ඊශ්‍රායලය විසින් ඇම‍ෙරිකානු ලිබර්ටි නෞකාවට එල්ල කළ ප්‍රහාරය වැරදීමක් ද?

අරාබි රටවල් හා ඊශ්‍රායලය අතර පැවති සය දින යුද්ධය අතරතුර (සය දින යුද්ධය පිළිබඳව ලිපි පෙළක් මීට පෙර roar පිටුවෙන් ඔබ වෙත ගෙන ආවා.) ඊශ්‍රායල් ප්‍රහාරක ගුවන් යානයවක් හා ටෝර්පිඩෝ බෝට්ටුවක් එකතු වී අැමෙරිකානු නෞකාවක් විනාශ කරනවා. යුද්ධයේ සිදු වූ දරුණු අත්වැරදීමක් ලෙස පසු කාලයේ දී මෙය නම් කරනවා. ඇත්තටම මේ ප්‍රහාරය වැරදීමක් ද?

USS ලිබර්ටි

USS ලිබර්ටි (B-29s over Korea)

අැමෙරිකානු USS ලිබර්ටි යනු එරට නාවික හමුදාවට අයත් තාක්ෂණික හා පර්යේෂණ කටයුතු සඳහා භාවිතා කළ නෞකාවක් වූ අතර, 1967 වසරේ ජූනි 8 වන දා එය යාත්‍රා කරන්නේ ඊජිප්ත්තුවට ආසන්නයෙන් ඇති ජාත්‍යන්තර මුහුදු තීරයේ යි.

එහි ගමන් කරන්නන් 294 දෙනා අතරට අැමෙරිකානු නාවික හමුදා නිලධාරීන්, නැවියන්, මැරීන් භටයන් හා සිවිල් වැසියන් අයත් වෙනවා.

පැය දෙකක් පුරා එල්ල වූ ප්‍රහාරය

ප්‍රහාරය එල්ල වූ මුහුදු ප්‍රදේශය (Pinterest)

මේ වන විට ඊශ්‍රායලය හා අරාබි රටවල් අතර සය දින යුද්ධය ආරම්භ වී තිබුණු බැවින් මෙම කලාපය යුද්ධයෙන් උණුසුම් වී පවතිනවා. අැමෙරිකානු හමුදා, බොහෝ විට ඊශ්‍රායල් හමුදා සඳහා තම පක්ෂපාතිත්වය දැක්වූව ද ඇමෙරිකානුවන් විසින් මෙම යුද්ධයේ දී කිසිදු රටකට තම සහය නොදැක්වූ බව ප්‍රකාශ කරනවා.

ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් පැවති නැවට පළමු ප්‍රහාරය එල්ල කරන්නේ ඊශ්‍රායල් ගුවන් හමුදාවේ ප්‍රහාරක යානාවක් විසින්. ඉන්පසුව ඊශ්‍රායල් නාවික හමුදාවේ සන්නද්ධ ටෝර්පිඩෝ බෝට්ටුවක් විසින් නෞකාවට දරුණු ලෙස ප්‍රහාර එල්ල කරනවා. USS ලිබර්ටි සතුව ප්‍රබල ප්‍රහාරක අවි නොතිබූ අතර ඊශ්‍රායල් හමුදා විසින් පැය දෙකකට අධික කාලයක් පුරා එල්ල කළ ප්‍රහාරවලින් ගැලවීමට ද හැකියාව ලැබෙන්නේ නෑ. සම්මත යුධ නීති නොසලකා හරින ඊශ්‍රායල් හමුදාව නෞකාවෙන් ඉවතට යාත්‍රා කරන ජීවිතාරක්ෂක බෝට්ටු කිහිපයකට ද නොනවත්වා ප්‍රහාර එල්ල කරනවා.

තමන් සතුරු නෞකාවක් නොවන බව රේඩියෝ පණිවුඩ මඟින් ඊශ්‍රායල් හමුදා වෙත දැනුම් දීමට කෙතරම් උත්සාහ කරත් එම උත්සාහය ද ව්‍යර්ථ වෙනවා.

ප්‍රහාරය අවසානයේ දී නෞකාවේ සිටි පිරිසෙන් 34ක් මරණයට පත්වෙන අතර 171 දෙනෙකු තුවාල ලබනවා.

එල්ල වන ප්‍රහාරය  පිළිබඳව USS ලිබර්ටි විසින් U.S Saratoga නම් ප්‍රහාරක ගුවන් යානා ප්‍රහාරක නෞකාව දැනුවත් කරනවා. එසැනින්ම Saratoga නෞකාවෙන් ලිබර්ටි නෞකාවේ ආරක්ෂාව සඳහා ප්‍රහාරක ගුවන් යානා 12ක් පිටත් කර හැරීමට තීරණය කරන නමුත්, ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යංශයෙන් එම තීරණය හකුළා ගන්නවා. ඊට හේතුව අද වන තුරු හරි හැටි පැහැදිලි වී නෑ.

ප්‍රහාරයෙන් පසු

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රැගෙන යාම (The Intercept)

ප්‍රහාරය අවසන් වූ පසු ඊශ්‍රායලයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් මීට සුළු මොහොතකට පෙර ගුවන් හා නාවික ප්‍රහාර එල්ල කර විනාශ කරන ලද්දේ තම රටේ නාවික හමුදා යාත්‍රාවක් බව ඊශ්‍රායල් රජයට නිල වශයෙන් නිවේදනය කරනවා.

