ඊශ්‍රායලයේ 1982 ලෙබනන් ආක්‍රමණය​

ලෙබනනයේ සිවිල් යුද්ධය පිළිබඳ මීට කලින් අප පළ කරපු ලිපියෙන් එය ආරම්භ වූ කාලය ගැන සාකච්ඡා කළා. එහි දී මුල් කාලීනව මතුවුණු සටන් යම් තරමකට පාලනය වුණ බව අප දුටුවා. ඒ අතරම සිරියාව සහ ඊශ්‍රායලයත් මෙම සටන්වලට මැදිහත් වුණ ආකාරය දකින්න ලැබුණා.

1978 දී ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනය ආක්‍රමණය කළ පසු එක්සත් ජාතීන් මැදිහත්ව ප්‍රදේශයෙන් ඊශ්‍රායල් හමුදාව ඉවත් කර, එදෙසට සාම සාධක හමුදාවක් යැවීමට ක්‍රියා කළා. මේ අතර ඊශ්‍රායලය තමන්ට හිතවත් වූ දකුණු ලෙබනනයේ ක්‍රිස්තියානි මිලීෂියා කණ්ඩායමක් වූ නිදහස් ලෙබනන් හමුදාවට ආධාර කළා. ඔවුන් පසුව දකුණු ලෙබනන් හමුදාව (South Lebanon Army) නමින් ක්‍රියාත්මක වූ අතර දකුණු ලෙබනනයේ “නිදහස් ලෙබනන් රාජ්‍යය​” (Free Lebanon State) නම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළා.

මේ අතර ලෙබනනයේ ප්‍රධාන ක්‍රිස්තියානි මිලීෂියා කණ්ඩායම වූ ෆලන්ගේ සංවිධානය හා ඊශ්‍රායලය අතර ද සබඳතා වැඩිදියුණු වුණා. ඒ සිරියානු මැදිහත්වීම හේතුවෙන්. 1976 දී සිරියාව මැදිහත්වීම ක්‍රිස්තියානි මිලීෂියා සංවිධානවලට වාසිදායක වූ නමුත්, පසුව සිරියාව ලෙබනනයේ බලය තමන් අත තබාගැනීමේ අවශ්‍යතාවෙන් පෙළෙන බව දිස් වූ හෙයින් මේ දෙපිරිස අතර නොහොඳ වර්ධනය වුණා. ඔවුන් අතර ගැටුම් ඇතිවන තැනටත් පැමිණියා.

මේ අතර දකුණුදිග ලෙබනනයේ පලස්තීන විමුක්ති සංවිධානය (PLO) ඇතුළු පලස්තීන සංවිධානවල ක්‍රියාකාරකම් නැවත වර්ධනය වීමක් 1980 පමණ වනවිට දකින්නට ලැබුණා. මේ අනුව දකුණු ලෙබනනයේ සිට ඊශ්‍රායලය දෙසට ප්‍රහාර එල්ල වීම මෙන්ම ඊශ්‍රායලය විසින් පලස්තීන සංවිධාන රැඳී සිටි බව සැක කළ ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම ද සිදු වුණා. මේ වනවිට ලෙබනනය තුළ PLO සංවිධානය හැරුණු විට ඊට සහය දක්වන මෙන්ම ඊට එරෙහි පලස්තීන සංවිධාන ද ක්‍රියාත්මක වුණා. මේ අතර PLO සංවිධානයට එරෙහි අබු නිඩාල්ගේ ෆටා-විප්ලවීය කවුන්සිලය ප්‍රකට සංවිධානයක් වූ අතර, ඉරාකය​, සිරියාව සහ ලිබියාව විසින් ආධාර කොට පවත්වාගෙන යන ලද සංවිධානත් මේ අතර වුණා.

