Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක යුධ සමයේදී කොළඹට එල්ල වූ ජපන් ගුවන් ප්‍රහාරය

ජපානය විසින් පර්ල් වරායට බෝම්බ එල්ල කිරීමෙන් අනතුරුව ඔවුන්ගෙ ඊළග ඉලක්කය වන්නේ දකුණු ආසියාව බව මිත්‍ර පාර්ශවය විසින් අනුමාන කරනවා. ඊට හේතුව වන්නේ ඔවුන් විසින් ඒ වන විටත් ඉන්දියන් සාගරයේ බටහිර දෙසට​ තම අණසක පැතිරවීමයි. අනුමානය සත්‍ය බව පසක් කරමින් ඊට දින 119කට පසු ජපන් ගුවන් හමුදාව විසින් කොළඹට ප්‍රහාරයක් එල්ල කරනවා.

ඉතින් අද ලිපියෙන් ලියැවෙන්නේ ජපාන ගුවන් හමුදාව විසින් දෙවන ලෝක යුද්ධ කාලයේදී ශ්‍රී ලංකාවේ කොළඹ නගරය හා වරාය ඉලක්ක කරමින් එල්ල කළ ගුවන් ප්‍රහාර පිලිබඳවයි.

කොළඹට පහර දේදැයි යන සැකය 

අද්මිරාල් සර් ජෙෆ්රි (Wikipedia)

1942 වසරේ පෙබරවාරි මාසයේ ජපානය විසින් එවකට බ්‍රිතාන්‍යය යටත් විජිතයකව තිබූ සිංගප්පූරුවට පහර දී අල්ලා ගන්නා අතර බොහෝ යුධ නැව්, ප්‍රහාරක යානා හා සබ්මැරීන රදවා තිබූ ලංකාව, ජපනුන්ගේ ඊළග ඉලක්කය වනු ඇතැයි බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනුමාන කරනවා.

මේ හේතුවෙන් ලංකාවට අවධානය යොමුකරන එවකට බ්‍රිතාන්‍ය අගමැතිවරයා 1942 වසරේ මාර්තු 16වනදා ශ්‍රී ලංකාවේ රදවා ඇති රාජකීය හමුදාවේ  ප්‍රධාන ආරක්ෂක අණදෙන නිළධාරියා ලෙස අද්මිරාල් සර් ජෙෆ්රි ලෙයිටන් (Admiral Sir Geoffrey Layton) පත්කරනු ලබනවා. ඔහු එවකට ලංකාවේ සිවිල් ආරක්ෂක කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ සර් ඔලිවර් ගුණතිලක සමග සාකච්ඡා කර ජපන් ප්‍රහාර වලට පෙර සූදානමකින් සිටීමේ වැදගත්කම පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ගුවන්යානා නාශක අවි කොළඹ නගරයේ ස්ථාපනය වන අතර රාජකීය ගුවන් හමුදාවේ කඳවුරු  කිහිපයක් රටේ තැනින් තැන නිර්මාණය වෙනවා.

රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කදවුර ලෙස කොග්ගල කදවුරු ක්‍රියාත්මක වූ අතර කැටලිනා නම් මුහුදේ ගොඩ බෑ හැකි ප්‍රහාරක ගුවන් යානා විශේෂය යොදාගනිමින් ඉන්දියානු සාගරයේ මුර සංචාර සිදු කිරීමට ගුවන් නියමුවන්ට අණ ලැබෙනවා.

ප්‍රහාරය පිලිබඳව කලින් අනතුරු ඇඟවීම

කැනේඩියානු රාජකීය ගුවන් හමුදාවේ බලඝණ නායක ලෙනාඩ් බර්චෝල් (historicwings.com)

මෙසේ ක්‍රියාත්මක වූ මුර සංචාරයක ප්‍රතිඵලයක් ලෙස තමයි ජපන් හමුදා ලංකාවට පහරදීමට පැමිණෙන බව රාජකීය ගුවන් හමුදාව විසින් දැනගන්නේ.

