කෲරතර පෘතුගීසි සෙන්පතියා: ජෙරනිමෝ ද අසවේදු

1505 වසරේ දී ලංකාවට පැමිණි පෘතුගීසි ජාතිකයන් 1658 වසර දක්වාම ලංකාවේ රැඳී සිටියා. පෘතුගීසි ආණ්ඩුකාරවරුන් 36 දෙනෙකු මෙරට පාලනය සිදුකර තිබෙනවා. එම පෘතුගීසි ආණ්ඩුකාරවරුන් අතරින් දක්ෂතම සේම කෲරතරම පාලකයා බවට පත්වුණේ ජෙරනිමෝ ද අසවේදු නම් පෘතුගීසි ආණ්ඩුකාරවරයා යි. 1594-1613 සමය තුළ මෙරට පාලනය කළ අසවේදු හිතක් පපුවක් නැති දරුණු පාලකයෙකු ලෙස ඉතිහාසඥයන් හඳුන්වනු ලබන්නේ ඔහු කුඩා දරුවන්ට පවා නියමකළ වධහිංසා නිසා යි. 1594 වසරේ දී අසවේදු මෙරටට පය තැබුවේ දන්තුරේ සටනින් පෘතුගීසි සේනාව පරාජය ලැබීමෙන් පසුව යි.

1594 දන්තුරේ සටන 

පෘතුගීසි ප්‍රතිරාජයා දොන් පිලිප් (යමසිංහ බණ්ඩාර) සහ දොන් ජෝන් (කොනප්පු බණ්ඩාර) යන කුමාරවරුන් යටතේ මහනුවර යටත්කර ගැනීම සඳහා සේනාවක් පිටත්කර හැරියා. වීරසුන්දර බණ්ඩාර සෙනවියාගේ පුත්‍රයා සහ කරල්ලියද්දේ බණ්ඩාර රජුගේ බෑනා සේනාවන් සමග මහනුවරට එන පුවත ආරංචිවීමත් සමග ඒ වන විට මහනුවර පාලනය කරමින් සිටි රාජසූරිය කුමරා සීතාවකට පළාගියා. ඒ අවසරයෙන් මහනුවර අල්ලාගත් පෘතුගීසි සේනාවන්, දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩාර උඩරට රජු ලෙසින් අභිෂේක කළා. ඔහු උඩරට රජු බවට පත්වීම පිළිබඳව උඩරට වැසියන් ප්‍රසාදයට පත්වුණා. නමුත් ඔහු යටතේ සිටි පෘතුගීසි හේවායන්ගේ ක්‍රියා කලාපය නිසා ඔහු කෙරෙහි උඩරට වැසියන්ගේ සිතෙහි ඇතිවී තිබුණු ප්‍රසාදය කෙටි කලකින්ම නැතිවී ගියා. ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනගත් දොන් ජෝන්, දොන් පිලිප් ඇතුළු පිරිස මරාදමා සිහසුන පැහැරගනු ලැබුවා. 

 දොන් ජෝන් හෙවත් කොනප්පු බණ්ඩාර කුමරු පළමු විමලධර්මසූරිය නමින් මහනුවර රජවීමෙන් පෘතුගීසීන් සහ සීතාවක රාජසිංහ රජතුමා කෝපයට පත්වුණා. රාජසිංහ රජතුමා ඔහුගේ සතුරා වුණු විමලධර්මසූරිය රජතුමාව පරාජය කිරීමට අරිට්ඨ කීවෙණ්ඩු බමුණා යටතේ සේනාවක් උඩරට බලා පිටත්කර හැරියා. විමලධර්මසූරිය රජුගේ සේනාව විසින් ඔවුන් පහසුවෙන්ම පරාජයට පත් කෙරුණා. සිය සේනාව පරාජයට පත්වුණු බව ඇසූ රාජසිංහ රජු තම නායකත්වය යටතේ නැවතත් උඩරට ආක්‍රමණය කළා

