ගුවන්යානා හැඟරයක් නිදහස් අනුස්මරණ ශාලාවක් වුණු හැටි

කවුරුත් හිතාගෙන ඉන්නේ පළමු නිදහස් උත්සවය දැන් තිබෙන නිදහස් චතුරස්‍ර ගොඩනැගිල්ලේ පැවැත්වූ බව යි. ඒත් එය පැවැත්වෙන විට නිදහස් සමරු මන්දිරය එතැන නැහැ. එතැන තිබුණේ තාවකාලික ගුවන්යානා නැවතුම්පොළක්. නිදහස් උත්සවය වෙනුවෙන් සැකසූ තාවකාලික ගොඩනැගිල්ලක දී තමයි ලංකාවට නිදහස ප්‍රදානය කළේ.

ප්‍රථම නිදහස් උළෙල

නිදහස් උළෙලේ ප්‍රධාන අමුත්තන් වූ ග්ලොස්ටර්හි ආදිපාද සහ බිරිය, අගමැති ඩී. එස්. විසින් පිළිගැනෙමින්- serendib.btoptions.lk

1948 පෙබරවාරි 04 වැනිදා නිදහස් උලෙළ පවත්වන විට, දැනට නිදහස් මන්දිරය පිහිටි භූමිය ගුවන්යානා ගාල් කරන භූමියක්. එහි ගුවන්යානා ගාල්කරන විශාල හැඟරයක් තිබුණා.  එම ඉඩම අයත්වුණේ තුරග තරග සමාජයේ රේස් පිටියට. නිදහස් උත්සවයට දිනය තීරණය වූ නිසා කෙටි කාලයක් තුළ ස්ථානයක් සකස් කළ යුතු වුණා. එනිසා මෙහි ගුවන් යානා හැඟරය තුළ තාවකාලික මණ්ඩපයක් පුරාණ සැරසිලි සම්ප්‍රදාය අනුව ඉදිකිරීමට සැලසුම් කෙරුණා. එහි ඉදිකිරීම් බාර වුණේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවට යි. මන්දිරයේ බාහිර සැරසිලි බාරවුණේ එවකට ටෙක්නිකල් කොලීජිය හෙවත් රජයේ කලායතනයේ චිත්‍ර කලා උපදේශක ජේ. ඩී. ඒ. පෙරේරාට යි. ඔහුගේ ශිෂ්‍ය එස්. පී. චාල්ස් ඇතුළු කිහිපදෙනෙකුම ඒ සඳහා දායක වුණා. ප්‍රකට චිත්‍ර ශිල්පී සෝලියස් මැන්දිස්ගේ දායකත්වය ද එයට ලැබුණා. එම සැරසිලිවල වූ උඩරට සම්ප්‍රදායේ රැලි පාලම් සඳහා වර්ණ කඩදාසි යාර විසි දහසක් යොදාගත් බව සඳහන්. බිත්ති සැරසීම සඳහා හණරෙදි යාර නවදහසක් ඉන්දියාවෙන් ගෙන්වාගෙන තිබෙනවා.

නිදහස් මන්දිරය විවෘත කළ බව සඳහන් පුවරුව- travelgumbo.com

පසුකලෙක කලාසූරී එස්. පී. චාල්ස් එම අත්දැකීම මෙසේ විස්තර කර තිබුණා:

නිදහස් මන්දිරයට ඉස්සරහ දෙපැත්තේ මකර තොරණ දෙකකුත් හැදුවා. පස්සේ මකර තොරණ සවිකළොත් කඩාවැටේවි කියන අවදානම මතුවුණා. ඊට පස්සේ සෝලියස් මැන්දිස් පිදුරුවලින් අලංකාර මකර තොරණ දෙකක් හැදුවා. මකර තොරණ යට මුරගල් දෙකකුත් තිබුණා. අපි මුරගල්වල අච්චු ගන්න අනුරාධපුරයට ගිහින් සතියක් නැවතිලා හිටියා. අනුරාධපුර ථූපාරාමයේ මුරගල් තමයි අපි යොදාගත්තේ.

