චන්ද්‍රබානු පරාජය කළ සිංහල රජතුමා

ක්‍රි. ව. 1196 දී කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා මරණයට පත්වීමෙන් පසුව පොළොන්නරු රාජධානිය අරාජික වුණා. එම නිසා වසර 19ක් වැනි කෙටි කාලයක් ඇතුළත පාලකයන් 10 දෙනෙකු පමණ පොළොන්නරුව රාජධානිය පාලනය කළා. 

පොළොන්නරු රාජධානිය තුළ පැවති දුර්වල පාලනය පිළිබඳව කාලිංග දේශයට තොරතුරු ලැබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කාලිංග මාඝ නම් දරුණු ආක්‍රමණිකයා ක්‍රි. ව. 1215 දී පොළොන්නරුව ආක්‍රමණය කළා. ඒ සමගම පොළොන්නරු යුගය අවසානයට පත්වුණා. 

ඉතාමත් දරුණු පාලකයෙකු වුණු මාඝ රජරට තිබුණු වෙහෙර විහාර බිමට සමතලා කරමින්, වැව් අමුණු කඩා දමමින්, ගම්බිම් ගිනිබත් කරමින් විනාශකාරී පාලනයක් ගෙනගියා. ඒ අතරතුර ඔටුන්න හිමි වත්හිමි විජයබාහු කුමාරයා හොර රහසේම දඹදෙණියට පළා ගියා. තුන්වන විජයබාහු නමින් රජවුණු ඔහු දඹදෙණි රාජධානියේ ආරම්භක පාලකයා බවට පත්වුණා. එම රජතුමා ක්‍රි. ව. 1232-1236 කාල සමය තුළ දඹදෙණියේ රජකම් කළා. 

නමුත් 3 වන විජයබාහු රජතුමාට කාලිංග මාඝව පොළොන්නරුවෙන් පළවා හැරීමට හැකිවුණේ නැහැ. ක්‍රි. ව. 1236 දී තුන්වන විජයබාහු රජතුමාගේ පුත්‍රයා දෙවන පරාක්‍රමබාහු යන නමින් රජකමට පත්වීමත්  සමගම දඹදෙණි රාජධානියට ස්වර්ණමය යුගයක් උදා වුණා. 

නිශ්ශංකමල්ල රජතුමාගේ පිළිමයක් (blogger)

කාලිංග මාඝ පොළොන්නරුවෙන් පළවා හැරීම 

කාලිංග මාඝ පොළොන්නරුව අල්ලාගැනීමත් සමගම සිංහල සෙනවියන් උපක්‍රමශීලීව පසුබැස ගොස් සිටියා. ඉන් සුභ සෙනවියා යාපහුවේත්, සංඛ සෙනවියා ගංදෙණි පර්වතයේත්, බුවනෙකබා සෙනවියා ගෝවින්ද හෙළ පර්වතයේත් කඳවුරු බැඳගත්තා. මාඝ සමග පැමිණි 24000ක පමණ සේනාව පරාජය කිරීමට වඩාත් උපක්‍රමශීලීව කටයුතු කළ යුතු බව සිංහලයන් දැන සිටියා. ක්‍රි. ව. 1236 දී රාජ්‍යත්වයට පත්වුණු දෙවන පරාක්‍රමබාහු රජතුමා එඩිතර රජ කෙනෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියා. එම රජතුමා මාඝ රජරටින් අතුගා දැමීමට සැලසුම් සකස් කළා.

මාස කිහිපයක් තිස්සේ කළ සැලසුම්වලින් පසුව පොළොන්නරුවට පහරදීමේ සටන ආරම්භ වුණා. ඒ වන විට මාඝගේ කේරළ සහ දෙමළ කුලී හමුදාවලට ද දෙවන පරාක්‍රමබාහු රජුගේ රණකාමීත්වය පිළිබඳව ආරංචි වී තිබුණා. එම නිසා ඔවුන් රජරට ඉතිරිව තිබුණු වස්තුව ද කොල්ලකාගෙන හොර රහසේම රටින් පළා යාමට තීරණය කළා. නමුත් ඔවුන්ට ලංකාව එතරම් හුරුපුරුදු නැති රටක් නිසා ගමන් මාර්ගය වැරදී පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ට අසුවුණා. එම කුලී හේවායන්ගෙන් ඇතැම් පිරිස් පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ට එකතු වුණා.