රාජසිංහ රජතුමා හින්දු ආගම වැළඳගෙන බුද්ධාගම විනාශ කරමින් සිටි නිසා උඩරට ජනතාව ඔහු සමග උරණව සිටියා. එම නිසා උඩරට වැසියන් වීරසුන්දර බණ්ඩාර සෙනවියාගේ පුත්‍රයාට සිය සහයෝගය ලබාදුන්නා. සීතාවක සිට පැමිණි රාජසිංහගේ හමුදාවත්, උඩරට සිට පැමිණි විමලධර්මසූරියගේ හමුදාවත් ගනේතැන්න ප්‍රදේශයේ දී මුණගැසුණා. එහි සිදුවූ සටනින් විමලධර්මසූරිය රජතුමාගේ සේනාවට ජය හිමිවුණා. රණශූරයෙකු වශයෙන් ප්‍රසිද්ධව සිටි සීතාවක රාජසිංහ රජතුමා පරාජයෙන් පසුව පළායන අවස්ථාවේ පෙතන්ගොඩ උයනේ දී උණ කටුවක් ඇණීම නිසා ඇතිවුණු තුවාලය හේතුවෙන් මරණයට පත්වුණු බව පැවසෙනවා. සිංහලයන්ගේ පක්ෂපාතීත්වය හිමිකරගත් කොනප්පු බණ්ඩාර 1592 වසරේ දී “විමලධර්මසූරිය” නමින් මහනුවර රජ වුණා.

විමලධර්මසූරිය රජතුමා (bp.blogspot.com) 

කලක් පෘතුගීසින් යටතේ සිටි අවුත්‍රියාවේ දොන් ජෝන් විමලධර්මසූරිය නමින් කන්ද උඩරට රජවීම පිළිබඳව පෘතුගීසින් කෝපයට පත්වුණා. එම නිසා ඔවුන් පේරෝ ලෝපේස් ද සූසා නම් සෙන්පතියා යටතේ සේනාවක් මහනුවරට යවනු ලැබුවා. කොළඹ සිට පැමිණි සේනාව පිළිගැනීමට රජුගේ සේනාවත් පෙරමඟට ගියා. 

එදා දන්තුරේ ප්‍රදේශයේ දී සේනාවන් දෙක මුහුණට මුහුණ හමුවුණා. සිංහල සේනාව එල්ල කළ ප්‍රහාර හමුවේ පෘතුගීසි සේනාව අන්ත පරාජයක් ලැබුවා. එම සටනින් පසුව පෘතුගීසින්ගේ ඉදිරිපෙළ නායකයන් රැසක් මරණයට පත්වුණු අතර, ලෝපේස් ද සූසා බරපතල තුවාල ලැබුවා. විමලධර්මසූරිය රජුගේ වෛද්‍යවරුන් පෘතුගීසි සෙන්පතියාට ප්‍රතිකාර කළත්, ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකිවුණේ නැහැ. පෙරදිග රටක පැවති සටනක දී සතුරන් අතින් මියගිය මුල්ම පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයා ලෙසින් ලෝපේස් ද සූසා ඉතිහාසගත වුණා.

අසවේදු ලංකාවට පැමිණීම 

දන්තුරේ සටනින් පසුව ලෝපේස් ද සූසා මියගිය නිසා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වුණා. එදා එම පළාත්වල ජීවත්වුණු සිංහලයන් පෘතුගීසීන්ට එරෙහිව කැරළි ගැසීමට සූදානම් වන බවට රාවයක් පැතිර ගියා. එය ඇසීමෙන් ගෝවේ සිටි පෘතුගීසි ප්‍රතිරාජයා තරමක් කලබලයට පත්වුණා. එනිසා ලංකාවේ පෘතුගීසි පාලන ප්‍රදේශවල පැවති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට හැකි සෙන්පතියෙකු එහි යැවීමට පෘතුගීසි ප්‍රතිරාජයා තීරණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ජෙරනිමෝ ද අසවේදු නම් කෲරතර සෙන්පතියා කපිතාන් ජෙනරාල්වරයෙකු වශයෙන් උසස්කර ලංකාවට යවනු ලැබුවා. 

