මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.
ඉරානයට ආයුධ විකුණා ලැබෙන ලාභය කොන්ට්‍රා ගරිල්ලන්ට යැවේ Reference: apushcanvas.pbworks.com

 මේ ඔබ කියවන්නට යන්නේ එක්සත් ජනපදයේ දේශපාලන නිරුවත ලොවට කියා පෑ කුප්‍රකට ගනුදෙනුවක් ගැන යි. මේ සිද්ධියට සම්බන්ධ වන්නේ කිසි ලෙසකවත් එකම ගනුදෙනුවකට එකට පෑහිය නොහැකි රටවල් ත්‍රිත්වයකි. ඒ රටවල් තුන නම් එක්සත් ජනපදය, නිකරගුවාව, හා ඉරානය යන රටවල් ය. 

මේ අපකිර්තිමත් ගනුදෙනුව සිදුවන්නේ 1982-85 දක්වා කාල වකවානුවේ ය. මේ ගනුදෙනුව පිළිබඳ තොරතුරු හෙලිවන්නේ 1986 නොවැම්බර් වකවානුවේ දී ය. මේ අපකීර්තිමත් ගනුදෙනුව වඩාත් හොඳින් තේරුම් ගැනීමට නම්, එයට සම්බන්ධ පාර්ශවයන් පිළිබඳ දළ අදහසක් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. 

නිකරගුවාව

පැනමාව, එල්-සැල්වදෝරය, හා හොන්ඩුරස් රාජ්‍යයන්ට මායිම්ව පිහිටි නිකරගුවාව, නිරන්තරයෙන් ඇමරිකානු ඇසට යොමුවූ රාජ්‍යයකි. ඇමරිකාව,  යහපත් හා ශක්තිමත් නිකරගුවා රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් නිරන්තරයෙන් එරට වෙත සිය දේශපාලනය බලය යෙදුවා වුව ද එහි සැබෑ අරමුණ වූයේ තමන්ට හිතෛශී රාජ්‍යයක් බිහි කිරීම බව සාමාන්‍ය පිළිගැනීම යි.

නිකරගුවාව දීර්ඝ කාලයක් පැවතියේ ඇමරිකානු හිතවාදී සොමෝසා පවුල් පාලනයට යටත්ව ය. පියෙකු හා පුතුන් දෙදෙනෙකු විසින් 1937 - 1979 දක්වා විවිධ කාල පරිච්ඡේදයන්හි දී රට පාලනය කෙරුණු අතර, ඔවුන්ට එරෙහිව වරින් වර විවිධ තලයේ විරෝධයන් ක්‍රියාත්මක විය. ඒ අනුව, 1930 දී ඇමරිකානු හිතවාදී පාලනයට එරෙහිව සටන් වැද පවුල පිටින් ඝාතනයට ලක් වූ ඔගස්ටස් සැන්ඩිනෝ නමින්, සැන්ඩිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණ 1961 දී බිහි වූ අතර, 1972 දී ඇති වූ භූමි කම්පාවේ දී වින්දිතයින්ට ලැබූ විදේශ ආධාර ගසා කෑමට එරෙහිව එම පෙරමුණ විදී සටන් ක්‍රියාත්මක කළේ ය. එම සටන්වල උච්චතම අවස්ථාව වූයේ 1979 දී එම පෙරමුණ නිකරගුවාවේ බලය අල්ලා ගැනීම යි. එය දැනට මහජන විප්ලවයකින් වාමාංශික කණ්ඩායමක් බලය ලබා ගත් ලෝකයේ අවසාන අවස්ථාව ය. බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව සැන්ඩිනිස්ටාවරුන් ව්‍යාපාර ජනසතු කළ අතර මහා පරිමාණ වතු හා ගොවිපලවල් සමූහ ගොවිපල ක්‍රමය යටතේ දිළිඳු ගොවියන් සතු කරන ලදී. කෙසේ වෙතත් සැන්ඩිනිස්ටාවරුන්ගේ ක්‍රියාකලාපය ඉඩම් හිමියන්ගේ මෙන්ම හමුදා සෙබලුන්ගේ ද වෛරයට පාත්‍ර වූ අතර, ඔවුන් ඇමරිකානු ආධාර මත කොන්ට්‍රා නමින් හොන්ඩුරාස් රාජ්‍යයේ සිට ක්‍රියාත්මක වූවෝ ය. ඔවුන් කොකේන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ මෙන්ම නොයෙකුත් අපචාර කටයුතුවලත් යෙදී සිටි බව කියැවේ.

