ඉන්දියාවේ පළමු නිදහස් සටන:1857 සිපොයි කැරැල්ල

“…මළ ජුලියස් සීසර් ජීවත් ව සිටි ජුලියස් සීසර්ට වඩා බලවත් ය යනුවෙන් කියමනක් ඇත.  1857 දී ඉන්දියාවේ ඇති වූ සිපොයි කැරැල්ල ගැන ද කිව යුත්තේ එය ම ය. එහි මූලික ස්වරූපය කෙබඳු වුව ද කැරැල්ල මහා බලගතු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එල්ල වූ අභියෝගයේ සංකේතය විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමේ අරගලයට 1857 කැරල්ලෙන් සැපයුණු අගනා නිදසුන හැම දා බැබලෙන සංකේතයක් විය…” –ආර්. සී. මජුම්දාර්

හිරු නොබසින අධිරාජ්‍යය වූ බ්‍රිතාන්‍යයේ ශක්තිමත් ගොඩනැඟීම, එහි පාදම දක්වා ම සොලවා දැමීමට සමත් වූ එක් සුවිශේෂිත ම සිදු වීමක් ලෙස 1857 ඉන්දියානු කැරැල්ල දැක්විය හැකි ය. ඉන්දියානුවන්ගේ ජාතික නිදහස් සටනේ මූලික පියවර වූ මෙම කැරැල්ල පරාජයට පත් වූවත් ඉන් නෙළා ගත් පලයෙන් තවත් සියවසකට පමණ පසු බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් පූර්ණ වශයෙන් ම නිදහස ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබිණි. 19 වන සියවසේ දී බ්‍රිතාන්‍යයන් මුළු ඉන්දියාවේ ම පාලකයන්ව සිටි අතර ඉන්දියානු ආර්ථිකය සූරා කමින් බ්‍රිතාන්‍ය ආර්ථිකය ශක්තිමත් කරමින් ඉන්දියානු ආගමික ප්‍රතිපත්තීන්ට ද නිගරු කොට ඇත.

ඉන්දියානුවන් යනු සිය ආගමික ප්‍රතිපත්ති බොහෝ සෙයින් අගය කරන පිරිසක් බැවින් මෙලෙස බ්‍රිතාන්‍යයන් සිය ආගම් පහත් කිරීම ඔවුන් නොරුස්සන සිදු වීමක් විය.  බ්‍රිතාන්‍යයන් පූර්ණ ඉන්දියාව ම සියතට ගත් බැවින් ස්වදේශික ඉන්දීය පරිපාලනයක් කොතැනක කුමන ආකාරයකින් හෝ ක්‍රියාත්මක නොවුණු අතර එනිසාම දේශීය ඉන්දියානුවෝ බ්‍රිතාන්‍ය සමාගම් පරිපාලනය කෙරෙහි අතිශය කෝපයක් දැක්වූහ. එබැවින් බ්‍රිතාන්‍ය ආධිපත්‍යය නමින් මෙම තත්ත්වය නම් කළ ඔවුන් 1857 වසරේ මුල් භාගයේ දී සිය උපරිම වූ ප්‍රකෝපය, කැරැල්ලක් බවට පරිවර්තනය කරමින් සමාගම් පරිපාලනය ඇතුළු පූර්ණ බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට ම විරුද්ධ ව යුද්ධයකට මුල පිරූහ.

කැරැල්ලේ ආරම්භය

ඉන්දියාවේ ඩුම් ඩුම් නම් බළකොටුවේ සිටි සිපොයි හමුදා භටයන්ට “එන්ෆීල්ඩ්” වර්ගයේ රයිෆල් තුවක්කු භාවිත කිරීමට නියම කිරීම මෙම කැරැල්ලට මුල් වූ මූලික ම හේතුව විය. එම රයිෆල් සඳහා යොදා ගත් පතොරම් ගවයන්ගේ හෝ ඌරන්ගේ තෙල් යොදා නිර්මාණය කර තිබෙන බවට ඉන්දියානුවන් තුළ විශ්වාසයක් නිර්මාණය ව තිබිණි. සිපොයි භටයින්ට එම පතොරම් හි කොපුව දතින් ගලවා රයිෆලයට යොදා ගැනීමට ද නියම කෙරිණි.

