ඊශ්‍රායල පලස්තීන අර්බුදය: ඉතිහාසය සහ වර්තමානය

ඊශ්‍රායල-පලස්තීන අර්බුදය ගැන ලියවුණ ප්‍රථම ලිපියෙන් එම අර්බුදය ඇතිවන්නට බලපෑ මූලික කාරණා පිළිබඳ කතා කළා. මේ ලිපිය අර්බුදය සම්බන්ධව ඔබ දැනගත යුතු තවත් කාරණා කිහිපයක් පිළිබඳ කතා කරන්නට වෙන් වනවා.

ජෙරුසෙලමේ වැදගත්කම

ජෙරුසෙලම/Wikipedia

ජෙරුසෙලම පිහිටා ඇත්තේ ඊශ්‍රායලය සහ බටහිර ඉවුරේ සිමාවට මැදිවයි. ඊශ්‍රායල-පලස්තීන දෙපාර්ශවය අතර ඇතිවී තිබෙන අර්බුදය තවත් සංකීර්ණ වන්නේ ශුද්ධ වූ ජෙරුසෙලම් නගරයේ හිමිකාරිත්වය පිළිබඳ එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසයි. එසේ වන්නේ ජුදා ආගම අදහන යුදෙව්වන් සහ ඉස්ලාම් ආගම අදහන පලස්තීනුවන් යන දෙකොටසම ජෙරුසෙලම ජීවිත පුදා හෝ රැකගත යුතු ශුද්ධ භූමියක් ලෙස සැලකීම නිසා යි. මේ ආගම් දෙකට මෙන්ම ක්‍රිස්තියානි ආගම අදහන්නන්ටත් ජෙරුසෙලම කියන්නේ අති පූජනීය නගරයක්. ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමේ පීතෘ ආගමික සංස්ථාව වන්නේ ජුදා ආගමයි.

මේ නිසා ලෝකයේ එක් නගරයක් වෙනුවෙන් වුණු වැඩිම ලේ වැගිරීම් ප්‍රමාණයක් සිදුවෙලා තියෙන්නෙත්, ජෙරුසලම වෙනුවෙන් කියා පවසන්න පුළුවන්. ඒ ඇයි?

ක්‍රිස්තියානි දහම අනුව එහි ගැලවුම්කරුවා ලෙසත්, දෙවියන් වහන්සේගේ පුත්‍ර තනතුරෙහිත් ලා සලකන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය පළමු “උපරිගමන් මංගල්‍යයට” (Passover), එනම් යුදෙව් සමාජයේ පාස්කුව සඳහා කරනු ලබන වන්දනා චාරිකාව, සහභාගී වී “සෙනගෝගයේදී” තමන්ට වඩා බෙහෙවින්ම වයස් ගත (ජේසු තුමන්ගේ වයස ඒ වනවිට දහ තුනක් පමණ ඇති) පූජකයන් පිරිසක් වටකරගෙන ධර්මය දේශනා කරන ලද්දේත්, එතුමා පාවා දෙනු ලදුව, අන්නස් සහ කයාපස් නම් ජුදා පූජකයන් විසින් කරන ලද කුමන්ත්‍රණයකින් සිරගත කර වධ බන්ධනයට පමුණුවන ලද්දේත්, පොන්ටියස් පිලාත් විසින් කුරුසියේ මරණයට නියම කරන ලද්දේත්, එසේ ගෙනගොස් කුරුසිපත් කර, මරණයෙන් අනතුරුව සොහොන් කරන ලද්දේත්, එම සුසානයෙන් මරණයේ සීමාවන් අබිබවා නැගී සිට, සිය ශ්‍රාවක පිරිස යළිත් ඒකරාශී කරගෙන, ඔවුන්ට ධර්ම ප්‍රචාරය සඳහා නියෝග පණවන ලද්දේත් ජෙරුසලමේ සහ ඒ අවටයි.

