1947 ඉන්දියාව දෙකඩ කිරීම

1947 වසරේ දී ඉන්දියාව දෙකඩ වීමට හේතු වූ පසුබිම, ඔබට පෙර ලිපියෙන් දැනගන්න ලැබෙන්න ඇත. ඉන්දියාව හා පකිස්ථානය ලෙසට මේ බෙදුණු රටවල් දෙක නම් කර තිබුණත්, තීරණාත්මක කරුණ වුණු දේශසීමාව තවමත් තීරණය කර තිබුණේ නැත. ඒ පිළිබඳව මෙන්ම රටවල් දෙකට නිදහස ලැබීම හා ඉන් අනතුරුව ඇති වූ ව්‍යසනයකාරී තත්ත්වය පිළිබඳව මේ ලිපියෙන් ඔබට දැනගන්න ලැබෙනු ඇත.

දේශසීමා රේඛා ඇදීම

බ්‍රිතාන්‍යයින් රටින් ඉවත්ව යෑමේ කාලය ලෙස දැන්වූ කාලසීමාව කෙමෙන් කෙමෙන් අවසන් වෙද්දී ඉන්දියාව හා පකිස්ථානය අතර දේශසීමා නම් කිරීමේ ගැටළුවට විසදුමක් ලැබී තිබුණේ නැත. මේ සදහා බ්‍රිතාන්‍යයෙන් සිරිල් රැඩ්ක්ලිෆ් නම් බැරිස්ටර්වරයා පත් කරන ලදී. ඔහු ඉන් පෙර කිසිදාක ඉන්දියාවට පැමිණ තිබුණේ නැති අතර, දේශය ගැන හෝ මෙම කටයුත්ත ගැන පැහැදිලි අවබෝධයක් ද ඔහුට නොවීය. සංගණන දත්ත සලකා බලා බහුතර ජනවර්ගයට ගැලපෙන පරිදි දේශසීමා රේඛා නම් කිරීමට ඔහු තීරණය කළේ ය. එනිසා මුස්ලිම්වරුන් බහුල ප්‍රදේශ පාකිස්ථානයටත්, හින්දු ජනයා බහුලව වෙසෙන ප්‍රදේශ ඉන්දියාවටත් බෙදා වෙන් කිරීමට ඔහු කටයුතු කළේ ය. එසේම එම ප්‍රදේශ වල ප්‍රවාහන මාර්ග, වාරි මාර්ග ඇතුළු යටිතල පහසුකම් ද මෙම බෙදීම් ක්‍රමයේ දී සලකා බලන ලදී. ඔහු මෙසේ නම් කළ දේශසීමා රේඛා ඉන්දියානුවන්ගේ වතුපිටි මැදින් මෙන්ම වාසස්ථාන වෙන් කරමින් ඒවා හරහා ද නිර්මාණය විය. කෙසේ වුව ද ඔහු වඩාත් ගැටළුකාරී තත්ත්වයකට මුහුණපෑවේ හින්දු, සික්, හා මුස්ලිම්වරුන් මිශ්‍රව වෙසෙන පන්ජාබය හා බෙංගාලය යන ප්‍රදේශයන් රටවල් දෙක අතර බෙදීමට යාමේදී ය.

සිරිල් රැඩ්ක්ලිෆ් බැරිස්ටර්වරයා  (www.media3.mensxp.com)

ජනවර්ග බහුතරය අනුව රට බෙදීම සිදුකරන වග වටහා ගත් ඉන්දියානුවන්, තම ප්‍රදේශයේ වෙසෙන සුළුතර ජන කොටස කෙසේ හෝ ඉවත් කිරීමට කටයුතු කළහ. මෙහි උග්‍රතම අවස්ථාව පන්ජාබයේ අගනගරය වූ ලාහෝරයේ ඇති වූ අතර පකිස්ථානයට එක්වීම සඳහා ශුද්ධ මුස්ලිම් ප්‍රදේශයක් බිහිකිරීමේ අරමුණින්, මුස්ලිම්වරුන් එහි සිටි හින්දුන් හා සික්වරුන් හට පහර දී එලවා දැමී ය. මෙම ගැටුම් රටපුරා පැතිර ගිය ගොස් නිදහස ලබන දින ආසන්න වෙත්ම මිනීමැරුම්, ලිංගික අතවර, සොරකම් කිරීම්, පහර දීම් ආදී අපරාධයන් ඉහළ ගිය අතර ප්‍රාන්ත බලධාරීන් හට එය පාලනය කර ගැනීමට නොහැකි විය. විවිධ අඩත්තේට්ටම් වලට ගොදුරු වූ ජනයා තම ආරක්ෂාව පතා සරණාගතයින් ලෙස විවිධ ප්‍රදේශයන් වලට පලා යන්නට විය.