ජෙරනිමෝ ද අසවේදු (Blogger)

පැමිණි විගසම සිංහලයන්ට හිංසා කරයි 

සිංහලයන් සමග දැඩි වෛරයකින් පසුවුණු අසවේදු ලංකාවට පැමිණ ටික දිනකින් සිය කෲරත්වය ප්‍රදර්ශනය කළා. පෘතුගීසි භටයන් 900ක් සහ ලස්කිරිඤ්ඤ භටයන් 2000ක් සමගින් සියනෑ කෝරළයට කඩා වැදුණු අසවේදු සිංහල ගම් පිටින් වනසන්නට පටන්ගත්තා. එම ගම්වල සිටි කුඩා ළදරුවන්ව අල්ලාගත් මේ සෙන්පතියා ඔවුන්ව උඩදමා කඩු අගින් අල්වා, “කුකුළු පැටව් මොරදෙන හැටි බලාපල්ලා” යනුවෙන් අවට සිටි පිරිසට පැවසූ බව කියැවෙනවා. මෙම සංහාරයේ දී පෘතුගීසි භටයන් අතින් ගර්භණී කාන්තාවන් පවා ඝාතනයට පත්වුණා. ලංකාවට පැමිණි විගසම අසවේදු සිදුකළ මිනිස් සංහාරය නිසා ඔහුට එරෙහිව බොහෝ ප්‍රදේශවලින් විරෝධතා මතුවුණා. 

දොමිංගෝ කොරයාගේ නැගී සිටීම 

තමන්ට එරෙහිව මතුවුණු කැරලි මර්ධනය කිරීමට දොමිංගෝ කොරයා හෙවත් එදිරිල්ලේ රාල යැවීමට පෘතුගීසීන් තීරණය කළා. සිංහලයන්ගේ විරෝධතා මර්ධනය කිරීමට ගිය දොමිංගෝ කොරයාට ටික කලකින් තමා රට ජාතියට කරන ද්‍රෝහිකම තේරුම්ගියා. එම නිසා ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමා පෘතුගීසීන්ගේ සහ කතෝලික ආගමේ සතුරෙකු බව යි. ඉන්පසු ඔහු පෘතුගීසීන්ව මෙරටින් පන්නා දැමීමට සහාය වන ලෙස සිංහලයන්ගෙන් ඉල්ලා සිටියා. එදිරිල්ලේ රාලගේ වචනයට ගරු කළ බොහෝ සිංහලයන් ඔහු වටා එකතුවුණා.

මෙසේ එක්වුණු සිංහල සේනා පෘතුගීසි බලකොටුවලට පහරදුන්නා. මෙයින් පෘතුගීසීන් අන්ත අසරණ තත්ත්වයකට පත්වුණත් ඔවුන් ප්‍රතිසංවිධානයවී සිංහල සේනාවට පහරදුන්නා. සමරකෝන් රාල ප්‍රමුඛ පෘතුගීසි සේනාව එල්ලකළ ප්‍රහාරය හමුවේ එදිරිල්ලේ රාලගේ සිංහල සේනාවේ විශාල පිරිසක් මරු වැළඳගත්තා. ඒ අතරතුර එදිරිල්ලේ රාල උඩරට සිටි විමලධර්මසූරිය රජු වෙත පළා ගියා. රජතුමා එදිරිල්ලේ රාල “එදිරිමාන්නසූරිය බණ්ඩාර” ලෙසින් සීතාවක රජකමට පත්කරවනු ලැබුවා.

එදිරිමාන්නසූරියගේ අවසානය 

එදිරිමාන්නසූරිය බණ්ඩාර රජතුමා කැටිව 8000ක පමණ මහා සෙනගක් සීතාවක බලා පිටත්වගියා. නමුත් සීතාවකට පැමිණි එදිරිමාන්නසූරිය බණ්ඩාරට වැඩි කලක් යන්නට මත්තෙන් සතුරාගෙන් ප්‍රහාරයක් එල්ල වුණා. එම දරුණු ප්‍රහාරය හමුවේ ඔහුගේ සේනාවෙන් විශාල පිරිසක් මියයද්දී ඉතිරි පිරිස පලායන්නට වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එදිරිමාන්නසූරිය බණ්ඩාරටත් සැඟවී සිටින්නට සිදුවුණා. ඒ අතරතුර පෘතුගීසි සෙනෙවියෙකු වුණු සමරකෝන් රාළ අණබෙරකරුවන් යොදවා එදිරිමාන්නසූරිය රජුගේ හිස ගෙනැවිත් දෙන කෙනෙකුට විශාල ත්‍යාග මුදලක් ලබාදෙන බව දන්වා සිටියා.

