ජපනුන් ක්‍රියාත්මක කළ මරණයේ දොරටුව – යුනිට් 731

සාමාන්‍යයෙන් ජපානය කිව්වම අපට මතක් වෙන්නෙ සකුරා මල් පිපෙන​, ආචාරශීලී ජනතාවක් වාසය කරන​, ලස්සන රටක්. ඒත් සමහර රටවල ජනතාවට ජපානය කිව්වම තවමත් මතකයට නැඟෙන්නේ මීට දශක ගණනකට පෙර සිද්ධ වෙච්ච අමිහිරි සිද්ධීන්වල විස්තර යි. විශේෂයෙන් ම දෙවන ලෝක යුද්ධ සමය හා ඊට පෙරත් සිදු වූ සිද්ධීන් පිළිබඳ ව චීන සහ කොරියන් ජනතාව ජපානය පිළිබඳ ඉතාම නරක මතයක් දරන බව රහසක් නෙවෙයි.

චීනය සහ කොරියාව ඇතුළු ජපන් පාලනයට යටත් වූ ප්‍රදේශයන් හි කරන ලද අපරාධ අතරට යුනිට් 731 අනිවාර්යයෙන් ම එකතු වනවා. වර්තමාන චීනයේ මැන්චූරියා ප්‍රදේශයේ පිහිටි මෙම ඒකකය ජීව විද්‍යාත්මක සහ රසායන විද්‍යාත්මක යුධ අවි පිළිබඳ පර්යේෂණ කළ ආයතනයක්. ජර්මනිය විසින් අවුෂ්විට්ස් ආදී ස්ථානවල සිදුකළ ආකාරයේ ක්‍රෑර පර්යේෂණ මෙහි දී ද සිදුකෙරුණ බව යි සඳහන් වන්නේ.

හාර්බින් නගරය අසල පිංග්ෆෑංග් හි 1936 දී පිහිටුවන ලද මෙම ආයතනය නිල වශයෙන් හඳුන්වන ලද්දේ වසංගත රෝග මර්දන සහ ජලය පිරිපහදු දෙපාර්තමේන්තුව යනුවෙනුයි. මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ ෂිරෝ ඉෂි නම් ජපන් හමුදා වෛද්‍ය​ නිලධාරියා යි.

ෂිරෝ ඉෂි

1892 දී උපන් ෂිරෝ ඉෂි තම ගම් පළාතේ ධනවත් පවුලක අයෙකු වුණා. එම හේතුව නිසා ම ඔහු උද්ධච්ඡ අයෙකු වූ බව සඳහන් වනවා. කියෝතෝ අධිරාජ්‍යයීය විශ්ව විද්‍යාලයෙහි වෛද්‍ය විද්‍යාව හැදෑරූ ඔහු 1921 දී ජපන් අධිරාජ්‍යයීය යුධ හමුදාවට බැඳුණා.

විසිවන සියවස මුල් කාලයේ ජපානය සිය බලය වර්ධනය කරගත් සමයක්. මෙහි දී ජපානයට තර්ජනයක් වූ ප්‍රධාන රටවල් වුණේ සෝවියට් දේශය සහ ඇමරිකා එක්සත් ජනපදය යි. ජපානය එම රටවල් දෙකෙහි බලය පිළිබඳ පැහැදිලි බියකින් පසු වුණා. මේ හේතුව නිසා සාම්ප්‍රදායික නොවන අවි නිපදවීම කෙරෙහි ඔවුනගේ අවධානය යොමු වුණා.

ෂිරෝ ඉෂි (Public Domain)

1931 දී ජපානය විසින් මැන්චූරියාවේ බලය තහවුරු කරගත් පසු එහි මෙම පර්යේෂණ කටයුතු සඳහා විශේෂ ඒකකයක් ඉදිකිරීමේ හැකියාව ලැබුණා. මේ අනුව රසායනික සහ ජීව විද්‍යාත්මක අවි නිපදවීමේ අදහස ඇති ව යුනිට් 731 පිහිටුවනු ලැබුණා. මෙහි ප්‍රධානියා වූයේ ෂිරෝ ඉෂි යි. ඉෂිගේ අභිලාෂය වුණේ මෙම අවි නිපදවීමේ ගෞරවය තමන් වෙත අත්කර ගැනීමට යි.

