1987 ඉන්දු-ලංකා ගිවිසුමට වටපිටාව සැකසුණු හැටි

1988/89 කාල සමයේ ශ්‍රී ලංකාව තුළ භීෂණකාරී වාතාවරණයක් පැවතුණු බව බොහෝ දෙනකු අසා ඇති. එය නිර්මාණය වීම සඳහා හේතුවුණු කරුණු කාරණා රැසක් තිබුණා. ඒ අතුරින් ප්‍රධානත ම හේතුවක් වුණේ 1987 ජූලි 29 වැනිදා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම යි. එදා ඉන්දීය බලපෑම හේතුවෙන් එම ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ම රටේ විවිධ ප්‍රදේශ ආශ්‍රිත ව කැරලි කෝලාහල ඇති වුණා. මේ 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම සඳහා වටපිටාව සකස් වුණු ආකාරය පිළිබඳව යි.   

1985 තිම්පු සාම සාකච්ඡා

ඉන්දීය රජයේ මැදිහත්වීම යටතේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අරගලය නිමා කිරීම සඳහා භූතානයේ තිම්පු නුවර දී තිම්පු සාම සාකච්ඡා 1985 වසරේ ජූලි මස ආරම්භ වුණා. එම සාකච්ඡාවල දී ලංකා රජයේ නියෝජිතයා ලෙස කටයුතු කළේ එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ සොයුරකු වුණු හෙක්ටර් ජයවර්ධන යි. දෙමළ නියෝජිත කණ්ඩායම සඳහා දෙමළ ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්), ඊලාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානය (ඊරෝස්), දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ), දෙමළ ඊලාම් මහජන විමුක්ති සංවිධානය (ප්ලොට්), දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (ටී.යු.එල්.එෆ්) යන සංවිධාන අයත් වුණා. එම සංවිධානයන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ පහත දැක්වෙන ඉල්ලීම් හතර යි.

1) ද්‍රවිඩ ජනතාව ජාතියක් ලෙස පිළිගැනීම 

2) ස්වයංපාලනය පිළිගැනීම 

3) ද්‍රවිඩ නිජබිම පිළිගැනීම 

4) ද්‍රවිඩ ජනතාවට සියලු හිමිකම් ලබාදීම 

එම ඉල්ලීම්වලට ශ්‍රී ලංකා රජය එකඟ වුණේ නැහැ. එම නිසා 1985 වසරේ අගෝස්තු මාසය වන විට තිම්පු සාකච්ඡා බිඳ වැටුණා.

1985 තිම්පු සාකච්ඡා
1985 තිම්පු සාකච්ඡා – tharavu.no

තිම්පු සාකච්ඡා නිසා ලැබුණු අයහපත් ප්‍රතිඵල 

1985 තිම්පු සාම සාකච්ඡා ආරම්භ වන විට යාපන අර්ධද්වීපය තුළ යුද හමුදා කඳවුරු කිහිපයක් ම පිහිටා තිබුණා. ඉන් ප්‍රධානත ම කඳවුරු දෙක වුණේ පලාලි සහ ගුරුනගර් හමුදා කඳවුරු දෙක යි. ඊට අමතර ව කුඩා කඳවුරු ලෙසින් අලිමංකඩ, පේදුරු තුඩුව, තොණ්ඩමනාරු, සහ වැල්වැටිතුරෙයි යන කඳවුරු ක්‍රියාත්මක වුණා. තිම්පු සාම සාකච්ඡා ක්‍රියාත්මක වුණු කාලය තුළ ශ්‍රී ලංකා හමුදාවන්ට කඳවුරුවලට වී සිටීමට සිදු වුණා. එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ යළි එදිරිවාදිකම් ඇති වන ආකාරයේ ක්‍රියා සිදු කිරීම ද තහනම් වුණා. එම කාලය තුළ ක්‍රියාත්මක වුණු එල්.ටී.ටී.ඊ සංවිධානය යාපන අර්ධද්වීපය තුළ තිබුණු හමුදා කඳවුරු වටා බංකර ඉදි කළේ හමුදා භටයන් කඳවුරුවල ම කොටු කරමින්. 1985 තිම්පු සාම සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලය වුණේ යාපනය අර්ධද්වීපය තුළ L.T.T.E එල්.ටී.ටී.ඊ බලය ව්‍යාප්ත වීම යි.

