යළි මතු කර ගත් අනුරාධපුර රාජධානියේ ඇතුළු නුවර

අනුරාධපුර අග නගරයේ සිට රට පාලනය කළ විශිෂ්ට නරපතියන් රැසක් වාසය කළ රජ මාළිගය ඇතුළු පරිපාලන කේන්ද්‍රය පැවතියේ, ඇතුළු නුවර යි. මේ නගරය කොටු පවුරකින් වටකර පැවතුණා. සීගිරිය, පොළොන්නරුව, යාපහුව වගේ රාජධානිවල කොටු පවුර අපට පැහැදිලි ව දකින්න පුළුවන්. නමුත්, රටේ පළමුවැනි රාජධානිය වුණු අනුරාධපුරයේ බළකොටු ප්‍රාකාරය පැහැදිලි ව දැකගැනීම තරමක් දුෂ්කර යි.

 කොටු පවුර සහ ඇතුළු නුවර ගොඩනැගිලි- the historyfreek fb පිටුව

ඉතිහාස කතා

අනුරාධපුරය නගරයක් ලෙස නිර්මාණය කරන්නේ පණ්ඩුකාභය රජු බව යි මහාවංශයේ සඳහන් වන්නේ. මේ රාජධානියේ වැදගත් ම ප්‍රදේශය වන ඇතුළු නුවර, පසුකලෙක විවිධ රජවරුන් අතින් සංවර්ධනය කෙරෙනවා. බළකොටුවක් විදිහටත් භාවිත වුණු ඇතුළු නුවර, දිය අගල් සහ උස ප්‍රාකාරවලින් වටවෙලා තමයි ඉස්සර තිබිලා තියෙන්නෙ. ඇතුළු නගරය පිහිටා ඇත්තේ රුවන්වැලි සෑය හා අභයගිරිය අතර යි. අද වෙද්දි මේ ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත නටබුන් ස්ථාන හතරක් ශේෂ වෙලා තියෙනවා. ඒ තමයි; විජයබා රජ මාළිගාව, දළදා මාළිගාව, මහා පාලි ධාන ශාලාව සහ ගෙඩිගේ. නමුත්, ඇතුළුපුර පොළොව යට බොහෝ තැන්වල අප නොදන්නා අතීත ජනාවාසවල සාධක වැළලී තිබෙනවා.

 ඇතුළු පුරයේ විජයබාහු මාළිගය- elearning.lk

කොටු පවුර

පවුරකින් වට වී තිබුණු මෙම බිම්කඩ අනුරාධපුර තැනිතලාවේ උස් ම භූමියේ පිහිටා තිබෙනවා. ශිලා ලිපිවල එය හඳුන්වන්නේ, “ඇත්නකර” කියලයි. මෙම භූමියේ නටබුන් ගවේෂණයේ පුරෝගාමියා වුණේ ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වූ එච්.සී.පී. බෙල්. ඔහු, 1893 දී පාලන වාර්තාවේ මේ පිළිබඳ ව සඳහන් කරනවා. ඉන්පසු හෙන්රි පාකර්, අයර්ටන්, පී.ඊ.පී. දැරණියගල, සෙනරත් පරණවිතාන, සී.ඊ. ගොඩකුඹුර, ශිරාන් දැරණියගල යන විද්වතුන් ඇතුළු නුවර පිළිබඳ ව අවධානය යොමු කරනවා. මෑතක දී මෙම ප්‍රදේශයේ පුරාණ ජනාවාස සොයාගැනීමේ කැණීම් සිදු කළේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය ශිරාන් දැරණියගලයි.

 මහින්දාගමනයට පෙර අනුරාධපුරය- පෞරාණික ස්ථාන සහ ස්මාරක- අනුරාධපුර දිස්. කෘතියෙනි.

පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර ඇති මෙහි සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්කර 256ක්. ඉන්දියාවේ පැවැති අන්දමේ බළකොටුවක් විදිහට යි මේක සංවිධානය වෙලා තියෙන්නේ. දැනට පේන්න නැති වුණත්, වටේ විශාල ගඩොලු ප්‍රාකාරයකින් හා දිය අගලකින් වටකරලා තියෙන්නේ.

ප්‍රධාන දිසා අනුව පාරවල් හතරක් පැවතුණා. වට ප්‍රාකාරයේ කොටස් කීපයක් ම මේ වන විට කැණීම් කර තිබෙනවා වුණත්, ඉදිරි කාලයේ දී ඒවා තවදුරටත් කැණීම් කිරීමට නියමිත යි.

