Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිර්වස්ත්‍රව තම වෘතය රකින ජෛනයෝ

ජෛන ආගම පිලිබඳව ඔබ සියලු දෙනා කුඩා හෝ යමක් අසා ඇතුවාට සැක නැත.  ජෛන ආගම පිලිබඳ දැනුම සරලව ලබා දීම මෙම සටහනෙහි අරමුණයි. ක්‍රි.පූ. හයවෙනි සියවස ඉන්දියානු ඉතිහාසයේ ඉතා වැදගත් අවධියක් ලෙස සලකනු ලැබීමට එක් හේතුවක් වන්නේ එම සමයේදී බුද්ධාගම හා ජෛන ආගම උපත ලැබීමයි. මීට බොහෝ කලකට පෙර ආරම්භ වූ හින්දු ආගමෙහි [හින්දු ආගම යැයි කීවද හින්දු ආගමික සංකල්ප ලෙස ගන්න. මන්ද හරප්පා සංස්කෘතියේ සිටම පැවති විවිධ වූ සංකල්ප හා පසුකාලීනව ඇතිවූ සංකල්ප වල සංයෝජනයකින් හින්දු ආගම සෑදුනු බැවින්] සරල බව හා චාම් බව ක්‍රමක්‍රමයෙන් නැතිවී ගොස් විවිධාකාර වූ අනුරාගී පුදපූජා හා හරසුන් ශාන්තිකර්මයන් නැග ඒමට පටන් ගත්තේය. ආගම පිලිබඳ දැනුම කුඩා ජන කොටසකට පමණක් ඉගැන්වූ අතර බ්‍රහ්මණයන්ගේ හින්දු දර්ශනය කෙරෙහි විරෝධයක් ක්ෂත්‍රීයන්ගෙන් පැන නැගුණි.

මෙම කාල වකවානු තුල තැන තැන සංචාරය කරමින් තවුස් ජීවිත ගත කල පුද්ගලයෝ නව ආගම් සාදා ගත් හ​.  මෙම තවුසන් ශ්‍රමණයන් නොහොත් පරිබ්‍රාජිකයන් ලෙස හැදින්වේ. මෙම ආගම් එතරම් ජනප්‍රිය නොවූ අතර වැඩි කල් යාමට මත්තෙන් එම ආගම් අක්‍රිය තත්වයට පත්විය. මෙවැනි තත්වයක් පවතින සමයක අලුත් ආගමික දර්ශන දෙකක් බිහි වූ අතර ඒවා බුද්ධාගම හා ජෛනාගම ලෙස හැදින්වේ. මෙහි ආරම්භකයන් දෙදෙනාම ක්ෂත්‍රීය වංශිකයන් වේ.

ජෛන මහාවීර තුමාගේ පිලිමයක්. (culturalindia.net)

වසර දහස් ගනනක් ගත වුවද ඉන්දියාව තුල ජෛන ආගම අදටත් නොනැසී පවතියි. බුදුන්ගේ සමකාලීනයෙක් වූ වර්ධමාන මහාවීර ජෛන ආගම නිර්මාණය කලේ නැත. ඔහු විසින් සිදු කලේ කලින් පැවති දර්ශනයක් ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමයි. මොහුගේ මුල් නම වර්ධමාන වන අතර මහාවීර යනු ඔහුගේ ශ්‍රාවකයන් ඔහුව හැදින්වූ නම වේ. වෛශාලියේ ලිච්ඡවීන් හා සම්බන්ධ වූ සිද්ධාර්ථ නම් අධිපතියෙකුට හා චේටක නම් ලිච්ඡවී අධිපතියාගේ සොයුරිය වූ ත්‍රිශලාට දාව ක්‍රි.පූ. 540 දී පමණ වර්ධමාන මහාවීර උපත ලැබීය. මොහු කලක් යත්ම රාජ්‍ය බලය ලබාගෙන විවාහ ව දුවෙකු ලැබුවත් මොහුගේ කැමැත්ත වූයේ මෝක්ෂ මාර්ගය සොයා ගැනීමය. වයස අවුරුදු තිහේදී ඔහු ගිහි ගෙයින් නික්මව ගියේය. පලමුව ඔහු ‘නිගන්ඨ’ [සමහර පොත් වල නිර්ග්‍රන්ථ ලෙසද සදහන් වන අතර මෙහි තේරුම ගැට වලින් මිදුණු යන්නයි] නම් තවුස් කණ්ඩායමකට බැඳුණේය​. ඉන්පසු ඔහු ඔවුන්ගේ චර්යාව අනුගමනය කිරීමට පටන් ගත්තේය.