ශිඛර ගෝලාර්ධය/Islamic Landmarks

ඉස්ලාම් ආගමට අනුව, මුහම්මද් නබි තුමා ස්වර්ගයට ඔසවනු ලැබු ස්ථානය ලෙස සැළකෙන “ශිඛර ගෝලාර්ධය” හෙවත් ” Dome of the Rock” හෙවත් ” කුබා අල් ශක්‍රා” පිහිටා ඇත්තේ ජෙරුසෙලමේ යි. මුහම්මද් නබි තුමා ස්වකීය අවසාන දේශනාව පැවැත්වූවේත් මේ ස්ථානයේ බව කියන අතර, අට වැනි සියවසේ දී උම්මයාද් කැලිෆේටයේ (ඉස්ලාමික අධිරාජ්‍යයේ) නායකයන් විසින් ඉදිකරන ලද අල් අස්කා පල්ලියත් පිහිටා තිබෙන්නේත් මෙහිමයි. මේ අල් අක්සා පල්ලිය, මක්කම සහ අල් මදීනා නගර දෙකට පසුව, ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විසින් තුන්වෙනි උත්තරීතරම පූජ්‍ය ස්ථානය ලෙස සලකන දේවස්ථානය යි.

ජුදා ආගමට සහ යුදෙව්වන්ට අනුව ඔවුන්ගේ දහමේ ආදිතම කතුවරයෙකු වන ඒබ්‍රහම් (ජුදා, ක්‍රිස්තියානි, සහ ඉස්ලාම් මේ ආගම් තුනටම “ඒබ්‍රහමික ආගම්” හෙවත් ඒබ්‍රහම්ගේ බීජයෙන් හටගත් ආගම් යැයි පවසන්නේ ඒ නිසායි) සිය පුත්‍රයා වන “අයිසැක්” ( මුස්ලිම් වරුන්ට අනුව “ඉෂාක්” සහ යුදෙව්වන්ට අනුව ” අයිෂෑක්” ) දෙවියන් වහන්සේ උදෙසා බිලි දීමට අත් පා බැඳ දමා සූදානම් කර තිබුනේත් මේ ස්ථානයේ බවට පිළිගැනීමක් තිබෙනවා.

යුදෙව්වන්ගේ ඇදහිල්ලේ උච්ඡතම වටිනා කමකින් යුත් පූජ්‍ය ස්ථානය වන, ස්වර්ගයත්, මහ පොළවත් අතර සන්ධිස්ථානයක් ලෙස සැළකෙන “එවෙන් හයිතියා” හෙවත් “පදනම් ගල” ඇත්තේත් මේ ජෙරුසලමේම යි.

ඊට අමතරව ක්‍රිස්තියානින් සහ මුස්ලිම්වරුන් විසින් වරින් වර ජෙරුසලමේ යුදෙව් ජනාවාස විනාශ කර දමා, ඔවුන්ගේ පූජ්‍ය ස්ථාන ගිනිබත් කර දැමීම සිහි කරමින්, ඔවුන් වැළපෙමින් දෙවියන් යදින “බස්නාහිර පවුර” හෙවත් “වැලපුම් පවුර” (Wailing Wall / Western Wall) පිහිටා තිබෙන්නෙත් ජෙරුසෙලමේ. ජෙරුසලමේ රෝම අධිරාජ්‍යයන් සහ මුස්ලිම් කලීෆා වරුන් සිටි සමයේ, ස්වදේශික යුදෙව්වන්ට සිය ආගම සිහි කර දෙවියන්ට යාඥා කිරීම සඳහා අවසර දී තිබූ එකම ස්ථානය වනුයේද මේ “වැලපුම් පවුරයි”.

වැළපුම් පවුර/Famous Wonders of the World

මේ ආදී ලෙසින් වැදගත්වන ජෙරුසෙලමේ අයිතිය එක් පාර්ශ්වයකට පවරාදීමට ඊශ්‍රායල – පලස්තීන දෙපාර්ශවයම දැඩි සේ විරුද්ධ වීමත්, කොටස් දෙකක් ලෙස බෙදාගෙන පාලනය කිරීම ප්‍රතික්ෂේප කිරීමත් අර්බුදය ඔඩු දිවීමට ප්‍රබල හේතුවක් ලෙස පවතිනවා.