ලංකාවේ සේවය කළ කැනේඩියානු රාජකීය ගුවන් හමුදාවේ බලඝණ නායක ලෙනාඩ් බර්චෝල් (Leonard Joseph Birchall) මෙලෙස එක් මුර සංචාරයක් සදහා ගුවන් කාර්ය මණ්ඩලය​ ලෙස 8දෙනෙකුගෙන් යුක්ත වූ තම Catalina ප්‍රාහාරක යානයෙන් පිටත්ව යන්නේ 1942 වසරේ අප්‍රේල් මස 4වනදා සවස් යාමයේදීයි. සාගරයට ඉහළින් පියාසර කරමින් සිටි බර්චෝල් ඉන්දියානු සාගරයේ සිට ශ්‍රී ලංකාව වෙත ඇදෙන නෞකා කිහිපයක් නිරීක්ෂණය වෙනවා.මේ මොහොත​ වන විට ජපන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකා සමූහය දිවයිනට දකුණු දෙසින් කිලෝමීටර 642ක දුරින් යාත්‍රා කරමින් තිබූ අතර වහාම ගුවන්‍ කාර්ය මණ්ඩලයේ රේඩියෝ පණිවුඩකරු විසින් මේ පිලිබඳව දන්වා කොළඹ පාලන මධ්‍යස්ථානය​ වෙත පණිවුඩයක් නිකුත් කරනවා. ගුවන් යානා ප්‍රවාහන යාත්‍රා (aircraft carriers) 7ක්, විශාල ප්‍රමාණයේ යුධ නෞකා 3ක්, මධයම ප්‍රමාණයේ යුධ නෞකා 2ක් හා වේග ප්‍රහාරක යාත්‍රා කිහිපයකින් මෙම බලඇණිය සමන්විත විය. 

සුළු මොහොතකින් බ්‍රිතාන්‍යය ගුවන් යානය වෙත ජපන් යාත්‍රාවෙන් ගුවන් ගත වූ Zero ප්‍රහාරක යානයකින් ප්‍රහාර එල්ල වන අතර මෙහිදී රේඩියෝ තරංග පණිවුඩ භටයා තුවාල ලබනවා. ගුවන් යානයට දැඩි හානි සිදු වූවත් එය සාගරය මත ආරක්ෂිතව ගොඩබෑමට ගුවන් නියමුවා සමත්වෙනවා. දිගින් දිගටම එල්ල වූ ප්‍රහාර හමුවේ යානයේ තිදෙනෙක් මරණයට පත් වූ අතර බර්චෝල් ඇතුළු ගුවන් යානයේ ඉතිරි වූ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් අත්අඩංගුවට පත් වෙනවා.

මෙහිදී කොළඹ පාලන මධ්‍යස්ථානය වෙත යැවූ පණිවුඩය එම මධ්‍යස්ථානයේ සිටි නිළධාරීන් විසින් පැහැදිලිව වටහා නොගත් අතර පසුදාම දැවැන්ත ප්‍රහාරයක් එල්ල වේයැයි යන්න ඔවුන් විසින් ස්ථිරව​ අනුමාන කරන්නේ නෑ. එබැවින් අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කරනු ලබන්නේ නෑ.

පාස්කු ඉරුදා දින එල්ල වූ දැවැන්ත ප්‍රහාරය 

Akagi නම් ජපාන ගුවන්‍ යානා ප්‍රවාහන නෞකාව (ThoughtCo)

පසුදා, එනම් අප්‍රේල් 5 වන දින​, පාස්කු ඉරුදා දිනක් වූ අතර ඒ හේතුවෙන් වැඩි කලබලයකින් තොරව තර්ජනය සඳහා සූදානම් වීමටයි රාජකීය ආරක්ෂක අංශ විසින් කටයුතු කරන්නේ. එදින රේඩාර් පද්ධතියේ අළුත් වැඩියාවක් සිදුකළ බැවින් රේඩාර් පද්ධතිය ක්‍රියාත්මක වන්නේත් නෑ.

උදෑසනින් ම ප්‍රහාරයක් එල්ල නොවූ හෙයින් එදින ජපනුන් පහර නොදෙනු ඇතැයි යන උපකල්පනය මත​ රත්මලාන ගුවන් කඳවුරේ Hawker Hurricanes ප්‍රහාරක යානා සියල්ල ගුවන්තොටුපොළේ නවතා තිබුණි. ගුවන් නියමුවන් කොටසකට​ උදෑසන ආහාරය සඳහා යාමට අවසර ලැබෙනවා.

උදෑසන 7.30ට පමණ ප්‍රදේශයෙන් ගුවන් යානා පියඹා යන අතර ටික වේලාවකින් කොළඹ නගරය දෙදරවමින් බෝම්බ හෙළීම ජපන් ප්‍රහාරක යානා විසින් ආරම්භ කරනවා. ඔවුන්ගේ මූලික ඉලක්කය වන්නේ රත්මලාන ගුවන් තොටුපොලේ ඇති ගුවන් යානා හා කොළඹ වරායේ නවතා ඇති බ්‍රිතාන්‍ය නෞකායි.