ඉරානය

දැන් අපි ඉරානය දෙසට හැරෙමු. 1961 සිට 1979 දක්වා ඉරානය පාලනය කළ මොහමඩ් රීසා පාලවි ෂා ගෙන ගියේ ඇමරිකානු හිතවාදී පාලනයකි. එහෙත් 1979 දී සිදු වූ ඉරාන විප්ලයෙන් පසු මොහමඩ් ෂා පලාගිය අතර ලොව විශාලම ෂියා මුස්ලිම් ජනගහනයක් සහිත ඉරානයේ පාලනය අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි යටතට පත්විය. එමෙන්ම එම වසරේ දී ම සිදුවූ, ඇමරිකානු තානාපති කාර්යයාලයේ ප්‍රාණ ඇපකරුවන්ගේ ප්‍රශ්නය හේතුවෙන් ඇමරිකාව ඉරානය දෙස බැලුවේ සතුරු රාජ්‍යයක් ලෙස ය. එමෙන්ම, 1985 දී ලිබියාවේ දී, ඇමරිකානු වැසියන් රැගත් ගුවන්යානයක් ඉරානයේ අනුග්‍රහය ලබන හිස්බුල්ලා ගරිල්ලන් විසින් ප්‍රාණ ඇපයට ගැනීම ද එම සතුරු සම්බන්ධකම් තවත් වර්ධනය කිරීමට සමත් වූයේ ය. ඉරානය සිය අසල්වාසීන් වූ ඉරාකය සමග දීර්ඝ යුද්ධයක් යෙදී සිටි අතර ඔවුන්ට ඒ වන විට අවි ආයුධවල දැවන්ත අඩුවක් දැනෙමින් තිබිණි.

ඇමරිකා එක්සත් ජනපදය

මේ කුප්‍රකට ගනුදෙනුවේ පුරෝගාමියා වූයේ ඇමරිකා එක්සත් ජනපදය යි. ඉරාන් - කොන්ට්‍රා ගනුදෙනුව සිදුවන අවස්ථාවේ ඇමරිකාවේ ජනාධිපතිවරයාව සිටියේ රොනල්ඩ් රේගන් ය. ඔහු 1980 දී පැවති ජනාධිපතිවරණයේ දී එවකට ජනාධිපතිවරයාව සිටි ජිමී කාටර්ව පරාජයට පත් කළ අතර, කාටර්ගේ එම පරාජයට මූලික හේතුවක් වූයේ ද 1979 දී සිදුවූ ඉරානයේ ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් සිද්ධිය වීම ද දෛවෝපගත ය. එමෙන්ම කාටර්ගේ නිල කාලය පුරාවටම පැවති ආර්ථික අවපාතය මෙන්ම බලශක්ති අර්බුදය ද ඔහුගේ පරාජයට හේතු විය. රේගන්ගේ පාලනය දැඩි කොමියුනිස්ට් විරෝධී පාලනයක් විය. කියුබාව වැනි රටවල නැගී එන වාමවාදී රැල්ල ඔහුට හිසරදයක් වූ අතර නිකරගුවාවේ සැන්ඩිනිස්ටා පාලනය ද රේගන්ගේ හිත සුව පිණිස හේතු නොවිය. ඒ අනුව, ලොව පුරා සිටින වාමවිරෝධී බලවේගයන්ට ආධාර දුන් එක්සත් ජනපදය කොන්ට්‍රා ගරිල්ලන්ට ද මුදල් ආධාර ලබා දෙන ලදී. එහෙත් 1982, කොන්ග්‍රස් සභික එඩ්වඩ් බෝලන්ඩ් විසින් ගෙන එන ලද බෝලන්ඩ් සංශෝධනය මඟින් එක්සත් ජනපදයට මෙන්ම සී.අයි.ඒ. සංවිධානයට මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සංවිධානයන්ට මුදල් ආධාර ලබාදීම වලක්වනු ලැබීය. ඒ අනුව, කොන්ට්‍රා ගරිල්ලන්ට මූල්‍ය ආධාර දීමට ඇමරිකානු ජනාධිපතිවරයාට නොහැකි විය.

