ලංකා ඉතිහාසය තුළ පැවති රාජධානි අතුරින් අනුරාධපුර රාජධානියට සුවිශේෂී ස්ථානයක් හිමි වන්නේ එය වසර 1400කට ආසන්න කාලයක් පැවතෙමින් රජවරුන් 124ක් පමණ පාලනය කළ නිසා යි. එම කාලසමය තුළ අනුරාධපුර නගරයේ සුවිසල් නිර්මාණ ඉදිවුණු අතර, එම නිර්මාණ අදටත් කියාපාන්නේ එකල අනුරාධපුර රාජධානියේ පැවති සෞභාග්‍යමත් බව යි. එලෙස අදටත් අනුරපුරයේ දක්නට ලැබෙන නටබුන් අතුරින් ජේතවනාරාම ස්තූපයට විශේෂ ස්ථානයක් හිමි වන්නේ එය ගඩොලින් නිම කළ සුවිසල් නිර්මාණ අතුරින් එකක් නිසා යි. 

ස්තූපය ඉදිකිරීමට හේතු වුණු රසවත් සිදුවීම 

ලංකාවේ මහායාන ධර්ම ප්‍රචාරය කිරීම සඳහා වෝහාරික තිස්ස රජුගේ සමයේ මුල්ම වරට භික්ෂූන් පිරිසක් පැමිණියත්, රජතුමා එම භික්ෂූන්ට දැඩි දඬුවම් ලබාදුන් නිසා ලංකාව තුළ මහායාන ධර්ම ප්‍රචාරය බොහෝ කලක් යනතුරු සිදුවුණේ නැහැ. නමුත් කාලයක් නැවතී තිබුණු මහායාන ධර්ම ප්‍රචාරණය නැවතත් ආරම්භ වුණේ ගෝඨාභය රාජ්‍ය සමයේ දී යි. එසේ ආරම්භ වුණු මහායාන ධර්ම ප්‍රචාරණයෙන් වන හානිය මහා විහාරික භික්ෂූන් වහන්සේලාට අවබෝධ වුණා. එම නිසාම උන්වහන්සේලා රජුට පවසා සිටියේ ලංකාවේ මුල සිටම සුපිරිසිදු ථෙරවාදී බුදු දහම පැවති බවත්, මහායාන බුදු දහම මිත්‍යාව පතුරන එකක් නිසා ඉන් ශාසනයට  හානියක් වන බව යි. එහි දී එම භික්ෂූන් වහන්සේලාගේ අදහස් පිළිගත් ගෝඨාභය රජු මහායාන භික්ෂූන් වහන්සේලාව අල්ලාගෙන රත් වූ යකඩයකින් සලකුණක් තබා ඔවුන්ව පිටුවහල් කළ නිසා ඔවුන් ඉන්දියාවට පලා ගියා. එසේ පලා ගිය භික්ෂූන් ඉන්දියාවේ රැඳී සිටි කාලය තුළ එම කණ්ඩායමේ සිටි භික්ෂූන් වහන්සේ කෙනකුට සංඝමිත්‍ර නම් ගෝලයෙක් සිටියා. සංඝමිත්‍ර දිනක් ගුරු හාමුදුරුවන්ගේ සිරුරේ තිබුණු පිළිස්සුණු සලකුණ ගැන ප්‍රශ්න කළ විට එම හාමුදුරුවෝ විසින් සංඝමිත්‍රට අතීත කතාව කියනු ලැබුවා. එම කතාව ඇසීමත් සමගම ගෝඨාභය රජු සහ මහා විහාරය පිළිබඳව සංඝමිත්‍රගේ හිතේ වෛරයක් ඇති වුණා. 

මහා විහාරයට අයත් වන රුවන්වැලි මහා සෑය (gettyimages)