හින්දූන් හා ඉස්ලාම් භක්තිකයන් ගවයා හා ඌරා සිය ආගම අනුව පූජනීයත්වයට පත් කොට ඇදහූ සත්ත්වයන් දෙපළක් වූ බැවින් මෙලෙස ගව හා ඌරු තෙල් යෙදූ පතොරම් දතින් ගලවා සිය රයිෆල් සඳහා යොදා ගැනීමට ලබා දීම තමන්ගේ ආගම්වලට නිගරු කිරීමක් ලෙස ඔවුහු සිතූහ. මෙම පතොරම් භාවිතය දැඩි ව ප්‍රතික්ෂේප කළ සිපොයිවරු එම කඳවුරේ බ්‍රිතාන්‍ය නිලධාරීන්ට ද අවනත නොවන තත්ත්වයකට ක්‍රමයෙන් පත් වූහ. මෙය 1857 ජනවරි මස 23 වන දින සිදු විය.

සිපොයි කැරැල්ලට හේතු වූ තුවක්කුව
අරගලයට හේතු වූ එන්ෆීල්ඩ් රයිෆල් තුවක්කුව – www.royal-irish.com

කලබලය පළමු ව ආරම්භ වනුයේ බැරැක්පූර් හමුදා කඳවුරෙන් වන අතර එහි සිටි මංගල් පාණ්ඩේ නම් බ්‍රහ්මණ හමුදා භටයා ගව හා ඌරු තෙල් ආලේපිත පතොරම් භාවිතයට තමන්ට බල කළ බ්‍රිතාන්‍ය නිලධාරීන් දෙදෙනකු මරා දමා තිබිණි. එයට දඬුවම ලෙස එම ඝාතන සිදු කළ සිපොයි භටයා බ්‍රිතාන්‍ය සමාගම 1857 අප්‍රෙල් මස 8 වන දින එල්ල මරා දැමීමෙන් පසු එම පුවත දිල්ලි, මීරුත්, ජාන්සි, ලක්නව්, කාන්පූර්, පයිශාබාද්, බිහාර් ආදී වූ සියලු ම සිපොයි භට කඳවුරු කරා පැතිර ගොස් ඇත.

 මෙම සෑම කඳවුරක ම සිටි සිපොයි භටයන් මෙන්ම තතු දත් දේශීය පාලකයන් හා වැසියන් ද බ්‍රිතාන්‍යයන්ට විරුද්ධ ව කැරලි ගැසීම ආරම්භ කොට ඇත. මෙය 1857 කැරැල්ලට හේතු වූ ආසන්නත ම හේතුව වූ නමුත් මෙම කැරැල්ල පිටුපස එයට පාදක වූ තවත් දුරස්ථ හේතූ ගණනාවක් ම තිබී ඇත. ඒ පොදු හේතු කාරණා ලුහුඬින් මෙසේ පෙන්වා දිය හැකි ය.

මංගල් පාණ්ඩේ
ගව තෙල් හා ඌරු තෙල් ආලේපිත යැයි සැක කළ තුවක්කු භාවිතයට බල කළ බ්‍රිතාන්‍ය නිළධාරීන් දෙදෙනෙකු මරා දැමූ මංගල් පාණ්ඩේ නම් සිපොයි භටයා –  commons.wikimedia.org 
  • බ්‍රිතාන්‍යයන් සිදු කළ ඉන්දියානු ප්‍රදේශ සියතට ගැනීමේ ප්‍රතිපත්තිය

  • බ්‍රිතාන්‍යයන් මෝගල් රජ පරම්පරාව අවමානයට ලක් කිරීම.

  • මරාඨ රාජකීය උරුමය පැවති නා නා සහීබ් හා ජාන්සිහි මහරාණි වූ රාණී ලක්ෂ්මී භායි අවමානයට පත් කිරීම.

  • බ්‍රිතාන්‍යයන් සිදු කළ සති පූජාව තහනම් කිරීම, ළදැරියන් මරා දැමීම තහනම් කිරීම, වැන්දඹුවන්ට නැවත විවාහයට අවසර ලබා දීම, බහු භාර්යා සේවනය නැවැත්වීම ආදී කටයුතු සඳහා ඉන්දියානුවන්ගේ කෝපය එල්ල වීම..

  • නවීන තාක්ෂණික ක්‍රම, ප්‍රවාහන ක්‍රම, නව නීති ක්‍රම හා අධ්‍යාපන ක්‍රමවේද හඳුන්වා දීම.

  • බ්‍රිතාන්‍ය රජය ක්‍රිස්තියානි මිෂනාරීන්ට උදව් ලබා දීම.

