ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ ඉතිහාසය (පළමු කොටස)

අන්තර්ජාතික සබඳතා සහ කාලීන සිදුවීම් පිළිබඳ අප විසින් ඉදිරිපත් කරන ලිපි කියවන බොහෝ පාඨකයන් ඊශ්‍රායල – පලස්තීන අර්බුදය පිළිබඳවත් ලිපියක් සම්පාදනය කරන්නැයි ඉල්ලා සිටියා. සංකීර්ණ කරුණු කාරණා මත පදනම්ව දශක ගණනාවක් පුරාවට දිවයන අර්බුදයක් පිළිබඳ සවිස්තර සටහනක් තැබීම අසීරු කාර්යයක්.

නමුත් ඔබ වෙනුවෙන් ඊශ්‍රායල – පලස්තීන අර්බුදයේ ආරම්භය සහ වත්මන් තත්ත්වය පිළිබඳ මූලික කරුණු කාරණා ඇතුලත් කෙටි සටහනක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් මේ ලිපිය වෙන් කිරීමට අප සිතුවා. සරල පැහැදිලි කිරීමක් වන මෙයට අමතරව මෙම මාතෘකාව ගැන ඔබ දන්නා කරුණුත් කමෙන්ට් ආකාරයෙන් එක් කරන්න කියා ඉල්ලා සිටීමට කැමතියි.

ඊශ්‍රායලය සහ පලස්තීනය

මධ්‍යධරණී මුහුදට නැගෙනහිරෙන් පිහිටා ඇති ඊශ්‍රායලය යනු ඔබ කවුරුත් හොඳින් දන්නා පරිදි ලොව ඇති එකම යුදෙව් රාජ්‍යය යි. පලස්තීනුවන් ලෙස හැඳින්වෙන අරාබි ජනයා පවසන්නේ යුදෙව් ජනයා ඊශ්‍රායලය කියා හඳුවන්වන දේශය සත්‍ය වශයෙන්ම අයත් වන්නේ ඔවුන්ට බවයි. එම සම්පූර්ණ බිමේ හෝ ඉන් කොටසක පලස්තීනය යනුවෙන් වෙනම ස්වාධීන රාජ්‍යයක් පිහිටවන්නට ඔවුන්ට අවශ්‍යතාව තිබෙනවා. ඊශ්‍රායල – පලස්තීන අර්බුදය ලෙස හඳුන්වන්නේ මේ භූමිය අයිති කාට ද සහ පාලනය කරන්නේ කවුරුන් විසින් ද යන කාරණා සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටුමයි.

මේ භූමියට තමන්ට ඇති උරුමකාරිත්වය වසර දෙදහසකට වඩා ඈත අතීතයට දිව යන බව දෙපාර්ශවයම පැවසුවත්, වත්මන් අර්බුදය ආරම්භ වූයේ 20 වන සියවසේ මුල් භාගයේ යි. යුදෙව්වන් යුරෝපයේ දී තමන්ට විඳින්නට සිදු වූ හිංසා පීඩා නිසා මුලින් ඔටෝමන් අධිරාජ්‍යයේ පාලනයට, සහ පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනයට නතුව තිබූ භූමියට සංක්‍රමණය (බොහෝ විට නීතිවිරෝධීව) වන විට එහි පදිංචිව සිටියේ මුස්ලිම් බහුතරයක් වූ අරාබි වැසියනුයි. ඇමරිකාව, කැනඩාව ආදී බොහෝ රටවල් යුදෙව් සරණාගතයන් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම මෙයට එක් හේතුවක්. බ්‍රිතාන්‍යය පවා මේ යුදෙව් සරණාගතයන්ව තම රටට හා බ්‍රිතාන්‍ය පලස්තීනයට බාර ගත්තේ කෝටා ක්‍රමයකට යි.

ඊශ්‍රායලය නිල වශයෙන් පිහිටුවාගත් පසු ලෝකයේ නන් දෙසින් යුදෙව් ජාතිකයන් ඊශ්‍රායලය වෙතට පැමිණියා. යුදෙව් ජාතිකයෙක් ලෝකයේ කොහේ සිටියත් ඔවුන්ට ඊශ්‍රායල පුරවැසි බව නිතැතින්ම හිමිවනවා.

