අටමස්ථානෙන් හැළුණු ලෝකප්‍රකට ඉසුරුමුණිය

අනුරාධපුරයේ පූජනීය ස්ථානයන් අතරින් ඉසුරුමුණියට හිමිවන්නේ ප්‍රධාන තැනක්. විශිෂ්ට ගල්කැටයම් පිරුණු මේ විහාරය ඉතා සුන්දර දසුනක් මවනවා. ගල්පර්වතයක් සහ පොකුණක් ඇසුරෙන් එය තනා තිබෙන්නේ උද්‍යාන අලංකරණය ගැන වර්තමානයට පාඩමක් කියාදෙමින්. ඒත් මෙහි නියම නාමය “ඉසුරුමුණිය” නොවන බව හෙළිවී තිබෙනවා.

නමේ පටලැවිල්ල

වර්ෂ 1890 දී ඉසුරුමුණි විහාරය. දාගැබ ඉදිකරමින් පවතින අතර, නව බුදුමැදුර පැවති ස්ථානයේ ඇති ලෙන ද මෙහි දිස්වේ- lankapura.lk

වර්ෂ 1890 ගණන්වල ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් ඇතුළු කණ්ඩායම, අනුරාධපුරයේ වෙස්සගිරිය නමින් හඳුන්වන ස්ථානයේ ගවේශන කටයුතු කළා. එහිදී හමුවූ ගල්පුවරුවල කෙටූ සෙල්ලිපිවලින් හෙළි වුණේ ඒ වෙස්සගිරිය නොව ඉසුරුමුණිය බව යි. “ඉසුරුමෙනු බෝ උපුල්වන් කසුබ්ගිරි විහාරය” යන නම වෙස්සගිරියේ නියම නම බව ගලේ කෙටූ අකුරුවලින් ඔප්පු වුණා. එම ගවේශන තවදුරටත් ඉදිරියට ගෙන ගිය මහාචාර්ය සෙනරත් පරණවිතාන එම ස්ථානය ඉසුරුමුණිය හෙවත් පුරාණ ඉස්සරසමණාරාමය බව තහවුරු කළා. නමුත් තවමත් මේ නම් පටලැවිල්ල එලෙසම භාවිත කරනවා.

දාගැබ ඉදිකිරීමෙන් පසු 1903 දී- බුදුමැදුර ඉදිකරමින් පවතී – lankapura.lk

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මෙසේ සඳහන් කර සිටිනවා: 

මෙයිගිරි විහාරය නැතහොත් මේඝගිරි විහාරය වර්තමානයේ දී ඉසුරුමුණිය නමින් හඳුන්වනු ලබනවා. මහාමේඝවනයේ පිහිටි මෙය හතරවන ශත වර්ෂයේ දී අභයගිරියට අයත් විය. දක්ෂිණ ථූපය සහ මඟුල් උයනට ඇතුළුවන නැගෙනහිර දොරටුව අසල මෙම විහාරය පිහිටා කිබුණි. නියම ඉසුරුමුණි විහාරයට වර්තමානයේ ව්‍යවහාර වන්නේ ඊට කිසිසේත්ම යෝග්‍ය නොවන වෙස්සගිරිය යන නම යි. 

(අනුරාධ සෙනෙවිරත්න- පුරාණ අනුරාධපුරය,196 පිට)

පැරණි ඉස්සරසමණාරාමයත් වර්තමාන ඉසුරුමුණිය නමින් හඳුන්වන විහාරයත් එකිනෙකට ආසන්නව තිසාවැව ඉවුර පාමුල පිහිටා තිබෙනවා. වර්තමාන ඉසුරුමුණියට උතුරින් රන්මසු උයනත්, දකුණින් වෙස්සගිරිය හා නැගෙනහිරින් වෙල් යායක් ද බටහිරින් තිසාවැව ද දැකගත හැකියි.