පරීක්ෂණ

මෙම පර්යේෂණයන් කරන ලද්දේ මිනිසුන් යොදාගෙන යි. පර්යේෂණාගාරය මැන්චූරියාවේ ඉදිකිරීම මඟින් යුනිට් 731 සඳහා අවශ්‍ය පර්යේෂණ සාම්පල​, එනම් පිරිමින්, ගැහැණුන්, සහ ළමුන් ඇති පමණ සොයාගත හැකි වුණා. මුල්කාලීන ව දේශපාලන සිරකරුවන් ආදී සිරගත ව සිටි අය මේ සඳහා යොදා ගත්තා. පසුකාලීන ව තවත් “සාම්පල​” අවශ්‍ය වූ විට ආරක්ෂක අංශ හිතුමනාපයට පිරිස් අත්අඩංගුවට ගෙන යුනිට් 731 වෙත එවනු ලැබුවා.

පිංග්ෆෑංග් ප්‍රදේශයේ ජනයාට ජපනුන් කියා සිටියේ මෙම ස්ථානය දැව මෝලක් බව යි. එහි “සාම්පල​” ලෙස ගෙනෙන ලද පිරිස “දැව කොටන්” ලෙස හඳුන්වනු ලැබුණා.

යුනිට් 731 පුහුණු සහ අධ්‍යාපන අංශය (Kim Petersen)

මිනිසුන් යොදාගන කළ එක් පර්යේෂණ කාණ්ඩයක් වූයේ විවිධ විෂබීජයන්ට ඔවුන් ප්‍රතිචාර දක්වන ආකාරය යි. මෙහි දී ඇතැමුන්ට ප්‍රතිජීවක ලබා දී පරීක්ෂණයට භාජනය කළ අතර, තවත් අයට ප්‍රතිජීවක රහිත ව පර්යේෂණයට භාජනය කළා.

ඇතැම් අවස්ථාවන්හි දී මෙම මිනිසුන්ගේ අභ්‍යන්තර අවයව එම විෂ හේතුවෙන් කෙසේ ක්‍රියා කරන්නේදැ යි බැලීම සඳහා ඔවුන්ව පණපිටින් සිටිය දී ම කපා බැලීම ද සිදුවුණා.

මේ ආකාරයෙන් ම සිෆිලිස් සඳහා ද පරීක්ෂා කිරීම් සිදුවුණා. මෙහි දී සිෆිලිස් වැළඳුණු සහ නිරෝගී වූ ගැහැනියක සහ පිරිමියෙකු අතර ලිංගික ක්‍රියාවන් සිදුවීමට සලස්වා එම රෝගය බෝ වන අයගේ ශරීරයට එය බලපාන අයුරු පරික්ෂා කෙරුණා. අදාළ දෙදෙනා සංසර්ගයෙහි නොයෙදුණහොත් ඔවුන් මරා දමන බවට තර්ජනය කෙරුණා.

ඔවුනගේ දරුවන් ඉපදීමට පෙර රෝග බෝවන අයුරු පරීක්ෂා කිරීමටයැ යි පවසමින් කාන්තාවන්ට දරුවන් පිළිසිඳ ගැනීමට සලස්වනු ලැබුණා. මෙහි ගෙනෙන ලද කාන්තාවන් නිරන්තරයෙන් ලිංගික අතවරයන්ට ලක් වුණා.

විෂ බෝම්බ

විෂබීජ නිෂ්පාදනය කිරීම පමණක් නොව ඒවා වෙනත් ප්‍රදේශ වෙත හෙලීම පිළිබඳවත් පර්යේෂණ කෙරුණා. මේ අනුව ගුවනේ සිට විෂබීජ ඉසීම සහ සෙරමික් බෝම්බවල බහා, ගුවනේ සිට අත හැරීම ආදිය සිදුකෙරුණා. මෙම අත්හදා බැලීම් සඳහා යොදාගන්නා ලද්දේ චීන ජාතිකයන් ජීවත් වූ ගම්මාන යි. බියුබොනික් වසංගතය ආදී වසංගත රෝග මෙසේ පැතිරවීමට හැකි අයුරු පරීක්ෂා කරනු ලැබුණා. චීන ගැමියන් දහස් ගණනක් මෙවන් පර්යේෂණ හේතුවෙන් රෝගී ව මියගියා.

ඇතැම් විට, ඇන්ත්‍රැක්ස් වැනි රෝගකාරක එක් කරන ලද පැණිරස වර්ග චීන ළමුන් අතර බෙදා දීමට ද මෙම පර්යේෂකයන් කටයුතු කළ බව සඳහන් වනවා. මේ අතර චීන ජනයාගේ ජල ප්‍රභව වෙත විෂ එක් කිරීම මඟින් එම විෂවල ක්‍රියාකාරීත්වය ද පරීක්ෂා කිරීමට යුනිට් 731 පර්යේෂකයන් කටයුතු කළා. සරලව ම කිවහොත් හාර්බින් අවට ග්‍රාමීය ප්‍රදේශ යුනිට් 731 ක්ෂේත්‍ර පර්යේෂණාගාර බවට පත් වුණා.