ඉන්දියාවෙන් ලැබුණු නියෝග ත්‍රිත්වය 

1987 වසර ආරම්භ වන විට උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල කොටින්ගේ ක්‍රියාකාරකම් දරුණු ලෙස වර්ධනය වී තිබුණා. එනිසා එවකට ආරක්ෂක අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි  කොටින්ට එරෙහි ව දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කරන මෙන් නියෝගයක් ලබා දුන්නා. ඔහුගේ අණ පරිදි ප්‍රහාර මාලාවක් ආරම්භ කළ ශ්‍රී ලංකා යුද හමුදාව කොටින්ගේ මර්මස්ථාන රැසකට පහර පිට පහර එල්ල කළා. එම අවස්ථාවේ කලබලයට පත්වුණු ඉන්දීය රජය ඒ වන විට කොටින්ට එරෙහි ව එල්ල කරමින් සිටි ප්‍රහාර නැවැත්වීමට උත්සාහයක නිරත වුණා. ඒ අනුව ඉන්දීය පහත සඳහන් නියෝග තුන ශ්‍රී ලංකා රජයට ලබාදුන්නා.

1) කොටින්ට එරෙහි ව හමුදා ප්‍රහාර වහාම නැවැත්විය යුතුයි 

2) යාපනයේ ආර්ථික සම්බාධක ඉවත් කළ යුතුයි 

3) ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාව ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කළ යුතුයි. 

1987 පෙබරවාරි මාසයේ දී ඉන්දියාව ලබාදුන් නියෝග පිළිපැදීමට ශ්‍රී ලංකා රජය එකඟ වුණේ නැහැ. එදා ශ්‍රී ලංකා හමුදා දිගින් දිගටම කොටින්ට එල්ල කළ ප්‍රහාර මාලාව නිසා ඔවුන්ගේ බලය අඩපණ වුණා. එනිසා මැයි මාසය වන විට ප්‍රභාකරන් ඇතුළු කොටි නායක පිරිස වඩමාරච්චි ප්‍රදේශයේ කොටු වුණා. ඉන් පසු ව ඔවුන් අල්ලා ගැනීම සඳහා ඔපරේෂන් ලිබරේෂන් හෙවත් වඩමාරච්චි සටන ඇරඹුවා.

වඩමාරච්චි සටනේ සැලැස්ම 

1987 වසරේ මැයි 26 වැනිදා ආරම්භ වුණු වඩමාරච්චි ක්‍රියාන්විතය සඳහා සහභාගි වුණු විජය විමලරත්න ප්‍රමුඛ යාපනය බළසේනාවට පැවරුණු වගකීම වුණේ මුහුදුබඩ ප්‍රදේශය ඔස්සේ වැල්වැටිතුරය හරහා පේදුරු තුඩුවට ගමන් කිරීම යි. ඩෙන්සිල් කොබ්බෑකඩුව යටතේ ක්‍රියාත්මක වුණු වන්නි බලසේනාවට පැවරුණු වගකීම වුණේ නෙල්ලිඅඩි හරහා වැටී තිබුණු මාර්ගය ඔස්සේ මලල්කාඩු වෙරළ දක්වා ගමන් කිරීම යි. ඊට අමතරව කමාන්ඩෝ සහ විශේෂ කාර්ය බළකා භට පිරිස් හෙලිකොප්ටර්වලින් සටනට එකතු වුණේ අවශ්‍ය භූමි ප්‍රමාණ ආවරණය කිරීම සඳහා යි. ඒ අතරතුර බ්‍රිගේඩියර් ජෙරී ද සිල්වා යාපනය අර්ධද්වීපය පුරා විසිරී සිටි අනිකුත් භට පිරිස්වලට නායකත්වය ලබා දුන්නා.