මේ සමගම ප්‍රහාර එල්ල කරන ලද ඊශ්‍රායල් බෝට්ටුව ලිබර්ටි නෞකාවේ සහයට පැමිණෙන්නේ දෛවයේ සරදමකට මෙනි. නමුත් එම බෝට්ටුවෙන් උපකාර ලබා ගැනීම USS ලිබර්ටි විසින් ප්‍රතික්ෂේප කරනවා.

ඊට සුළු මොහොතකට පසුව ඊශ්‍රායල් රජය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සිදු වූ බරපතල වැරදීමක් හේතුවෙන් ඇමෙරිකානු නාවික යාත්‍රාවකට තම හමුදා විසින් ප්‍රහාර එල්ල කර විනාශ කර ඇති බව යි.

එකිනෙකාට චෝදනා කරගැනීම

එවකට ඊශ්‍රායල් ආරක්ෂක ඇමති මොෂේ දයාන් (Famous People)

ලිබර්ටි නෞකාවට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් දෙපාර්ශවයම විවිධ මත පළ කරන අතර මෙම ප්‍රහාර පිළිබඳව රටවල් දෙක වෙන වෙනමත්, සාමූහිකවත් විමර්ශන පවත්වනවා.

ඇමෙරිකානු පාර්ශවය විසින් සඳහන් කරන්නේ ජාත්‍යන්තර මුහුදේ නිරායුධ යාත්‍රාවකට කිසිදු පෙර දැනුම් දීමකින් තොරව පහර දීම යුධ නීති උල්ලංඝණය කිරීමක් බව යි.

තව ද, CIA සංවිධානය විසින් පවසන්නේ ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම කිසිදු රේඩියෝ පණිවුඩයකින් නෞකාව දැනුවත් නොකළ අතර ප්‍රහාරය අතරතුර නෞකාව විසින් යැවූ පණිවුඩ සියල්ල ඊශ්‍රායල් හමුදා විසින් නොසලකා හැරිය බව යි.

තවත් එක් අවස්ථාවක් CIA සංවිධානය පවසන්නේ මෙය එවකට ඊශ්‍රායල් ආරක්ෂක ඇමති මොෂේ දයාන්ගේ පුද්ගලික අණ දීමකින් සිදු කළ ඝාතන ක්‍රියාවලියක් ලෙස යි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඊශ්‍රායල් පාර්ශවය සඳහන් කරන්නේ මේ වන විට ඊශ්‍රායලය හා අරාබි රටවල් අතර යුද්ධය ඇති වී තිබීම දැන දැනත්, යුද්ධය ක්‍රියාත්මක වන සාගර ප්‍රදේශයක දැනුම් දීමකින් තොරව තම පර්යේෂණ හා තාක්ෂණික ක්‍රියාකාරකම්වල නිරත වීම ද වැරදි සහගත බව යි.

තව ද ප්‍රහාරයට පෙර හෝ අතරතුර හෝ තමන්ට කිසිදු ගුවන් විදුලි පණිවුඩයක් නොලැබුණු බැවින් මෙම යාත්‍රාව සතුරු ඊජිප්තු නාවික හමුදාවට අයත් එකක් වන්නට ඇතැ යි තම හමුදා නිගමනය කළ බව ඊශ්‍රායලය විසින් සඳහන් කරනවා.

ඊශ්‍රායලය, අැමෙරිකාවෙන් සමාව ඉල්ලයි

විනාශ වූ නැව (MintPress News)

ඊශ්‍රායල් රජය විසින් මෙම ප්‍රහාරය වැරදීමකින් සිදු වූවක් බව දිගින් දිගටම ප්‍රකාශ කරන අතර ඇමෙරිකානු රජයෙන් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. අැමෙරිකාව හා ඊශ්‍රායල් රජය විසින් සිදු කළ විමර්ශන අවසානයේ දී මෙය වැරදීමකින් එල්ල කළ ප්‍රහාරයක් ලෙස එකඟතාවකට එළඹෙනවා.

නමුත් නෞකාවේ ගමන් කළ, ප්‍රහාරයෙන් දිවි ගලවාගත් නාවික නිලධාරීන් ඇතුළු සියලු පිරිස් පවසා සිටින්නේ මෙය ඊශ්‍රායල් හමුදා විසින් ඉතා ඕනෑකමින් එල්ල කළ ප්‍රහාරයක් බව යි. එය ප්‍රහාරය අතරතුර තමන් හොඳින් අත්විඳි බවත් ඔවුන් විසින් ප්‍රකාශ කරනවා.

වන්දි ගෙවීම

නෞකාවට හානි සිදු වී තිබූ අයුරු (indymedia.org.uk)

1968 මැයි මාසයේ දී ප්‍රහාරයේ වන්දි වෙනුවෙන් ඊශ්‍රායල් රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.32ක් ගෙවනු ලබනවා. මරණයට පත් වූවන්ගේ පවුල්වලට ද, තුවාල ලැබූවන්ට ද වන්දි මුදල් ගෙවන ලෙස ඇමෙරිකානු රජය විසින් ප්‍රකාශ කිරීම හේතුවෙන් 1969 වසරේ හා 1980 වසරේ දී ඊශ්‍රායලය විසින් නැවතත් වන්දි මුදල් ගෙවීම සිදු කරනවා.

කෙසේ නමුත් ප්‍රහාරය වැරදීමක් ද, හිතා මතා සුදානම් වී එල්ල කළ ප්‍රහාරයක් ද යන්න විවිධ මත තවමත් පළවෙමින් තිබෙන අතර, මේ පිළිබඳව ඔබේ අදහස කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්නත් පුළුවන්.

කවරයේ ඡායාරූපය – Humans Are Free

Related Articles