  • ඉන්දියානු සම්පත් සූරාකෑම හා එම සම්පත් යුරෝපයට රැගෙන යාම.

  • දේශීය ඉන්දියානුවන්ගේ වුවමනා නොසලකා හැරීම.

  • ඉන්දියානු කුඩා පරිමාණයේ කර්මාන්ත බිඳවැටීම හා ඉන්දියානුවන්ට රැකියා අහිමි වීම.

  • බ්‍රිතාන්‍යයන් ඉන්දියානු හා බ්‍රිතාන්‍ය හමුදා භටයන්ට දෙයාකාරයකට සැලකීම.

  • අනිවාර්ය සේවා පනත් ඇති කිරීම.

  • බ්‍රිතාන්‍යයන් ඇෆ්ගන් යුද්ධය පරාජයට පත් වීම.

කැරැල්ල ව්‍යාප්ත වීම

මීරුත් කඳවුරේ තත්වය

1857 මැයි මස 8 වන දින පතොරම් භාවිතය ප්‍රතික්ෂේප කළ භටයන් 85ක් ඝාතනය කිරීම හා සිරගත කිරීමත් හේතුවෙන් මෙම කඳවුරෙන් කැරැල්ල ආරම්භ වූ අතර බන්ධනාගාරය බිඳ දැමූ කැරලිකරුවන් සිරකරුවන් නිදහස් කොට ගෙන කුපිත වූ මහජනයා සමඟ දිල්ලිය බලා ගමන් ආරම්භ කළ බව කියවේ.

දිල්ලි නගරය තුළ වූ තත්වය

ප්‍රකෝපිත මහජනයාට හා සිපොයි භටයන්ට දිල්ලි නගරයේ බලය තහවුරු කර ගැනීමට හැකි වූ අතර එතෙක් සරණක් නොමැතිව සිටි ඉන්දීය රාජ්‍යත්වයේ නියම උරුමකරුවා වූ මූගල් පාලක දෙවන බහදූර් ෂා අධිරජු ලෙස පත් කිරීමට කැරලිකරුවන් කටයුතු කළ නමුත් සර් ජෝන් නිකොල්සන් මාස 4ක් පුරා සිදු කළ සටනින් දිල්ලිය බ්‍රිතාන්‍යයන් යටතට නැවත ගැනීමටත් බහදූර් ෂා අධිරජු සිරභාරයට ගැනීමටත් කටයුතු කොට ඇත.

කාන්පූර් හි තත්වය

මෙම ප්‍රදේශයේ පේෂ්වාවරයා ව සිටි දෙවන බජිරාඕ බල්ලාඩ්ගේ හදා ගත් පුත්‍රයා වූ නානා සහීබ් කැරැල්ල මෙහෙය වූ අතර කාන්පූර් බළකොටුවේ රැඳී සිටි බ්‍රිතාන්‍යයන් ආරක්ෂා සහිතව ගංගා නදිය ඔස්සේ පිටත් කර හැරීමට ගත් උත්සාහයක දී ඊට එරෙහි වූ ඉන්දියානුවන් එම පිරිස මරා දැමීම නිසා කුපිත වූ බ්‍රිතාන්‍යයන් හැව්ලොක් සෙනෙවියා යොදවා කාන්පූර් බළකොටුව කැරලිකරුවන්ගෙන් මුදා සියතට ගැනීමට කටයුතු කළේ ය. පලා ගිය නානා සහීබ් ගැන කිසිදු දිනෙක නැවත අසන්නට නොලැබිණි.

ලක්නව් හි තත්වය

අවුද් හි බේගම් හෙවත් මෙම කලාපයේ රැජන කැරැල්ල මෙහෙය වූ අතර කෙතරම් උද්යෝගීමත් ලෙස මෙහි සටන ක්‍රියාත්මක වූයේ ද යත් පස් මසක් තිස්සේ ලක්නව් ආණ්ඩුකරුගේ නිල නිවස වට කොට සිටීමට කැරලිකරුවන් සමත් වී ඇත. 1858 දි අතිරේක භට පිරිස් රැගත් සර් කොලින් කැම්බල් ලක්නව් ප්‍රදේශය කැරලිකරුවන්ගෙන් මුදා ගැනීමට කටයුතු කොට ඇත.