වඩමාරච්චි සටනට එක්වුණු සෙබළුන්
වඩමාරච්චි සටනට එක්වුණු සෙබළුන් – ලලිත් ඇතුලත්මුදලි චරිතාපදානය

ක්‍රියාන්විතය සාර්ථක වෙයි 

ක්‍රියාන්විතයේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට කොටින්ගෙන් දරුණු ප්‍රහාර එල්ල වුණු නිසා සැලකිය යුතු සෙබළුන් පිරිසක් තුවාල ලැබුවා. ඉන් නොසැලුණු ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න සිය භට පිරිස් සමගින් අඛණ්ඩව ක්‍රියාන්විත කටයුතු සිදු කළා.  හමුදා සෙබළුන් නොසැලෙමින් සිදු කළ මෙහෙයුම් නිසා මැයි 30 වැනිදා වන විට කොටින්ට බරපතළ හානි සිදු ව තිබුණා. එම අවස්ථාව වන විට යුද හමුදා භට පිරිස් එල්ල කළ ප්‍රහාර හමුවේ අඩපණව සිටි කොටින් පරාජය අභියස සිටියා. උතුරේ කොටින් අසීරු අඩියකට පත්ව සිටි අවස්ථාවේ සිය රුදුරු ගතිගුණ පෙන්නුම් කළ නැගෙනහිර සිටි කොටින් අම්පාර අරන්තලාවේ දී බසයක් නතර කර භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඝාතනය කළේ 1987 වසරේ ජූනි 2 වැනිදා යි. ඒ වන විට සිය නායකයා සතුරන් අතට පත්වීමේ අවදානමක් තිබුණු නිසා කොටින්ගේ අරමුණ වුණේ අනිකුත් ප්‍රදේශවල දී විනාශකාරී ක්‍රියා සිදුකරමින් උතුරේ සිදුවන ක්‍රියාන්විතයන් අඩපණ කිරීම යි.

ඉන්දියාවේ බලපෑම් මත අතරමඟ නැවතුණු වඩමාරච්චි මෙහෙයුම ගැන ලිපියත් කියවන්න.

ඉන්දියාව ප්‍රභාකරන්ගේ පිහිටට එයි 

එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රමයෙන් පරාජයට පත්වෙමින් තිබුණු අවස්ථාවේ ඔවුන්ට සහාය දීම සඳහා අසල්වැසි ඉන්දියාව ඉදිරිපත් වුණා. එදා යාපනයේ සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැති බව පවසමින් ඔවුන් පාන්, පරිප්පු, හාල්, ළූණු, එළවළු, කිරි, ලාම්පු තෙල්, සහ ගිනි පෙට්ටි පුරවාගත් බෝට්ටු 19ක් තමිල්නාඩුවේ රාමේෂ්වරම් සිට ශ්‍රී ලංකාවට එවුවා. රතුකුරුස කොඩි ඔසවා තිබුණු එම බෝට්ටුවල පත්‍ර කලාවේදීන් ද සිටි බව සඳහන් වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාව එම බෝට්ටුවලට ශ්‍රී ලංකා මුහුදු සීමාව පසුකිරීමට අවස්ථාව ලබාදුන්නේ නැහැ. එය ශ්‍රී ලංකා රජය ඉන්දියාව හෑල්ලුවට ලක්කිරීමක් ලෙස සලකා උරණ වුණු ඉන්දීය රජය පසු දින හිතුවක්කාර ක්‍රියාවක් සිදු කළා.

