40 දශකයේ දී පාර්සල් බෝම්බයක් නිසා සිදුවුණු ඛේදවාචකය

වර්තමානයේ ලංකාව මිනීමැරුම්, දූෂණ, වංචාවන්ගෙන් පිරුණු රටක්. ඒවා මාධ්‍යයන් විසින් වැඩි බරක් ද දෙමින් ප්‍රචාරය කෙරෙන නිසා “මිනීමැරුම” යන වචනය ලාංකිකයන්ට සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. නමුත් මීට දශක අටකට පමණ පෙර අප රට තුළ අද මෙන් නිතර මිනිමැරීම් වැනි අපරාධ සිදුවුණු බවක් අසන්නට ලැබුණේ නැහැ. එකල මිනීමැරුමක් සිදුවුණේ කලාතුරකින් නිසා, එසේ වාර්තා වුණු මිනීමැරුම් බොහෝමයක් පිළිබඳව මිනිසුන් උනන්දුවක් දැක්වුවා. හාර ලක්ෂයේ මංකොල්ලය, ඇඩ්ලින් විතාරණ ඝාතනය, සතාසිවම් සිද්ධිය, මැතිව් පීරිස් සිද්ධිය, පද්මිණී කුලරත්න ඝාතනය එලෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණු ආන්දෝලනාත්මක සිදුවීම් අතරට එක් වුණා. 

එම ඝාතනවලට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයේ ඝාතනයක් 1948 වසරේ දී කඩුගන්නාව ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා. එහිදී චූදිතයා බවට පත්වුණු ලේනදූව ලොකුගේ ජයවර්ධන නම් තැනැත්තා ඝාතනය සිදුකිරීම සඳහා, පාර්සල් බෝම්බයක් යොදාගැනීම නිසා එය කඩුගන්නාව පාර්සල් බෝම්බ සිද්ධිය ලෙසින් ප්‍රසිද්ධියට පත්වුණා. 

සමරසිංහ දරුවා මහනුවරට පැමිණීම 

එස්.එම් සමරසිංහ නම් දරුවා උපත ලැබුවේ 1930 වසරේ දී යි. කෑගල්ල ප්‍රදේශයේ කොබ්බෑවල නම් ග්‍රාමයේ හැදී වැඩුණු මෙම දරුවාගේ දෙමාපියන්ට එතරම් ධනයක් තිබුණේ නැහැ. එම නිසා සමරසිංහ දරුවා ගමේ පාසලෙන් මූලික අධ්‍යාපන කටයුතු හැදෑරුවා. ඔහු කුඩාකල සිටම හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරත වුණු නමුත් ගමේ පාසලෙන් ලැබුණු අධ්‍යාපනය ප්‍රමාණවත් නොවුණු නිසා සමරසිංහව මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කිරීමට ඔහුගේ දෙමාපියන් තීරණය කළා. ධර්මරාජ විදුහලට ඇතුළත් වුණු සමරසිංහට එහි නේවාසිකාගාරයේ නවාතැන් ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ, එහි ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් නොතිබුණු නිසා යි. 

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පැරණි ඡායාරූපයක් (Wikiwand) 

දිනපතාම සිය ගම් පළාතේ සිට මහනුවරට යාම සමරසිංහ සිසුවාට දුෂ්කර කාර්යයක් වුණා. එම නිසා ඔහු  මහනුවර රජ මාවතේ සිටි ගම්පහ වෙද මහතාගේ නිවසේ නවාතැන් ගෙන පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. 

අළුත් නවාතැනකට යාම 

ලේනදූව ලොකුගේ ජයවර්ධන නම් පුද්ගලයා දකුණු පළාතේ සිට මහනුවරට පැමිණි අයෙක්. මුලින්ම හෝටලයක වේටර්වරයෙකු ලෙසින් සේවය කළ ජයවර්ධන පසුව ජයසිරි ටේලරින් මාට් නමින් ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. ඔහු ඇඳුම් මැසීම පිළිබඳව මනා පළපුරුද්දක් තිබුණු තරුණයන් කිහිපදෙනෙකු ව්‍යාපාරය සඳහා එකතු කරගෙන තිබුණා. 