එම නිසාම ගෝඨාභය රජුගෙන් සහ මහා විහාරයෙන් පලිගැනීම සඳහා ලංකාවට පැමිණි සංඝමිත්‍ර නම් භික්ෂුව මුලින්ම කළේ ගෝඨාභය රජු සමග සමීප මිතුදමක් ගොඩනගා ගැනීම යි. එහි දී සංඝමිත්‍ර සිතූ ආකාරයටම  ගොඩනැගුණු එම මිතුදම කාලයත් සමග වර්ධනය වුණා. එම නිසාම රජු ඔවුන්ගේ පුතුන් දෙදෙනා වුණු ජෙට්ඨතිස්ස සහ මහසෙන්ට ශිල්ප ඉගැන්වීමට භාර කළේත් සංඝමිත්‍ර නම් භික්ෂුවට යි. එහි දී සංඝමිත්‍ර නම් භික්ෂුව කුමාරවරුන් දෙදෙනාට මහායාන ධර්මය ඉගැන්වීම ඇරඹුවේ සැලසුමේ ඊළඟ පියවර ලෙසින්. නමුත් ජෙට්ඨතිස්ස මෙම භික්ෂුවගේ අදහස් පිළිනොගත්ත ද, මහසෙන් මෙම භික්ෂුවගේ ඉගැන්වීම් හිස් මුදුනින්ම පිළිගැනීම සංඝමිත්‍රගේ සැලසුම් සාර්ථක කරගැනීමට උදව්වක් වුණා. මේ අතර හදිසියේම ගෝඨාභය රජු මියයාම නිසා රජකම වැඩිමහල් පුතු වුණු ජෙට්ඨතිස්සට උරුම වුණා. නමුත් ජෙට්ඨතිස්ස, මෙම භික්ෂුවගේ අදහස් පිළිනොගැනීම නිසා ඔහුව මරා දමා මහසෙන්ව රජ කරවීමට සංඝමිත්‍ර රහස් සැලැස්මක් සකස් කළා. ගෝඨාභය රජුගේ ආදාහන උත්සවයේ දී ක්‍රියාවට නැංවීමට සිටි එම රහස් සැලැස්ම කල් ඇතුවම ආරංචි වීම නිසා ඉන් බේරුණු ජෙට්ඨතිස්ස පසුව රජ වුණු නිසා සංඝමිත්‍ර නැවතත් ඉන්දියාවට පලා ගියා. ඉන්පසුව, වසර කීපයක් රජකම් කිරීමෙන් අනතුරුව ජෙට්ඨතිස්ස මියගිය නිසා මහසෙන් රාජ්‍යත්වයට පත් වුණා. එලෙස මහසෙන් රජවීමෙන් පසුව නැවතත් ලංකාවට පැමිණි සංඝමිත්‍ර භික්ෂුව රජුගේ උපදේශක කෙනෙකු වෙමින් මහා විහාරයෙන් පලිගැනීම ආරම්භ කළා. එහි දී මහා විහාරයට දානය දීම තහනම් කළ රජතුමා, එලෙස දානය පූජා කරන අයට කහවණු 1000ක දඩයක් නියම කළ නිසා කලකිරුණු මහා විහාරික භික්ෂූන් වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වුණා.

මහසෙන් රජතුමාගේ පිළිමයක් (historyofsl.weebly.com) 

ඉන් අනතුරුව මහසෙන් රජතුමා විසින් මහා විහාරය විනාශ කර දැමීම නිසා උරණ වුණු රට වැසියන් රජුට එරෙහිව කැරලි ගැසුවා. එම කැරැල්ල සඳහා නායකත්වය ලබා දුන්නේ රජුගේ හොඳම මිතුරෙකු වුණු  මේඝවන්ණාභය නම් ඇමතිවරයා යි. එහි දී මේඝවන්ණාභය සිය හමුදාව රැගෙන මාලිගාවට පහරදීමට පැමිණෙන බව ආරංචි වුණු නිසා රජතුමා සිය රාජකීය හමුදාව සමග ඉදිරියට ගියේ ඔහු මාලිගාවට පැමිණීම වැළැක්වීමට යි. එලෙස යන ගමනේ දී විශාල තැනිතලා බිමක දී එකිනෙක හමුවුණු සේනා එදින රාත්‍රියේ දෙපසින් කඳවුරු බැඳගත්තේ පසුදා සටන් කරන අරමුණෙන්. නමුත්, එදින රාත්‍රියේ මේඝවන්ණාභයට රසවත් මස් ආහාරයක් හමුවුණා. කුඩා කාලයේ සිටම ඔහුගේ හොඳම මිතුරා ලෙසින් සිටි මහසෙන්ට නොදී එය අනුභව කිරීමට අකමැති වුණු මේඝවන්ණාභය මහසෙන් රජුගේ කඳවුර වෙතට ගියේ ඔහු සමග එය ආහාරයට ගැනීමට යි. එහි දී මේඝවන්ණාභය දැක පුදුමයට පත් මහසෙන් රජු මෙසේ අරගල කිරීමට හේතුව විමසූ කල  ඇමතිවරයා රජුගේ වැරදි ක්‍රියා කලාපය පිළිබඳව හොඳින්ම පහදා දුන්නේ ඔහුගේ හොඳම මිතුරා ලෙසින්. එම අවස්ථාවේ දී මේඝවන්ණාභයගේ වදන් ඇසූ රජතුමා තමා ගැනම ලැජ්ජාවට පත් වී මහා විහාරයට කළ හානිය වෙනුවෙන් මහා විහාරයට අයත් ජෝතිවනයේ ජේතවනාරාමය නමින් දාගැබක් සැදීමට තීරණය කළා.