 ආචාර්ය ශිරාන් දැරණියගල- youtube.com

දැරණියගල කැණීම්

ඇතුළු නුවර වැදගත්කම ලෝකයට ම පැවසීමට ආචාර්ය ශිරාන් දැරණියගලගේ කැණීම් හේතු වුණා. එය ලංකා පුරාවිද්‍යාවේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස යි සැලකෙන්නේ. ආචාර්ය දැරණියගල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂ වශයෙන් ඇතුළු නගරයේ ගෙඩිගේ අසල මුලින්ම කැණීම ආරම්භ කළේ 1969 දී යි.
පසුව, 1980 දශකයේ ආරම්භයේ සිට 2010 වසර පමණ දක්වා ඇතුළු නුවර පුරාවිද්‍යා කැණීම් 14ක් සිදුකර තිබෙනවා. මහාපාලි ධාන ශාලා කැණීම (AMP), සල්ගහවත්ත (ASW), සංඝමිත්තා මාවත (ASM), ගෙඩිගේ (AG), ඩිංගිරි බණ්ඩාගේ වත්ත (ADB), විජයබා මාළිගය (AWM), දළදා මාළිගය (ADM) ආදී විවිධ නම්වලින් කළ කැණීම්වල පිහිටි ස්ථානය අනුව ඒ කැණීම් හඳුන්වා තිබෙනවා. දැනටත් සල්ගහවත්ත කැණීම් බිම තහඩුවලින් පියස්සක් සකස් කර ඕනෑම අයකුට දැකගත හැකි ලෙස පවත්වාගෙන යනවා. ලෝකයේ වෙනත් රටවල පුරාවිද්‍යාඥයන් පැමිණි විට මේ කැණීම් බිම නැරඹීමට යාම අනිවාර්ය සිරිතක් වී තිබෙනවා. නමුත්, අපේ සංචාරකයන් නම් ඇතුළු නුවර කැණීම් බලන්න වැඩි උනන්දුවක් නැති බව යි පෙනෙන්නේ.

 ක්‍රි.පූ. 250 දී නගරය පැවති අයුරු- පෞරාණික ස්ථාන සහ ස්මාරක- අනුරාධපුර දිස්. කෘතියෙනි.

ප්‍රාග් මානවයා

1984 වසරේ දී ශිරාන් දැරණියගල, ඇතුළු නුවර නව කැණීමක් ආරම්භ කළේ ‘ගෙඩිගේ වත්ත’ නම් ස්ථානයේ යි. කාබන් 14 ක්‍රමයට කාලනිර්ණ කටයුතු කිරීම කැණීමෙහි එක් අරමුණක් වුණා. එම කැණීමෙන් සොයා ගත් තොරතුරු අනුව, අනුරාධපුර නගරයේ මුල් ජනාවාස ආරම්භ වන්නේ, අදින් වසර 6000කට පමණ ඉහත ප්‍රාග් ඓතිහාසික යුගයේ දී යි. එකල එහි වාසය කර ඇත්තේ, මධ්‍ය ශිලා යුගය නියෝජනය කරන බලංගොඩ මානවයන්. ඊළඟට එළඹෙන මානව ජනාවාස අවධිය අදින් වසර 3000කට ඉහත, එනම් ක්‍රි.පූ. 1000 දී ඇරඹෙන බව හෙළි වුණා. එය ‘පූර්ව ඓතිහාසික යකඩ යුගය’ යි. ඒ මානවයා ගල් ආයුධ භාවිතයෙන් ඉවත් වී යකඩ හෝ ලෝහ භාවිතය මුලින්ම හුරුපුරුදු කර ගත් යුගය යි.