තම ජීවිත රැක ගැනීම උදෙසා පලා ආ පිරිස්  (www.media.npr.org)

මේ අතර ඉන්දියාව පුරා විසිර තිබූ කුමාරවර රාජධානි පාලකයින් දිල්ලි නගරයට කැඳවුණු අතර, තමන් එක්වන්නේ ඉන්දියාවට ද පකිස්ථානයට ද යන්න තීරණය කිරීමට අවස්ථාවක් ලබා දෙන ලදී. නමුත් මවුන්ට්බැටන් සාමි මෙහි දී ඔවුන්ට ඉන්දියාවට එකතුවන ලෙසට බලපෑම් කළ අතර එහි දී බොහෝ කුමාරවර රාජධානි ඉන්දියාවට එකතු විය.

සිරිල් රැඩ්ක්ලිෆ් 1947 අගෝස්තු මස 9 වන දින දේශසීමා රේඛා නම් කර, මවුන්ට්බැටන් සාමිහට භාර දී ඉන්දියාවෙන් පිටව ගියේ ය. මවුන්ට්බැටන් සාමි දේශසීමා ප්‍රකාශ කිරීමෙන් සිදුවන කෝලාහල වල වගකීම තමන් මත පැටවෙනු ඇතැයි සිතා ඒවා එදිනම ප්‍රකාශයට පත් නොකර, නිදහසින් පසු ප්‍රකාශ කිරීමට තීරණය කළේ ය. මෙම තීරණය තවමත් මතභේදයට තුඩු දෙන අතර දේශසීමාව ප්‍රකාශ කිරීම කල්දැමීමෙන් දහස් ගණනකට ජීවිත ද  අහිමි විය.

පකිස්ථානය බිහිවීම

මොහොමඩ් අලි ජින්නාගේ මෙන්ම බොහෝ ඉන්දියානු මුස්ලිම්වරුන්ගේ ද සිහිනයක් වූ “පකිස්ථානය” 1947 අගෝස්තු 14 වන දින බිහිවිය. කරච්චි නගරයට රැස්වූ දහස් ගණනක් වූ ජනයා ඉදිරියේ මවුන්ට්බැටන් පකිස්ථානයේ නිදහස් දිනය ප්‍රකාශයට පත් කළේ ය. තවමත් දේශසීමා පවා නොදත් ජනයා තම සතුට සමරන්නට වූ අතර මුස්ලිම්වරුන්, තමන්ටම හිමි වූ තමන්ගේ නව රාජ්‍යය පිළිබදව අතිශය සතුටට පත් විය.

මොහොමඩ් අලි ජින්නා පකිස්ථාන නිදහස් උත්සවයේ දී (www.dawn.com)

ඉන්දියාව නිදහස සැමරීම

1947 අගෝස්තු මස 15 වන දින ඉන්දියාව බ්‍රිතානයන්ගෙන් නිදහස ලැබීය. මවුන්ට්බැටන් ප්‍රතිරාජයා, ජවහර්ලාල් නේරු ප්‍රමුඛ කොන්ග්‍රසයේ ප්‍රභූවරුන් හා දිල්ලි අගනුවරට රැස්වූ දස දහස් සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ ඉන්දියාවේ නිදහස ප්‍රකාශයට පත් කළේ ය. නිදහස් සැමරුම් උත්සව රට පුරා පැවැත්වූ අතර සියවස් ගණනකට පසු නිදහස් ඉන්දියාවක ඉන්දීය ධජය ලෙළ දෙන්නට විය.

කෙසේ වුව ද ඉන්දියානු නිදහස් සටනට මහා දායකත්වය සැපයූ මහත්මා ගාන්ධි තුමා මෙම සියලු සැමරුම් උත්සව වර්ජනය කරන්නට විය. ඔහු කොල්කටාවේ හිඳිමින්, රට දෙකඩවීමට අප්‍රසාදය පල කරමින් නිහඬව උපවාසයේ යෙදුණේ ය.

ඉන්දියාවට නිදහස ලැබීම (www.ymtg.com)

දේශසීමා ප්‍රකාශයට පත් කිරීම

රටවල් දෙකෙහිම නිදහස් සැමරුම් උත්සව අවසන් වූ පසු මවුන්ට්බැටන් ප්‍රතිරාජයා රටවල් දෙක අතර දේශසීමා ප්‍රකාශයට පත් කළේ ය. මෙම නව දේශසීමා බෙදීමට සූදානමක් නොතිබූ ජනයා කර කියා ගැනීමට දෙයක් නොමැතිව තමන් සතු දේපළ හැකි පමණ පොදි බැඳ ආරක්‍ෂිත ප්‍රදේශ කරා සංක්‍රමණය වන්නට විය. මෙසේ සංක්‍රමණය වන ජනයා මිලියන ගණනක් වූ අතර ඇතැම් සරණාගත පෝලිම් සැතපුම් 50ක් දක්වා දික් විය. මෙසේ සංක්‍රමණය වන සරණාගතයින් හට කිසිදු ප්‍රවාහන පහසුකමක්, හෝ සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකමක් රජයෙන් නොලැබුණු අතර ඒවා ලබා දීමට සැලැස්මක් ද නොවීය.