කෙසේ හෝ, යුදෙව්වන් ඊශ්‍රායලය පිහිටුවා ගන්නා විට ඔවුන් එයට දැඩි විරෝධය පල කළේ එම භූමියේ හිමිකාරත්වය පවතින්නේ ඔවුන්ට බව පවසමින්. මෙයට විසඳුමක් ලෙස යුදෙව්වන්ට සහ අරාබි වැසියන්ට එම මුළු භූමියෙන් කොටස් දෙකක් වෙන්කර දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය දැරූ උත්සාහයත් ව්‍යර්ථ වුණා.  ඊශ්‍රායලය සහ අවට පිහිටා තිබූ අනෙකුත් අරාබිකරයේ රටවල් මෙම භූමියේ හිමිකාරත්වය වෙනුවෙන් ඉතා බිහිසුණු සටන් ගණනාවකම නියැළුණා.

බ්‍රිතාන්‍ය පලස්තීනය. යුදෙව් ජනයා සංක්‍රමණය වූවේ මෙහි පලස්තීනය ලෙස නම් කර ඇති කොටසට ය./cojs.org

අද මෙහි බටහිර ඉවුර (West Bank) නාමිකව පාලනය කරන්නේ පලස්තීනුවන් වුවත් එහි බොහොමයක් ඇත්තේ ඊශ්‍රායල ඉදිකිරීම්. ඒ, ඊශ්‍රායල හමුදා මෙහෙයුම් මගින් පලස්තීන ක්‍රියාකාරකම් මර්ධනය කිරීම සහ සම්බාධක පැනවීම් නිසා මෙන්ම යුදෙව්වන් එහි පදිංචි කරවීම නිසා යි. බටහිර ඉවුර පලස්තීනුවන්ට අයත් නොවන බව ඔවුන් පවසනවා.

පලස්තීනුවන් වෙසෙන අනෙක් බිම වූ ගාසා තීරය (Gaza Strip) පාලනය කරන්නේ ඉස්ලාමික මූලධර්මවාදී සංවිධානයක් වන හමාස් සංවිධානය විසින්. මෙයත් ඊශ්‍රායල බාධකවලට යටත් වුවත්  බටහිර ඉවුරේ තිබෙනවා මෙන් ඊශ්‍රායල ඉදිකිරීම් මෙහි දකින්නට ලැබෙන්නේ නැහැ. (සිතියම බලන්න)

ඊශ්‍රායලය, බටහිර ඉවුර සහ ගාසා තීරය/cojs.org

පොරොන්දු දේශය

ඊශ්‍රායල – පලස්තීන අර්බුදය පිළිබඳ සාකච්ඡා කෙරෙන විට ‘පොරොන්දු දේශය’ යන්න පිළිබඳවත් දළ අවබෝධයක් තිබීම වැදගත්. ඒ, යුදෙව් ජනයා පෙර කීවාක් මෙන් යුරෝපයේ සිට වත්මන් ඊශ්‍රායලය ලෙස හැඳින්වෙන බිමට සංක්‍රමණය වන්නේ මෙකි පොරොන්දු දේශය පිළිබඳ විශ්වාස කරමින් වීම නිසා යි.

පොරොන්දු දේශයේ සීමාවන්/The Holy Bible

පොරොන්දු දේශය (Promised Land) පිළිබඳව සඳහන් වන්නේ බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ යි. එය කානාන් (Canaan) ලෙස නම් කර තිබෙනවා. දීර්ඝ කතාවක් වන එය ඉතාම සංක්ෂිප්තව දක්වන්නේ නම්, මැවුම්කාර දෙවියන් විසින් ආදී පීතෘ ඒබ්‍රහම්ට සහ ඔහුගේ දරුමුණුබුරන්ට පොරොන්දු වී, පසුව මිසරයන්ගේ වහලුන්ව සිටි මෝසස් ඇතුළු ඊශ්‍රායල වාර්ගිකයන් හට සදාකාලික උරුමයත් සමඟ පවරා දුන්, ‘කිරියෙන් පැණියෙන් ඉතිරෙන දේශය’ පොරොන්දු දේශය ලෙස හැඳින්වෙනවා.

පොරොන්දු දේශය වත්මන් සිතියමේ ලකුණු කළ විට/Wikipedia

ඊශ්‍රායල වාර්ගිකයන් යනු ආදී පීතෘ ඒබ්‍රහම්ගේ මුණුපුරෙකු වන යාකොබ්ගේ පුතුන් 12 දෙනාගෙන් පැවත එන්නන්. මැවුම්කාර දෙවියන් යාකොබ් ඉදිරියේ දර්ශනය වී ඔහුට ආශිර්වාද කර ‘ඊශ්‍රායල්’ යන නම ඔහුට තැබූ බව පැරණි තෙස්තමේන්තුවේ උප්පත්ති කතාවේ සඳහන් වනවා. සම්ප්‍රදායිකව, වත්මන් යුදෙව් ජනයා ලෙස විශ්වාස කරන්නේ මෙලෙස පොරොන්දු දේශය වෙත ලඟා වූ ඊශ්‍රායල වාර්ගික ජනයාගෙන් පැවත එන්නනුයි.

