇති.

හන්ගේරියානු නැගිටීම​

1956 ඔක්තෝබර් 23 වනදා හන්ගේරියාවේ බුඩාපෙස්ට්හි උද්ඝෝෂණ ඇති වුණා. ඒ සමඟම එරට ලේඛකයින් සහ ශිෂ්‍යයින් පිරිසක් රජයෙන් ඉල්ලා සිටියේ ප්‍රතිසංස්කරණ ඇති කරන ලෙසයි. හන්ගේරියානු වැඩකරන ජනතාවගේ පක්ෂයේ ප්‍රධාන ලේකම් අර්නෝ ගේරෝ එදිනම එම ඉල්ලිම් ප්‍රතික්ෂේප කළා. එහි ප්‍රතිඵලය වූයේ අගනුවර සහ වෙනත් ඇතැම් ප්‍රදේශවලත් උද්ඝෝෂණ වර්ධනය වීමයි.

හන්ගේරියානු උද්ඝෝෂණ අතරතුර උද්ඝෝෂකයකු අත නාගිගේ ඡායාරූපයක් වෙයි (Hungary Today)

ගේරෝ සෝවියට් ආධාර ඉල්ලූ අතර හන්ගේරියාවේ රැඳී සිටි සෝවියට් යුධ ටැංකි සේනා බුඩාපෙස්ට් වෙත පැමිණියා. ඇතැම් ස්ථානවල ගැටුම් ඇති වුණද​, සම්පූර්ණ ප්‍රහාරයක් කරා සෝවියට් සේනා එළඹුණේ නැහැ. මේ අතර ඔක්තෝබර් 24 වනදා ගේරෝ සහ අගමැති අන්ද්‍රාස් හෙගෙඩුස් බුඩාපෙස්ට් නගරයෙන් පළා ගියා. මෙයින් පසු ඉම්ර නාගි නැවත වතාවක් අගමැති ලෙස පත් වුණා.

මීළඟ දින කිහිපය තුළ රටේ පැවතුනේ ව්‍යාකූල තත්ත්වයක්. එක් පසෙකින් කොමියුනිස්ට් පක් ෂ කාර් යාලවලට පහර දීම් සිදු වුණා. මේ අතර රහස් පොලිසිය නව පාලනයට එරෙහි වූ අතර හන් ගේරියානු හමුදා සාමාජිකයන් සමහරක් කැරැල්ලට සහය පළ කළා. සෝවියට් හමුදා සමඟ ද ගැටුම් වාර්තා වුණා. මේ අතර ඇතැම් ප්‍රදේශවල කැරලිකරුවන් මිලීෂියා කණ්ඩායම් ලෙස සංවිධානය වුණා.

කැරලිකරුවන් හා එක්වූ හන්ගේරියානු යුධ හමුදා සාමාජිකයන්ට ජනතා ආචාරය​ (fortepan.hu)

මේ අතර ඔක්තෝබර් 28 වනදා සෝවියට් සේනා සහ හන්ගේරියානුවන් අතර සටන් විරාමයකට එළඹුණ අතර සෝවියට් සේනා සිය බැරැක්ක කරා පසු බැස්සා.

වෝර්සෝ ගිවිසුමට එරෙහි වීම​

සටන් නැවතුන විට පෝලන්තයේ මෙන්ම එකඟතාවයකින් ප්‍රශ්නය විසඳේ යයි බලාපොරොත්තු පළ වුණා. නමුත් මෙම බලාපොරොත්තු කඩා බිඳ දමන සිදුවීමක් ඉන් දින කිහිපයකදී සිදු වුණා. නව හන්ගේරියානු රජය නොවැම්බර් 1 වනදා සිය නොබැඳි ස්ථාවරය ප්‍රකාශ කරමින් වෝර්සෝ ගිවිසුමෙන් ඉවත්වන බව කියා සිටියා.

පෝලන්තයේදී සෝවියට් දේශය ප්‍රතිසංස්කරණ සඳහා එකඟතාව පළ කළේ එරට වෝර්සෝ සම්මුතියෙන් පිට නොයන බව පසක් වූ පසුවයි. 1955 දී අත්සන් කෙරුණ මෙම ආරක්ෂක ගිවිසුම තම රාජ්‍ය ආරක්ෂාව සඳහා ඉතා වැදගත් බව සෝවියට් දේශයේ ස්ථාවරය වුණා. වෝර්සෝ ගිවිසුමෙන් නැගෙනහිර යුරෝපා රටක් ඉවත්වනු දැකීමට සෝවියට් පාලනය සූදානම් වූයේ නැහැ.

නොවැම්බර් 4 වනදා සෝවියට් පාලනය හන්ගේරියානු රජය පෙරලා දැමීම සඳහා හමුදා එවීමට කටයුතු කළා. දින කිහිපයක් දරුණු සටන් පැවතියත් හන්ගේරියානු නැගිටීම මර්දනය කෙරුණා. ඉම්ර නාගි සෝවියට් අත් අඩංගුවට පත්වූ අතර 1958 දී ඔහුට මරණ දඬුවම දෙනු ලැබුණා.

යනෝස් කඩාර්

සෝවියට් ආක්‍රමණය කොමියුනිස්ට් කඳවුරේ බෙදීමක් ඇති කළත් නැගෙනහිර යුරෝපයේ සමාජවාදී කඳවුර තවත් වසර දහයක පමණ කාළයකට ස්ථාවර ලෙස සෝවියට් අණසකට යටත් වුණා. හන්ගේරියාවේ මීළඟ නායකයා බවට පත්වූ යනෝස් කඩාර් මුලින් සෝවියට් රූකඩයක් වේ යයි බොහෝ දෙනා සැක පළ කලත්, ඔහු ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් සමාජවාදී කඳවුරේ සාපේක්ෂව හොඳ ආර්ථිකයක් ඇති රටක් බවට හන්ගේරියාව පත් කළා.

ක්‍රීඩාවට එල්ල වූ බලපෑම​

හන්ගේරියාව අසාර්ථක 1956 විප්ලවයට පෙර ලොව හොඳම පාපන්දු සහ වෝටර් පෝලෝ කණ්ඩායම් දෙකකට හිමිකම් කියුවා. විප්ලවයෙන් පසු පාපන්දු කණ්ඩායම සී සී කඩ වී ගියා. මේ අතර 1956 මෙල්බර්න් ඔලිම්පික් උළෙලෙදී හන්ගේරියානු වෝටර් පෝලෝ පිළ සෝවියට් දේශය සමඟ තරඟ වැදුණා. ඒ 1956 දෙසැම්බර් 4 වනදායි. මෙහිදී දෙපිළම ප්‍රචණ්ඩ ලෙස ක්‍රීඩා කළ අතර හන්ගේරියාව 4-0 ක් ලෙස ජයගත්තා. මෙම තරඟය Blood in the Water Match (ජලයට රුධිරය එක්වූ තරඟය) ලෙස හැඳින්වෙනවා.

මෙම තරඟයෙන් පසු හන්ගේරියානු වෝටර් පෝලෝ පිළෙහි ක්‍රීඩකයන් වෙනත් රටවල රැකවරණ ඉල්ලා සිටියා.

මූලාශ්‍ර​:

Cyril E. Black, Jonathan E. Helmreich, Paul C. Helmreich, Charles P. Issawi, A. James McAdams, Rebirth: A History of Europe Since World War II, Westview Press (1992)

Communist Takeover (1946-49)

Postwar Hungary

Cover Image: හන්ගේරියානු කැරලිකරුවෝ (Getty)

Related Articles