සල්ගහවත්ත කැණීම් ස්ථානය- Wikipedia.org

මුල්ම අනුරපුර ගම්මානය

1988 වසරේ දී ආචාර්ය ශිරාන් දැරණියගල ඇතුළු නගරයේ සල්ගහවත්ත ස්ථානයේ නැවතත් පුරාවිද්‍යා පර්යේෂණ කැණීමක් ආරම්භ කළා. වර්තමාන පොළොවේ මතුපිට මට්ටමේ සිට ආසන්න වශයෙන් අඩි 30ක් පමණ ගැඹුරෙන් තමයි මුල්ම ගම්මානය පිහිටා තිබෙන්නේ. අක්කර 35-65 අතර භූමි වපසරියක ව්‍යාප්ත වී පැවති විශාල ගම්මානයක් නියෝජනය වන අනුරාධපුර මුල්ම ජනාවාසය ක්‍රි.පූ. 900 කාලයට අයත් බව කැණීම්වලින් හෙළි වුණා. අක්ෂර භාවිතය, යකඩ මෙවලම්, වී ගොවිතැන, මැටි භාජන, අශ්වයන් හා ගවයන් ඇති කිරීම යනාදිය සිදු වූ බවට සාධක ද එහි දී හමුවුණා.
ක්‍රි.පූ. 700 පමණ වන විට මෙම ජනාවාසය අක්කර 125ක වපසරිය ඉක්මවමින් වර්ධනය වී පැවතුණා. ක්‍රි.පූ. 500 පමණ වන විට ආසන්න වශයෙන් අක්කර 180ක පමණ භූමි ප්‍රමාණයක මෙම ජනාවාසය ව්‍යාප්ත ව තිබුණා. ක්‍රි.පූ. 3 වැනි සියවසේ දී එනම්, දේවානම්පියතිස්ස රජුගේ කාලයේ ලංකාවට බුදුදහම රැගෙන එන විට අනුරාධපුර ඇතුළු නගරය එහි උපරිම වර්ධනය පෙන්නුම් කළ අතර, මේ වන විට එහි ව්‍යාප්තිය අක්කර 250ක් පමණ වුණා.

 කැණීම්වලින් ලැබුණු අක්ෂර සහිත වළං කටු- sirimunidasa.wordpress.com

මහින්දාගමනයට පෙර අක්ෂර

මිහිඳු හිමියන් පැමිණීමට පෙර පටන් ම අක්ෂර භාවිත කළ දියුණු නාගරික ශිෂ්ටාචාරයක් අනුරාධපුරයේ පැවති බව ලෝකයට කිව්වේ ඇතුලුනුවර යි. ඒ, ක්‍රි.පූ. 600-500 දක්වා වකවානුවට අයත් අක්ෂර සහිත මැටි බඳුන් කොටසක් හමුවීමෙන් එය ඔප්පු වුණා. දැනට සොයාගෙන ඇති පරිදි, දකුණු ආසියාවේ අක්ෂර භාවිතය පිළිබඳ පැරණි ම සාධකය එය යි.
කලාපයීය වශයෙන් සලකා බැලිමේ දී උතුරු ඉන්දියාවේ, උජ්ජෙයිනි නගරයට දකුණින් පිහිටි විශාලතම නගරය වූයේ අනුරාධපුරය බව පුරාවිද්‍යාඥ ඇල්චින් සඳහන් කරනවා.
ක්‍රි.පූ. 543 දී විජයාගමනය හෙවත් උතුරු ඉන්දීය ආර්යය සංක්‍රමණය සිදුවන විට ද, අපේ අනුරාධපුරය මහා නගරයක් ව පැවති බව ඇතුළු නුවරින් හෙළිදරව් වන තවත් කරුණක්.
ඉන්දු-ආර්යයන්ගේ සම්ප්‍රාප්තිය ගැනත් තොරතුරු මින් හෙළි ව තිබෙනවා. අශ්වයන් භාවිතය, යකඩ සහ කාල රක්ත මැටි බඳුන් භාවිතය, වී ගොවිතැන, ගෘහස්ත එළ හරකුන් ඇති කිරීම ආදිය ද අනුරාධපුර මුල් ජනාවාසවල සිදු වූ බව ද හෙළි⁣ වෙනවා.

දළදා මාළිගා ගොඩනැගිල්ල- amazinglanka.com

යකඩ නඟුල

කැණීමෙන් හමුවූ තවත් ඉතා වැදගත් කාරණයක් නම් මුල් වරට ‘යකඩ නඟුල’ භාවිත කළ බවට සාධක ලැබීමයි. මෙහි වැසියන් යකඩ භාවිත කළ බවත්, වී ගොවිතැන් කළ බවත්, ඒ සඳහා එළ හරකුන් යොදා ගත් බවත් හෙළිව තිබෙනවා. ඇතුළු පුරයේ පුරවැසියන් එකල මැටි බඳුන් ද භාවිත කළ පිරිසක්. ගොවිතැනින් ලබාගත් ධාන්‍ය, මැටි බඳුන්වල උයා-පිහා කෑ බව ඉන් පැහැදිලි වෙනවා. මේ සාධකවලින් පිළිබිඹු වන්නේ ඉතා දියුණු කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක හැඩරුව යි.

