පළමු ලෝක යුද්ධයේ ඉතාලි විශේෂ බලකාය – ආර්ඩීටි

පළමු ලෝක යුධ සමයේ බටහිර පෙරමුණේ මෙන්ම ඉතාලි පෙරමුණේ ද සටන් පෙරමුණ කාලයක් තිස්සේ එක තැන සිර වී තිබුණා. බටහිර පෙරමුණේ තැනිතලා ඔස්සේ මෙන්ම ඉතාලි පෙරමුණේ කඳුකර ප්‍රදේශයන් ඔස්සේ ද යුධ අගල් නිර්මාණය වුණා. කාලයක් තිස්සේ මෙම යුධ අගල් බිඳගෙන ඉදිරියට යාම ඉතා අසීරු වූ සහ අතිශයින්ම විනාශකාරී දෙයක් බවට පත්ව තිබුණා. ඇතැම් විට මීටර සිය ගණනක් ඉදිරියට යාම සඳහා දහස් ගණන් ජීවිත බිලි දීමට සිදුවන අවස්ථා දකින්න ලැබුණා. මේ හේතුව නිසාවෙන් මෙම පෙරමුණුවල සටන් කිරීම සඳහා විශේෂ හමුදා සේනාංක පුහුණු කිරීම පිළිබඳ අවධානය යොමු වුණා.

මෙවැනි විශේෂ බලකායන් අතරින් වඩාත්ම ප්‍රකට වූයේ ජර්මනියේ ස්ටෝර්ම්ටෲපර් භටයින් වූ නමුත් ඉතාලියේ ආර්ඩීටි (Arditi) බලකායන්ට ද වැදගත් ස්ථානයක් හිමි වනවා. යුද්ධයේ දී ඔවුන් විසින් සිදුකළ බලපෑම තීරණාත්මක නොවූ නමුත් ඉතාලි ජන විඥානය තුළ ඔවුන් ප්‍රබල බලපෑමක් ඇති කළා.

ඉසොන්සෝ නදියේ සටන්

ඉතාලිය පළමු ලෝක යුද්ධයට අවතීර්ණ වූයේ 1915 මැයි මස 23 වන දා ඔස්ට්‍රියා-හන්ගේරියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමත් සමග යි. මෙම දෙරට අතර වූ දේශසීමාවේ බොහෝ ප්‍රදේශයන් කඳුකරය ඔස්සේ වැටී තිබුණා. ඉතාලි හමුදා සිය ප්‍රධාන ප්‍රහාරය එල්ල කළේ වත්මන් ස්ලොවීනියාව දෙසට යි. ඔවුන්ව ඉසොන්සෝ නදී ඉවුරේ දී නවත්වනු ලැබුණා.

1915 ජූනි මාසයේ සිට 1917 ඔක්තෝබරය දක්වා ඉසොන්සෝවේ සටන් 12ක් සිදු වුණා. මෙහි 12 වන සටන මධ්‍ය බලවතුන් විසින් එල්ල කළ ප්‍රහාරයක් වුණත් අනෙක් එකොළහම ඉතාලිය විසින් එල්ල කළ ප්‍රහාරයන් වුණා. 1915 දී සිව් වතාවක්, 1916 දී පස් වතාවක් සහ 1917 දී දෙවතාවක් ඉතාලි සේනාංක ඉසොන්සෝ පෙරමුණ බිඳගෙන යාමට උත්සාහ කළා.

ඉතාලි පෙරමුණ​. මෙහි සිතියමේ දකුණුපස ඉසොන්සෝ සටන් පෙරමුණ දැක්වේ. අනෙක් පෙරමුණ ට්‍රෙන්ටිනෝව යි. (Public Domain)

පිට පිටම සිදු වූ අසාර්ථකත්වයන් හේතුවෙන් 1916 වනවිට ඉසොන්සෝ පෙරමුණෙහි සටන් සඳහා විශේෂ බලකායක් යොදාගැනීම පිළිබඳ ඉතාලි හමුදා අවධානය යොමු කළා. නිර්භීතයින් හෙවත් “ආර්ඩීටි” බලකාය නිර්මාණය වන්නේ එම පසුබිමේ යි.

