Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා ජල ගැල්ම – එය සැබෑවට සිදුවුනි ද?

බයිබලයේ පැරණි ගිවිසුමේ ඇති කතා අතරින් තරමක් ආන්දෝලනාත්මක කතාවක් වන්නේ මහා ජල ගැල්මයි. බයිබලයේ උප්පත්ති පොතේ දැක්වෙන මෙම කතාව සමහරු මිත්‍යාවක් ලෙස සලකයි. බයිබලයේ උප්පත්ති පොතේ සදහන් මෙම කතාව නොදන්නා අය උදෙසා එය කෙටියෙන් සදහන් කරන්නම්.එක්තරා අවධියක දී ලෝකයේ බොහෝ මිනිසුන් වැරදි ක්‍රියා වල නිරත වෙමින් දෙවියන්ගේ වදනට පිටිපාමින් සිටියේය. එම නිසා දෙවියන් මෙම මිනිසුන්ට දඩුවමක් දිය යුතු යැයි සිතුවේය. එකල දෙවියන්ට කීකරුව සිටියේ නෝවා හා ඔහුගේ පවුල පමණි. එමනිසා දෙවියන් විසින් නෝවාට විශාල නැවක් සාදන්නට අණ කලේය. නෝවාද එම අණ ඒ ආකාරයෙන්ම ඉටු කළේ ය. ඉන්පසු ලොව වෙසෙන සෑම සත්ත්ව කොට්ඨාසයකින්ම දෙදෙනා බැගින් නැවට ඇතුල් කරන ලෙස පවසා නෝවා හා ඔහුගේ පවුලට ද නැවට ඇතුලු වන ලෙස දෙවියන් එන කළේ ය. නෝවා නැවට ඇතුල් වී දොර වැසූ සැනින් මහා වර්ෂාවක් එක දිගට ඇද හැලෙන්නට පටන් ගත්හ. දින හතළිහක් තිස්සේ නොනවත්වා ඇද හැලුනු වර්ෂාව නිසා ජාල ගැල්මක් ඇතිවී, ජල මට්ටම ක්‍රමක්‍රමයෙන් කඳු වලිනුත් ඉහළට යන්නට පටන් ගත්තේය. නැවේ නොමැති සෑම දෙනා මියගිය අතර නැව පාවී අරරත් කන්දෙහි නැවතුනේය. බයිබලයේ පැරණි පොත් පත් ලියැවුනේ ඊශ්‍රායල්වරුන් අතිනි. මීට වසර දහස් ගණනකට පෙර ඊශ්‍රායෙල්වරු ගතකලේ සංචාරක ජීවිතයකි. එම සංචාර වලදී ඔවුන්ට වෙනත් ජාතීන් ආශ්‍රය කිරීමට සිදුවිය. මේ හේතුවෙන් එම ජාතීන්ගේ සිරිත් විරිත් හා නීති රීති ආදිය ඊශ්‍රායෙල්වරුන් කෙරෙහි ආභාෂයක් ඇති කිරීම ස්වභාවිකයි. උදාහරණ ගතහොත්, ඇසට ඇසක් දතට දතක් යන නීතිය බයිබලයේ අපට හමුවන්නේ මෝසෙස්ගේ නීතියක් වශයෙනි. එනමුත් මෙය උපුටා ගන්නා ලද්දේ බැබිලෝනියාවේ රජ කෙනෙකු වූ හමුරබිගේ නීති මාලාවෙනි. මේ ආකාරයෙන්ම මෙම සටහනේ කේන්ද්‍රය වූ මහා ජලගැල්ම පුවතත් බයිබලය එක් වන්නේ සුමේරියානු ශිෂ්ටාචාරයෙනි.

ජල ගැල්ම ගැන දැක්වෙන සුමේරියානු කැටයමක්.( http://www.crystalinks.com/floodstories.html)

බයිබලයේ මුල් පොත් පහ ලියන ලද්දේ මෝසෙස් විසින් යැයි පිළිගැනේ. ඒ ක්‍රි.පූ. 1400 අවධියේදී ය [බයිබලයේ සදහන් අන්දමට]. ඊශ්‍රායෙල් ජාතියේ ආදි පීතෘවරයෙක් වූ ආබ්‍රහම් ජීවත්වූයේ සුමේරියානු ශිෂ්ටාචාරය තුලයි [මොවුන් ඌර් සිට සුමර් වෙත සංක්‍රමණය විය]. එම නිසා ඊශ්‍රායෙල්වරුන්ගේ සංස්කෘතිය කෙරෙහි සුමේරියාවේ සංස්කෘතික ආභාෂය නිතැතින්ම ලැබී ඇත. එහෙයින් සුමේරියානු සංස්කෘතියෙහි මෙම මහා ජල ගැල්ම පිලිබඳව ඇති තොරතුරු සොයා බැලිය යුතු වේ. කලක් පුරාවිද්‍යාඥයින් විශ්වාස කළේ මෙම මහා ජල ගැල්ම යනු ක්‍රි.පූ. 2800 දී පමණ සුමේරියාවේ ඇතිවූ කිෂ් ගංවතුර ලෙසයි. මෙම ගංවතුරෙන් සුමේරියාවේ ප්‍රදේශ කිහිපයක් යට විය. එනමුත් ප්‍රශ්නය වන්නේ මෙය සාමාන්‍ය ගංවතුරකි. වසර දහස් ගනනක් සුමේරියානුවන් මෙම සිද්ධිය තම මතකයේ ධාරණය කරගෙන සිටියේ ඇයි? බයිබලයේ මෙම සිද්ධිය නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන්නේ ඇයි? බයිබලයේ සදහන් ආකාරයට මෙම ගංවතුරෙන් සමස්ථ මිනිස් සංහතියම විනාශ විය [නෝවා ඇතුලු පිරිස හැර]. එනමුත් උක්ත සදහන් ගංවතුරෙන් එතරම් බලපෑමක් සිදු වූයේ නැත. එමනිසා එකල පුරාවිද්‍යාඥයින්ගේ මෙම මතය ප්‍රතික්ෂේප විය.