පලස්තීනය, පලස්තීන විමුක්ති සංවිධානය, ෆටා සහ හමාස් සංවිධානය

මහමුද් අබ්බාස්/Jews Business News

පලස්තීනය යනු ස්වාධින රාජ්‍යයක් බව පිළිගැනීම ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කරනවා. ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයකුත් පලස්තීනය වෙනම රටක් ලෙස පිළිගන්නේ නැහැ. එහෙත් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් 136ක් එනම් 70%ක් පමණ පලස්තීනය ස්වාධින රටක් බව පිලිගන්නවා. ඒ අතර ශ්‍රී ලංකාවත් සිටිනවා.

පලස්තීනය නියෝජනය කරන නිල නියෝජිතයා ලෙස පිළිගැනෙනු ලබන්නේ පලස්තීන විමුක්ති සංවිධානයයි (Palestine Liberation Organization -PLO). පලස්තීන ජාතික අධිකාරිය (Palestine National Authority), පවත්වාගෙන යන්නේ මෙම සංවිධානය විසින්. මෙම අධිකාරිය අර්ධ රජයක් ලෙස කටයුතු කරනවා.  ඊශ්‍රායලය සමඟ සාම සාකච්ඡාවල දී සහ වෙනත් ගිවිසුම්වලදී පලස්තීනය නියෝජනය කරන්නේ මොවුන් විසින්.

ෆටා (Fatah) යනු ඉහත කි සංවිධාන දෙකම පාලනය කරන ප්‍රධාන බල අධිකාරියයි. පලස්තින දේශපාලනය පාලනය කරන පක්ෂය වෙනවා. 1964 වසරේදී එය පිහිටවනු ලැබුවේ යසර් අරෆත් විසින්.

යසර් අරෆත්/teleSUR

පිහිටවිමෙන් පසු දසක  කිහිපයක් යන තෙක් ඔවුන් ඊශ්‍රායලය කෙරෙහි දැක්වූවේ ඉතාම සතුරු ආකල්පයක්. ඊශ්‍රායල සිවිල් වැසියන් ඉලක්ක කරගෙන නිරතුරුව ප්‍රහාර එල්ල කිරීම ඔවුන් අතින් සිදු වුණා. එමෙන්ම ඊශ්‍රායල හමුදා හා යුධ ගැටුම් ඇතිකරගැනීමත් ඔවුන් සිදු කළා. ඒවා සිදුවූවේ යසර් අරෆත්ගේ මෙහෙයවීමෙන්.

මෙම තත්ත්වය යම් තරමකට සමනය වුණේ 1993 වසරේදී යි. ඒ, පලස්තීන විමුක්ති සංවිධානය ඊශ්‍රායලයට එම භුමිය මත විසීමේ අයිතිය පිළිගනිමින් ඒ වෙනුවට පලස්තීනයට නිල පිළිගැනීම ලබා දෙන්නැයි ඉල්ලීම සමඟයි. දෙපාර්ශවය අතර සැබෑ සාම සාකච්ඡා ආරම්භ වුණේ ඒ සමඟයි.

වර්තමනයේ පලස්තීන විමුක්ති සංවිධානයේ නායකයා ලෙස කටයුතු කරන්නේ මධ්‍යස්ත මතධාරියෙකු වන මහමුද් අබ්බාස්. පලස්තීනයට නිල ජාත්‍යන්තර පිළිගැනීම ලබා ගැනීම වෙනුවෙන් අබ්බාස් ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරනවා.