ජයවර්ධනගේ ඇඳුම් සාප්පුව පවත්වාගෙන ගියේ මහනුවර ත්‍රිකුණාමල වීදියේ පිහිටි නිවසක යි. එම නිවසේ පිහිටි කාමරයක් ආගන්තුකයන්ට නවාතැන් පහසුකම් ලබාදීම සඳහා වෙන් කර තිබුණා. 1944 වසරේ එක්තරා දිනයක දී සමරසිංහ දරුවා එම කාමරයේ නවාතැන් ගැනීමට පැමිණියා. ඒ වන විට ඔහු 9 වසරේ අධ්‍යාපනය ලබමින් සිටියා. අවිවාහක පුද්ගලයෙකු වුණු ජයවර්ධන, සිය නිවසේ නවාතැන් ගෙන සිටි සමරසිංහ දරුවාව හොඳින් රැකබලා ගත්තා. එම නිසා සමරසිංහට ඔහුගේ නවාතැන්පොළේ අයිතිකරුවා ගැන කිසිදු සැකයක් ඇතිවුණේ නැහැ. 

ත්‍රිකුණාමල වීදියේ පැරණි සිතුවමක් (Lankapura.com)

ජයවර්ධනගේ සැබෑ ස්වරූපය මතුවීම 

සමරසිංහ ක්‍රමයෙන් උස් මහත් වන විට ඔහුට කඩවසම් පෙනුමක් ලැබුණා. ඒ සමගම නවාතැනේ හිමිකරුවා වුණු ජයවර්ධන ඔහු සමග පමණට වඩා සමීප වීමට උත්සාහ කළා. ජයවර්ධන මාමාගේ සමීප මිතුදම පිළිබඳව වැරදියට නොසිතූ සමරසිංහ සුපුරුදු පරිදි ඔහුගේ අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. නමුත් සමරසිංහ එම හැසිරීමට විරෝධය නොපා නිහඬව සිටීම නිසා ජයවර්ධන වැරදි නිගමනයකට එළඹුණා. සමරිසි පුද්ගලයෙකු වුණු ජයවර්ධන සිතුවේ දරුවා ඔහු සමග සමරිසි ඇසුරකට කැමැත්තක් දක්වන බව යි. එම නිසා එක් දිනක රාත්‍රියේ ඔහු සමරසිංහ වෙත ගොස් සිය අදහස ඉදිරිපත් කළා. එය ඇසීමෙන් සමරසිංහ මහත් භීතියට පත්වුණු නිසා වෙනත් නවාතැනක් වෙත යාමට තීරණය කළා.

සමරසිංහ වෙනත් නවාතැනකට යයි 

සමරසිංහ පසුදින පාසලට ගොස් ඔහුගේ මිතුරෙකු වුණු කොඩිකාරට මෙම සිදුවීම පිළිබඳව විස්තර කළා. එය ඇසූ කොඩිකාර ඔහුට අළුත් නවාතැනක් සොයාදීමට පොරොන්දු වුණා. එසේම ඔහු පොරොන්දු වූ පරිදිම සමරසිංහට අළුත් නවාතැනක් සොයාදුන්නා. ඒ, බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටා තිබුණු, අල්විස් අප්පුහාමි නම් පුද්ගලයාගේ නිවස යි. සමරසිංහ අළුත් නවාතැනකට යාම නිසා ජයවර්ධන ශෝකයට පත්වුණා. ඔහු නිතර සමරසිංහ වෙත ලියුම් යවමින් යළිත් සුපුරුදු නවාතැන වෙත එන ලෙස ආයාචනා කළා. නමුත් සමරසිංහගෙන් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

