පළමු ලෝක යුද්ධයේ දී එතරම් නෑසෙන රටක් – ඉන්දියාව​

යුද්ධයේ ප්‍රධාන සටන් පැවතියේ යුරෝපයේ යි. ඊට අමතරව ආසියාවේ සහ අප්‍රිකාවේ ද සටන් පැවතුණා. කෙසේ වුවත් වඩා වැදගත් වන්නේ, පළමු ලෝක යුද්ධය සඳහා ඇන්ටාර්ක්ටිකාව හැර අන් සියළුම මහාද්වීපවල රටවල් සහභාගී වීම යි. ඒ අතුරින් ඇතැම් රටවල දායකත්වය එතරම් කතාබහට ලක් වන්නේ නැහැ. එයින් අඩුවෙන් කතාබහට ලක්වන රටක් ලෙස ඉන්දියාව සලකන්න පුළුවන්.

ගැලිපොලි යුද්ධ ව්‍යාපාරය පිළිබඳ විස්තර කරද්දි බොහෝ විට සාකච්ඡා කෙරෙන්නේ ඇන්සැක්, එහෙමත් නැත්නම් ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත සෙබළුන් ගැන යි. ගැලිපොලි කියද්දීම මතකයට එන්නේ ඔවුන්ව යි. බටහිර පෙරමුණ පිළිබඳ විස්තර කරද්දී මතකයට එන්නේ ප්‍රංශ​, බ්‍රිතාන්‍ය​, ඕස්ට්‍රේලියානු, කැනේඩියානු, සහ බෙල්ජියානු ආදී හමුදා යි. නමුත් මේ යුධ පෙරමුණු දෙකේම සැලකිය යුතු ඉන්දියානුවන් පිරිසක් සටන් කළා. එපමණක් නොවේ. මෙසපොටේමියාවේ සටන්වලට සහභාගී වූ බ්‍රිතාන්‍ය සෙබළුන් බහුතරය පැමිණියේ ඉන්දියාවෙන්. ලිබියානු පෙරමුණේ ද සටන් සඳහා සැලකිය යුතු ඉන්දියානුවන් පිරිසක් සම්බන්ධ වුණා. සමස්ථයක් ලෙස ගත්විට මිලියනයකට වඩා වැඩි ඉන්දියානුවන් පිරිසක් යුද්ධයේ දී සටන් වැදුණා.

පිරිස් ශක්තිය සහ විශ්වසනීයත්වය

ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනය ස්ථාවර වූයේ දිගු කාලීන ක්‍රියාවලියක් ඔස්සේ යි. මේ අතර 1857 දී සිපෝයි කැරැල්ලෙන් පසු බ්‍රිතාන්‍යය පාලකයන් තුළ ඉන්දියානු හමුදාවන් හි විශ්වාසනීයත්වය සහ ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්න ඇතිව තිබුණා. කෙසේ නමුත් මීළඟ දශක කිහිපය තුළ ඉන්දීය හමුදා ඇතැම් ප්‍රදේශයන් හි යටත්විජිතවාදී යුද්ධ සඳහා සම්බන්ධ වුණා. ඒ අතර ඇෆ්ඝනිස්ථානයේ, බුරුමයේ, සහ අප්‍රිකාවේ යුද්ධ ප්‍රධාන වනවා.

මේ අතර 19 වන සියවස අගභාගය වන විට ඉන්දියාවේ ජාතිකවාදී, නිදහස් ව්‍යාපාර හටගනිමින් පැවතුණා. කෙසේ වෙතත් මේවායේ වැඩි නැඹුරුව වූයේ දේශපාලනමය අරගලය සඳහා යි.