ලෙබනන යුධ හමුදාව බේරූට් හි දී (James Chase)

මේ අයුරින් බලද්දී ලෙබනන් සිවිල් යුද්ධය තුළ බල අරගලයන් රැසක් ක්‍රියාත්මක වුණා. එක් අතකින් ක්‍රිස්තියානි සහ මුස්ලිම් මිලීෂියා කණ්ඩායම් සටන් වදින විට, අනෙක් අතින් පලස්තීන – ඊශ්‍රායල් ගැටුම ද ලෙබනනය වෙත ළඟා වුණා. ඒ අතරම සිරියාවේ හෆීස් අල් අසාද්, ලිබියාවේ මුවම්මර් ගඩාෆි, සහ ඉරාකයේ සදාම් හුසේන් වැනි අරාබි නායකයන් අතර වූ කලාපීය බල අරගලත්, පලස්තීන සංවිධාන අතර වූ එදිරිවාදිකමුත් මීට එක් වුණා. එපමණක් නොව ෂියා මුස්ලිම්වරුන්ගේ සංවිධානයක් ලෙස වර්ධනය වූ අමාල් සංවිධානයත් මුස්ලිම් මිලීෂියා අතර වුණා. පසු කලෙක, 1982 ඊශ්‍රායල් ආක්‍රමණයෙන් පසුව​, අමාල් සංවිධානයට වඩා යුධකාමී සංවිධානයක් වූ හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ බිහි වූ අතර​, එම සංවිධානයට ආධාර කරමින් ඉරානය ද ලෙබනන යුද්ධයට වක්‍රාකාරයෙන් සම්බන්ධ වනු දකින්නට ලැබුණා. ඉතාම දුර්වල තත්ත්වයකට පත් වූ ලෙබනන යුධ හමුදාවට වැඩි යමක් කරගත හැකි තත්ත්වයක් වූයේ නැහැ. මේ වනවිට එහි වූ මුස්ලිම් සහ ඇතැම් ක්‍රිස්තියානි කොටස් එය හැරගොස් තිබුණා.

සටන් විරාමය හා එහි කඩවීම්

ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයකු වූ ෆිලිප් හබීබ් මැදිහත්වීමෙන් 1981 ජූලි 24 වනදා ඊශ්‍රායලය සහ පලස්තීන විමුක්ති සංවිධානය අතර ලෙබනන් දේශසීමාව හරහා පැවති සටන් නැවැත්වීමේ සටන් විරාම එකඟතාවයක් ඇති වුණා. සෘජුව සාකච්ඡා කිරීමට අකමැති වූ දෙපාර්ශවයක් සමඟ එකඟතාවක් ඇතිකර ගැනීම ඇත්තෙන්ම විශාල ජයග්‍රහණයක් වුණා. මෙම එකඟතාව මාස කිහිපයක්ම රඳා පැවතුණා.

කෙසේ නමුත් 1982 අප්‍රේල් මාසයේ සිට යළිත් දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවීමට පටන් ගත්තා. මීළඟ සති කිහිපය තුළ මෙම ගැටුම් දිගින් දිගටම වර්ධනය වන බවක් පෙනෙන්නට තිබුණා. මේ අතර ඊශ්‍රායලය දැඩි ක්‍රියාමාර්ගයකට සූදානම් වුණා. ඒ පලස්තීන විමුක්ති සංවිධානය දකුණු ලෙබනනයෙන් පළවා හැර ලෙබනන් රජය සමග සාමය ස්ථාපිත කිරීමට හමුදා මෙහෙයුමක් දියත් කිරීම යි.

ප්‍රධාන චරිත​

මේ අතර 1982 ජූනි 3 වනදා බ්‍රිතාන්‍යයේ ඊශ්‍රායල තානාපති ෂ්ලෝමෝ ආර්ගොව් ඝාතනය කිරීමට උත්සාහ කෙරුණා. මෙය අබු නිඩාල්ගේ සංවිධානය විසින් කරන ලද උත්සාහයක් බව සැක මතු වෙද්දී වුව ද ඊශ්‍රායලය පලස්තීන විමුක්ති සංවිධානය ඊට වගකිව යුතු බව චෝදනා කළා. දේශසීමාව හරහා එල්ල වන ප්‍රහාර සහ ආර්ගොව් ඝාතන තැත හේතු ලෙස දක්වමින් ඊශ්‍රායලය ජූනි 6 වනදා ලෙබනනය ආක්‍රමණය කළා.