නිමක් නැති මිනිස් ජීවිත හානි

දිනෙන් දින පලායෑමට එකතු වන සරණාගතයින් ප්‍රමාණය වැඩි වූ අතර, බීමට ජලය හෝ ආහාර නොමැති කමින් ඔවුන් දැඩිසේ පීඩාවට පත් විය. මේ පිරිස් හට ඇතැම් අවස්ථාවල හමුදා ආරක්ෂාව සැපයුණු අතර එසේ නොවූ අවස්ථාවල දී මංපහරන්නන් හට හසුවී විවිධ අඩත්තේට්ටම් වලට මුහුණ දීමට සිදු විය. මෙවන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ තවදුරත් ගමන් කිරීමට නොහැකි වූ පිරිස් මහ මග මිය යන්නට වූ අතර මහළු පිරිස් හා කුඩා දරුවන් මග අතහැර දමා ගිය අවස්ථා බොහෝ විය.

සරණාගතයින්ගෙන් පිරී ගිය දුම්රියක්  (www.fridaytimes.com)

සරණාගතයින් හට සංක්‍රමණය සඳහා විශේෂ දුම්රිය යොදා තිබූ අතර ඒවා ද ජනයාගෙන් පිරී, ගමන් කිරීමට ඉතා අසීරු තත්ත්වයේ විය. එසේම විවිධ දුම්රියපළවල් වල දී ඔවුන් එනතුරු මග රැක සිටි අවි ගත් පිරිස් විසින් එල්ල කළ ප්‍රහාරයන් වලින් බොහෝ සරණාගතයින් මරණයට පත් විය. වරෙක අම්බාලා නගරයෙන් පිටත් වූ මුස්ලිම් සරණාගතයින් රැගත් දුම්රියට අම්රිත්සාර් හී දී සික්වරුන්ගෙන් දැඩි ප්‍රහාරයක් එල්ල විය. වෙනත් තැන් වලදී වෙනත් ජාතීන් විසින් දුම්රියේ ගමන් කළ අන්‍ය ජාතීන්ට පහර දෙනු ලැබී ය. මෙම ප්‍රහාර වලින් දුම්රියේ ගමන්ගත් සරණාගතයින් බොහෝ පිරිස් සමූලඝාතනයට ලක් විය.

මසක් තුල සංක්‍රමණය වූ සරණාගතයින් මිලියන 15 පමණ වූ පිරිසෙන්, මිලියනයක් පමණ ජනයා අතරමග මරුමුවට පත් විය. තවත් දහස් ගණනක් තම රටට යා නොහැකිව සරණාගත කඳවුරු වලට සීමා විය.

මවුන්ට්බැටන් ප්‍රතිරාජයා  හට මෙන්ම දෙරටේම නායකයින් හට මෙම බෙදීමේ දරුණු ප්‍රතිපල අවබෝධ වූ අතර ඒ වන විටත් සියල්ල සිදුවී හමාර ය. බ්‍රිතාන්‍යයින් මෙලෙස සැලසුම් කළ දිනයටත් පෙර ඉන්දියාවෙන් ඉවත් වීම සහ දේශසීමා බෙදා එය ප්‍රකාශයට පත් කර ජනයාට ඉවත් වීමට කාලය ලබා නොදීම නිසා අකාලයේ මිනිස් ජීවිත ලක්ෂ ගණනක් විනාශ විය.

වියවුල් අවසානය

මෙම දෙකඩවීම ජනවර්ග අතර සාමය උදා කිරීමට හේතු වේ යැයි බලා සිටිය ද වසර 70 කට පසුව ද ගැටුම්කාරී තත්ත්වය නොවෙනස්ව තිබේ. තවමත් එකිනෙකා පිළිබඳව නිම නොවූ වෛරයකට හා සැකයකට හේතු වී ඇති මෙම දෙකඩවීම මේ වන විට යුද්ධ තුනකට හා කාශ්මීරය වැනි දේශසීමා අර්බුද රැසකට මුල පුරා ඇති අතර, මෙම ගැටුම් වලට අකාලයේ බිලි වූ ජීවිත ගණන අපමණ ය. දෙකඩවීමෙන් ජයග්‍රණය ලැබුවේ ඉන්දියාව ද පකිස්ථානය ද යන්න තවමත් ගැටළුවකි. නමුත් තවමත් රටවල් වල අභ්‍යන්තර ගැටුම්, බෙදීම් ඇති කර සම්පත් සූරාකමින් තම අවශ්‍යතා ඉටුකර ගන්නේ කවුරුන්දැයි ලොවටම නොරහසකි.

ඉන්දියාව හා පකිස්ථානය අතර පැවති යුධ ගැටුම් හා කාශ්මීර අර්බුදය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේ දී බලාපොරොත්තුවන්න.

මුලාශ්‍ර – බීබීසී රුපවාහිනී සේවයේ Partition වාර්තා වැඩසටහන හා පුවත්පත් වාර්තා ඇසුරින්

කවරයේ ඡායාරුප – සරණාගත කදවුරක් www.time.com

Related Articles