ආර්ඩීටි බලකා පිහිටුවීම​

ආර්ඩීටි බලකායන් සඳහා ආභාෂය ලැබුණේ “මරණයේ බලකායන්” වෙතින් බවයි සඳහන් වන්නේ. “මරණයේ බලකායන්” යුද්ධයේ මුල් කාලයේ සිටම ඉතාලි හමුදා විසින් යොදා ගනු ලැබුණා. ඔවුන් සතු ප්‍රධාන කාර්යය​ වූයේ සතුරු යුධ අගල් ආරක්ෂා කිරීම සඳහා යොදන ලද කටු කම්බි වැටවල් කපා දමමින් පාබල සේනාංක සඳහා මාර්ගය විවර කර දීම යි. ආර්ඩීටි බලකායන් මීට වඩා වෙනස් වුණා. ඔවුන් ස්වාධීන​ ප්‍රහාරක බලකායන් වුණා. යුධ අගල් අල්ලාගෙන සාමාන්‍ය පාබල සේනාංක පැමිණෙන තෙක් ඒවා ආරක්ෂා කරගැනීම ඔවුන්ට පැවරුණ වගකීම වුණා.

මුල් කාලීනව ආර්ඩීටි බලකායන් සඳහා සෙබළුන් බඳවා ගන්නා ලද්දේ ස්වේච්ඡාවෙන්. එනම් ඉතාලි හමුදාවේ සෙබළුන්ට කැමැති නම් ආර්ඩීටි බලකා සඳහා ඉල්ලුම් කළ හැකි වුණා. පසුකාලීනව හමුදාවේ දක්ෂ සෙබළුන් ඒ සඳහා නිර්දේශ කිරීමට පියවර ගන්නා ලද්දේ ආර්ඩීටි බලකායන්ට ද පිරිස් බලය අවශ්‍ය වූ විට යි. ආර්ඩීටි භටයින්ට මැෂින් තුවක්කු සහ ගිනි විදිනයන් ආදී විවිධ ආයුධවල පුහුණුව ලබා දුන්නා. නමුත් ඔවුනගේ ප්‍රධාන ආයුධ වූයේ කිණිසි සහ අත් බෝම්බ යි. එමෙන්ම ඔවුන් සඳහා වෙනමම නිල ඇඳුම් ද ලබා දුන්නා.

අත් බෝම්බ සහ කිණිස්සි සමග සටන් කරන ආකාරය නිරූපණය කරන ආර්ඩීටි භටයෝ (Imperial War Museum)

ආර්ඩීටි සෙබළුන් බැටෑලියන ලෙස සංවිධානය කෙරුණා. ඔවුනට පුහුණුව ලබා දුන්නේ ඉසොන්සෝ පෙරමුණෙන් පසුපස පිහිටුවන ලද විශේෂ පුහුණු මධ්‍යස්ථානයක යි. මෙහි සටන් පෙරමුණෙහි තත්ත්වය ප්‍රතිනිර්මාණය කළ අතර පුපුරණ ද්‍රව්‍ය පවා භාවිතා කෙරුණා. මේ අනුව පුහුණුවේදී ද සෙබළුන්ට ජීවිත හානි සිදු වුණා.

ආර්ඩීටි සෙබළුන්ට සාමාන්‍ය සෙබළුන් මෙන් තුන් ගුණයක වැටුපක් ද සටන් පෙරමුණෙන් පිටිපස නවාතැන් ස්ථාන ද ලබා දුන්නා. නමුත් ඔවුන් අතර මිය යන සහ තුවාල වන සෙබළ ප්‍රතිශතය ඉතා ඉහළ වුණා. සාමාන්‍යයෙන් එක් ප්‍රහාරයක දී මරණයට පත්වූ සහ තුවාල ලැබූ ආර්ඩීටි සෙබළුන් සංඛ්‍යාව සියයට 25ක් සහ 30ක් අතර ප්‍රමාණයක් වුණා.

සංකේත​

ආර්ඩීටි නිල ඇඳුම්වල කොලරයේ විවෘත කොටසේ ගිනි දළුවල ලකුණු දක්වා තිබුණා. බර්සිලියේරි හෙවත් සැහැල්ලු පාබල සේනාංකවල නිල ඇඳුමෙහි මෙම ගිනි දළු රතු පැහැති වුණා. ඇල්පීනි හෙවත් කඳුකර හමුදා බලකාවලින් පැමිණි සෙබළුන් ගේ ඇඳුමෙහි කොළ වර්ණ ගිනි දළු ද සාමාන්‍ය පාබල හමුදා සේනාංකයන්වල සිට පැමිණි භටයින්ගේ කළු වර්ණ ගිනි දළු ද දැක්වුණා.