 ඇතුළු පුර මහාපාලි ධාන ශාලාවේ බත් ඔරු- mahaviharaya.lk

බුද්ධ කාලයේ සබඳතා

උතුරු ඉන්දියාවෙන් ආර්යය සංක්‍රමණයක් සිදු වූ බව හෙළි කරමින් හමු වූ උත්තර භාරතීය ‘පාත‍්‍රා’ කොටස්, තවත් සුවිශේෂී සාධකයක් ලෙස සැලකිය හැකි යි. ඒවා ක්‍රි.පූ. 350ට පෙර වකවානුවට අයත් යැයි කාලනිර්ණය කර තිබෙනවා. මෙය, ඉන්දීයාවේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය යුගයට පෙර බුද්ධ කාලයට ආසන්න කාලය යි. ධර්මාශෝක යුගයට ඉහත දීත් ලංකාවේ බෞද්ධාගමික සම්බන්ධතා පැවතුණු බව ඉන් හෙළි වෙනවා.

 සල්ගහවත්ත කැණීම් සිදුකරමින්- durham.ac.uk

අනුරාධපුර කොටු පවුර

නගරය වටා පැවති ප්‍රාකාරය චතුරස්‍රාකාර සැලැස්මක් නොවන බවට සාධක හමු වී තිබෙනවා. ක්‍රි.ව. 5 වන සියවසේ පැමිණි පාහියන් හිමි සඳහන් කරන ආකාරයට, නගරයේ ප්‍රධාන වීදි හතරක් පැවතුණා. ඉන් එක් වීදියක් ‘උත්සව වීදිය’ ලෙස හැඳින්වෙනවා. නගරයේ සතර කොන දොරටු හතරක් පැවතුණා. මුලින්ම නගරයට ප්‍රාකාරයක් ඉදිකර තිබෙන්නේ, කූටකණ්නතිස්ස (ක්‍රි.පූ. 41-19) රජු යි. ඔහු ඒ වටා දිය අගලක් ද තැනවූවා. අලුතින් රජ මැඳුරක් ද තනවා තිබෙනවා. වසභ රජු (ක්‍රි.ව. 65-109) මේ පවුර රියන් 18ක් උස්කොට තැනූ බව සඳහන්. පසුගිය කාලයේ කළ කැණීම්වලින් හෙළි වී තිබෙන්නේ, වාසල් දොරටු ශක්තිමත් ව තනා තිබුණු බව යි. වෙළඳුන් සහ විදේශිකයන් යන දෙකොටස ම නගරයේ වාසය කළ බව පාහියන් හිමි සඳහන් කරනවා.

 මහාපාලි ධාන ශාලාව- mahaviharaya.lk

ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණන වාර්තාවකින් හෙළි වූයේ, අනවසර පදිංචිකරුවන් නිසා අනුරාධපුර ඇතුළු නුවරට දැඩි හානියක් සිදු ව තිබෙන බව යි. ඇතුළු නුවර අනවසරයෙන් පදිංචි ව සිටිනවාට අමතර ව, එම ඉඩම් වෙනත් අයට අලෙවි කිරීම ද සිදුවන බව අටමස්ථානයේ විහාරාධිකාරී හිමිවරුන් ද පවසනවා. ඇතුළු නුවරට බලපාන්නේ පුරාවිද්‍යා ආඥාපනත යි. අනවසර ඉදිකිරිම් ගැන දීර්ඝ කාලයක සිට දැනුම්වත් කිරීම් කළත්, සාර්ථක ප්‍රතිඵල ලැබී නැති බව විගණන වාර්තාව සඳහන් කරනවා. ඇතුළු නුවර අනවසර පදිංචිකරුවන් 265 දෙනකුගේ ලේඛනයක් ද විගණන වාර්තාවට ඇතුළත් කර තිබෙනවා. ඇතුළු නුවර පදිංචි පවුල් සංඛ්‍යාව දහසකට අධික යි. එය අඩු ම තරමේ, 5000ක පමණ ජනගහනයක්. 1969 කැණීම් ආරම්භ කිරීමට පෙර පටන් සිටි මුල් පදිංචිකරුවන් ද මේ අතර සිටින බවත්, ඔවුන්ට සින්නක්කර ඔප්පු හිමි බවත් පැවසෙනවා.

කවරයේ පින්තූරය- ඇතුලුනුවර ගෙඩිගේ ගොඩනැගිල්ල- srendib.btoptins.lk

මූලාශ්‍ර:

පෞරාණික ස්ථාන සහ ස්මාරක- අනුරාධපුර දිස්. උදේනි වික්‍රමසිංහ, වාසනා ප්‍රේමචන්ද්‍ර  (පුරාවිද්‍යා දෙපා.)

 Archeaology.lk

Related Articles