(1999 සැප්. 20 දිවයින)

නිදහස් මන්දිරය ඉදිරිපිට පසුව තැනූ අගමැති ඩි. එස්. සේනානායක ප්‍රතිමාව- lakpura.com

ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රෞඪත්වය විදහා පාන අලංකාර සැරසිලි රැසකින් එම ගොඩනැඟිල්ල අලංකාර කර තිබුණා. ගොඩනැගිල්ල ඉදිරියෙන් තිබුණේ තරමක් උස් වේදිකාවක්. විශාල ඇත්දත් ජෝඩු තුනක් එහි රඳවා තිබුණ් අලංකාරත්වය ඉහළ නැංවීමට යි. වේදිකාවට සුදු පැහැති පලසක් එලා තිබුණා. අමුත්තන්ට ගොඩවීම සඳහා එයට රතු පලසක් යොදා තිබුණා. පියගැට පෙළ දෙපස අලංකාරකර තිබුණේ මුරගල් සහ කොරවක්ගල් ආදී පැරණි ඓතිහාසික කැටයම්වලින්.

නිදහස් උත්සවයට බ්‍රිතාන්‍යය නියෝජනය කරමින් පැමිණ සිටියේ ග්ලොස්ටර්හි ආදිපාද හෙන්රි කුමරු සහ එම ආර්යාව යි. ලංකාවෙන් ප්‍රධාන ආරාධිතයො වුණේ ආණ්ඩුකාර හෙන්රි මුවර් සහ ඔහුගේ බිරිඳ යි. අගමැති ඩී. එස්. සේනානායක උත්සවයේ කැපී පෙනෙන චරිතයක් වුණා. ග්ලොස්ටර් ආදිපාදවරයා මණ්ඩපය ඉදිරිපිට කණුවක ඉහළට නංවා තිබූ බ්‍රිතාන්‍ය කිරීටයේ කොඩිය පහතට දැම්මා. ඉන් පසු අගමැති ඩී. එස්. සිංහ කොඩිය එසවිමෙන් නිදහස ලැබීම සංකේතවත් කළා.

නිදහසට සිහිවටනයක්

හෙළ කලා ආරට තැනූ සමරු මන්දිරය – wikipedia.org

මෙලෙස සමරන ලද පළමු නිදහස් උළෙලින් පසු, දීර්ඝ කාලයක් විදෙස් ජාතින්ට යටත්ව සිට ලද නිදහසේ  අභිමානය කියැවෙන පරිදි අනුස්මරණ සිහිවටනයක් ඉදිකළ යුතු බව, අගමැති ඩී. එස්. සේනානායක ඇතුළු නායකයෝ තීරණය කළා.

රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී ටොම් නෙවිල් ජෝන්ස්ගේ සභාපතිත්වයෙන් යුතු ගෘහ නිර්මාණ ශිල්පීන් අට දෙනකුගේ කමිටුවකට නිදහස් මන්දිරය ඉදිකිරීමේ කටයුතු භාර වුණා. එය සම්බන්ධීකරණය කළේ රජයේ වැඩ පිළිබඳ ඇමැති සර් ජෝන් කොතලාවල යි. ඒ අනුව මහනුවර මඟුල් මඬුවේ ආකෘතියට සමාන රටේ අභිමානය ඔප් නැංවෙන ගොඩනැගිල්ලක් සැලසුම් කෙරුණා. එය විශාලත්වයෙන් වර්ග අඩි දසදහසක ගොඩනැගිල්ලක් වුණා. ආණ්ඩුව එය තැනීමට ටොරින්ටන් චතුරස්‍රයේ පළමු නිදහස් උත්සවය පැවැත්වූ ඉඩම තුරග තරග සමාජයෙන් රුපියල් ලක්ෂ පහකට මිල දී ගෙන තිබුණා. ප්‍රවාහන හා රජයේ වැඩ පිළිබඳ ඇමති ජෝන් කොතලාවල සමග 1949 පෙබරවාරි 4 වැනි දින, එනම් දෙවැනි නිදහස් සැමරුම් උළෙලේ දී, නිදහස් මන්දිරයක් තැනීම සඳහා අගමැති ඩී. එස්.  මුල්ගල තැබුවා

කැටයම් 240ක්

කුලුනුවල පේකඩ කැටයම්- lakpura.com

මැද විශාල ශාලාවකට ඉඩ තබා දෙපසට කුලුනු පේළි දෙක බැගින් පේළි 4ක් වන අන්දමට සම්පූර්ණ කුලුනු 60කින් සමන්විතව යි, ගොඩනැගිල්ල සැලසුම් කර තිබුණේ. මහනුවර මඟුල් මඬුවේත්, ඇම්බැක්කේ දේවාල‍යේත් දැව කණුවල ඇති පරිදි සතරැස් කැටයම් මුහුණත් 240ක් මේ කුලුනුවල දැකගත හැකියි. මෙය කළුගල් සහ පෙරසවි කොන්ක්‍රීට්වලින් ඉදිකර ඇත්තේ ඕනෑම කාලගුණ තත්ත්වයකට ඔ‍රොත්තු දෙන ලෙසයි. මෙය සඳහා දැව භාවිතා කර නැහැ.