හමාස් යනු ඉස්ලාමික මූලධර්ම මත පදනම් වූ දේශපාලන සහ හමුදාමය සංවිධානයක්. පලස්තීන දේශපාලන අධිකාරියෙන් ස්වායක්තව ගාසා තීරය පාලනය කරන්නේ මොවුන් විසින්. සිය එකම අරමුණ ඊශ්‍රායලය විනාශ කිරීම බව පවසන හමාස් සංවිධානය ඊශ්‍රායලය ඉලක්ක කරමින් රොකට් ප්‍රහාර, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මෙන්ම ගාසා තීරයේ සිමාවේ සිටින ඊශ්‍රායල සොල්දාදුවන් හා සිවිල් වැසියන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම ආදී ත්‍රස්ත ක්‍රියා රැසක් ගෙන යන අතර, ඊශ්‍රායලයේ නීත්‍යානුකූල බව ප්‍රතික්ෂේප කරනවා.

නමුත් 2017 වසරේ මෙම සතුරුබව මදක් ලිහිල් කරමින් ගාසා තීරය සහ බටහිර ඉවුර පලස්තීන බිමක් ලෙස පිළිගන්නේ නම් ඊශ්‍රායලය නීත්‍යානුකූල බව පිළිගැනීමට හැකිදැයි සලකා බලන බව හමාස් සංවිධානය ප්‍රකාශ කළා. නමුත් එයින් තවමත් ප්‍රතිඵලයක් අත්වී නැහැ .

පලස්තීන ජාතික අධිකාරිය සහ හමාස් සංවිධානය අතරත් බොහෝ මත ගැටුම් පවතිනවා.

සාම වෑයම්

ඊශ්‍රායල ජනපති බෙන්ජමින් නෙතන්යාහු සහ පලස්තීන නායක මහමුද් අබ්බාස් හිටපු ඇමරිකානු ජනපති බරක් ඔබාමා සමඟ/jpost.com

1993 ඔස්ලෝ එකඟතාවය යනු ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳා සාමය ඇතිකරවීමට සැකසූ වැඩපිළිවෙලක්. එයට අනුව පලස්තීන අධිකාරීන් ඊශ්‍රායලයේ නිත්‍යානුකූල බව පිළිගතයුතු අතර ඒ වෙනුවෙන් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීන ජනරජයක් පිහිටුවීමට ඊශ්‍රායලය එකඟ විය යුතු වනවා. මෙහි මැදිහත්කරුවා ලෙස කටයුතු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය යි.

මෙම සාම සාකච්ඡාවන්  2001 වසරේදී යම් ප්‍රගතියක් ලබන ඇතැයි ලෝකයම බලාපොරොත්තු වුණත් එය බිඳ වැටුණේ පලස්තීන නායක යසර් අරෆත් ඊශ්‍රායල යෝජනා ප්‍රතික්ෂේප කිරීම සමඟයි. සාකච්ඡා යලි ඇතිකිරීමේ ප්‍රයත්නය ඉන් පසුව සිදුවූ ඊශ්‍රායලයට එරෙහි පලස්තීනයේ දෙවැනි ඉන්ටිෆාඩාව නිසා අසාර්ථක වුණා.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳන්නේ නම් ඒ සඳහා ප්‍රධාන කාරණා  හතරක් කෙරෙහි අවධානය යොමු කළ  යුතුයි. ඒවා නම් ජෙරුසෙලමේ අයිතිය, බටහිර ඉවුරේ පදිංචි කිරීම් සහ දේශ සීමාවන්, ඊශ්‍රායලයේ ආරක්ෂාව හා පලස්තීන සරණාගතයන්  පිළිබඳ තත්වයනුයි. මෙම ප්‍රධාන කාරණාවන්ට පිළිගත හැකි විසඳුමක් පිළිබඳ එකඟතාවකට පැමිණෙන තෙක් ඊශ්‍රායල-පලස්තීන අර්බුදය නිම කර එම භූමියට සාමය ගෙන ඒම  සිහිනයක්ම වේවි.

Sources – BBC, VOX, Al Jazeera

Cover Photo – neuroparl.europa.eu

Related Articles