මීට අමතර ව, ආහාර හෝ ජලය නොමැතිව තැබීම​, විෂ වායුවල බලපෑම පරීක්ෂා කිරීම​, බෝම්බ පුපුරවා හැර ඒවා පුපුරන තැන සිට පුද්ගලයින් සිටිනා දුර අනුව ඔවුනට වන හානි පිරික්සීම ආදී විවිධාකාර කුරිරු පර්යේෂණ සඳහා ද යුනිට් 731 හි රැඳවියන් භාවිතා කෙරුණා.

ඇමරිකාව සමග ගනුදෙනුව

දෙවන ලෝක යුද්ධයේ අවසාන දින වනතෙක් යුනිට් 731 ක්‍රියාත්මක ව පැවතුණා. නමුත් 1945 අගෝස්තුව වෙද්දී ජපානය යුද්ධය පරාජය වන බව පැහැදිලි වුණා. මෙම අවස්ථාවේ යුනිට් 731 හි පර්යේෂණ වාර්තා විනාශ නොකර තබා ගැනීමට එහි විද්‍යාඥයින් ක්‍රියා කළා. මෙම වාර්තා පසු කලෙක ෂිරෝ ඉෂි ඇතුළු පිරිසට ඇමරිකානුන් සමග ගනුදෙනුවකට මං විවර කළා.

දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සහ සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී රටවල් අතර නිරවි යුද්ධයක් ඇති වූ බව ඔබ දන්නවා. මෙහි දී දෙපාර්ශවය ම තමන්ට ලබාගත හැකි වාසි සියල්ලක් ම ලබා ගැනීම සඳහා උපරිම උත්සාහයක් ගනු ලැබුවා.

ජපනුන් විසින් සිදුකරන ලද ජීව විද්‍යාත්මක සහ රසායනික අවි පරීක්ෂණ පිළිබඳ විස්තර ලබා ගැනීමට ඇමරිකානුවන් උත්සුක වූයේ ඒවායේ ප්‍රතිඵල ඔස්සේ රසායනික අවි පිළිබඳ දැනුම සහ විවිධ විද්‍යාත්මක දත්ත ලබා ගැනීමට යි.

හාර්බින් හි යුනිට් 731 කෞතුකාගාරය (exploreharbin.com)

යුනිට් 731 දී ලබාගත් වෛද්‍ය විද්‍යාත්මක දත්ත වැදගත් වූයේ ඒවා මිනිසුන් යොදාගෙන කරන ලද ඒවා වූ නිසාවෙන්. ඇමරිකානු විද්‍යාඥයන්ට මිනිසුන් යොදාගෙන මේ ආකාරයේ පරීක්ෂණ පැවැත්වීමට අවසර ලැබෙන්නේ නැහැ. එහෙයින් ජපනුන් ලබාගත් දත්ත පිළිබඳ දැනුවත් වීමට ඇමරිකානුවන්ට අවශ්‍ය වුණා.

ෂිරෝ ඉෂි ඇතුළු පිරිස මෙම අවස්ථාව දුටුවේ තමන්ට ලැබුණ ත්‍යාගයක් ලෙස යි. ඔවුන් ඇමරිකානුවන්ට තොරතුරු ලබා දීමට කැමැත්ත පළ කළා. නමුත් ඒ සඳහා ඇමරිකානුවන් ගෙවිය යුතු මිලක් තිබුණා. එනම් යුනිට් 731 හි සේවය කළ අයට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගන්නා බව යි.

මෙම සාකච්ඡා කලක් ඇදී ගියා. 1948 වසන්ත සමය වනවිට මෙම සාකච්ඡා අවසන් වුණා. ඒ අනුව ජපන් විද්‍යාඥයින් තමන් සතු තොරතුරුවලින් කොටසක් ඇමරිකානුවන් වෙත ලබා දුන්නා. ඒ වෙනුවෙන් ඔවුනට අවශ්‍ය දේ ලබා දීමට ඇමරිකාව එකඟ වුණා. ඇමරිකානුවන් මෙය දුටුවේ ඉතාම වාසිදායක ගනුදෙනුවක් ලෙස යි.

යුනිට් 731 මෙහෙයවූ ජපන් ජාතිකයා, ෂිරෝ ඉෂි, 1959 දී මියගියේ ස්වභාවික හේතුවලින්. ඔහුට කිසිදු අවස්ථාවක තමන් කළ දේ සඳහා දඬුවමක් ලැබුණේ නැහැ. අදටත් චීන ජාතිකයන් යුනිට් 731 ක්‍රියාකාරකම්වල වින්දිතයන් වෙනුවෙන් සාධාරණත්වය ඉල්ලා සිටිනවා.

Related Articles