සිංහල සේනාවේ ශක්තිය තවත් වැඩි වුණා. මාඝගේ සේනාවල බලය හීන වුණා. ක්‍රමයෙන් පොළොන්නරුව වෙත ළඟාවුණු පරාක්‍රමබාහු රජුගේ සෙනාවන් වරින්වර ප්‍රතිවාදීන්ට ප්‍රහාර එල්ලකළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මාඝගේ බලය අඩපණ වන්නට වුණා. තවදුරටත් පොළොන්නරුවේ බලය රැකගෙන සිටීම නුවණට හුරු නැති බව තේරුම්ගත් මාඝ හොර රහසේම සිය රටට ආපසු යාමට තීරණය කළා. මාඝ ඇතුළු කිහිපදෙනෙකු එසේ පළාගියත් ඔහුගේ සේනාවෙන් වැඩි කොටසක් සිංහල සේනාව අතින් සමූල ඝාතනයට ලක්වුණා.  

දඹදෙණියේ නටබුන් (Lankadeepa)

චන්ද්‍රබානු

කාලිංග මාඝ පොළොන්නරුවෙන් පළවා හැරීමෙන් පසුව දෙවන පරාක්‍රමබාහු රජතුමා සාර්ථක පාලනයක් ගෙන ගියා. එම කාල සමය තුළ රට සෑම අතින්ම දියුණුවට පත්වුණා. එසේම රට තුළ සාමකාමී තත්ත්වයක් පැවතුණා. නමුත් එම සාමකාමී බව දිගුකල් රැඳී නොතිබුණේ චන්ද්‍රබානු නම් ජාවක රජතුමාගේ ආක්‍රමණය නිසා යි. 

චන්ද්‍රබානු ආක්‍රමණිකයාව පරාජය කිරීම භාරවුණේ රජුගේ බෑණනුවන් වුණු වීරබාහු නම් කුමරාට යි. දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ උපදෙස් අනුව ක්‍රියා කළ වීරබාහු කුමරා උපක්‍රමශීලීව සටන මෙහෙයවා ආක්‍රමණිකයාව පළවා හැරීමට සමත් වුණා. එම නිසා 1247 වසරේ දී සිදුවුණු එම ආක්‍රමණයට සාර්ථකව මුහුණදීමට දෙවන පරාක්‍රමබාහු රජතුමාට හැකිවුණා.

චන්ද්‍රබානුගේ රුව දැක්වෙන සිතුවමක් (Alchetron)

වසර 15කින් චන්ද්‍රබානු යළි ලංකාවට පැමිණෙයි 

නමුත් 1262 වසරේ දී චන්ද්‍රබානු යළි ලංකාවට පැමිණියා. මෙවර අමුතුම ස්වරූපයකින් ලංකාවට පැමිණි ආක්‍රමණිකයා මෙරට වාසය කළ සිංහල බෞද්ධ ජනතාව වසඟයට ගැනීම සඳහා අමුතුම උපක්‍රමයක් අනුගමනය කළා. චන්ද්‍රබානු ජනතාව හමුවේ පවසා සිටියේ ඔහුට සිංහල රජකමට උරුමයක් තිබෙන බව යි. එසේම දන්ත ධාතූන් වහන්සේ සහ පාත්‍රා ධාතුවත් තමාට උරුම විය යුතු බව පැවසූ චන්ද්‍රබානු නම් ආක්‍රමණිකයා ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිය සේනාව සමගින් වාසය කළා.

ශ්‍රී ධර්මරාජා නමින් පෙනී සිටි චන්ද්‍රබානු යාපනය, වැලිඔය, පදවිය වැනි ප්‍රදේශවල සැරිසරමින් සිංහල ජනතාව රවටා තමන් වෙත සමීප කරගන්නට උත්සාහ කළා. ඔහුගේ අවසන් අරමුණ වුණේ දෙවන පරාක්‍රමබාහු රජුට එරෙහිව සිංහලයන් උසිගන්වා රජකම උරුම කරගැනීම යි. ගමින් ගමට ගිය මෙම පුද්ගලයාට සමහර සිංහලයන්ව රවටා තමාගේ පැත්තට හරවා ගැනීමට හැකියාව ලැබුණා. ඒ අතරතුර දෙවන පරාක්‍රමබාහු රජුගේ ඔත්තුකරුවන්ට උතුරේ සැරිසරන ශ්‍රී ධර්මරාජා නැමැති මේ ආගන්තුක පුද්ගලයා පිළිබඳව තොරතුරු ලැබුණා. 