1987 වසරේ ජූනි 4 වැනිදා ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය වෙත නිවේදනයක් නිකුත් කළා. එහි සඳහන් වුණේ යාපනයේ ජනතාවට ගුවනින් සහනාධාර ලබාදෙන බව යි. බැංගලෝරයෙන් පිටත් වුණු, ආහාර රැගත් ඇන්ටනෝව් 32 ගුවන් යානා 5ක්, මිරාජ් ප්‍රහාරක යානා හතරක ආධාරය ද සමගින් ශ්‍රී ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කළා. එහි දී ඉන්දියාව නිවේදනය කළේ ඔවුන්ගේ ගුවන් යානාවලට වෙඩි තැබීමක් සිදු කළොත් පෙරළා වෙඩි තැබීමට පසුබට නොවන බව යි. එම අවස්ථාවේ දී අධික ලෙස කෝපයට පත් වුණු ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි පවසා සිටියේ ‘යාපන කලපුවට වැටුණු ඉන්දියන් කෑම කපුටන් කා දැමූ බව’ යි. 

ඉන්දියාවෙන් පැමිණි සහනාධාර බෝට්ටු
ඉන්දියාවෙන් පැමිණි සහනාධාර බෝට්ටු (ලලිත් ඇතුලත්මුදලි චරිතාපදානය)

ගුවන් යානාවලට පහරදුන්නා නම් ඉන්දියාවේ සැලසුම 

ශ්‍රී ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කළ අවස්ථාවේ ඉන්දීය ගුවන් යානාවලට මෙරට ආරක්ෂක අංශ පහරදුන්නා නම් ඔවුන්ගේ සැලසුම වී තිබුණේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීම යි. ඒ වන විට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සතුව විශාල සැලැස්මක් තිබී ඇති අතර එහි ශ්‍රී ලංකාවේ සියලු ම පොලිසි පිළිබඳවත්, කොළඹ අවට පිහිටි හමුදා භට සේනාංකවල සිටි පිරිස් පිළිබඳත් විස්තර ද ඇතුළත් ව තිබුණු බව පැවසෙනවා. ඔවුන් කොළඹ පිහිටි ක්‍රීඩාංගණ පිළිබඳව ද තොරතුරු එක් රැස් කර තිබුණා. එලෙස කොළඹ පිට්ටනිවල තොරතුරු එක් රැස් කර තිබුණේ ක්ෂණික මෙහෙයුමක් සඳහා ඉන්දීය සේනා පැරෂුට් මඟින් කොළඹට බැස්සවීම සඳහා බවයි කියන්නේ. එහි දී ඉන්දීය ඔත්තුකරුවන් කොළඹ ශාන්ත පීතර විදුහල් පිටිය, හැව්ලොක් පිටිය, ලංගම ක්‍රීඩා පිටිය, පොලිස් ක්‍රීඩාංගණය, රාජකීය විදුහල් පිටිය,එස්. එස්. සී. පිටිය, කැම්බල් පිටිය, ගාලු මුවදොර, සහිරා විදුහල් පිටිය, ශාන්ත බෙනඩික් විදුහල් පිටිය සහ සුගතදාස ක්‍රීඩාංගණය පිළිබඳත් ඔත්තු බලා තිබුණු බව සැළයි. 

ඉන්දීය ගුවන් මෙහෙයුම එයාකාරයෙන් සිදුවුණා නම්, එම මෙහෙයුම පිළිබඳ සිංහලෙන් මුද්‍රිත පත්‍රිකා කොළඹට බෙදීමට ද ඉන්දීය ඔත්තු සේවාවන්ට අවශ්‍ය වුණා. ඉන්දියාවෙන් හෝ ලන්ඩනයෙන් ඔවුන්ට සිංහල මුද්‍රණාලයක් සොයාගැනීමට හැකි වුණේ නැහැ. එහි දී ඔත්තු සේවාවේ අතරමැදියකු කොළඹින් අකුරු කට්ටල කිලෝ 35ක් මිල දී ගෙන කිලෝ පහේ පැකට් ලෙසින් පාර්සල් 7ක් සකස් කර ඉන්දීය ගුවන් යානයකින් ඉන්දියාව බලා යවා තිබුණා. ජූනි 4 වැනිදාට පෙර ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ජාතිකයන්ට සුඛෝපභෝගි හෝටල්වල නවාතැන් ගන්නා ලෙස එවක ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී තිබුණා. ගුවනින් ආහාර දැමීමේ මෙහෙයුම සාමකාමීව අවසන් වුණු නිසා මෙම මෙහෙයුම ක්‍රියාත්මක වුණේ නැහැ.