ජයවර්ධනගෙන් දිගින් දිගටම කරදර 

සමරසිංහ විසින් ලියුම්වලට පිළිතුරු ලබා නොදීම නිසා කෝපයට පත්වුණු ජයවර්ධන දිනක් කොඩිකාර හමුවීමට ගියා. එහිදී ඔහු කොඩිකාරට පවසා සිටියේ තමා දරුවාට හොඳින් සැලකූ නිසා ආපසු පැරණි නවාතැනට සමරසිංහව එවන ලෙස යි. නමුත් සමරසිංහ සිසුවා යළිත් ජයවර්ධන වෙත පැමිණියේ නැහැ. ඒ පිළිබඳව උරණ වුණු ජයවර්ධන වෙනත් දිනක දී කොඩිකාරව හමුවී පිහියක් පෙන්වා තර්ජනය කළා. ඉන් නොනැවතුණු ජයවර්ධන, දරුවා නැවතී සිටි නිවසේ හිමිකරුවා වුණු අල්විස් අප්පුහාමිව හමුවෙමින් ළමයාව ඔහු වෙත එවන ලෙස විටින් විට කරදර කරනු ලැබුවා. ජයවර්ධන නිතරම පැමිණ කරදර කිරීම නිසා දරුවා අළුත් නවාතැනකට යාමට තීරණය කළා. ඔහුට ලැබුණු අළුත් නවාතැන වුණේ කඩුගන්නාවේ පිහිටා තිබුණු ටාර්සන් බස් සමාගමේ කන්තෝරු කාමරය යි. 

කඩුගන්නාව නගරයේ පැරණි දසුනක් (Lankapura.com)

ජයවර්ධන නොසන්සුන්තාවයට පත්වෙයි  

දරුවා අළුත් නවාතැනකට යාම පිළිබඳව ආරංචි වීමත් සමගම ජයවර්ධන නොසන්සුන්තාවයට පත්වුණා. සමරසිංහව සිය නවාතැනට ගෙන්වා ගැනීම සඳහා දැරූ සෑම උත්සාහයක්ම අසාර්ථක වීම නිසා ඔහු කෝපයට පත්ව සිටියා. එම නිසා මහනුවර ප්‍රදේශය පීරමින් ඔහු සමරසිංහව සෙව්වේ උමතුවට පත්වුණු පුද්ගලයෙකු ලෙසින්. දිනක් ජයවර්ධනට අහම්බෙන් සමරසිංහව හමුවුණා. යළි තමා වෙත එන ලෙස එහිදී ජයවර්ධන සමරසිංහට ආයාචනා කළා. නමුත් එයට සමරසිංහගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. එම අවස්ථාවේ දී කෝපයට පත්වුණු ජයවර්ධන සමරසිංහ දරුවාට පහරදුන්නා. මහමඟ දී සිදුවුණු එම පහරදීමේ සිද්ධියට නඩු පැවරීම හේතුවෙන් ජයවර්ධනට රුපියල් 5ක දඩයක් නියම වුණා. 

ජයවර්ධනගේ කුරිරු සැලැස්ම 

නඩුව සඳහා උසාවි බිමට පැමිණ සිටි ජයවර්ධන සහ සමරසිංහ එක් ස්ථානයක දී මුහුණට මුහුණ හමුවුණා. ඒ වන විට ජයවර්ධනගේ හිතේ සමරසිංහ ගැන තිබුණු ආදරය වෛරයකට පෙරළී තිබුණා. “උඹට කරන දේ බලාගනින්” යැයි පවසමින් එදා ජයවර්ධන සමරසිංහට තර්ජනය කළා. එම සිදුවීමෙන් පසුව ජයවර්ධන සහ සමරසිංහ යළි මුණගැසුණේ නැහැ. නමුත් ජයවර්ධන පුන පුනා පවසමින් සිටියේ ඔහු බෝම්බ සෑදීමට දන්නා නිසා පාර්සල් බෝම්බයක් යවා සමරසිංහව මරාදමන බව යී. ජයවර්ධනගේ එම කුරිරු ප්‍රකාශය ගැන සමරසිංහට ආරංචි වුණා. ඉන් කලබලයට පත්වුණු සමරසිංහ සිය සහෝදර සහෝදරියන්ට සහ හිතවතුන්ට පවසා සිටියේ තැපෑලෙන් පැමිණෙන කිසිදු පාර්සලයක් විවෘත නොකරන ලෙස යි. 