ජනාධිපතිවරණ සමයේ දී රේගන් විසින් ලබා දුන් ආකර්ශනීය ඡන්ද පොරොන්දු වූයේ, ලොව පුරා සිදුවන කොමියුනිස්ට් ව්‍යාප්තියට එරෙහිව සටන් කරන බවත්, ත්‍රස්තවාදීන් හා කිසිදු ආකාරයේ එකඟතාවයකට පත් නොවන බවත් ය. එහෙත්, දැන් රේගන් ඉදිරියේ ගැටළු දෙකක් නිර්මාණය වී ඇත. ඒ අනුව රේගන් විසින් සිය ආරක්ෂක කවුන්සිලයට උපදෙස් දෙන්නේ කොන්ට්‍රාස් ගරිල්ලන්ට ආධාර දෙන ක්‍රමවේදයක් මෙන්ම ලෙබනන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමටත් ක්‍රමයක් සොයාගන්න ලෙස යි. විශේෂයෙන්ම, ජිමි කාටර් ජනාධිපතිවරයා අපකීර්තියට පත්කළ ආකාරයේ ප්‍රාණ ඇපකරුවන් හා සම්බන්ධ ප්‍රශ්නයක් ඇති නොවීමට රේගන් සැලකිලිමත් වූ බව පැහැදිලියි.

ඇමරිකානු උපක්‍රමය

එවකට ජාතික ආරක්ෂක උපදේශකයකු වූ රොබට් මැක්ෆාලේන් විසින් ඊශ්‍රාලයේ නියෝජිත සමාගමක් හරහා ඉරානයට මිසයිල ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කෙරුනා. ඒ වන විටත් ඉරානය, ඉරාකයට එරෙහිව ඇමරිකාවෙන් ආයුධ ලබාගැනිමේ ඉඩකඩ සොයා බලමින් සිටියේ. 1985 අගෝස්තු - නොවැම්බර් කාල වකවානුවේ දී ඉරානයට යුධ ටැංකි නාශක මෙන්ම ගුවන් යානා මිසයිල ද ලබා දී තිබුණි. මේ තීරණයට එවකට රාජ්‍යය ලේකම්වරයා මෙන්ම ආරක්ශක ලේකම්වරයාත් විරෝධය පල කළත්, ඉරාකය ඉදිරියට දමා ගනිමින් මේ වැඩපිලිවෙල ක්‍රියාත්මක විය. 1985 දී මැක්ෆාලේන්ගේ ඉල්ලා අස්වීමත් සමගම ජෝන් පොයින්ඩෙක්ස්ටර් ආරක්ෂක උපදේශක තනතුරෙන් පිදුම් ලැබූවිට, ආරක්ෂක කවුන්සිලයේ සමාජිකයෙකු වූ කර්නල් ඔලිවර් නොර්ත් විසින් එක ගලින් කුරුල්ලන් දෙන්නෙක් දඩයම් කිරීමේ නව උපක්‍රමයක් ඉදිරිපත් කෙරුනා.