දන්ත ධාතුන් තැන්පත් කළ මේඝගිරිය

ඉසුරුමුණි වෙහෙර – N. H. Samarasingha,  Archaeology.lk

ක්‍රි. ව. 312 දී රජ පැමිණි කිත්සිරිමෙවන් රජ සමයේ නව වන රාජ්‍ය වර්ෂයේ දී දන්ත කුමරු හා හේමමාලා කුමරිය දන්ත ධාතුව රැගෙන අනුරාධපුරයට පැමිණ මුල් දින ගත කළේ මේඝගිරි විහාරයේ බව දාඨාවංශය සඳහන් කරනවා. එම විහාරය පිහිටා තිබුණේ මහාමේඝ උයනෙයි. වංශ කතාවලට අනුව මේඝගිරිය ක්‍රි. පූ. තුන්වැනි සියවසේ දී දේවානම්පියතිස්ස රජු ඉදිකළ විහාරයක්. එයට ඒ නම ලැබී තිබෙන්නේ මේඝවලා හෙවත් වලාකුළු සේ ඈතට දිස්වන ගිරිකුළු නිසයි.

අටමස්ථානයට අයත් නොවීම

ලෙන කපා හැදූ පැරණි බුදුගෙය- N. H. Samarasingha,  Archaeology.lk

හුඟදෙනෙක් දන්නැති කරුණක් තමයි ඉසුරුමුණිය හෙවත් මේඝගිරිය අටමස්ථානයට අයත් නොවන විහාරයක් බව. බුදුන් වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩි ගමනේ දී අනුරාධපුරයට වැඩ සමහන් සුවයෙන් ගත කළ ස්ථාන අටක් ගැන පූජාවලිය සඳහන් කරනවා. 14 වැනි සියවසේ ලියවුණු සද්ධර්මාලංකාරයේ ද මිහිඳු හිමියන් පූජා පවත්වන ලදැ යි සැලකෙන ස්ථාන අටක් ගැන දැක්වෙනවා. මේ කිසිම මූලාශ්‍රයක ඉසුරුමුණිය හෝ මේඝගිරිය බුදුහිමියන් වැඩ සිටි ස්ථානයක් ලෙස සඳහන් වන්නේ නැහැ. 1872 දී අටමස්ථාන කමිටුව සැකසූ අටමස්ථාන ලැයිස්තුවටත් ඉසුරුමුණිය අයත් වුණේ නැහැ. ඒ වන විට ඉසුරුමුණිය නටබුන් ස්ථානයක් මිස වන්දනාකරුවන් වදින පුදන තැනක් වුණෙත් නැහැ. මේ නිසාම 1909 දී ඉංග්‍රීසී ආණ්ඩුව අටමස්ථානය ලැයිස්තුගත කිරිමේ දී ඉසුරුනිණිය පූජනීය ස්ථානයක් වශයෙන් එයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවේ නැහැ. අද දක්නට ලැබෙන දාගැබ සහ විහාරගෙය සියවසකට පමණ පෙර ඉදිකරන ලද ඒවා යි.

සොඳුරු පුදබිම- srilankafinder.com

ඉසුරුමුණිය විශිෂ්ට කලා නිර්මාණ රාශියක් දැකගත හැකි ස්ථානයක් ලෙස පිටරටවල පවා ප්‍රසිද්ධයි. පුරාණ නිර්මාණකරුවාගේ කෞශල්‍යයට ඒවා අදත් උදාහරණ සපයනවා. මුලින්ම බෞද්ධ විහාරයක් වූ මේඝගිරිය පසුව හින්දු කෝවිලක් බවට පත්ව තිබෙන්නට ඇති බව පරණවිතාන සඳහන් කරනවා. පල්ලව සම්ප්‍රදායේ මුර්ති එයට එක්වූයේ ඒ අවස්ථාවේ බව ඔහුගේ අදහස යි.  

පිරිත් පැන් පොකුණේ නාන ඇතුන්

ගලේ නෙළු ඇත් රූ- steemit.com

ඉසුරුමුණිය විහාරයට ඇතුළුවන අපට මුලින්ම දිස්වන්නේ දාගැබ පිහිටි ගල් පර්වතය පාමුල ඇති පොකුණ යි. එයට කියන්නේ පිරිත්පැන් පොකුණ කියලයි. එහි ජල මට්ටමට ආසන්නව අලංකාර ඇත් රූප නෙළා තිබෙනවා. පොකුණේ ජලය පිරී ඇති විට ගල්පර්වතයේ අල්පෝන්නතව කොටා ඇති ඇත් රූප දිය නෑමට පොකුණට එන ඇත් රංචුවක් සේ දිස්වෙනවා. සමහර ඇතුන් හොඬ උස්සා ජල ක්‍රීඩා කරන ආකාරයක් පෙන්නුම් කර තිබෙනවා.