සැලසුම ක්‍රියාත්මක වෙයි 

සමරසිංහගෙන් පළිගැනීම සඳහා ජයවර්ධන සකස් කළ කුරිරු සැලසුමේ පළමු පියවර ක්‍රියාත්මක කළේ 1948 වසරේ ජනවාරි 20 වැනිදා යි. එදින යම් පුද්ගලයෙකු හැව්ලොක් ටවුමේ පිහිටි තැපැල් කාර්යාලයට පාර්සල් දෙකක් ගෙනැවිත් භාරදුන්නා. එම පාර්සල් දෙක යැවීමට නියමිතව තිබුණේ කඩුගන්නාවේ පදිංචිව සිටි සමරසිංහට සහ කෑගල්ල නෙළුන්දෙණියේ පදිංචිව සිටි ඔහුගේ සොයුරිය වුණු සෙනෙවිරත්න නෝනාට යි. පාර්සලය තැපැල් කළ පුද්ගලයාගේ නම ඒ. ඇම්. සෙනෙවිරත්න ලෙසින් සටහන් වී තිබුණා. එය සමරසිංහ දරුවාගේ මස්සිනාගේ නම වුණු නිසා එම පාර්සල අනිවාර්යයෙන්ම විවෘත කරනු ඇති බව ජයවර්ධනගේ අනුමානය වුණා. එදිනම කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයට තවත් පාර්සල් දෙකක් භාරදීමට ජයවර්ධන කටයුතු කළා. ඉන් එකක් සමරසිංහගේ සහෝදරයෙකු වුණු පොඩි නිලමේගේ නමට යි. අනිත් පාර්සලය සමරසිංහගේ නෑනා කෙනෙකු වුණු දිසානායකගේ නමට යි. එම පාර්සල් දෙක යවන්නා ලෙසින් සඳහන් වුණේ ගලපිටමඩ පාසලේ ඩබ්ලිව්. ටී. වික්‍රමසිංහ යි. 

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව අද වන විට (Colombo gazette)

සමරසිංහට අවාසනාවන්ත මරණයක් උරුම වෙයි 

පාර්සලය ලැබෙන විට සමරසිංහ පාසල් ගොස් සිටියා. එදිනම ඔහුගේ සොයුරා වුණු පොඩි නිලමේට ද පාර්සලයක් ලැබී තිබුණා. එම පාර්සලය ගැන සැක සිතූ පොඩි නිලමේ එයත් රැගෙන සමරසිංහ නැවතී සිටි නවාතැන වෙත යාමට පිටත් වුණා. ඒ අතරතුර නෙළුන්දෙණියේ විසූ සෙනෙවිරත්න මහත්මියට ලැබී තිබුණු පාර්සලය විවෘත කිරීමට ඇය උත්සාහ කළා. එය ඇයගේ සැමියා විසින් එවා තිබුණු නිසා ඇයට කිසිදු සැකයක් ඇතිවුණේ නැහැ. එම පාර්සලයේ අඳින්න යනුවෙන් ලියා තිබුණු ස්ථානය තෙක් ඇය පිහියකින් කපා දමනු ලැබුවා. එම කැපුම් පහරේ දී අඳින කම්බියට හානි වී තිබීම නිසා බෝම්බය පිපිරුණේ නැහැ. සමරසිංහගේ නෑනා වෙත ලැබී තිබුණු පාර්සලය විවෘත කිරීමේ දී බැටරි දෙකක් දැකීම නිසා ඇයට සැකයක්  මතුවුණා. එම නිසා පාර්සලය  සම්පූර්ණයෙන්ම විවෘත කළේ නැහැ.

පාසල නිමවා නවාතැනට පැමිණි සමරසිංහ විවේකයෙන් කාලය ගත කරමින් සිටියා. එම අවස්ථාවේ දී නවාතැනේ හිමිකරුවා විසින් සමරසිංහගේ පාර්සලය ඔහුට ලබාදුන්නා. තැපෑලෙන් ලැබෙන පාර්සල් විවෘත නොකරන ලෙස අනිත් අයට උපදෙස් දී තිබුණු සමරසිංහ එම පාර්සලය විවෘත කර බැලුවා. ඒ සමගම මහා ශබ්දයක් පිටකරමින් බෝම්බය පුපුරා ගියා. එහි දී බරපතල තුවාල ලැබූ සමරසිංහව රෝහලට ඇතුලත් කළත් ජීවිතය බේරාගැනීමට හැකිවුණේ නැහැ.  