ඒ වන විට දින ගණනාවක් නිරාහාරව සිටි එදිරිමාන්නසූරිය රජු කෑමට යමක් සොයාගෙන මහළු කාන්තාවක් සිටි නිවසකට ගොඩ වැදුණා. තමා කවුදැයි අනාවරණය කළ ඔහු උදව් කරන මෙන් ඉල්ලා සිටියා. එසේ උපකාර කළොත් ඉදිරි අනාගතයේ දී මහළු කාන්තාව ඇතුළු පවුලේ උදවියට උදව් කරන බවට ඔහු පොරොන්දු වුණා. නමුත් තමන් අතට පැමිණි වාසනාවට පයින් ගැසීමට අකමැති වුණු කාන්තාව එදිරිමාන්නසූරිය පිළිබඳව ඔත්තුව සමරකෝන් රාලට ලබාදුන්නා. ඉක්මනින්ම ක්‍රියාත්මක වුණු සමරකෝන් රාල සිය සතුරාව අල්ලාගෙන අසවේදුට බාරදුන්නා. අසවේදුගේ නියෝගය මත එදිරිමාන්නසූරියගේ අත්, කකුල් කපා දරුණු ලෙස වධහිංසා පමුණුවා මරා දමනු ලැබුවා.

සිංහලයන් සහ පෘතුගීසීන් අතර ඇතිවුණු සටනක සිතුවමක් (Prasanna Weerakkody)  

විමලධර්මසූරිය රජතුමා අසවේදුට කළ ඇරයුම 

වස්තුවට සහ ධනයට අධික ලෙස ආශා කළ අසවේදු, දොන් ජුවන් ධර්මපාල රජතුමා සතුව තිබුණු ධනය පවා බලහත්කාරයෙන් පැහැරගත්තා. ඉන්ටික කලකින් දොන් ජුවන් ධර්මපාල රජු මියයන විට කෝට්ටේ රාජධානිය තෑගි ඔප්පුවක් මඟින් පෘතුගීසීන්ට පවරා තිබුණා. එම නිසා මරණය සිදුවී දින කිහිපයකින් කෝට්ටේ රාජධානියට අයත්වුණු ප්‍රභූන්ව කැඳවූ අසවේදු සුප්‍රකට මල්වාන ගිවිසුම අත්සන් කරනු ලැබුවා. ඒ වන විට අසවේදු පෑ හපන්කම් නිසාම ඔහු සමග සාමයෙන් සිටීමට විමලධර්මසූරිය රජතුමාට උවමනාවී තිබුණා. 

නමුත් පෘතුගීසීන් කෝට්ටේ සහ සීතාවක යන රාජධානිවල අයිතිය ඒ වන විටත් තහවුරු කරගෙන සිටි නිසා  ඔවුන්ට අවශ්‍ය වුණේ හැකි ඉක්මනින්ම කන්ද උඩරට අල්ලා ගැනීමට යි. එම නිසා පෘතුගීසීන් සාමයට කැමති වුණේ නැහැ. පෘතුගීසීන් සාමයට අකමැතිවීම නිසා කෝපයට පත්වුණු විමලධර්මසූරිය රජතුමා විශාල සේනාවක් සතර කෝරළයට පහරදීම සඳහා පිටත්කර හැරියා. එය අසා අසවේදු සෙන්පතියා ගැස්පර් කොරයා නම් සෙනෙවියා යටතේ සේනාවක් රජුගේ සේනා එන පෙරමඟට යැව්වා.

විමලධර්මසූරිය රජුගේ සේනාවන් අතින් ගැස්පර් කොරයාගේ සේනාව අන්ත පරාජයකට ලක්වුණා. ඉන්පසුව සතර කෝරළය අල්ලා ගැනීමට ගිය සටනේ දී රජුගේ සෙනෙවියෙකු වුණු පුස්සැල්ලේ රාළ අසවේදුගේ පාර්ශවයට එකතුවුණා. එය ඇසීමෙන් කෝපයට පත්වුණු විමලධර්මසූරිය රජතුමා පුස්සැල්ලේ රාල නම් සෙනෙවියාව ජීවග්‍රහයෙන් අල්ලාගෙන මරණයට පත්කළා. පසුව උපක්‍රමශීලීව සේනා මෙහෙයවූ රජතුමා සතර කෝරළේ සටන ජයග්‍රහණය කළා.