තුරඟ තරඟ​ පිටියේ බ්‍රිතාන්‍ය හමුදා සේනාංක ක්‍රියාත්මක වී සතුරාට පහර දීමට ගුවන් නාශක අවි සූදානම් කළ අතර රාජකීය ගුවන් හමුදා නියමුවන් වහාම තම යානා වලට නැගී ගුවන් ප්‍රහාරය අසාර්ථක කිරීමට උත්සාහ කරනවා. ගුවන සිසාරා සටන් ක්‍රියාත්මක වෙද්දී කොළඹ ඉහල අහස ඉතා බියකරු ස්වරූපයක් ගනු ලබනවා.

මෙහෙයුමට සහභාගී වූ ජපන් ප්‍රහාරක යානා වර්ගයක් වූ Zero fighters (Daily News)

පර්ල් වරායට සහ ඩාර්වින් නගරයට ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ නායකත්වය දැරූ

කොමාන්ඩර් මිත්සුඕ ෆුෂීදා මෙම ප්‍රහාරයේත් නායකත්වය දැරූ අතර වසර 25ක අත්දැකීම් සහිත නාවික නිළධාරියා Akagi නම් ජපාන ගුවන්‍ යානා ප්‍රවාහන නෞකාවේ සිට මෙහෙයුමට අණ දෙනවා. ජපන් ගුවන් යානා 125ක් පමණ මෙම මෙහෙයුමට සම්බන්ධ වන අතර සටන අවසන් වන විට කොළඹ  වරායේ සිට සැතපුම් 300ක් දුරින් බටහිර මුහුදේ තිබූ Dorsetshire හා Cornwall යන රාජකීය නාවික හමුදාවේ ප්‍රහාරක නෞකා 2ක් ජපනුන් විසින් ගිල්වා දමනවා. Hector හා Tenedos නෞකා දෙක කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ අතර එම යාත්‍රා දෙකද ජපන් ගුවන් ප්‍රහාර හමුවේ විනාශ වී යනවා. 

ප්‍රහාරය අවසන්වන විට රාජකීය ගුවන් හමුදාවේ යානා 23ක් විනාශ වී අවසන්. බ්‍රිතාන්‍ය ගුවන් යානා නියමුවන් 17දෙනෙකු මරණයට පත්වෙන අතර තවත් 17 දෙනෙකු තුවාල ලබනවා. සිවිල් වැසියන් 85දෙනෙකු මරණයට පත්වෙන අතර වැරදීමකින් අංගොඩ මානසික රෝහලට බෝම්බ ප්‍රහාර එල්ල වීම සිවිල් වැසියන් ඝාතනය වීමට මූලික හේතුව වෙනවා. ජපන් ගුවන්‍ යානා 27ක් බ්‍රිතාන්‍ය හමුදා ප්‍රහාර හේතුවෙන් විනාශ වූ බව බ්‍රිතාන්‍යය හමුදා විසින් පවසන නමුත් එය ප්‍රතික්ෂේප කරන ජපන් හමුදාව තමන්ගේ විනාශ වූ ප්‍රහාරක යාත්‍රා ගණන 5ක් පමණක් බව පවසනවා. ජපන් ගුවන් යානා පහක් පමණක් ගොඩබිමට කඩා වැටී තිබී හමුවෙනවා. ඒවා කඩාවැටී තිබුණේ ගෝල්පේස් පිටිය, තුරඟ තරඟ​ පිටිය, පිටකෝට්ටේ, හොරණ හා ගල්කිස්ස යන ප්‍රදේශ වලටයි.

ලංකාවේ සේවය කළ රාජකීය කැනේඩියානු ගුවන් හමුදා භටයන්

ඉන් නොනවතින ජපන් හමුදාව ඉන් දින 4කට පසුව කමිකසේ ප්‍රහාරයක්ද ඇතුළුව දැවන්ත ගුවන් ප්‍රහාරයක් රාජකීය නාවික හමුදාවට උපක්‍රමිකව වැදගත් වූ ත්‍රිකුණාමලය වරායට එල්ල කරනවා. ඒ පිළිබඳව​ තොරතුරු ඇතුළත් ලිපියකින් නැවත හමුවෙමු.

කවරයේ ජායාරූපය – 

Jimmy Whalen නම් කැනේඩියානු ගුවන් නියමුවා සතුරු ජපන් ගුවන් යානා කිහිපයක් තම Hawker Hurricane යානයේ නැගී ගොස් විනාශ කිරීමෙන් පසුව රත්මලාන ගුවන් පථයට තම යානය ගොඩ බස්සවා ජයග්‍රාහී ලීලාවෙන් පියමනින ආකාරය.       (Reports — Armoured Aircraft Carriers)

Related Articles