මෙම නිර්ග්‍රන්ථ තවුස් වාදය ආරම්භ කරන ලද්දේ මහාවීරට අවු. 250කට පමණ පෙර සිටි පාර්ශ්ව නැමැත්තෙකු විසිනි. මොහු බරණැස අශ්වසේන රජුගේ පුත්‍රයාය. මහාවීර විසින් පිහිටවූ ශාසනයේ අය හැදින්වීමට නිර්ග්‍රන්ථ යන වදන පසු කාලීනව භාවිතා විය. ජෛන ආගමේ තීර්ථංකරයන් එනම් සාන්තුවරුන් 24 දෙනෙක් සිට ඇති බව එම දර්ශනයේ පවතින අතර පාර්ශ්ව යනු 23 වෙනියා ය. 24 වෙනියා වර්ධමාන මහාවීර වේ. ඊට පෙර සිටි විසිදෙදෙනා ජනශ්‍රැති වලට අයත් පුද්ගලයින් වන අතර ඊට එහා සාක්ෂියක් අපට හමු නොවේ. පාර්ශ්ව විසින් සිය අනුගාමිකයන්ට කියා සිටියේ ඔවුන් විසින් ගුණ ධර්ම හතරක් ප්‍රගුණ කල යුතු බවයි. ඒව සත්‍යය, අවිහිංසාව, අපරිග්‍රහ [දේපොළ කෙරෙන් වෙන්වීම] හා ආස්තෙය [සොරකම් නොකිරීම] වේ.

ජෛන දහමේ 23 වන තීර්ථංකරයන් වූ පාර්ශ්වගේ පිලිරුවක්. (Wikipedia.org)

අවුරුදු දොළහක කාලයක් වර්ධමාන මහාවීර ආහාර සිඟමින්, එකිනෙකා සමඟ වාද විවාද කරමින්, විවිධ වූ දුෂ්කර ක්‍රියාවල යෙදෙමින් තැනින් තැන ඇවිද ගියේය. මුල්ම කාලයේ ඔහුට ඇඳීමට තිබුනේ එකම රෙදි කඩකි. ඔහු එය කිසිදා මාරු නොකලේය. එනමුත් ටික කලක් ගිය විට ඔහු එම රෙදි කඩද ඉවත දමා නිර්වස්ත්‍රව සිටීමට තීරණය කලේය. අවුරුදු හයක් මුළුල්ලේ ඔහු හා දුෂ්කර ක්‍රියා කිරීමට ගෝෂාල මස්කරී පුත්‍ර නම් තවුසෙක් එක් වූයේය. පසුව මේ දෙදෙනා අතර මත ගැටුමක් ඇතිවී ගෝෂාල, ආජීවික නිකාය පිහිටුවන ලදි.