පළමු ලෝක යුද්ධය ඇරඹි විට​, බ්‍රිතාන්‍යයට ඉන්දියාවෙහි වැදගත්කම නොසැලකිය හැකි වූයේ නැහැ. එක් අතකින් එහි වූ ස්වභාවික සම්පත් යුද්ධය සඳහා වැදගත් වූ අතර ඉන්දියාවෙහි වූ විශාල පිරිස් බලය ද බ්‍රිතාන්‍යයට අතිශයින්ම වැදගත් වුණා. ඉන්දියානු සෙබළුන්ගේ ගුණාත්මකභාවය පිළිබඳ ඉංග්‍රීසීන් තුළ සැක සංකා තිබුණත්, යුද්ධය සඳහා එම විශාල මානව සම්පත උපයෝගී කරගැනීම අත්‍යවශ්‍ය වුණා.

එමෙන්ම ජර්මනිය සහ ඉන්දියාවේ ජාතිකවාදී කණ්ඩායම් ද බ්‍රිතාන්‍ය ඉන්දීය හමුදා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළා. ඔවුන්ට අවශ්‍ය වූයේ එම හමුදා අතර කැරලි ඇතිකර බ්‍රිතාන්‍ය යුධ මෙහෙයුම් කඩාකප්පල් කිරීම යි.

ගදාර් පක්ෂය සහ සිංගප්පූරු කැරැල්ල​

පළමු ලෝක යුද්ධයේ දී පළමුවෙන්ම හමුදා කැරැල්ලක් හටගත්තේ 1915 දී සිංගප්පූරුවේ දි යි. බ්‍රිතාන්‍ය ඉන්දියානු හමුදා අතර ඇති වූ එම කැරැල්ලට​ ගදාර් පක්ෂය ද සම්බන්ධ වුණා. වඩා විශාල සැලැස්මක කොටසක් ලෙස සිංගප්පූරු කැරැල්ල සිදු වූ අතර ඒ හා ක්‍රියාවට නැගීමට වූ අනෙකුත් සැලසුම් ක්‍රියාත්මක වීමට පෙර ව්‍යර්ථ කරනු ලැබුණා.

ගදාර් යනු කැරැල්ල යන අර්ථය ඇති උර්දු වචනයක්. ගදාර් පක්ෂය 1913 දී පිහිටුවාගනු ලැබූයේ ඇමරිකාවේ පැසිෆික් වෙරළබඩ ප්‍රදේශයන් හි වූ රැඩිකල් ඉන්දියානුවන් පිරිසක් විසින්. යුරෝපයේ යුද්ධය ඇරඹි පසු ගදාර් ක්‍රියාධරයින් පිරිසක් නැවත පන්ජාබයේ සිය ගම්බිම් කරා පැමිණියා​. ඔවුන් එහි වූ හමුදා පිරිස් සමග එක්ව කැරැල්ලක් සංවිධානය කළා​. මෙය සැලසුම් කරන ලද්දේ 1915 පෙබරවාරි 21 වන දාට යි​. සැලසුම් කළ අයුරින් පන්ජාබයෙන් කැරැල්ල ඇරඹිය යුතු වූ අතර කැරලිකාර හමුදා දිල්ලිය සහ ලාහෝරය වෙත ගමන් කර එම නගර අල්ලාගත යුතු වුණා​.

මෙම පිරිස් ධකා හි රැඳී සිටි හමුදා පිරිස් සමග ද සබඳතා ඇති කරගත්තා​. සැලසුම අනුව​, ඔවුන් ද පන්ජාබයේ කැරැල්ලට සමගාමීව බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරලි ගැසිය යුතු වුණා​​. මේ අතර ඉන්දීය හමුදා රැඳී සිටි විදෙස් ප්‍රදේශයන්හි ද යම් යම් රහසිගත ක්‍රියාකාරකම් දියත් වෙමින් පැවතුණා​.

කැරලිකරුවන්ගේ අවාසනාවට​, බ්‍රිතාන්‍ය බලධාරීන් කැරැල්ල ක්‍රියාත්මක වීමට පෙර පන්ජාබයේ විප්ලවවාදීන්ගේ සැලසුම් හෙලි කරගත්තා. ඒ පොලිස් ඔත්තුකරුවකු මාර්ගයෙන්​. එහෙයින් බලාපොරොත්තු වූ පරිදි ඉන්දියාවේ කැරැල්ලක් හටගත්තේ නැහැ​.