ශ්‍රී ධර්මරාජා පරාජය කිරීමට සැලසුම් කිරීම 

දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ ඔත්තුකරුවන් දෙදෙනෙකු හොර රහසේම උතුරුකරයට ගොස් ශ්‍රී ධර්මරාජා පිළිබඳ තොරතුරු සොයන්නට වුණා. ඔත්තුකරුවන් දෙදෙනා හැසිරුණේ පරාක්‍රමබාහු රජතුමාගේ පාලනයට අකමැති සිංහල බෞද්ධයන් දෙදෙනෙකු ලෙස යි. එමනිසා ටික කලක් යන විට ඔවුන් දෙදෙනා සහ ශ්‍රී ධර්මරාජා අතර විශාල මිත්‍රත්වයක් ඇතිවුණා. ඔවුන් අතර මිත්‍රත්වය තවත් වැඩිවෙද්දී ශ්‍රී ධර්මරාජා තම අනාගත සැලැස්ම ගැන මිතුරන් දෙදෙනාට සැලකර සිටියා.

එය ඇසීමෙන් කලබලයට පත්වුණු රජුගේ ඔත්තුකරුවන් උපක්‍රමශීලීව එතැනින් පිටවගොස් දඹදෙණිය රජ වාසලට ගියා. ඉන්පසුව ශ්‍රී ධර්මරාජා ලෙසින් උතුරුකරයට පැමිණ සිටින චන්ද්‍රබානුගේ ඊළඟ සැලැස්ම පිළිබඳව අනාවරණය කළා. ඒ වන විට ශ්‍රී ධර්මරාජා ලෙසින් පෙනී සිටි චන්ද්‍රබානු නම් ආක්‍රමණිකයා වටා සැලකිය යුතු තරම් සිංහලයන් ප්‍රමාණයක් එකතු වී සිටියා. එම නිසා චන්ද්‍රබානුව පරාජය කිරීම සඳහා හොඳ සැලසුමක් අවශ්‍ය වුණා. 

ඒ වනවිටත් චන්ද්‍රබානු සතුව සිටි විශාල පිරිස් බලය නිසා දෙවන පරාක්‍රමබාහු රජතුමා පාණ්ඩ්‍ය දේශයෙන් උදව් ඉල්ලා සිටියා. එකල පාණ්ඩ්‍ය දේශය පාලනය කරමින් සිටි ජටාවර්මන් සුන්දර නම් රජතුමා සිය ලාංකීය මිතුරාට උදව් ලබාදීමට කැමැත්ත පළ කළා. එම පාණ්ඩ්‍ය රජතුමා දකුණු ඉන්දියාවේ කුඩුමියාමලෙහි පිහිටුවන ලද සෙල්ලිපියක පවා ඒ පිළිබඳව සඳහන් කර තිබෙනවා. පාණ්ඩ්‍ය සේනාවල සහාය ඇතිව සතුරාට එරෙහිව සටන මෙහෙයවීමේ අවස්ථාව රජුගේ පුත් විජයබාහු කුමාරයාටත්, බෑණනුවන් වුණු වීරබාහුටත් හිමිවුණා. 

චන්ද්‍රබානුගේ සේනාවන් දඹදෙණියට පැමිණෙයි 

දෙවන පරාක්‍රමබාහු රජතුමාව පරාජය කිරීමට ප්‍රමාණවත් තරම් සේනාවන් එකතු කරගත් චන්ද්‍රබානු සීරුවෙන් සිය සේනා දඹදෙණිය කරා මෙහෙයවන්නට වුණා.  ඔවුන් දඹදෙණිය කරා පැමිණෙන ගමන් මාර්ගය පිළිබඳව රජුගේ ඔත්තුකරුවන් අවධානයෙන් පසුවුණා. ඒ වන විට දෙවන පරාක්‍රමබාහු රජු ද හේවායන් 40,000කින්, අලි 998කින්, සහ අශ්වයන් 878කින් යුත් දැවැන්ත සේනාවක් සූදානම් කර තිබුණා. එලෙස මනාව සංවිධානය වී සිටි පරාක්‍රමබාහු රජුගේ සේනාවන් සතුරන් එනතුරු සැඟවී බලා සිටියා. මේ පිළිබඳව කිසිවක් නොදැන සිටි චන්ද්‍රබානුගේ සේනාවන් ජයග්‍රාහී මානසිකත්වයකින් ඉදිරියට ඇදෙන්නට වුණා. ඒ වන විට ඔවුන් සිතා සිටියේ සතුරාව පහසුවෙන් පරාජය කිරීමට හැකි බව යි. 