මධ්‍යම ඉන්දියානු කලාපයේ ඇති වූ තත්ත්වය

කැරැල්ල සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ ප්‍රදේශය මෙය වූ අතර ජාන්සිහි මහරාණි ලක්ෂ්මි භායි හා තත්තියා තෝපේ එයට නායකත්වය ලබා දී ඇත. පිරිමියකුගේ වෙස් ගෙන යුද බිමේ කැපී පෙන දක්ෂතා පෙන්නුම් කිරීමට හා යුද භූමිය මත වීර කාන්තාවක ලෙස මරණයට පත් වීමට රාණි ලක්ෂ්මි භායිට සිදු විය. හියු රෝස් සෙනෙවියා සේනා රැගෙන පැමිණ මෙම කලාපයේ කැරැල්ල මැඬපවත්වා එය නැවත බ්‍රිතාන්‍ය පාලනය යටතට ගැනීමට සමත් විය.

ජාන්සි හි රැජිණ රාණි ලක්ෂ්මි භායි
පිරිමියකුගේ වෙස් ගෙන සටනට බට ජාන්සි හි රැජන හෙවත් රාණි ලක්ෂ්මි භායි – www.indiatoday.in

රෝහිල්ඛන්ද් හි තත්වය

රෝහිල්ලා නායක හපි රහමත් ඛාන්ගේ මුණුබුරකු වූ නවාබ් නාසිම් මෙම ප්‍රදේශයේ කැරැල්ලට නායකත්වය ලබා දුන් අතර ඔහු  මුල දී සාර්ථක වූවත් පසුව කර්නල් කැමල්ගේ සේනාවන් අභියස පරාජයට පත් විය.  

 බිහාර් හා නයිශාබාද් වැනි ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ද කැරලිකාරී අදහස් පැතිරී ගිය අතර බිහාර් සටනට නායකත්වය දුන්නේ ජගදිශ්පූර් හි සමින්දාර්වරයෙක් වූ කුන්වාර් සිං හෙවත් කුමාර් සිං ය. නයිශාබාද් හි කැරැල්ලට නායකත්වය දුන්නේ මවුලවී අහමදුල්ලා වේ. මුස්ලිම්වරුන් සටනට සහභාගී කරවා ගැනීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් මොහු බ්‍රිතාන්‍යයන්ට විරුද්ධ ව ඉස්ලාම් භක්තිකයන් හැසිරවීම නිසා කැරැල්ල අතරතුර කාලයේ දී මොහු මරා දැමීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කර ඇත.

කැරැල්ල අසාර්ථක වීම

කැරැලේ ආරම්භය සිදු වූයේ සිපොයි භටයන් තුළ ඇති වූ කෝපකාරී සිදුවීමක් මුල් කරගෙන වුවත් එය නිසි ලෙස කළමනාකරණය කර ගමිනින් මනා සැලසුමකට අනුව මධ්‍යගත නායකත්වයක් සපයමින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කිසිවකුත් නොවීම මෙම කැරැල්ල අසාර්ථක වීමට හුදෙක් ම බලපෑවේ ය. යුද පුහුණුව මඳකම, බ්‍රිතාන්‍ය නවීන යුධ අවි ආයුධ සමඟ කරට කර සිටීමට සාම්ප්‍රදායික ඉන්දීය ආයුධ ප්‍රමාණවත් නොවීම, මිනිස් ශ්‍රමය හිඟ වීම ද බලපෑවේ ය.

කැපී පෙනන ලෙස ඉන්දියානුවන් සතුව පොදු අරමුණක් නොවීම ද මෙයට හේතු විය. ඇතැම් කැරලිකරුවන් පිරිසකට අවශ්‍ය වූයේ මෙම කැරැල්ලෙන් පසුව මරාඨ පාලනයක් පේෂ්වා යටතේ ආරම්භ කිරීමට වන අතර සමහරුන්ට අවශ්‍ය වූයේ බහදූර් ෂා යටතේ මූගල් පාලනයක් ඇති කිරීමට වේ. එනිසා කැරැල්ල සිදු වෙමින් පවතින අවස්ථාවේ දී ද ප්‍රදේශ  කිහිපයක නායකයන් කිහිප දෙනකු පාලනයට පත් වනු දකිය හැකි විය.  බ්‍රිතාන්‍යයන් සටන් කළේ කෙසේ හෝ නැවත ඉන්දියාවේ පාලනය ඔවුන් යටතට ගැනීමේ ඒකායන පරමාර්ථයෙනි. එයට අමතර ව වෙනත් කිසිදු අරමුණක් ඔවුන් සතු නොවූ බව කියවේ.