ගල හාරා තැනූ පැරණි පිළිම ගෙය

පිළිම ගෙය ප්‍රතිසංස්කරණයට පෙර 1870 දී -thenationaltrust.lk

මිනිසා සහ අශ්ව හිස මූර්තියට නුදුරින් ගල හරා තැනූ කුඩා බුදුගෙයක් තිබෙනවා. දොරටුවේ මකර තොරණත් එහි ඇතුළත පිහිටි හිදි බුදු පිළිමයත් ගලෙන්ම කැපූ එකක්. මේ පිළිමයේ පසුකාලීනව රන් ආලේප කර තිබූ බවට සලකුණු තිබෙනවා. මේ පැරණි බුදුගෙයට ආසන්නව ගල යට වූ ලෙනක් යළි සැකසීමෙන් වර්තමාන බුදුගෙය තනා තිබෙනවා. බුදු ගෙය අසලින් දිවෙන පියගැට පෙළ නැගීමෙන් ගල මත පිහිටි දාගැබ වෙත පැමිණිය හැකියි. ඒ අසලම පර්වතය මත කැටයම් කළ සිරිපා සලකුණක් තිබෙනවා.

මිනිසා සහ අශ්ව හිස

මිනිසා සහ  අශ්ව හිස කැටයම – srilankafinder.com

විහාරය අසල ගල් පර්වතයේ කොටා ඇති මේ කැටයම කැපීපෙනෙන ශෛලමය නිර්මාණයක්. පොළොව මට්ටමේ සිට අඩි 15ක් පමණ ඉහළින් පිහිටි ගලේ කුහරයක් හාරා අර්ධ උන්නතව වාඩිවී සිටින මිනිසෙක් සහ අශ්ව හිසක් නෙළා තිබෙනවා. මිනිස් රූපය වාඩි වී සිටියත් ආසනයක් නිර්මාණය කර නැහැ. ඔහු කඳ ඍජුව තබා ගෙන සිටිනවා. වම්පස පාදය නමා පැත්ත දමා බිම තබා සිටිනවා. දකුණු පාදය දණහිස ළඟින් නවාගෙන වම් පතුල අසල පය බිම තබා ඇත්තේ දණහිස එසවෙන පරිද්දෙන්. උඩුකය නග්න යි; ගෙල මාලයේ පැළඳ හිස වැස්මකින් හිස වසා සිටින්නේ ඈතට බරවූ බැල්මකින්.

යටිකය වැසී ඇත්තේ දුහුල් කෙටි ඇඳුමකින්. මෙම ඉරියව්ව මහාරාජ ලීලාසන ඉරියව්ව ලෙස හැඳින්වෙනවා. මිනිස් රුව අතිශය තේජාන්විත පෙනුමකින් යුක්ත යි. දිගු කළ දකුණතේ උඩුබාහුවට ගෑවෙන තරම් සමීපව අශ්ව හිස නෙළා තිබෙනවා.

කැටයම පිහිටා ඇති අයුරු- tripadviser.com

පරණවිතාන මෙම ස්ථානය වර්ෂාවට අධිපති පර්ජන්‍ය දෙවියාට සම්බන්ධ උත්සව පැවැත්වූ ස්ථානයයැ යි මතයක් ඉදිරිපත් කළා. එහි ගලේ කොටා ඇති අශ්ව හිස සහ මිනිසාගේ කැටයම, අග්නි සහ පර්ජන්‍ය ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව යි ඔහු මේ මතය පැවසුවේ. විල අසල ඇති ඇත් රූපවලින්  වළාකුළු සංකේතවත් කෙරෙතැ යි ඔහු පවසනවා.

මේ කැටයම ක්‍රි.ව. 12 වැනි සියවසට අයත් බව ආචාර්ය විලියම් කුක් මහතා පවසා තිබෙනවා. මහාචාර්ය ෆෝගල්, ආනන්ද කුමාරස්වාමි, බෙන්ජමින් රෝලන්ඩ් යන විද්වතුන් සඳහන් කරන්නේ මෙම කැටයම ක්‍රි.ව. 7 වැනි සියවසට අයත් බව යි. මිනිසා සහ අශ්ව හිස කැටයම ඉන්දියානු පල්ලව සම්ප්‍රදායේ නිර්මාණ හා සමානකම්  දක්වන බව මහාචාර්ය ෆෝගල් මහතා පවසයි.