මෙම ඊශ්‍රායල් වාර්ගිකයන් එවකට කානාන් දේශයේ කොටසක ජීවත් වූ පිලිස්තිනුවන් (පලස්තීන ජාතිකයන්) පරාජය කළ බවත් එහි සඳහන්.

බයිබලයේ ආකාරයට වසර දහස් ගණනකට පෙර මිසරයේ වහලුන් ලෙස දුක් පිඩා විඳි යුදෙව්වන් එයින් පලා විත් පොරොන්දු දේශයේ ඔවුන්ටම වෙන්වූ රාජ්‍යයක් පිහිටුවා ගැනීම, සහ දෙවන ලෝක යුධ සමයේ මර්ධනයට ලක්වූ යුදෙව්වන් තමන්ටම කියා භූමියක් වෙන් කරගැනීමට අදිටන් කරගැනීම අතර සමානකම් දක්නට ලැබෙන බව ඔබට වැටහෙනවා ඇති. විශේෂයෙන්ම බයිබලයේ දැක්වෙන ආකාරයට යුදෙව්වන් මිසරයේ වහලුන් බවට පත්වන්නේ ඔවුන් එරට තුල සුඛිත මුඛිත දිවියක් ගත කිරීම නිසා රජතුමා තුල ඇතිවූ නොසතුට නිසා බව කියැවෙනවා. හිට්ලර් යුදෙව්වන් මර්දනය කිරීමට හේතු ලෙස යොදාගත්තේත් මෙයට සමාන හේතූන් බව ඔබ දන්නවා.

මේ ආකාරයෙන් වත්මන් ඊශ්‍රායල – පලස්තීන දෙපිරිසම අර්බුදයට තුඩු දී ඇති භූමියට තමන්ගේ ඓතිහාසික උරුමයක් ඇතැයි ඇදහීම තත්ත්වය වඩාත් ව්‍යාකූල කිරීමට හේතුවක් වී තිබෙනවා.

යුදෙව්වන් මැද පෙරදිගට සංක්‍රමණය වීම සහ ඊශ්‍රායලය පිහිටුවා ගැනීම.

1947 වසරේ ඊශ්‍රායලයට පැමිණෙන යුදෙව් සරණාගතයන් රැගත් නැවක්/Wikipedia

යුරෝපයේ දී විඳින්නට වුණ කරදර හිරිහැර නිසා තමන්ටම කියා ස්වාධීන රාජ්‍යයක් තිබිය යුතුය යන සිතුවිල්ලෙන් යුදෙව්වන් මැද පෙරදිග ඔටෝමන් පාලනයට යටත්ව තිබී, පසුව බ්‍රිතාන්‍ය පාලනයට නතුව තිබූ ‘බ්‍රිතාන්‍ය පලස්තීනය’ට (British Palestine/Mandetory Palestine) සංක්‍රමණය වන්නේ 1896 – 1948 දක්වා වූ කාලය තුළදී යි. මොවුන්ගෙන් අති බහුතරය දෙවන ලෝක යුධ සමයේ යුදෙව් සංහාරයෙන් පසුව අනාථයන් ලෙසින් පැමිණි අයයි.

එම භූමියේ ඒ වන විට විසූ අරාබි ජාතිකයන් මෙයට කැමැත්තක් දැක්වූයේ නැහැ. යුදෙව්වන් විශාල වශයෙන් එහි පදිංචි වීම ඔවුන් දුටුවේ බ්‍රිතාන්‍ය කොළණි බිහිකිරීමට ගන්නා උත්සාහයක් ලෙසයි. ඒ නිසා බ්‍රිතාන්‍යයන්ට පවා පාලනය කළ නොහැකි තරමටම දෙපාර්ශවය අතර බිහිසුණු ගැටුම් ඇතිවුණා. අවසානයේ දී 1947 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බ්‍රිතාන්‍ය පලස්තීන භූමිය වෙන්කර  කොටසක් යුදෙව්වන්ට සහ කොටසක් අරාබි ජාතිකයන්ට ලෙස නම් කළා. (සිතියම බලන්න)