ඊශ්‍රායල මෙහෙයුම​​

මෙම මෙහෙයුමට ඊශ්‍රායලය විසින් දෙනු ලැබූ සංකේත නාමය වූයේ Operation Peace for Galilee (“ගැලීලියට​ සාමය”) යන්නයි. ඊශ්‍රායල ආරක්ෂක ඇමති ජෙනරල් ඒරියල් ෂැරෝන් මෙම මෙහෙයුම සඳහා යුධ බිමෙහි නායකත්වය ලබා දුන්නා. මේ මෙහෙයුමේ දී ඊශ්‍රායල හමුදා ප්‍රදේශ තුනකින් ලෙබනනය වෙත ඇතුල් වුණා. එක් කණ්ඩායමක් වෙරළබඩ ප්‍රදේශය ඔස්සේ ගමන් කළා. ඔවුනගේ ඉලක්කය වූයේ බේරූට් වෙත ගමන් කිරීම යි. දකුණුදිග ලෙබනනයේ සිටින පලස්තීන විමුක්ති හමුදා පළායාම වැළැක්වීමට මුහුදින් පැමිණි ඊශ්‍රායල සේනාංකයක් සිඩොන් නගරයට උතුරින් ගොඩබස්වනු ලැබුණා.

යුධ මෙහෙයුමෙහි සිතියම (Israel Ministry of Foreign Affairs)

මේ අතර, හමුදා කණ්ඩායම් තුනෙන් මැද වූ කණ්ඩායම බියුෆෝර්ට් බලකොටුව සහ නබිතියේ මං සන්ධිය අල්ලාගෙන දෙකට බෙදී දෙපස වූ හමුදා කණ්ඩායම් හා එක්වුණා. වඩාත් නැගෙනහිරින් වූ කණ්ඩායම බෙකා නිම්නය කරා ගමන් කළේ එහි වූ සිරියානු හමුදාවලට පහරදීමේ අටියෙන්.

බෙකා නිම්නයේ දී සිරියානු හමුදා අතර වූ එක් ගැටුමකදී සිරියානු ගොඩබිම සිට අහසට විදින මිසයිල (Surface to Air Missiles) කණ්ඩායමක් ඉතා කෙටි කාලයක දී විනාශ කිරීමට හැකිවීම, සහ ඒ සමගාමීව ප්‍රදේශයට ඉහළ අහසේ වූ ගුවන් සටනක දී මිග්-23 යානා ඇතුළු සිරියානු ගුවන් යානා 25ක් පමණ බිම හෙලීමට හැකි වීම ඊශ්‍රායල ආරක්ෂක හමුදා ලද කැපී පෙනෙන ජයග්‍රහණයක් වුණා.

වෙරළ ඔස්සේ ගමන් කළ ඊශ්‍රායල හමුදා ජූනි මස මැද භාගය වන විට බේරූට් නගරය වටලන්නට සමත් වුණා. නගරයේ සටන් කිරීමෙන් තම සේනාංකවලට විශාල වශයෙන් හානි සිදුවේයැ යි අදහස් කළ ඊශ්‍රායල් හමුදා නගරයට ඇතුළු වූයේ නැහැ.

ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයෙදී (Government Press Office, Israel)

මේ අනුව අගෝස්තු මාසය දක්වා බේරූට් වටලෑම ක්‍රියාත්මක වූ අතර ජාත්‍යන්තර මැදිහත්වීමෙන් පලස්තීන විමුක්ති සංවිධානය සාමාජිකයන්ට රටින් පිටව යාමට අවසර දෙනු ලැබුණ පසු එම වටලෑම අවසන් වුණා.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදය​, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ඉතාලිය යන රටවල හමුදා සාමාජිකයන් ගෙන් සැදුම්ලත් “ලෙබනනයේ බහුජාතික බලකාය​” රටේ සාමය තහවුරු කිරීම සඳහා ස්ථාපිත කරනු ලැබුණා.

