Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනප්‍රිය සමාජය වැළඳගත් “හිපි” ලක්ෂණ

හිපි සංස්කෘතිය තුළ සමාජ සංස්කෘතියට හා සභ්‍යත්වයට විරුද්ධව පැවති ක්‍රියාකාරකම් නිසා හිපියන්ට සමාජයෙන් විරෝධය එල්ල වන්නට විය. ක්‍රම ක්‍රමයෙන් හිපි සංස්කෘතිය පිරිහී යන්නට සමාජ බලපෑම ප්‍රබල හේතුවක් වූ නමුත් හිපියන්ට ආවේනිකව තිබුණු ගති ලක්ෂණ බොහොමයක් නවතාවයකින් යුතුව ජනප්‍රිය සමාජයෙන් මතුව ආයේය.

dailymail.co.uk

හිපියන්ට එරෙහිව සමාජයෙන් මතු වූ විරෝධය

චිත්ත සමාධිය උදෙසා මේ හිපියන් මත්ද්‍රව්‍ය භාවිත කළ අතර එය සාමාන්‍ය සමාජයේ විවේචනයට ලක් විය. හිසකේ වවාගෙන සැහැල්ලු ඇඳුම් පැළඳුම්වලින් සැරසී ගත් හිපියන් සමාජයේ හැසිරුණේ අනෙක් අයගේ සමාජමය වටිනාකම් වලට අභියෝග එල්ල කරමිනි. පෞද්ගලික නිදහස අගය කළ හිපියන් සම්මත සමාජයේ වෙසෙන්නන් ගේ නිදහස පිළිබඳ සිතුවේ නැති තරම් ය. මෙවැනි කාරණා නිසා සම්මත සමාජය මෙම උප සංස්කෘතියට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබුණි.

හිපි සංස්කෘතිය බිඳ වැටීමට හේතු

1966 ඔක්තෝබර් 6 දා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත රජය LSD නම් මත්ද්‍රව්‍යය නීති විරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස නම් කළේ ය. 1966 ජූනි වන විට කැලිෆෝනියාවේ විසූ හිපියන් සංඛ්‍යාව 15,000 ඉක්මවූ අතර ප්‍රාන්ත රජයට ප්‍රතිසංස්කෘතික මත දරන මොවුන් මහත් හිසරදයක්ව තිබිණි. අනෙක් අතට සාමය අගය කළ හිපියන් ඇමෙරිකාවේ ආක්‍රමණික ක්‍රියාකාරකම් හා වියට්නාම් යුද්ධය වැනි දෑ නිර්දය ලෙස විවේචනයට ලක් කිරීම ද පැවති සම්මත දේශපාලන රටාව ඉවසුවේ නැත.

LSD තහනමට ලක් කිරීම හිපියන්ගේ දැඩි විරෝධයට හේතු වූයේ ය. ඔවුහු එම විරෝධය පළ කරනු පිණිස සැන් ෆ්‍රැන්සිස්කෝ හි දැවැන්ත රැලියක් පැවැත්වූහ. එහිදී ඔවුන් කියා සිටියේ  LSD භාවිත කරන්නන් අපරාධකරුවන් හෝ මානසික රෝගීන් නොවේය කියා යි. LSD ගන්නේ චිත්ත සමාධිය ඇතිකර ගෙන විශ්වයේත් මානවයාගේත් සුන්දර බව රස විඳීමට බව ද ඔවුහු පැවසූහ. කෙසේ වෙතත් ප්‍රධාන සමාජය තර්ක කළේ එලෙස දීර්ඝ කාලීනව LSD ගැනීම හරහා ඇතිවන ශාරීරික පීඩා පිළිබඳව ය. කල් යද්දි LSD වෙනුවට චිත්ත සමාධිය ඇතිකර ගනු පිණිස ඔවුනට ඊට වඩා ප්‍රබල මත්ද්‍රව්‍ය අවශ්‍ය වන බවද වෛද්‍ය විද්‍යාඥයන් පෙන්වා දුන්නේය. හිපි සංස්කෘතියට එරෙහිව ගොඩනැගුණු තවත් තර්කයක් වූයේ පවුල් ඒකකයක් රහිත දරුවන් බිහි වීම සමාජයට තර්ජනයක් වන බවය.