බලන සටන 

එකල කන්ද උඩරට ස්වාධීන රාජ්‍යයක් තිබීම මහත් හිසරදයක් වුණු නිසා පෘතුගීසීන් කන්ද උඩරට ආක්‍රමණය කිරීමට තීරණය කළා. ඒ අනුව 1602 දී සටන සඳහා කොළඹින් පිටත්වුණු පෘතුගීසි සේනා බුද්දස්සගොඩ, අට්ටාපිටිය, ගනේතැන්න, අළුත්නුවර වැනි බලකොටු ප්‍රබල සටන්වලින් පසුව අල්ලාගත්තා. ඉන් පසුව පරංගි සේනා බලන බලකොටුව අල්ලාගැනීම සඳහා සූදානම් වුණා. ඒ අනුව 1603 ජනවාරි මාසයේ දී සුප්‍රකට බලන සටන ආරම්භ වුණා. එදා පෘතුගීසි සේනාව බලනට එන විට විමලධර්මසූරිය රජතුමා උපක්‍රමශීලීව පසුබැස ගිය නිසා බලන කොටුව පෘතුගීසීන්ට හිමිවුණා. 

පෘතුගීසීන් සිතුවේ බලන අල්ලාගත් ඔවුන්ට කන්ද උඩරට අල්ලාගැනීම ඉතාමත් පහසු කාර්යයක් බව යි. නමුත් ඉතාමත් උපායශීලී රජකෙනෙකු වුණු විමලධර්මසූරිය ගරිල්ලා සටන් ක්‍රම අනුගමනය කිරීමට දක්ෂයෙකු වුණා. රජු උපක්‍රමශීලීව, සිය පළමු සැලසුම ක්‍රියාත්මක කරමින් පෘතුගීසීන් සතුව තිබුණු  තවලම්පිටිය බලකොටුවට පහරදුන්නා. ඒ මොහොතේ දී බලන බලකොටුවේ රැඳී සිටි පෘතුගීසි භට පිරිසක් තවලම්පිටියට යවනු ලැබුවා. ඉන් පසුව සිය දෙවන සැලසුම ක්‍රියාත්මක කළ රජතුමා පෘතුගීසි ලස්කිරිඤ්ඤ හමුදාව භාරව සිටි කාංගරආරච්චි නම් සෙනෙවියාව සිය පැත්තට නම්මවා ගත්තා.

එම සැලසුම සාර්ථකවීමෙන් පසුව සිය තෙවන සැලසුම ක්‍රියාත්මක කළ රජතුමා බලන බලකොටුව වටකර එහි සිටි අසවේදු ඇතුළු පිරිසට ප්‍රහාර එල්ල කළා. ඒ වන විට බලන බලකොටුවේ රැඳී සිටියේ සීමිත පෘතුගීසි භට පිරිසක් නිසා, සිංහලයන්ගේ ප්‍රහාර හමුවේ ඔවුන්ට පළායාමට සිදුවුණා. එදා විමලධර්මසූරිය රජතුමාගේ සේනාව එළව එළවා සිදුකර ප්‍රහාර හමුවේ පසුබැස ගිය පෘතුගීසීන් අසීරුවෙන් මල්වාන බලකොටුවට ගොස් ජීවිත බේරාගත්තා.

බලන කොටුව   (Sri lanka Archeology)

සෙනරත් රජුගේ කාලයේ දී උඩරටට එල්ල කළ ප්‍රහාරය 

1604 වසරේ දී පළමුවන විමලධර්මසූරිය රජතුමා මරණයට පත්වීමෙන් පසුව සෙනරත් රජතුමා කන්ද උඩරට රජු බවට පත්වුණා. එම රජතුමා රාජ්‍යත්වයට පත්වී වසර කිහිපයක් ගතවන විට ඔහු සටනට දක්ෂයෙකු නොවන බව අසවේදුට අවබෝධ වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ඌව වෙල්ලස්සට සහ මාතලේ යන ප්‍රදේශවලට සේනා යවනු ලැබුවා. අසවේදු අණකර සිටියේ වයස 14ට වැඩි සෑම පිරිමියෙක්ම ඝාතනය කරන ලෙස යි. එසේම ඊට අඩු වයසේ පිරිමි ළමුන් වහලුන් ලෙස අල්ලාගෙන ඒමටත් නියෝග කළා.  