බ්‍රිතාන්‍ය පලස්තීනය. මෙහි යුදෙව්වන් සඳහා කොළ පැහැයෙන් දැක්වෙන ප්‍රදේශ ද අරාබි ජාතිකයන් සඳහා අළු පැහැයෙන් ලකුණු කළ ප්‍රදේශ ද වෙන් කර දුන්නා/Muslimvillage.com

එයට අනුව අරාබි ජාතිකයන් බහුතරයක් විසූ නැගෙනහිර ජෙරුසෙලම සහ බටහිර ඉවුර ජෝර්දානයේ පාලනයට සහ ගාසා තීරය ඊජිප්තුවේ පාලනයට පවරා දෙනු ලැබුවා.

යුදෙව්වන් මෙම විසඳුමට එකඟතාව පල කළත්, අරාබි ජාතිකයන් එය දුටුවේ යුදෙව්වන්ගේ දිගුකාලීන ආක්‍රමණික ප්‍රයත්නයක් ලෙසයි. ඒ නිසා ඔවුන් යුදෙව්වන්ට එරෙහිව සටන් වැදුණා.

කෙසේ හෝ 1948 මැයි මස 14 වන දින යුදෙව්වන්ගේ රාජ්‍යය ලෙස ඊශ්‍රායලය බිහි වුණා. මෙම බිහිවීම ඊශ්‍රායලය

සහ අරාබි රටවල් (ඊජිප්තුව, ජෝර්දානය, සිරියාව, සහ ඉරාකය) අතර මාස 8ක් පුරා දිවුණු බිහිසුණු යුද්ධයකට මග පෑදුවා.

ගැටුම් සහ ලේ වැගිරීම්

එක්සත් ජාතීන්ගේ සංවිධානය පොරොන්දු වී සිටියේ සමස්ථ භූමියෙන් 56%ක් යුදෙව්වන්ට වෙන් කරදීමට වුවත් මේ යුද්ධය අවසානයේ දී ඔවුන් එම භූමියෙන් 77%ක් පමණ යටත් කරගත්තා. පලස්තීනුවන් 700,000 කට වඩා අවතැන් වූ අතර ඔවුන් ගාසා තීරයට සහ බටහිර ඉවුරට පලා ගියා. අවසානයේ එම ජනතාව තමන්ට කියා රටක් අහිමි අනාථයන් බවට වුණා.

ගාසා තීරයේ කොටසක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසු/Middle East Eye

1967 වසරේ දී ඇති වූ ‘සය දින යුද්ධය’ අතරතුරදී නැවත වරක් ඊජිප්තුව, සිරියාව, සහ ජෝර්දානය පරාජය කරමින් ඊශ්‍රායල හමුදා නැගෙනහිර ජෙරුසෙලම, බටහිර ඉවුර, ගාසා තීරය, සහ සිරියාවේ ගෝලාන් යන ප්‍රදේශවල බලහත්කාරයෙන් කඳවුරු ඉදිකර ගත්තා. ඔවුන් මෙම ප්‍රදේශවලින් ඉවත් වුණේ 2005 තරම් වූ මෑත කාලයේදී යි.

1973දීත් අරාබි රටවල් සහ ඊශ්‍රායලය අතර යුද්ධයක් ඇති වුණා. මෙය යොම් කිපූර් යුද්ධය ලෙස හැඳින්වෙන්නේ එය යුදෙව්වන්ගේ පූජනිය දිනයක් වූ යොම් කිපුර් දිනයේ දී ආරම්භ වීම නිසා යි.

පලස්තීනුවන් ප්‍රථම වරට ඊශ්‍රායලයට එරෙහිව නැගී සිටීම නිසා 1987 සිට 1993 දක්වා කාලය තුල යළිත් වරක් බිහිසුණු ගැටුම් ඇතිවුණා. ඊශ්‍රායලයට එරෙහි මෙම පලස්තීන නැගිටීම් ‘ඉන්ටිෆාඩාවන්’ (intifada) ලෙස හැඳින්වෙනවා. 2000 – 2005 කාලය තුල පලස්තීන දෙවන නැගී සිටීම සිදුවුණා.

ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන හමාස් භටයන්/The Times

2005 වසරේ හමාස් සංවිධානය මැතිවරණයකින් ගාසා තීරයේ බලයට පත්වුණා. ලෝකයේ බහුතර රටවල් මෙම සංවිධානය ඉස්ලාමික ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හඳුන්වනවා. ඔවුන් ඊශ්‍රායලය ස්වාධින රාජ්‍යයක් ලෙස පිළිගනිම ප්‍රතික්ෂේප කරන අතර පලස්තීනුවන්ට තම පැරණි බිමේ හිමිකාරිත්වය ලැබිය යුතු බව ප්‍රකාශ කරනවා.