ඉන්දියාවෙන් මෙරටට පැමිණි ප්‍රහාරක යානා
ඉන්දියාවෙන් මෙරටට පැමිණි ප්‍රහාරක යානා – bharathrakshak.com

 

ඉන්දු-ලංකා ගිවිසුම කරළියට පැමිණෙයි

1987 ජූලි මාසයේ මුල් භාගය වන විට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත ව පවතින බවට රාවයක් පැතිර ගියා. එම ගිවිසුමේ වැඩ කටයුතු සඳහා ඉන්දීය පාර්ශවයෙන් විශාල භූමිකාවක් නිරූපණය කළේ ඩික්සිත් නම් ඉන්දියානු මහ කොමසාරිස්වරයා යි. එදා රජයේ සිටි සමහර මැති ඇමතිවරුන් පවා එවැනි ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ ව සිය විරෝධය එළිපිටම ප්‍රකාශ කළ ද ඉන්දියාවෙන් එල්ල වුණු දැඩි පීඩනය හමුවේ ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ සාකච්ඡා දිගින් දිගටම ක්‍රියාත්මක වුණා. 

ගිවිසුමට රට පුරා විරෝධතා 

ශ්‍රී ලංකා යුද හමුදාව වඩමාරච්චි සටනේ අවසානය කරා එළඹෙමින් සිටිය දී ඉන්දියාවෙන් ගුවන් මඟින් යාපනයට සහනාධාර දමා සටන බලහත්කාරයෙන් නතර කිරීම පිළිබඳව ශ්‍රී ලාංකීය ජනතාව මෙන් ම එවක විපක්ෂය ද කෝපයට පත් ව සිටියා. එවැනි වටපිටාවක කරළියට පැමිණි ඉන්දු-ලංකා ගිවිසුමට ඔවුන්ගෙන් දැඩි විරෝධතා එල්ල වුණා. එම ගිවිසුමේ අඩංගුව තිබුණු දේ පිළිබඳ ව ජනතාව ගෙන් සැඟවීමට එවකට රජය කටයුතු කළා. බලය බෙදීම මඟින් පළාත් සභා ඇතිවන බවත්, ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ව ඇති බවත් එකල රට පුරා ප්‍රසිද්ධියට පත්වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව විපක්ෂයෙන් ප්‍රබල විරෝධයක් එල්ල වුණා. එවකට අගමැතිවරයා වශයෙන් කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස මෙන්ම ආණ්ඩු පක්ෂයේ ලලිත් ඇතුලත්මුදලි වැනි ජේෂ්ඨ ඇමතිවරුන් පවා ගිවිසුමට විරුද්ධ වුණා.

දෙරටේ නායකයන් ගිවිසුමට අත්සන් කළ මොහොත
දෙරටේ නායකයන් ගිවිසුමට අත්සන් කළ මොහොත – dailymirror.lk

විරෝධතා මැද ගිවිසුම අත්සන් කරයි 

ඉන්දීය අග­මැති රජීව් ගාන්ධි සිය බිරිය සෝනියා සමඟ ඉන්දු- ලංකා ගිවි­සු­මට අත්සන් තැබී­ම සඳහා ශ්‍රී ලංකාවට පැමි­ණියේ 1987 ජුලි 29 වැනිදා පෙර­වරුවේ යි.ඒ සමඟ ඉන්දීය රජයේ අමා­ත්‍ය­ව­රුන් වුණු නර­සිංහ රාවෝ, එන්.ඩී තිවාරි, රාජ්‍ය අමාත්‍ය නට්වාර් සිං යන උදවියත් පැමිණියා. එස්. මෙනන්, රොහාන් සෙන් යන නිල­ධා­රීන් සහ  ජන­මා­ධ්‍ය­වේ­දීන් පිරි­සක් ද එම දූත පිරිසත් සමඟින් මෙරටට පැමිණියා. ඉන් පසුව ඉන්දීය අගමැතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතර ශ්‍රී ලංකා ජනාධිපති මන්දිරයේ දී කෙටි සාකච්ඡාවක් පැවතුණා. ඒ මොහොත වන විට විපක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් කොළඹට එකතු වී ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව දැඩි විරෝධයක් පාමින් සිටියා. 

ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයේ අවස්ථාවක්
ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයේ අවස්ථාවක් – Knappily

ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ ජේ.ආර් ජයවර්ධන එවක ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැතිවරයා පස්වරු 3.37ට පමණ ගිවිසුමට නිල වශයෙන් අත්සන් කළා. ගිවිසුම අත්සන් කළ අවස්ථාව සඳහා එවකට ආණ්ඩුවේ අමා­ත්‍ය­ව­රුන් වුණු  ඒ.සී.එස්. හමීඩ්, ගාමිණී දිසා­නා­යක, තොන්ඩ­මන්, දේව­නා­ය­ගම්, හුරුල්ලේ වැනි උදවිය එක්ව සිටියා. එදා ඉන්දීය රජයෙන් එල්ල වුණු බලපෑම හමුවේ ශ්‍රී ලංකා රජය ගිවිසුමට  අත්සන් කළ ද රටේ ජන­තාව සහ ආණ්ඩුවේ ඇම­ති­ව­රුන්ගෙන්  බහු­ත­ර­යක් එහි අඩංගු වී තිබුණේ  මොන­වා­දැයි හරියාකාරව දැනුම්­වත්ව නොසිටීම විශේෂත්වයක් වුණා.

ගාන්ධි අනූනවයෙන් ජීවිතය බේරා ගෙන ශ්‍රී ලංකාවෙන් පිටත්ව යයි 

1987 ජූලි 30 වැනිදා ඉන්දීය අගමැතිවරයා මෙරටින් පිටත්වීමට පෙර ජනාධිපති මන්දිරය ඉදිරිපිට උත්සවයක් පැවැත්වුණා. උදෑසන 9.30ට පමණ ආරම්භ වුණු උත්සවය පෙරවරු 10.15ට පමණ අවසන් වුණා. එහි දී ඉන්දීය අගමැතිවරයා නාවික හමුදාවේ සම්මාන මුරයට සහභාගි වෙමින් සිටි මොහොතේ විජිත රෝහණ නම් නාවික හමුදා භටයා සිය රයිෆල් බඳෙන් ගාන්ධිගේ හිසට අනපේක්ෂිත පහරක් එල්ල කළා. ඒ අයුරින් එල්ල වුණු පහර වලක්වා ගැනීමට ඔහුගේ ආරක්ෂකයන්ට හැකියාව ලැබුණා. එම සිදුවීමෙන් පසුව ඉන්දීය අගමැති රජිව් ගාන්ධි  ඉන්දියාව බලා ඉක්මනින්ම පිටත්ව ගියා.

එදා ඉන්දියාව බලහත්කාරයෙන් අත්සන් කළ ගිවිසුමෙන් පසුව ශ්‍රී ලංකාව තුළ කලබලකාරි වාතාවරණයක් නිර්මාණය වුණා.  රට තුළ භීෂණකාරී වාතාවරණයක් නිර්මාණය වන්නට ද එය හේතු වුණා. එඑම ගිවිසුමේ බලපෑම හේතුවෙන් බිහිවුණු පළාත් සභා ක්‍රමය අදටත් රට ගැටලු මතුකරමින් තිබෙනවා. 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම ඉතිහාසයේ දී සිදුවුණු විශාලතම වරදක් බව අදටත් බොහෝ දෙනකු පවසා සිටිනවා. 

කවරයේ ඡායාරූපය- නාවික හමුදා සෙබළා රජිව් ගාන්ධිට පහරදුන් අවස්ථාව - gettyimages

 මූලාශ්‍ර-

ගාමිණී දිසානායක චරිතාපදානය

ලලිත් ඇතුලත්මුදලි චරිතාපදානය

Related Articles