මේ අතර සිංගප්පූරුවට අනුයුක්ත කර සිටි 5 වන සැහැල්ලු පාබල හමුදා රෙජිමේන්තුව 1915 පෙබරවාරි 15 වනදා කැරලි ගැසුවා​. මෙම කැරැල්ලට 850 ක් වූ රෙජිමේන්තු භට පිරිසෙන් අඩක් පමණ සම්බන්ධ වූයේයැ යි කියනු ලබනවා. මෙම කැරැල්ල සතියක් පුරා පැවති අතර අමතර සේනා පැමිණීමෙන් පසු මැඩලනු ලැබුණා. කැරැල්ලට සම්බන්ධ වූ 47 දෙනකු මරණ දඬුවමට යටත් කෙරුණා.

සිංගප්පූරු කැරැල්ලට සම්බන්ධ වූවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම (Public Domain)

ගදාර් කැරැල්ල අසාර්ථක වුණත්, තවත් කණ්ඩායමක් යුද්ධය අවසානය කිට්ටුවට එනතුරුම ඉන්දියාවෙහි කැරලි කෝලාහල ඇති කර බ්‍රිතාන්‍ය පාලනය පෙරලීමට උත්සාහ කළා. බර්ලින් නගරයේ දී සංවිධානය වූ ජාතිකවාදී ඉන්දියානුවන් පිරිසක් වූ මෙයට එකල “බර්ලින් කමිටුව​” යයි කියනු ලැබුණා. ඔවුන් කළ කුමන්ත්‍රණවලට හින් දු – ජර්මන් කුමන්ත්‍රණය ලෙස ද කියනු ලබනවා. ඔවුන් වතාවක් ඇෆ්ඝනිස්ථානයේ දී විකල්ප ඉන්දියානු රජයක් ද ස්ථාපිත කළා. කෙසේ නමුත් එම උත්සාහයන් එකක්වත් වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කළේ නැහැ.

විවිධ පෙරමුණුවල ඉන්දියානු හමුදා

ඉන්දියානු හමුදා පළමු ලෝක යුද්ධයේ දී විවිධ යුධ පෙරමුණුවල සටන් කළා. එම පෙරමුණුවල සටන් කළ ඉන් දීය හමුදාවන්ට ඉංග්‍රීසි අකුරු පිළිවෙලට නම් තබා තිබුණා.

බටහිර පෙරමුණට ගිය ඉන්දීය සේනාංකයන් “ඉන්දියානු කාර්යය සාධන බලකාය A” ලෙස නම් කරනු ලැබුණා. 1914 සැප්තැම්බරය අවසානයේ දී මෙහි පළමු සේනාංක ප්‍රංශය කරා ළඟා වුණා.

1915 මාර්තු මාසයේ සිදු වූ න්‍යු ෂැපේල් සංග්‍රාමයේ දී පළමු ප්‍රහාරය එල්ල කිරීම පැවරුණේ ඉන්දීය හමුදාවේ 7 වන (මීරත්) ඩිවිෂනයට යි.

ඉන්දියානු බයිසිකල් බලකායක පිරිසක් 1916 දී සෝම් නදී සංග්‍රාමය අතරතුර (IWM)

බටහිර පෙරමුණේ දී ඉන්දියනුවන්ට නුහුරු දේශගුණික තත්ත්වයන් යටතේ දී සටන් කිරීමට සිදු වුණා. ඔවුනගේ උසස් නිලධාරීන් බ්‍රිතාන්‍යයන් වූ නිසා නිලධාරීන් යුධ පෙරමුණේ දී මියගිය අවස්ථාවල අලුත් ගැටළුවක් පැන නැගුණා. නව නිලධාරීන් ඉන්දීය හමුදා පිළිබඳ දැන සිටියේ හෝ ඉන්දීය භාෂා කතාකළේ හෝ නැහැ.

1915 අවසන් සමයේදී ඉන්දීය පාබල සේනා බටහිර පෙරමුණෙන් මෙසපොටේමියාවට ඉවත් කරගැනුණා. ඉන්දීය අශ්වාරෝහක සේනා දිගටම බටහිර පෙරමුණේ රැඳී සිටියා.