මෙසේ තවුස් වත පුරමින් සිටි ඔහු තීර්ථංකරයන් වහන්සේ කෙනෙක් විය. වැඩි කල් යාමට මත්තෙන් විශාල ශ්‍රාවක පිරිසක් වර්ධමාන විසින් අත්පත් කර ගත්තේය. බුදුන් වහන්සේට ආධාර උපකාර කල රජවරුන්ද මහාවීරට ආධාර උපකාර කල අතර ඔහු වසර තිහක් පමණ ගංගා නදිය ආශ්‍රිතව තමා අවබෝධ කරගත් ධර්මය ශ්‍රාවකයන්ට ඉගැන්වූයේ ය. මහාවීර වසර 72ක් ආයු වළඳා රජගහ නුවර ආසන්නයේ පිහිටි පාවා [වර්තමාන පැට්නා] නම් නගරයේ උපවාසයකින් පසු මිය ගියේය. මොහු බොහෝ විට මිය යන්නට ඇත්තේ බුදුන්ට හා ඔහුගේ ප්‍රධාන විරුධවාදියා වූ ගෝෂාලට පසුව බව පවසයි. මහාවීර මියගිය වර්ෂය පිලිබඳව පරස්පර විරෝධී මත කිහිපයක් තිබෙන අතර එය ක්‍රි.පූ. 468 දී පමණ සිදුවූ බව සිතිය හැකිය.

ජෛන මහාවීර තුමා දේශනා කිරීම දැක්වෙන සිතුවමක්. (jaincosmos.blogspot.com)

මින් වසර දෙසීයක පමණ කාලයක් ගත වන තුරු ජෛනයෝ ගිහි පැවිදි යන දෙපිරිසෙයින්ම සමන්විත විය. ඒ අතර මොවුන්ගේ ප්‍රධාන විරුද්ධකාරයන් වූ ආජීවිකයන්ද බලයෙන් වැඩෙන්නට විය. මෞර්යය පාලන සමය වන විට ජෛන ආගම බලයෙන් වැඩි වශයෙන් වර්ධනය වන්නට විය. සිහසුන අතහැර දැමූ චන්ද්‍රගුප්ත මෞර්යය රජුද ජෛන ආගමික පැවිද්දෙක් බවට පත්විය. චන්ද්‍රගුප්තගේ රාජ්‍ය කාලය අවසානයේ ඇතිවූ දුර්භික්ෂයක් හේතු කොටගෙන ඔවුන් නැවතී සිටි ගංගා නදී පෙදෙස අතහැර ඩෙකානයට ගියේය.

ඩෙකානයට පැමිණි පසුව මොවුන් එහිදී මධ්‍යස්ථාන පිහිටුවා ගන්නා ලදි. මෙහි සංක්‍රමණික පැවිද්දන්ගේ ප්‍රධානියා වූයේ  භද්‍ර බාහු නම් පුද්ගලයෙකි. උතුරේ සිටි පැවිද්දන්ගේ නායකයා වූයේ ස්ථුලභද්‍ර නම් පුද්ගලයෙකි. භද්‍ර බාහු කියා සිටියේ නිර්වස්ත්‍ර වෘතය නොකඩවා රැගෙන යා යුතු බවයි. එහෙත් ස්ථුලභද්‍ර දුර්භික්ෂය හේතුවෙන් සුදු රෙදි කඩක් භාවිතා කිරීමට තම අනුගාමිකයන්ට අවසර දුන්නේය. මේ මත ගැටුම නිසාවෙන් ශ්වේතාම්බර [සුදු රෙදි කඩක් පමණක් අඳින] හා දිගම්බර [නිර්වස්ත්‍රව සිටින] යන නිකායන් දෙක ඇති විය. මුල්ම කාලයේ ශ්වේතාම්බර හා දිගම්බර යන නිකායන් දෙකෙහි ඉගැන්වූ ධර්මය අතර එතරම් වෙනසක් නොවීය. වසර දහස් ගණනක් ගත වුව ද මෙම භේදය වර්තමාන ජෛනයන් අතර පවතියි.

ශ්වේතාම්බර හා දිගම්බර ජෛනයින්. (jainpedia.org)