පලස්තීන සරණාගතයන්

හමාස් සංවිධානය බලයට පත්වීමත් සමඟ ඊශ්‍රායලය මුහුදු සීමාව ඇතුළුව ගාසා තීරයේ සීමාවන් ඉතා දැඩි යටත් කිරීමකට පත් කරන්නට පටන් ගන්නවා. මේ නිසා ගාසා තීරයේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය ආදී කටයුතු කරගැනීම ඉතා අසීරු මට්ටමකයි පවතින්නේ. ඔවුන්ට ඇත්තේ ඊජිප්තුව තුලට ඇතුළු විය හැකි එක් හරස් මාර්ගයක් පමණයි. ගුවන් තොටුපොළක් ද නොමැති අතර විදුලි බලය ද අඛණ්ඩව සැපයෙන්නේ නැහැ. එමෙන්ම හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතර නිතර නිතර ඇතිවෙන ගැටුම් නිසා ගාසා තීරයේ ජිවත් වන පලස්තීන ජනයා මෙන්ම ඒ අසල ජිවත් වන ඊශ්‍රායල ජනයා ද ජිවිත වලින් වන්දි ගෙවනු දක්නට හැකියි. නමුත් වැඩි හානි සිදුවන්නේ පලස්තීන ජනයාට බව පෙනී යන කරුණක්.

ගාසා තීරයට අමතරව බටහිර ඉවුර, සිරියාව, ජෝර්දානය, සහ ලෙබනනය යන රටවල කඳවුරුවල පලස්තීනු සරණාගතයන් ජීවත් වෙනවා. දළ වශයෙන් මිලියන 5කට ආසන්න පලස්තීන සරණාගතයන් පිරිසක් මේ ප්‍රදේශවල දිවි ගෙවන බවයි වාර්තාවලින් පැවසෙන්නේ. මොවුන්ට සහන සලසන්නේ එක්සත් ජාතින් විසින්.

ඊශ්‍රායල පදිංචි කිරීම්

පලස්තීනුවන් වෙසෙන බටහිර ඉවුරේ සිදු කෙරෙන ඊශ්‍රායල පදිංචි කිරීමුත් දෙපාර්ශවය අතර ගැටුම් සමනය කිරීමට අසීරු කරවන තවත් කරුණක්.  500,000කට අධික ඊශ්‍රායල වැසියන් පිරිසක් එදා-මෙදා තුර බටහිර ඉවුරේ පදිංචි වී ඇති බව පැවසෙනවා.

මේ හේතුව නිසා අනාගතයේ යම් දිනක බටහිර ඉවුරේ පලස්තීනය නම් වූ ස්වාධින රාජ්‍යයක් පිහිටුවීමට හැකියාවක් ලැබුනහොත්, එහි දේශ සිමා සලකුණු කිරීම අසීරු වනවා. එමෙන්ම ඊශ්‍රායල හමුදා මැදිහත්වීම් නිසා බටහිර ඉවුරේ වෙසෙන පලස්තීනුවන් නොයෙකුත් දුෂ්කරතාවන්ටත් දිනපතා මුහුණ දෙනවා.

ජාත්‍යන්තර නීතිය පිළිබඳ නීතිඥවරුන් බොහොමයකගේ අදහස නම් බටහිර ඉවුරේ සිදුකෙරෙන ඊශ්‍රායල පදිංචිකරවීම් නිසා හතරවන ජිනීවා ප්‍රතිඥාව උල්ලංඝනය වන බවයි. එම ප්‍රතිඥාවෙන් දැනටමත් ජනාවාස භූමි ප්‍රදේශයකට වෙනම ජනකොටසක් මාරු කිරීම තහනම්. නමුත් ඊශ්‍රායලය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.

ජෙරුසෙලමේ වැදගත්කම, ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර ඇති මිත්‍ර සම්බන්ධතා, පලස්තීන විමුක්ති සංවිධානය, සාමය සඳහා වූ ප්‍රයත්න පිළිබඳ මීළඟ ලිපියෙන් කතා කරමු.

Sources – The Holy Bible, CNN, BBC, Politico, VOX, Al Jazeera.

Cover Photo – Youtube

Related Articles