ලොව ජනප්‍රියම පෙම් යුවළ

පෙම් යුවළ – steemit.com

අඩි 3 අඟල් 1ක් උස හා අඩි 2 අඟල් 3ක් පළල චතුරශ්‍රාකාර ගල් පුවරුවක අර්ධ උන්නත වශයෙන් නෙළා ඇති මේ කැටයම ලෝකයේ ගලින් නෙළු ජනප්‍රියම පෙම් යුවළ යි. විහාර බිමේ පියගාට පෙළ අසල ගල්බිත්තියට අල්ලා තිබූ එය අද එය විහාරබිමේ ඇති පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. ගල් තලයක් මත වාඩි වී සිටින තරුණයා පිටුපසින් සිටින ආකාරයටත් ඔහුගේ වම් කලවය මත වාඩිවී සිටින තරුණිය ඉදිරියෙන් සිටින ආකාරයටත් කැටයම් කර තිබෙනවා. මෙම රූප ගල් පුවරුවේ සමබරව කැටයම් කොට ඇති අන්දම අපූරු යි. තරුණයාගේ හා තරුණියගේ ආංගික අභිනයන්ගෙන් හා සංකේත වලින් ඔවුනොවුන් කෙරෙහි වන ප්‍රේමය හා ස්නේහය මෙන්ම ශෘංගාරය ද ඉස්මතු කොට දක්වනවා.

දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය හා ඔහුගේ සිත්ගත් සැඩොල් තරුණියක වූ අශෝකමාලා මින් නිරූපණය වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මත පළ කරනවා. මේ ශිව හා පාර්වතී ලෙසත්, මංජු ශ්‍රී හා ශක්ති ලෙසත්, සෙබලෙකු හා බිරිඳ ලෙසත් ආදී වශයෙන් විවිධ අදහස් විද්වතුන් පළ කර සිටිනවා. ශෛලිය අතින් මෙම මූර්තිය 5 වන සියවසට අයත් ගුප්ත කලා සම්ප්‍රදාය පිළිබිඹු කරන්නක්.  

රජ පවුල

රජ පවුල කැටයම -leisureandme.com

මෙම කැටයමත් කෞතුකාගාර තුළ දී තමයි දැකගත හැකි. මේ කැටයම් පුවරුවේ රජ පවුලක එක්තරා අවස්ථාවක් දැක්වෙන බව සැලකෙනවා. කැටයමේ මැද අන් අයට වඩා තරමක් උස අසුනක රජු අසුන්ගෙන සිටිනවා. ඔහු දකුණත ඔසවා යමක් පැහැදිලි කරන බවක් තමයි පේන්නේ. ඔහුගේ වමත දේවියගේ උකුල මත ඇති අතර දේවිය දෙ අතින්ම ඒ අත අල්ලාගෙන සිටිනවා. පසෙකින් සිටින කුමරා දෙ අත් පපුව මත තබාගෙන සාවධානව යමකට ඇහුම්කන් දෙන බවක් පෙනනවා. මෙහි සිටින්නේ දුටු ගැමුණු රජතුමා, බිසව හා සාලිය කුමරු බව මහාචාර්ය සෙනරත් පරණවිතාන  මත පළ කරනවා. මෙය 8  වන සියවසට අයත් කැටයමක් සේ සැලකෙනවා.

දේවතා රූප කැටයම්- 6-8 සියවස්,  wikipedia.org

 විහාර බිමේ පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරයේ තවත් ගල් කැටයම් රාශියක් දැකගත හැකියි. ඒවා අතරින් වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇත්තේ ගලින් කළ කාවාටවල හෙවත් ඇතුළට හාරා කළ නිර්මාණ ලෙස යි. කුවේර ත්‍රිමූර්තිය, කින්නර කැටයම, වාමන රූප, සිංහ කැටයම් ආදියත් මෙහි තැන්පත් කර ඇති කැටයම් අතර වෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

Archaeology.lk

පුරාණ අනුරාධපුරය -අනුරාධ සෙනෙවිරත්න

රජරට ප්‍රවේණිය- චන්ද්‍ර වික්‍රමගමගේ

අනුරාධපුරය පුරාණ ස්මාරක- කේ. එම්. අයි. ස්වර්ණසිංහ

කවරය- ඉසුරුමුණිය 1900 දී පමණ lankapura.lk

Related Articles