ස්තූපය ඉදිකළ ආකාරය 

අක්කර 8ක භූමියක ඉදිකළ මෙම ස්තූපය සෑදීමේ දී ආසන්න වශයෙන් ගඩොල් 93,300,000 වැය කළ බව සඳහන් වනවා. එසේම මෙම ස්තූපය අඩි 28ක් පමණ ගැඹුරු ගඩොල් පාදමක් මත සාදා තිබීම එම අවදියේ ලංකාව තුළ පැවති ඉහළ තාක්ෂණික ක්‍රම පිළිබඳව සාක්ෂ්‍ය සපයනවා. සියලු දෙනාගේම කැප කිරීමෙන් මෙම ස්තූපය නිම කළ පසුව එහි උස අඩි 400ක් ලෙස සටහන් වුණේ, එම අවදියේ ලෝකයේ තෙවැනියට උසම ස්මාරකය වෙමින්. එලෙස අසීරුවෙන් මෙම ස්තූපය ගොඩනැගුවත් ස්තූපයෙහි තැන්පත් කිරීමට ධාතූන් වහන්සේලා නොලැබුණු නිසා රජතුමා දැඩි කලකිරීමෙන් පසු වුණා. නමුත්, එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේගේ පටී ධාතුව අහසේ පහළ වුණු  බවත් ඉන්පසුව, රජතුමා සිය කඩුවෙන් ඉන් කැබැල්ලක් කපාගෙන මෙම ස්තූපයේ තැන්පත් කළ බව ද ජනප්‍රවාදයේ සඳහන් වනවා.

 පටී ධාතුව අහසේ පහළ වුණු අවස්ථාව දැක්වෙන සිතුවමක් ( historyofsl.weebly.com)

එක් එක් රජවරුන් කළ ප්‍රතිසංස්කරණ

ක්‍රි .ව. 459-477 අතර රජකම් කළ ධාතුසේන රජතුමා ඡත්‍රය නැවත ප්‍රතිෂ්ඨාපනය කළ අතර, ක්‍රි. ව. 573-575 කාලසමයේ රජකම් කළ මහානාග රජු දාගැබේ සුණු පිරියම් කර ඇත් පවුර පිළිසකර කළා. ඉන් අනතුරුව, ක්‍රි. ව. 575-605 අතර රජ කළ පළමු අග්බෝ රජු ස්තූපය මත මැණික් එබ්බ වූ රුවන්මය ඡත්‍රයක් නංවනු ලැබුවා.  ඔවුන්ගෙන් පසුව රජ වුණු විවිධ රජවරුන් ස්තූපයේ දියුණුව වෙනුවෙන් විවිධ දේවල් කළත්, අනුරාධපුර රාජධානියේ අවසානයත් සමග එල්ල වුණු සොළී ආක්‍රමණයෙන් පසුව ස්තූපය විනාශ වුණා.

ජේතවනාරාම ස්තූපය 19 වන සියවසේ අග භාගයේ දී දිස්වුණු අයුරු (Lankapura.com)

ස්තූපයේ උස අඩු කිරීම 

අනුරාධපුර යුගය අවසන් වීමෙන් පසුව ඇති වුණු පොළොන්නරු යුගයේ සිටි ප්‍රබලම පාලකයෙකු වුණේ මහා පරාක්‍රමබාහු රජතුමා යි. එම රජතුමා සොළීන් විසින් විනාශ කළ අනුරාධපුරයේ නටබුන් ප්‍රතිසංස්කරණය කිරීමට වෙනම ඇමතිවරයෙක් පත් කරනු ලැබුවා. එහි දී කළ ප්‍රතිසංස්කරණවලට අනුව දාගැබේ උස අඩි 400 සිට අඩි 232 දක්වා අඩු කරනු ලැබුවා. එලෙස දාගැබේ උස අඩු කිරීම දාගැබ ගිලා බැසීමට පිළියමක් ලෙසින් කළ දෙයක් වන්නට ඉඩ තිබෙනවා. එම උස අඩු කිරීම නිසා වර්තමානය වන විට ජේතවනාරාමය ලංකාවේ තෙවැනියට උසම දාගැබ බවට පත්ව තිබෙන බවත් මෙහි දී සිහිපත් කළ යුතු යි.

ජේතවනාරාම ස්තූපය 1965 වසරේ දී පමණ දිස්වුණු අයුරු (Sri Lanka-historical)

ස්තූපයේ වර්තමාන ස්වරූපය 

19 වන සියවසේ අග භාගයේ දී ගරා වැටී තිබුණු මෙම ස්තූපය සංරක්ෂණය කළ පුරා විද්‍යා කොමසාරිස් H.C.P බෙල් මෙම ස්තූපය විනාශ නොවී ආරක්ෂා කරගැනීමට සුවිසල් මෙහෙයක් කළා. පසු කලෙක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය යටතේ මෙහි කැණීම් කටයුතු මෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු කරමින් වර්තමානයේ දී ස්තූපය දිස්වන තත්ත්වයට පත් කර තිබෙනවා.

ජේතවනාරාම ස්තූපය වර්තමානයේ දී දිස්වන අයුරු (gettyimages)

කවරයේ ඡායාරූපය- ජේතවනාරාම ස්තූපයේ වර්තමාන ස්වරූපය (gettyimages)

මූලාශ්‍රයයන්:

1) පුරාණ අනුරාධපුරය- මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න

2) මහාවංසය