ඊශ්‍රායල බලාපොරොත්තු කඩ වීම​

ලෙබනනයේ ජනාධිපති ලෙස තෝරාගනු ලැබ සිටි, ක්‍රිස්තියානි මිලීෂියාවල ප්‍රධාන අණ දෙන්නා මෙන්ම ෆලන්ගේ පක්ෂ නායක පියේර් ගෙමායෙල්ගේ පුතකු වූ බෂිර් ගෙමායෙල් 1982 සැප්තැම්බර් 14 වනදා ඝාතනය වුණා. ඒ සමගම නව ලෙබනන රජයක් හා සාම ගිවිසුමක් අත්සන් කිරීමට ඊශ්‍රායලය තැබූ බලාපොරොත්තු කඩවීමේ අවදානමක් ඇති වුණා. මේ අතර සැප්තැම්බර් 16-18 අතරදී බේරූට්හි සබ්‍රා සහ ෂටීලා පලස්තීන සරණාගත කඳවුරු කරා කඩා වැදුණ ෆලන්ගේ මිලීෂියා සාමාජිකයන් පලස්තීන ජාතිකයන් සමූල ඝාතනය කළා. මෙහි දී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳ 500ක පමණ සිට 3500ක් පමණ දක්වා විවිධ ඇස්තමේන්තු තිබෙනවා. මෙම මිලීෂියා භටයින් පිරිමින්ව තෝරාගෙන ඝාතනය කළා. තව ද ඊශ්‍රායල හමුදා මෙම සිද්ධිය නැවැත්වීමට කිසිවක් කළේ නැහැ. එමෙන්ම පසු කලෙක ඊශ්‍රායලය විසින්ම සිදු කරන ලද විමර්ශනයකින් පසු ඒරියල් ෂැරෝන්, මෙම මරණ වැළැක්වීමට ක්‍රියා නොකිරීම පිළිබඳ වගකිව යුතු බව තීරණය කෙරුණා.

ප්‍රහාරයට ලක් වූ ඊශ්‍රායල යුධ ටැංකියක්. 1982 ජූනි 9 (Wikimedia Commons)

මේ අතර පලස්තීන විමුක්ති සංවිධානය වෙනුවට වෙනත් මුස්ලිම් සංවිධාන ලෙබනනයේ ප්‍රමුඛ වන්නට පටන් ගැනුණා. මේ අතර ෂියා මුස්ලිම් සංවිධානයක් වූ ඉස්ලාමික ජිහාඩ් සංවිධානය මේ අතර මතු වූ නව සංවිධානයක්. එය 1983 අප්‍රේල් මාසයේ බේරූට්හි ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සිදුකළ බව විශ්වාස කරනු ලබනවා. ඇතැමුන්ගේ මතය වන්නේ මෙම සංවිධානය ෂියා මුස්ලිම් මිලීෂියා සංවිධානයක් සහ දේශපාලන ව්‍යාපාරයක් වන හිස්බුල්ලා හි තවත් නමක් වූ බවයි. මෙම යුද්ධයෙන් පසු බිහි වූ හිස්බුල්ලා සංවිධානය අද වනවිට ලෙබනනයේ ප්‍රබලම දේශපාලන සහ හමුදා සංවිධානයක් වනවා.

1983 මැයි මාසයේ ලෙබනනය සමග ඇති කරගත් එකඟතාවකට පසු (මැයි 17 එකඟතාවය​) ඊශ්‍රායල හමුදා ලෙබනනයේ අනෙකුත් ප්‍රදේශවලින් ඉවත්ව දකුණු ලෙබනනයේ රැඳී සිටියා. 1985 ජනවාරියේ දී ඔවුන් දේශසීමාව අසළ කුඩා ප්‍රදේශයක් දක්වා හමුදාව පසුපසට ගත් අතර 2000 දී එම ප්‍රදේශයෙන් ද හමුදා ඉවත් කර ගත්තා. කලින් යුද්ධවල දී මෙන් නොව මෙම යුද්ධයේදී ඊශ්‍රායල සාමාන්‍ය ජනතාව ද සිය රජයේ ක්‍රියාකාරකම් ප්‍රශ්න කිරීම ඊශ්‍රායල යුධ ප්‍රයත්නයට අවාසි සහගත වූ අතර ලෙබනනයේ තමන්ට හිතවත් රජයක් පිහිටුවා ගැනීමට නොහැකි වීමෙන් දේශපාලනික වශයෙන් ද ඔවුනගේ අරමුණු ඉටු වූයේ නැහැ.

Cover Image: ආරක්ෂක ඇමති ඒරියල් ෂැරෝන් යුධ සැලැස්ම විස්තර කරමින් (Yaacov Saar, Government Press Office)

Related Articles