පරීක්ෂණ ආරම්භ කරයි 

පාසල් සිසුවෙකු බෝම්බයක් නිසා මරණයට පත්වීම පිළිබඳව බොහෝ දෙනෙකු කම්පාවට පත්වුණා. එනිසා පොලිස් නිලධාරින් කඩිනමින් මෙම සිදුවීම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළා. ඔවුන් පුපුරා නොගොස් තිබුණු බෝම්බ තුන පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. ඩයිනමයිට් කූරු, ටෝච් බැටරි, ඩෙටනේටරයක්, සහ තඹ කම්බි සම්බන්ධ කර ඒවා සාදා තිබුණේ විවෘත කළ ක්ෂණයෙන් ඩෙටනේටරය ක්‍රියාත්මක වන ලෙස යි. පොලිස් නිලධාරින් ඉන් නිගමනය කළේ බෝම්බ සෑදීම පිළිබඳව මනා දැනුමක් තිබෙන පුද්ගලයෙකු විසින් මේවා සාදා තිබෙන බව යි.

ඉන්පසුව පොලිස් නිලධාරින් සෙනෙවිරත්න මහත්මියගේ සැමියාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළා. ඒ, පාර්සල් දෙක යැවූ තැනැත්තාගේ නම ලෙස ඔහුගේ නම සටහන් වුණු නිසා යි. එම ප්‍රශ්න කිරීම්වල දී ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු බව අවබෝධ වුණා. පොලිස් නිලධාරින්ගේ මීළඟ සැකය එල්ල වුණේ ජයවර්ධන වෙත යි. ටික කලක් ජයවර්ධන පිළිබඳව හොඳින් සෙවිල්ලෙන් සිටි නිලධාරින් අවසානයේ දී ඔහුව අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුවා. 

නඩු විභාගය ඇරඹෙයි 

1949 වසරේ මැයි 8 වැනිදා නඩු විභාගය ආරම්භ වුණා. එදා ආර්. එෆ් ඩයස් නම් විනිසුරුවරයා යටතේ ජූරිය රැස්වුණා. රජය වෙනුවෙන් අමීර් නම් නීතිඥවරයා පැමිණිල්ල මෙහෙයවන විට එලියන් පෙරෙයිරා නම් දක්ෂ නීතිඥවරයා විත්තිය වෙනුවෙන් පෙනී සිටියා. ජයවර්ධන විසින් මෙය කළ බවට ඇසින් දුටු සාක්ෂ්‍ය නොමැති වුණත්, අමීර් නීතිඥවරයා ප්‍රබල තර්ක ඉදිරිපත් කරමින් ජයවර්ධනව චූදිතයා කිරීමට උත්සාහ කළා. ඒ අතරතුර පෙරෙයිරා නීතිඥවරයා ද තර්ක ඉදිරිපත් කරමින් ජයවර්ධනව මුදා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වුණා.

තීරණය ලැබුණු දිනයේ වුණු අපූරු සිදුවීම 

ජයවර්ධන ජ්‍යෝතිෂය පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුවූ අයෙක්. නඩුවේ තීන්දුව ලබාදීමට නියමිතව තිබුණු දිනයේ උදෑසන පෙරෙයිරා නීතිඥවරයාට ජයවර්ධන විසින් පණිවිඩයක් යවනු ලැබුවේ ඔහුව හමුවීමට එන ලෙස යි. එදා පෙරෙයිරා නීතිඥවරයා උදෑසනින්ම ජයවර්ධනව හමුවීමට ගියා. එහිදී ජයවර්ධන පවසා සිටියේ ජූරිය විසින් නඩුවේ තීන්දුව 11ට පෙර ලබාදුන්නොත් තමාට නිදහස ලැබෙන බව යි. නමුත් එම කාලය පසුවී තීන්දුව ලැබුණොත් තමාට නියත වශයෙන්ම මරණ දඬුවම හිමිවනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා. එදින උදෑසන නඩුව කැඳවූ අවස්ථාවේ ඩයස් විනිසුරුවරයා ජූරි සභිකයන් අමතා මෙසේ පවසා සිටියා.