ජල ගැල්ම පිලිබඳ තොරතුරු ලියා ඇති මැටි පුවරුවක්. ( https://en.m.wikipedia.org/wiki/Gilgamesh_flood_myth)

තවදුරටත් පර්යේෂණ කරගෙන යන අතරතුරදී පුරාවිද්‍යාඥයින් විශේෂ දෙයක් සොයා ගන්නා ලදි. සුමේරියාවේ ඌර් හි පොලොව යට 2.7m සිට 3.7m ඝනකමකින් යුත් මැටි ස්ථරයක් සර් ලියොනාර්ඩ් වූලි [1880 – 1960] විසින් සොයා ගන්නා ලදි. මෙයට අදාල කාල වකවානු වලදී සුමේරියාව කොටස් දෙකකට බෙදී පාලනය වූ බව සදහන් වේ. ඒ ඌරුක් හා එරිදු යන නගර මුල් කරගෙනය. මෙම බෙදීමට හේතු වී ඇත්තේ ගංවතුරක් බවයි සදහන් වන්නේ. එම ගංවතුරෙන් සුමේරියානු ශිෂ්ටාචාරයේ බොහෝ ප්‍රදේශ විනාශ වූ බවද තවදුරටත් සදහන් වේ. සුමේරියාවේ මෙම ගංවතුර බයිබලයේ සදහන් මහා ජලගැල්මම දැයි දැන් සොයා බලමු. ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ බයිබලයේ සදහන් වන නෝවා සුමේරියාවේ Ziusudra බවයි. Ziusudra යනු සුමේරියානු රජ කෙනෙක් වන අතර ඔහු ගංවතුර සම්බන්ධ සිදුවීම් නිසා ඔහු සුමේරියාවේ වීරයෙකි. ඔහු හා නෝවා යන දෙදෙනාම ගංවතුරෙන් බේරීම සදහා නැවක් සෑදු බව සදහන් වේ. දෙදෙනාම මෙම නැව සෑදුවේ දෙවියන්ගේ අණ පරිදි බව බව ලේඛන වල සදහන් වේ. සුමේරියනු ජනකතා වලට අනුව ගංවතුරෙන් පසු එම ප්‍රදේශ පලනය කලේ Meshkiagkasher [කෙටියෙන් කෂ්] නම් පවුලක මූලිකත්වයෙනි. මෙය බයිබලයේ සදහන් කුෂ් පවුල සමඟ ගැලපීමක් තිබේ. Meshkiagkasher යනු ගංවතුරෙන් පසු ඌරුක් පාලනය කළ පවුලේ ආරම්භකයා ය. මොහුගේ පුත්‍රයා එන්මකාර්, බයිබලයේ සදහන් නිම්රොඩ් සමඟ ගැලපීමක් තිබේ. මොහු සුමේරියාවේ ඌරුක් වැනි නගර පමණක් නොව උතුරේ පිහිටි වෙනත් නගර පවා පාලනය කල සුවිශේෂී රජ කෙනෙකි.

එකල සුමේරියාවේ සිතියමක් ( https://www.google.lk/amp/s/traveltoeat.com/sumerian-and-biblical-flood-stories/amp/)