මේ අතර “ඉන්දියානු කාර්යය සාධන බලකාය B” සහ “ඉන්දියානු කාර්යය සාධන බලකාය C” සේවය කළේ නැගෙනහිර අප්‍රිකාවේයි. ඔවුන්ගේ සාර්ථකත්වයන් ද සීමා සහිත වුණා.

ඉන්දියානු කාලතුවක්කු සෙබළුන් ජෙරුසලම අසළ 1917 දී (Public Domain)

පළමු ලෝක යුද්ධයේ විශාලම ඉන්දියානු හමුදා දායකත්වය සිදු වූයේ මෙසපොටේමියාවේ යි. එහි වූ ඉන්දීය සේනාංක “ඉන්දියානු කාර්යය සාධන බලකාය D” ලෙස නම් කෙරුණා. මේ සඳහා එක් වූ පළමු සේනාංකය වූයේ 6 වන (පූනා) ඩිවිෂනය යි. මෙම සේනාංක 1916 අප්‍රේල් මාසයේදී කුට් අල් අමාරාහි දී තුර්කීන්ට යටත් වුණා. 1917 මුල සිට බ්‍රිතාන්‍යයන් බැග්ඩෑඩය ඉලක්ක කරගෙන යළි යුධ මෙහෙයුම් දියත් කළ විට එහි විශාල වැඩ කොටසක් කරන ලද්දේ ද ඉන්දීය සේනා විසින්.

කියවන්න: පළමු ලෝක යුද්ධයේ අප්‍රකට යුධ පෙරමුණ – ලිබියාව​​

E, F යන ඉන්දියානු කාර්යය සාධන බලකායන් සේවය කළේ ඊජිප්තුවේ යි. ඔවුන් සූවස් සංග්‍රාමය​, පලස්තීන යුධ ව්‍යපාරය ආදී සටන් සඳහා සම්බන්ධ වුණා. එහිදී සටනට එක් වූ විශේෂිත සේනාංකයක් වූයේ බිකනර් ඌෂ්ත්‍රාරෝහක (ඔටුවන් පිට නැගි) බලකාය යි. ඔවුන් ලිබියාවේ යුධ ව්‍යාපාරයට ද දායක වුණා. මේ අතර “ඉන්දියානු කාර්යය සාධන බලකාය G” ගැලිපොලිය වෙත යවනු ලැබුණා. එම සේනාංකයෙන් 1,358 දෙනකු මියගිය බව වාර්තා වුණා. තවත් 3,421ක් තුවාල ලැබුවා.

ඉන්දියාව කෙරෙහි බලපෑම

ඉන්දියාව කෙරෙහි පළමු ලෝක යුද්ධය සැලකිය යුතු බලපෑමක් සිදු කළා. එක් අතකින් විශාල ඉන්දියානුවන් පිරිසක් බටහිර රටවල් සහ එහි සමාජ තත්ත්වයන් සියැසින් දැකගත්තා. එය තම රට තුළ ප්‍රතිසංස්කරණ අවශ්‍යය යන හැඟීම ජනිත කරවන්නට සමත් වුණා.

මීට අමතරව, යුද්ධයේ දී තමන් දැක්වූ දායකත්වයට සැලකීමක් ලෙස යම් ස්වයං පාලන බලතල ඉන්දියාවට ලැබේයැ යි බොහෝ දෙනා අතර විශ්වාසයක් පැවතුණා. නමුත් එවන් කිසිවක් සිදු නොවූවා පමණක් නොව ඉන්දියානුවන් විසින් කරන ලද උද්ඝෝෂණ මර්දනය ද කරනු ලැබුණා. මෙහි ප්‍රතිඵලය වූයේ ඉන්දීය ජාතික ව්‍යාපාරය ශක්තිමත් වීම යි.

Cover Image: ඉන්දීය අශ්වාරෝහක භටයින් බටහිර පෙරමුණේ දී (IWM)

මූලාශ්‍රයයන්:

Related Articles