මහත්වරුනි, අප නිවැරදි අවබෝධයෙන් යුක්තිය ඉටු කළ යුතු යි. මෙම නඩුව හුදෙක් පරිවේෂණ සාක්කි මත පදනම් වී තිබෙන එකක්. මෙම තරුණයා මරා දැමුණු බිහිසුණු අන්දම ගැන සලකා බලන විට විත්තියට අගතියක් වීමේ සිතුවිලිවලින් අප සහමුලින්ම මිදී නැහැ. එහෙත් එවන් සිතුවිලි අපේ තීරණවලට බලපෑමක් සිදුකළොත් තර්කානුකූලව මෙම නඩු විභාගය දෙස බලා අවසානයේ සාධාරණ විනිශ්චයක් ලබාදීමට එය බාධාවක් වනු ඇති බවට සැකයක් නැහැ. විත්තිකරු බෝම්බය තනනු දුටු කිසිවෙක් හමුවුණේ නැහැ. එසේම එය තැපැල් කරනු දුටු කිසිවෙක් ද හමුවුණේ නැහැ. එම නිසා, මේ නඩුව සම්බන්ධයෙන් තව දුරටත් කටයුතු කිරීමට කැමති ද, එසේ නැතිනම් මෙතැනින් එය නැවැත්විය යුතු ද නැද්ද තීරණය කිරීම ජූරි සභිකයන් වන ඔබට බාර යි”.

ඩයස් විනිසුරුවරයාගේ ප්‍රකාශයෙන් පසුව ජූරි සභාව නැගිට ඒ අසල තිබුණු ජූරි කාමරය වෙතට ගියා. ඒ වන විට එහි තිබුණු ඔරලෝසුවේ වෙලාව දහය හමාර ලෙසින් සටහන් වුණා. ඔවුන් ජූරි කාමරය වෙත යන විට ජයවර්ධන සහ ඔහුගේ නීතිඥවරයා නොසන්සුන්තාවයට පත්වුණා. ජූරි සභිකයන් ඉක්මනින්ම නඩුවේ අවසන් තීරණය ප්‍රකාශයට පත්කිරීමට යළි එනු ඇති බව ඔවුන් දෙදෙනාගේ එකම පැතුම වුණා. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු කඩකරමින් ඔරලෝසුවේ පෙරවරු 11 සටහන් වීමත් සමගම “මම ඉවරයි සර්” යන වචන කිහිපය ජයවර්ධනගේ මුවින් නිකුත් වුණා. පෙරවරු 11.05ට කාමරයෙන් ඉවතට පැමිණි ජූරි සභාව සිය අවසන් තීරණය ලබාදුන්නා. එම තීරණයට අනුව ජයවර්ධනව එල්ලා මැරීමට නියම කර තිබුණා.  

ජයවර්ධනව එල්ලා මරා දමයි 

1949 වසරේ මැයි 20 වැනිදා ජයවර්ධනට එරෙහිව තීන්දුව ලබාදුන්නා. නමුත් එම තීන්දුවට අභියෝග කළ ජයවර්ධන එකල මෙරට අපරාද නීතියට අනුව පැවති ඉහළම ඇපැල් උසාවිය වුණු බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලය වෙත ඇපෑලක් යොමු කළා. නමුත් ඔහුගේ ඇපෑල ප්‍රතිකේෂ්ප කළා. ඔහුව මුලින්ම එල්ලා මැරීමට නියමිතව තිබුණේ මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ යි. නමුත් චූදිතයාගේ ඉල්ලීම පරිදි එය වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කරනු ලැබුවා. ඒ අනුව 1950 වසරේ මාර්තු 18 වැනිදා ලේනදූව ලොකුගේ ජයවර්ධන නම් අය වැලිකඩ බන්ධනාගාරයේ දී එල්ලා මරනු ලැබුනා. 

කවරයේ ඡායාරූපය- Stratfor

මූලාශ්‍රයයන්- posted to death- Jayantha gunasekara 

Related Articles