මන්දිරය වටා ඉදිකළ සිංහ ප්‍රතිමා- visitcolombo.com

ඉහළ ඇතුළු බිත්ති බෞද්ධ ඉතිහාසයේ සහ  ලංකා ඉතිහාසයේ වැදගත් අවස්ථා නිරූපණය කෙරෙන රූපරාමු 28කින් යුක්ත යි. මෙහි ගොඩනැගිල්ල ඉදිරිපස වේදිකාවක සිට සිව්දෙසට මුහුණ ලා සිටින සිංහ රූප 4ට පදනම් වී තිබුණේ 13 වැනි සියවසේ රටේ අගනුවර වූ යාපහුවේ සිංහ රූප යි. නිදහස් මන්දිරය වටා සතර දිශාව බලා පේළියට හිඳ සිටින සිංහ රූප 60ක් නිර්මාණය කර තිබෙනවා. මේ සියල්ලට මැදින් නිදහස් මාවතට මුහුණ ලා නැඟී සිටින්නේ පළමු අගමැති ඩී. ඇස්. සේනානායකගේ ප්‍රතිමාව යි. අවට පිහිටි පොකුණු මෙයට වැඩි අලංකාරයක් ළං කරනවා.

නිදහස් චතුරස්‍රය ඈතට – trip.com

නිදහස් මන්දිරය ඇතුළත, එකල පාර්ලිමේන්තුවේ හා සෙනෙට් සභාවේ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් සියල්ලට එකවර රැස්වීමට හැකි ලෙස ආසන 224 කට පහසුකම් සැලසිය හැකි ඉඩකඩ පවතිනවා. විවෘත භූමියේ 25000ක් සඳහා ආසන පහසුකම් සැලසිය හැකියි. ලක්ෂයක් ජනතාවට රැස්ව සිටීමේ ඉඩකඩ ද ඒ අවට තිබෙනවා.

කොළඹට ආපු යාපහුවේ සිංහයා – travelgumbo.com

නිදහස් මන්දිරයේ වැඩ ආරම්භ කළත් එහි නිමාව දැකීමට අගමැති ඩී. එස්.ට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ ඔහු හදිසියේ මියගිය නිසයි. 1956 බලයට පත්වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක එහි ඉතිරි වැඩ නිමකර, 1957 පෙබරවාරි 4 වැනි දින පැවත්වූ නිදහස් උළෙලේ දී මෙය විවෘත කළා. ඊට පසු මේ බිම්කඩ නිදහස් චතුරස්‍රය බවට පත් වුණා. රාජ්‍ය හා ජාතික උත්සව පවත්වන තැනක් බවට පත්වූ ඒ බිම සාමාන්‍ය ජනතාව විවේක ගැනීමට සහ ව්‍යායාම කිරීමට පැමිණෙන තැනක් ද වී තිබෙනවා.

නිදහස් චතුරස්‍රයේ ව්‍යායාම කරනා ගන්නා පිරිස් -timeout.com

1983 අප්‍රේල් මස 20 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් ගැනුණු තීරණයකට අනුව නිදහස් මන්දිර ගොඩනැගිල්ල සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයට පවරා දී තිබෙනවා. ඒ අනුව අද දක්වා නිදහස් මන්දිරයේ හා ඒ අවට භූමියේ සියලු නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින්.

නිදහස ගැන කියන කටුගේ

පහළ මහලේ පිහිටි නිදහස් කටුගේ – wikipedia.org

නිදහස් මන්දිරයේ යටි මහලේ නිදහස් අනුස්මරණ කෞතුකාගාරය පිහිටා තිබෙනවා. එය විවෘත වූයේ අප රටේ 60 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් 2008 පෙබරවාරි 04 වැනිදා යි. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් ප්‍රාදේශීය කෞතුකාගාර 11 අතරට එයත් ඇතුළත් වෙනවා. නිදහස් මන්දිර බිමට පැමිණෙන වැඩිදෙනෙකු එය නැරඹීමට නොයන නම් බව රහසක් නොවෙයි.