එම ප්‍රහාර හමුවේ කන්ද උඩරට රාජධානිය අඩපණවීමෙන් පසුව අසවේදු විශාල සේනාවක් සමගින් මහනුවර බලා පිටත් වුණා. අසවේදු ප්‍රමුඛ සේනාව මහනුවර බලා එන අතරතුර සෙනරත් රජතුමා දළදා වහන්සේ ඇතුළු වටිනා වස්තුව රැගෙන මහියංගනයට පළාගියා. පසුව මහනුවරට පැමිණි අසවේදු එහි වෙහෙර විහාර විනාශ කොට, වස්තුව කොල්ල කා, සිංහල ජනයාට අඩන්තේට්ටම් කර මහා විනාශයක් සිදුකළා. උඩරට රාජධානිය විනාශ කිරීමෙන් පසුව බලන බලකොටුවේ පෘතුගීසි භට පිරිසක් රඳවා අසවේදු යළි කොළඹ බලා පිටත්වුණා. එදා පෘතුගීසි සෙන්පති අසවේදු සමග සාමදාන වුණු සිංහල රජතුමා යළි සිය රාජධානිය වෙත පැමිණියා.

ලංකාවෙන් නික්ම යාම 

වසර 19ක් පුරාවට ලංකාවේ පෘතුගීසි පාලන ප්‍රදේශවල කෲරතර පාලනයක් ගෙන ගිය අසවේදු 1613 වසරේ දී ලංකාවෙන් නික්ම ගියා. ඒ, ඔහුට පෘතුගීසීන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය වුණු ගෝවේ විසුරේ තනතුර ලැබීම නිසා යි. අසවේදු ලංකාවෙන් නික්මයාම මෙරට ජනතාවට සැනසිල්ලක් ගෙනදුන් සිදුවීමක් වුණා. නමුත් අසවේදු මෙරටින් නික්මයාමට පෙර ඊළඟට පත්වීමට නියමිතව සිටි පෘතුගීසි ආණ්ඩුකාරයාට යම් උපදේශයක් ලබාදුන්නා. ඒ, සිංහලයන්ට හැකිතරම් කෲර අයුරින් සලකන ලෙස යි. 

අසවේදුගේ අවසානය 

අසවේදු නිලයෙන් සහ බලයෙන් කෙතරම් ඉහළ මට්ටමකට ළඟා වුණත් ඔහු කළ අපරාධවල වන්දි ගෙවීමට සිදුවුණා. එකල අසවේදු කළ අපරාධ සහ වංචනික ක්‍රියා පිළිබඳව තොරතුරු පෘතුගාලයේ රජතුමාට ආරංචි වුණා. ඒ සමගම පෘතුගාලයේ රජතුමා ඔහුව විසුරේ ධූරයෙන් පහකොට යළි පෘතුගාලයට කැඳවනු ලැබුවා. ඉන් අනතුරුව අසවේදුට එරෙහිව දීර්ඝ නඩු විභාගයක් පවත්වනු ලැබුණා. එහි දී අසවේදු සියලුම චෝදනාවලට වැරදිකරු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුවල් ලිස්බන් නගරයේ අඳුරු බිම්ගෙයක් තුළ සිරකිරීමට රජතුමා නියෝග කළා. 1625 වසර වන තෙක් සිරකරුවෙකු ලෙස දුක් සහිත දිවියක් ගතකළ අසවේදු එම සිර කුටිය තුළ දීම මරණයට පත්වුණා. 

කවරයේ ඡායාරූපය- Prasanna weerakkody   

මූලාශ්‍රයයන්- මහාවංසය 

පළමු විමලධර්මසූරිය රජතුමා- සෝමදාස අබේවික්‍රම 

Related Articles