දෙපිරිස අතර සටනක් 

චන්ද්‍රබානුගේ නායකත්වය යටතේ දඹදෙණිය බලා පැමිණි සේනාවන් සහ දෙවන පරාක්‍රමබාහු රජුගේ සේනාවන් අතරමඟ දී මුණ ගැසුණා. බලාපොරොත්තු නොවුණු තරම් විශාල සේනාවක් සමග සටන් කිරීමට සිදුවුණු නිසා චන්ද්‍රබානුගේ සේනාව ක්‍රමයෙන් අඩපණ වන්නට වුණා. නමුත් තම උත්සාහය අත් නොහැරි ආක්‍රමණිකයා නොනවත්වාම සටන ඉදිරියට ගෙන ගියා. අවසානයේ දී තමාට ජයග්‍රහණය කිරීමට නොහැකි බව තේරුම් ගත් චන්ද්‍රබානු ජීවිතය බේරාගෙන පළායන්නට උත්සාහ කළා. පළායන චන්ද්‍රබානුව දුටු දෙවන පරාක්‍රමබාහු රජතුමා මෙසේ පවසා සිටියා. 

“එම්බල දුෂ්ඨය, රජෙකුට බයේ රජෙකු පළාගිය රටක් නැහැ. එම නිසා වහා සටනට එව!”

පරාක්‍රමබාහු රජතුමා විසින් කළ අභියෝගයට හිස නැමූ චන්ද්‍රබානු මුහුණට මුහුණ සටන් කිරීමට කැමැත්ත පළ කළා.

ඇත්නරුව අවසන් සටන 

දෙවන පරාක්‍රමබාහු රජතුමා සහ චන්ද්‍රබානු රජතුමා මුහුණට මුහුණ සිදුකළ සටන නැරඹීම සඳහා විශාල පිරිසක් ඇත්නරුව වෙල්යායට එකතු වුණා. සටන ආරම්භයේ දී දෙදෙනා කරට කර සටන් කළත්, චන්ද්‍රබානු ක්‍රමයෙන් විඩාවට පත්වුණා. ඒ අවසරයෙන් ක්‍රියාත්මක වුණු දෙවන පරාක්‍රමබාහු රජතුමා ජය කොන්තය ඔසවා චන්ද්‍රබානුට දරුණු පහරක් එල්ල කළා. එම වේගවත් පහර වලක්වාගැනීමට චන්ද්‍රබානු අසමත් වුණා. ඔහු වෙල්යාය මැද මැරී වැටුණා. 

චන්ද්‍රබානුගේ භෂ්මාවශේෂ තැන්පත් කරමින් ඇත්නරුව ප්‍රදේශයේ සොහොනක් ඉදිකිරීමට දෙවන පරාක්‍රමබාහු රජතුමා කටයුතු කළා. යුද්ධයෙන් පසුව ජීවත්වීමට වරම් ලැබුණු චන්ද්‍රබානුගේ සේනාවේ හේවායන් මලයාව, ජාවා, සුමාත්‍රා වැනි ප්‍රදේශ කරා පළා ගියා. කාලිංග මාඝ පොළොන්නරුවෙන් පළවාහැරීම සහ චන්ද්‍රබානු රජතුමාව පරාජය කිරීම දෙවන පරාක්‍රමබාහු යුගයේ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් අතරට එක් වනවා.   

දෙවන පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිමාව (Dreams time)

කවරයේ ඡායාරූපය- දඹදෙණියේ නටබුන් (Tripadvisor)

මූලාශ්‍රයයන්- විදෙස් ආක්‍රමණ බලවේග සහ යාපනයේ ඉතිහාසය

Related Articles