වර්ධමාන මහාවීරතුමන් දෙසූ ධර්මය පූර්ව නැමැති ග්‍රන්ථ 14 ක සදහන් වූ බව පැවසේ. මෙම ධර්මය ඉතා හොදින් දැන සිටි අවසාන පුද්ගලයා වූයේ භද්‍රබාහු ය. ඔහු මියයාමෙන් පසුව ස්ථුලභද්‍ර පාටලීපුත්‍ර නුවරදී ධර්ම සංඝායනාවක් පවත්වා පෙර පැවති පූර්ව නම් ග්‍රන්ථ 14 වෙනුවට අංග නැමැති ග්‍රන්ථ 12ක් සම්පාදනය කරන ලදී. මෙම අංග නැමැති ධර්ම ග්‍රන්ථ පිලිගන්නා ලද්දේ ශ්වේතාම්බරයන් විසින් පමණි. දිගම්බරයන් මෙය නොපිලිගත් අතර වෙනත් ධර්ම ග්‍රන්ථ සම්පාදනයෙහිලා ඔවුන් උත්සුක වීය. මෙම අංග නම් ග්‍රන්ථ ලේඛනාරූඩ වූයේ ක්‍රි.ව. 5 වන සියවසේ දී වලභී නම් ස්ථනයේදී ශ්වේතාම්බරයන් විසිනි. මෙම කාලය වන විට අංග ග්‍රන්ථ වල දෝෂ බොහොමයක් තිබූ අතර එක් අංගයක් සම්පූර්ණයෙන්ම පාහේ නැතිවී තිබුණි. මෙම ග්‍රන්ථ ප්‍රකෘත භාෂාවෙන් ලියා තිබේ.

සංස්කෘත කවීන් අතරින් අවසානයට පහල වූ ශ්‍රේෂ්ඨතම කවියා වූ නයචන්ද්‍ර ජෛන පැවිද්දෙකි. එමෙන්ම කාලිදාසයන්ගේ කාව්‍යයන්ට ටීකාවන් ලියූ මල්ලිනාථ ද ජෛන පැවිද්දෙකි. ආගමික නොවන ග්‍රන්ථ වුවද පිටපත් කිරීම මහා පුණ්‍ය කර්මයක් ලෙස ජෛනයන් විසින් සලකන ලදි. මේ හේතුවෙන් බටහිර ඉන්දියාවේ පිහිටි ජෛන ආශ්‍රම නිසා පැරණි ග්‍රන්ථ බොහොමයක් ආරක්ෂා විය.

දිගම්බර ජෛන පැවිද්දෙක්. (jaina.org)

මෞර්ය හා ගුප්ත අවධි වලදී ජෛන ආගම විශාල ප්‍රදේශයක පැතිර තිබුනද කලක් ගතවන විට මෙය ප්‍රදේශ දෙකකට පමණක් සීමා විය. ඒ දිගම්බරයන් විසූ වර්තමාන මයිසෝරිය හා දකුණු හයිදරාබාද ප්‍රදේශය හා ශ්වේතාම්බරයන් විසූ ගුජරාත් හා රාජස්ථානය යන ප්‍රදේශයයි.

ශ්වේතාම්බරයන්ට බටහිර ඉන්දියාවේ අධිපතීන්ගෙන් වැඩිමනක් ආධාර ලැබුන අතර දිගම්බරයන්ටද විවිධ අධිපතීන්ගෙන් ආධාර ලැබුණි. ආධාර ලබා දුන් රජවරුන් මියයාම නිසා හා ශිව​ හා වෛෂ්ණව භක්තිය වැඩි වශයෙන් ප්‍රචලිත වීම නිස ජෛන ආගමට පෙරදී ලැබුණු රාජ්‍ය අනුග්‍රහය ක්‍රමක්‍රමයෙන් හීන වී ගියේය. විවිධ කරදර වලට ජෛනයන්ට ලක් වීමට සිදු වුවත් ජෛන ආගම ඉන්දියාවෙන් අතුරුදහන් වූයේ නැත.

මූලාශ්‍ර:
1)ඉතිහාස ධාරා 1 කොටස – ක්ෂාවියර් පින්තු සහ ඊ.ජී. මියාල්
2)භාරතීය සංස්කෘතික ඉතිහාසය – රෝලින්සන්
3)අසිරිමත් ඉන්දියාව – ඒ. එල්. බෂාම්
4)ලෝක ඉතිහාසය – බී.වී. රාවෝ

කවරයේ පින්තූරය – ජෛන දහමට අයත් පිලිම. (testbook.com)

Related Articles