කැරැල්ලේ ප්‍රතිඵල

1857 කැරැල්ල ජාතික නිදහස දිනා ගනු වස් කළ සටනක් වූ අතර එය ඇතැම් උගතුන්ට අනුව ජාතික ව්‍යාපාරයක පෙර නිමිත්තක් ද විය. ඉන්දියානුවන්ට නිසි පරිදි නොසලකන්නේ නම් මතු දිනෙක බ්‍රිතාන්‍යයන්ට අත්විය හැකි ඉරණමක පෙර නිමිත්තක් මෙම 1857 කැරැල්ල ඔස්සේ පෙන්නුම් කළ බව එම උගතුන් වැඩි දුරටත් දක්වා ඇත. කෙසේ නමුත් මෙම සටන අවසානයේ දී  ඉන්දියානුවන් පරාජයට පත් වීමත් බ්‍රිතාන්‍යයන් සිය බලය නැවත තහවුරු කර ගැනීමත් සිදු විය. ඉන්දියානුවන්ට සිය කැරැල්ලේ මූලික අරමුණ වූ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීම ඉටු කර ගැනීමට අපොහොසත් වූවත් එම කරැල්ලෙන් අත් කරගත් අතුරු ප්‍රතිඵල රාශියක් ඇත.

1857 වික්ටෝරියා රැජිනගේ ප්‍රකාශය
සමාගම් පාලනය අවසන් වී බ්‍රිතාන්‍ය කිරීටය යටතට ඉන්දියාව පත් වූ 1857 වික්ටෝරියා රැජනගේ විශේෂ ප්‍රකාශය –  commons.wikimedia.org 

 බ්‍රිතාන්‍ය සමාගම් පාලනය අවසන් වීම සිදු වූ අතර බ්‍රිතාන්‍ය කිරීටය යටතේ ඉන්දීය පරිපාලනය සැකසීම අනතුරුව සිදුවිය. මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් බ්‍රිතාන්‍ය මහ රැජන වූ වික්ටෝරියා රැජන 1858 නොවැම්බර් මස 01 දින අලහබාද් රාජ සභාවේ දී ප්‍රකාශයට පත් කළා ය. ඉන්දියානුවන්ට ආගමික නිදහස හිමි වීම මින් පසු සිදු වූ අතර එතෙක් ඉන්දීය රාජ්‍ය උරුමය පැවති උරුමකරුවන් ජීවත්ව නොසිටි බැවින් මූගල් පාලනය සහ පේෂ්වා තනතුර බ්‍රිතාන්‍යයෝ අවලංගු කළහ. 1857 කැරැල්ල අවසන් වූයේ ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගේ කසළ ගොඩ බවට පත් වීමෙන් වන අතර තවදුරටත් ඉන්දීය සම්පත් සූරා කෑම ඔවුහු යුහුසුළු ව කර ගෙන ගියහ.

 හින්දු මුස්ලිම් භේදයකින් තොරව පොදු සතරාට එරෙහිව කටයුතු කිරීමට 1857 කැරැල්ල හේතු වූ බැවින් එය තමන්ට තර්ජනයක් ලෙස තේරුම් ගත් බ්‍රිතාන්‍යයයෝ හින්දූන් හා ඉස්ලාමිකයන් දෙකඩ කිරීමට මින් පසුව උත්සහ ගත් අතර එහි අවසන් ප්‍රතිඵලය වූයේ 1947 ඉන්දියාව දෙකඩ වීම බව විද්වත් මතය යි. 1857 මහ කැරැල්ලෙන් ඇති වූ ප්‍රබෝධය එය අසාර්ථකවීමෙන් නොනැසුණු අතර බ්‍රිතාන්‍ය යටත් විජිතයක සිරවී කල් ගෙවීමට වඩා තමගේ දේශය ඔවුන්ගෙන් මුදා ගැනීම වටිනා බව තේරුම් ගත් ඉන්දියානු ජනයා ඒ සඳහා 1857 කැරැල්ලේ ජාතිකවාදී හැඟීම් ප්‍රයෝජනයට ගනිමින් ඒ අනුව ඉන්දියානු ජාතික ව්‍යාපාරයට අවශ්‍ය අඩිතාලම දැමූ බව කිව හැකි ය.

 

Related Articles