මේ අතර ආර්ඩීටි සෙබළුන් භාවිතා කළ ප්‍රකට සංකේතයක් වුණේ කළු පැහැති පසුබිමක සුදු පාටින් ඇඳි දත්වලින් කිණිස්සක් හපාගත් මිනී ඔළුවක සලකුණ යි. සටනක දී කිසිවිට ජීවිත දානය නොදෙන බව එයින් හැඟවුණා. එනම් ආර්ඩීටි සෙබළුන් සටනට බැස්සේ සතුරන් විනාශ කරන අටියෙන්. ඔවුනගේ ආදර්ශ පාඨය වූයේ “ඕ ල විට්ටෝරියා, ඕ ටුටි අකෝපියාටි” (O la vittoria, O tutti accoppiati) යන්න යි. “එක්කෝ දිනමු. නැත්නම් සියල්ලෝම මිය යමු!” යන්න එහි අර්ථය වුණා.

යුධ පෙරමුණේ දී​

ආර්ඩීටි සෙබළුන් විවිධ අවි ආයුධවල පුහුණුව ලද ද ඔවුන් ප්‍රහාරක මෙහෙයුම් සඳහා කිණිසි සහ අත් බෝම්බ යොදාගත් බව කලින් සඳහන් වුණා. සාමාන්‍යයෙන් ප්‍රතිවාදී අගල් වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල වන අතර මෙම සෙබළු එම ප්‍රදේශ කරා ගමන් කරන අතර කාලතුවක්කු ප්‍රහාර අවසන් වූ වහාම පාහේ එම අගල් වෙත කඩා වැදුණා. මෙසේ වේගවත් ප්‍රහාර එල්ල කිරීම මඟින් ප්‍රතිවාදියා පුදුමයට පත් කර පරාජය කිරීම ආර්ඩීටි සෙබළුන්ගේ ක්‍රමවේදය වුණා.

නව වන ඉසොන්සෝ සටනේදී ඉතාලි පාබල සේනාංක (Public Domain)

ඔවුන් විසින් දැක්වූ දායකත්වය වැදගත් වූ නමුත් එමඟින් සටන් පෙරමුණේ කැපී පෙනෙන ජයග්‍රහණයක් ලැබුණේ නැහැ. එයට තනිකරම ඔවුන් පිට වරද පැටවීමට නොහැකියි. මෙම සටන් පෙරමුණේ දී ඉතාලි සේනාංකවල උපක්‍රම පොදුවේ ගත්කළ එතරම් සාර්ථක වූයේ නැහැ.

1918 ඔක්තෝබර් 24 වන දා දියත් කෙරුණ විට්ටෝරියෝ වෙනේටෝ සංග්‍රාමයේ දී ආර්ඩීටි ඒකක වඩා සාර්ථක වුණා. මෙහිදී වෙනදාටත් වඩා විශාල ආර්ඩීටි සේනාංකයක් යොදවනු ලැබුණා. ඔවුන් විසින් මුල් ප්‍රහාරය දියත් කර ඔස්ට්‍රියා-හන්ගේරියානු පෙරමුණ බිඳ දැමීමට සමත් වුණා. එයින් දින කිහිපයකට පසු ඔස්ට්‍රියා-හන්ගේරියාව යුද්ධයෙන් ඉවත් වුණා.

යුද්ධයෙන් පසු

පළමු ලෝක යුද්ධයෙන් පසු විවිධ පිරිස් ආර්ඩීටි යන නම මෙන්ම ඔවුනගේ සලකුණු ද භාවිතා කළා. 1919 දී ගබ්රියෙල් ඩනුන්සියෝ විසින් ෆියුම් නගරය අල්ලාගනිද්දී ඔහුගේ සේනාංක ආර්ඩීටි යන නම භාවිතා කළා. එමෙන්ම පැරණි ආර්ඩීටි සාමාජිකයන් ද එයට සහභාගී වී සිටියා. ඩනුන්සියෝගේ භටයින් සාමාන්‍ය ඉතාලි හමුදා විසින් පරාජය කරනු ලැබුණා.

ඇතැම් විට ඩනුන්සියෝගේ සිද්ධිය හේතුවෙන්, 1920 දී ආර්ඩීටි බලකා අහෝසි කරනු ලැබුණා. නමුත් ඔවුන්ගේ නම සහ සලකුණු ෆැසිස්ට්වාදීන් මෙන්ම ෆැසිස්ට් විරෝධීන් ද භාවිතා කරනු දකින්නට තිබුණා.

Related Articles