කර්නල් ඔලිවර් නොර්ත්  dw.com

ඔහු විසින් ඉරානයට ආයුධ විකිණීමටත්, ඉන් ලැබෙන ලාභය නිකරගුවානු කොන්ට්‍රා ගරිල්ලන්ට ලබා දීමටත් යෝජනා විය. ඒ අනුව 1986 පෙබරවාරි - ඔක්තෝබර් අතර කාලය අතරතුර මේ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක විය. වාර්තාවලට අනුව ඩොලර් 30කට විකිණූ ආයුධවලින් ඩොලර් මිලියන 18ක් නිකරගුවා කොන්ට්‍රා  කැරලිකරුවන් අතට යන්නට ඇති බව ඇමරිකානු නිතිපතිවරයාගෙ විමර්ශනවල සඳහන්ව ඇත.

මේ අපකීර්තිමත් ගනුදෙනුව උඩු යටිකුරු වූයේ 1986 ඔක්තෝබර් 5 වන දින නිකරගුවානු රජය විසින් බිම හෙලන ලද කොන්ට්‍රාවරුන්ට අයත් ගුවන් යානයේ තිබී ඇමරිකානු ආයුධ සොයාගැනීමත් සමග යි. එමෙන්ම එම ගුවන්යානයේ සිට අත්අඩංගුවට ගත් කොන්ට්‍රා කැරලිකරුවෙක් එම ආයුධ ලබා දෙන ලද්දේ සී.අයි.ඒ. සංවිධානය විසින් බව හෙළිකිරීමත් සමගම සියල්ල එලිදරව් විය. එය තහවුරු කරමින්, ඊට මාසයකට පමණ පසු ලෙබනන් පුවත්පතක් ඉරාන රජයේ නිලාධාරීන් උපුටා දක්වමින් අයුධ - ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කරගත් බව හෙලි කළේ ය. මේ එළිදරව්වත් සමගම නෝර්ත් හා පොයින්ඩෙක්ස්ටර් මේ කූට ගනුදෙනුවට අදාල ලිපි ලේඛන විනාශ කළ බව සඳහන් ය.

මේ චෝදනා රේගන් ජනාධිපතිවරයා මුළුමනින්ම ප්‍රතික්ෂේප කළත් මාධ්‍යයවලින් ආ පීඩනය නිසාම ටවර් කොමිසම පත්කළා.

 1987 පෙබරවාරි 26 වන දින ජනාධිපති රේගන්ට ටවර් කොමිසමේ වර්තාව භාර දෙමින් Reference: Britannica

මෙම කොමිසමේ සාක්ෂ්‍ය දුන් ඔලිවර් නෝර්ත් මෙන්ම ජනාධිපති රේගන් ද තමන්ට සමහර දේවල් මතක නැති බව ප්‍රකාශ කළෝ ය. එම කොමිසමේ දී නෝර්ත් විසින් පාපොච්ඡාරණයක් කරන ලද අතර, ඒ කොමිසම විසින් කරන ලද නිර්දේශයන් අනුව නොර්ත් ඇතුලු පුද්ගලයින් 14කට එරෙහිව චෝදනා ගොනු කරන ලදී. බොහෝ අයට ඉතා සුළු දඩුවම් නියම වුවත් තාක්ෂණික කරුණු මත ඒවා අභියාචනාවල දී ප්‍රතික්ෂේප විය. දඬුවම් ලැබූ අය එවකට උප ජනාධිපතිවරයාව සිටි ජොර්ජ්. බුෂ් ජනාධිපතිවරයා වීමෙන් පසුව ජනාධිපති සමාව ප්‍රදානය කරන ලදී. රේගන් ජනාධිපතිවරයා සිද්ධියට සෘජු ලෙස සම්බන්ධ නොමැති බව ප්‍රකාශ කරමින් ඔහුගේම කොමිසම ඔහුව නිදහස් කළේ නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ වන විට ඇතිවන තත්ත්වය මනාව පැහැදිලි කරමින්.