සුමේරියානු කතා වලට අනුව Meskiagkasher සුමර් වෙත සංක්‍රමණය වූයේ උතුරේ පිහිටි Aratta හි සිට බව සදහන්. ඌරුක් නගරය මේ වන විට නොතිබූ අතර එය පිහිටවූයේ ඔහුගේ පුත් එන්මකාර් විසිනි. මෙම සංක්‍රමණ සිදු වූයේ ගංවතුරෙන් පසු බවද සදහන් වේ. එමනිසා ගංවතුරෙන් ජන ජීවිතය අඩාල වුවද සංක්‍රමණිකයන් නිසා එය නැවත හැඩගැසුනු බව සිතිය හැක. මීලඟට අප හමුවට පැමිණෙන පැනය වන්නේ Meskiagkasher පැමිණි Aratta පිහිටියේ කොහේ ද යන්නයි. Enmerkar පිලිබද සුමේරියානු කතා වලට අනුව Aratta වෙත යාමට කඳු හතක් තරණය කල යුතු වේ. මෙම කඳු හත පුරාතනයේ මිනිසුන් තම ගමනාගමනය සදහා යොදාගත් මඟසලකුණක් බව නොඅනුමානයි. ඇසිරියානු රජ කෙනෙක් වූ දෙවන සර්ගොන් රජතුමා සුමේරියාවේ උරාර්ටු වෙත යාමේදී කඳු හතක් තරණය කළ බවත්, Aratta නම් ගංගාවක් තරණය කිරීමට සිදු වූ බවත් සදහන් වේ. Aratta නාමය සුමේරියානු සංස්කෘතියෙන් පිට සදහන් වන එකම අවස්ථාව මෙයයි. මෙය බයිබලයේ අරරත් යන නාමය සමඟ ගැලපීමක් තිබේ. නෝවා විසින් සාදන ලද නැව ගොඩබෑවේ අරරත් කඳු මුදුනේ බව බයිබලයේ සදහන් වේ. නෝවා අරරත් හි සිට සුදුසු ස්ථානයක් සොයා ජනාවාස පිහිටවීය. මේ අනුව අපට පෙනී යන්නේ සුමේරියානු සංස්කෘතියේ එන මෙම කතාව හා බයිබලයේ ඇති නෝවාගේ කතාවේ බොහෝ දුරට ගැලපීමක් ඇති බවයි. මෙම සිදුවීම සිදුවී වසර සිය ගනනකට පසු සිටි ආබ්‍රහම් සුමේරියාවේ ඌර් හි සිට කානාන් වෙත සංක්‍රමණය වේ. බයිබලයේ සදහන් මෙම කතා ලියැවෙන්නේ ආබ්‍රහම්ගේ පෙළපත මගිනි. මේ හේතුවෙන් බයිබලයේ සදහන් නෝවාගේ කතන්දරයට සුමේරියානු ආභාෂය ලැබීම සාමාන්‍යයි.   ඊළඟට අප හමුවට එන පැනය වන්නේ මෙම ගංවතුර ලෝක ව්‍යාප්තව සිදු වූවාද යන්නයි. බයිබලයේ සදහන් ආකාරයට මෙම ජල ගැල්ම නිසා නෝවා ඇතුලු පවුලේ උදවිය හා ඔහුගේ නැවේ සිටි සතුන් හැර අනෙක් සියලුම ජීවීන් මිහිපිටින් තුරන් විය. එනමුත් මෙහිදී අප විශේෂයෙන් සැලකිය යුතු කරුණක් වන්නේ බයිබලයේ මෙම කොටස් ලියවුනු කාලයේදී එම කතුවරයා හට පෘථිවියේ වපසරිය පිලිබඳ වර්තමානයේ තිබෙන දැනුම නොතිබූ බව. ලෝකයේ සියලුම කඳු යට කරමින් ගංවතුර ඇතිවූ බව බයිබලයේ සදහන් වේ. එවරස්ට් කන්ද මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් අටක් පමණ උසකින් පිහිටයි. එනමුත් එවරස්ට් කන්දත් යට කිරීමට තරම් ජල ධාරිතාවක් පෘථිවිය තුල නැත. මේ කාරණා නිසා සුමේරියානු පෙදෙස් වලට ඇතිවූ ගංවතුර සාමාන්‍ය එකක් යැයි කිව හැකියි. එකල තිබූ දැනුමට අනුව ඔවුන් දැන සිටි සියලුම පෙදෙස් ආදිය මෙම ගංවතුර නිසා යටවූ බව සිතාගත හැක. බයිබලයේ සදහන් තවත් කතාවක දැක්වෙන ආකාරයට ජෝසෙප්ගේ කාලයේ වසර හතක ලෝක ව්‍යාප්ත නියඟයක් ඇති විය. නියඟය ඇති වූ බව සත්‍යයක්. එනමුත් එය ලෝක ව්‍යාප්තව සිදු වී නැත. එකල මිනිසුන් තමන් දැන සිටි සියලුම පෙදෙස් නියඟයට හසුවූ බැවින් මෙය ලෝක ව්‍යාප්තව සිදුවූ නියඟයක් බව දැක්වීම සිදු වූ බව සිතිය හැක.

මූලාශ්‍ර:1)පරණ ගිවිසුම සමීක්ෂණය – සැමුවෙල් ජේ. ෂූල්ට්ස්2)A history of Jews – Paul Johnson3)The Bible The Quran And Science – Maurice Bucaille4) http://wmcloud.blogspot.com/?m=15) http://www.christianbiblereference.org/story_NoahsArk.htm

6)සුමේරියානු ශිෂ්ටාචාරය – මහාචාර්ය උක්කුබණ්ඩා කරුණානන්ද

කවරයේ පින්තූරය – The Flood (1616-1618) by Antonio Carracci (1581-1618)

Related Articles