කෞතුකාගාරයට පිවිසෙන විටම මුලින්ම දැකගත හැක්කේ ජාතික හා ආගමික සංහිඳියාව පිළිබිඹු කෙරෙන ස්මාරකයක්. ඊට පසු දකුණු පසින් පිහිටා ඇත්තතේ අනුරාධපුර යුගයේ සිට 1972 දක්වා අප රටේ ආර්ථික, දේශපාලනික, ආගමික, සංස්කෘතික උන්නතිය හා මානව නිදහස උදෙසා ඇපකැප වූ ජාතික වීරයන් පිළිබඳ තොරතුරු, කෞතුක භාණ්ඩ, සමරු සටහන් ඇතුළත් කුටියක්.

පණ්ඩුකාභය රජුගේ සිට අනුරාධපුර යුගයේ ප්‍රධාන රජවරුන් විසිදෙනකුගේ ජාතික මෙහෙවර ගැන තොරතුරු, අනුරාධපුර රාජධානියේ බිඳවැටීම,  මහා විජයබාහු රජු පොළොන්නරු රාජධානිය ස්ථාපිත කිරීම, පොළොන්නරු යුගයේ ආර්ථික, දේශපාලනික, ආගමික හා සංස්කෘතික මෙහෙවරක් කළ මහා පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල වැනි රජවරුන් පිළිබඳ තොරතුරු මෙහි දී  දැකගත හැකියි.

ජාතික වීරයෝ

කටුගෙයි ජාතික වීර ප්‍රතිමා- timeout.com

කටුගෙයි එක් කුටියක් වෙන්ව ඇත්තේ අප රටේ නිදහස ලබාගැනීමට උරදුන්  ජාතික වීරයන්ගේ උඩුකය ප්‍රතිමා 27ක් සඳහා යි. කැප්පෙටිපොළ නිලමේ, වීර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා වැනි ජාතික සටනට උර දුන් ජන නායකයන්ගේ ද මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ සුමංගල නාහිමි, රත්මලානේ ධර්මාලෝක නාහිමි, අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා, ඕල්කොට් තුමා වැනි බෞද්ධ සංස්කෘතික පුනරුදයට පණ දුන් නායකයන්ගේ උඩුකය ප්‍රතිමා ද මෙහි පිහිටා තිබෙනවා.

ශ්‍රී ලංකාව යටත්විජිතයක් බවට පත් කළ උඩරට ගිවිසුමේ පිටපතක් ද මෙහි තැන්පත් කර තිබෙනවා. ජෝන් ඩොයිලි තැබූ සටහන්, කැප්පෙටිපොළ නිලමේ රාජද්‍රෝහියකු ලෙස ඉංග්‍රීසි ආණ්ඩුව නිකුත් කළ ගැසට් නිවේදනය වැනි වටිනා ලිපි ලේඛනවලින් නිදහස් අනුස්මරණ කෞතුගාරය සමන්විත යි. පාසල් සිසුන්ට මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ටත් එයින් ඉමහත් දැනුමක් ලබාගත හැකි වුණත් වැඩි දෙනෙක් ඒ දැනුම ලබාගැනීමට නම් උනන්දු වන්නේ නැහැ.

නිදහසට මඟ පෑදූ දුලබ ලියකියවිලි

නිදහස් මන්දිරය ඇතුළත – lakpura.com

ශ්‍රී ලංකාව ඉංග්‍රීන්ගේ යටත්විජිතයක් වූ පසු බහුජන සංවිධානවලින් ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව කළ ඉල්ලීම්,  නිදහස උදෙසා කළ අරගලයේ තොරතුරු ඇතුළත් පත්‍රිකා, පුවත්පත්, ලංකා ජාතික සංග‍මයේ වාර්තා පවා මෙහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා. කෝල්බෲක්-කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වාර්තා, ඩොන‍මෝර් කොමිෂන් සභා වාර්තා ආදියේ පිටපත් ද මෙහි තිබෙනවා. ප්‍රථම නිදහස් ඡායාරූප, ප්‍රථම නිදහස් උලෙළේ එසවූ ජාතික කොඩියේ අනුරුවක්, ප්‍රථම කැබිනට් මණ්ඩලයේ ඡායාරූප ද මෙහි දී දැකගත හැකියි.

Related Articles