allthatsinteresting.com

80 දශකය වන විට හිපි සංස්කෘතිය ගරා වැටෙමින් තිබිණි. සමාජය හා ආර්ථිකය වඩාත් සංකීර්ණ වීම සමහර විට ඊට හේතු වන්නට ඇත. අනෙක් අතට තුරුණු වියේදී හිපියන් බවට පත් වූ අය වියපත් වෙද්දී එම ජීවන රටාවන් ගෙන් බැහැර වූ අතර තවත් අය මත්ද්‍රව්‍යවලට පමණට වඩා ලොල් වී ජීවිත විනාශ කර ගත්හ. හිපියන් අධ්‍යාත්මික සාමයක් සෙව්වද ඔවුන්ගේ ප්‍රතිසංස්කෘතික ජීවන රටාවන් ඔවුන්ට සදාකාලික විමුක්තියක් අත්කර දුන්නේ නැත. විවිධ දාර්ශනිකයන්ගේ හා ආගමික ශාස්තෘවරුන්ගේ දර්ශනයන් හා ඉගැන්වීම්වලින් ඔවුන් සිය ජීවිතවලට අදාල කරගෙන තිබුණේ එතරම් වැදගත් නැති, අහුලාගත් කොටස් පමණකි.

හිපි සංස්කෘතියේ අංග ප්‍රධාන සංස්කෘතියට එක් වීම  

කෙසේ වෙතත් හිපියන්ගේ ප්‍රතිසංස්කෘතික ලක්ෂණ ප්‍රධාන සමාජයටද කාන්දු වෙමින් තිබුණි. හිසකේ හා රැවුල් වැවීම, වෛවාරණ හා සැහැල්ලු ඇඳුම්වලින් සැරසීම, ‘ටයි ඇන්ඩ් ඩයි’ කමිස හා ටී ෂර්ට් එසේ ප්‍රධාන සමාජයට කාන්දු වූ ලක්ෂණ ලෙස සැලකීමට පුළුවන. එමෙන්ම ආධ්‍යාත්මික වටිනාකම් සෙවීමට සෞඛ්‍ය සම්පන්න ආහාරයන්ට නැඹුරුවීමට, මස් මාංශයන්ගෙන් තොර වීමට සාමාන්‍ය ජනතාව ද හුරු වෙමින් සිටි නමුත් ඔවුන් හිපියන් මෙන් එඬේර ජීවිත ගත කිරීමට නැඹුරු වූයේ නැත. ප්‍රධාන සංස්කෘතික වටිනාකම ආරක්ෂා කර ගන්නා අතරතුර ඔවුහු උප සංස්කෘතියෙන් තමන්ට ලැබෙන කාරණා උකහා ගත්හ.

allthatsinteresting.com

1950 සහ 1960 දශකවල ටයි පටිය අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකුණ ද හිපියන් ටයි පටිය ප්‍රතික්ෂේප කළහ. ප්‍රධාන සමාජය ද ක්‍රමයෙන් ටයි පටිය රහිතව ඇඳුම් කට්ටලයෙන් සැරසීමට 60 දශකය අගදී නැඹුරු වූයේ හිමියන්ගෙන් එම ආභාසය ලබා ගනිමිනි. අදටත් එම තත්ත්වය දකින්නට ලැබේ දැකගන්නට ලැබේ.

හිපියන්ගේ අලුත් මුහුණුවර

වඩාත් ප්‍රචලිතව නැතත් අදත් හිපියන් හා සමාන තරුණ කොටස් ලෝකයේ විවිධ රටවල දී දැක ගන්නට පුළුවන. හිපියන්ට සමානව නව යුගයේ තරුණ කල්ලි අද එංගලන්තයේ වෙසෙතත් තමන් හිපියන් ලෙස හඳුන්වනවාට ඔවුන් කැමති නැත. ඔවුහු තමන් සාමය රැගෙන යන්නන් යනුවෙන් හඳුන්වා ගනිති.

assets3.thrillist.com

මේ හා සමාන කණ්ඩායම් ලොව විවිධ රටවල දැකගත හැකි නමුත් 60 හා 70 දශකවල මෙන් දැන් අතිවිශාල සහභාගිත්වයකින් යුත් රැලි හෝ සංගීත සන්දර්ශන රැකගන්නට නැත. නමුත් එම කණ්ඩායම් ද සැහැල්ලු ඇඳුම් පැළඳුම්, සැහැල්ලු ජීවන රටා අගය කරති. ඔවුන් පාවිච්චි කරන්නේද හිපියන්ගේ වාහනවලට සමාන වාහනය. සංගීතයට බෙහෙවින් ප්‍රිය කරන ඔවුහු හිපියන් මෙන් මත්ද්‍රව්‍ය කෙරේ එතරම් නැඹුරුවක් පළ නොකරති. ලිංගික විප්ලවය අසාර්ථක එකක් ලෙස පිළිගන්නා ඔවුහු සාමාන්‍ය ලිංගික ජීවිත ගත කරති. කෙසේ වෙතත් මේ අය අතර ප්‍රචණ්ඩකාරීව හැසිරෙන කල්ලි ද නැතුවා නොවේ.

Cover image – images.newrepublic.com

Related Articles