කඳුරුගොඩ පුදබිමෙන් මතුවන යාපනයේ පැරණිම ජනාවාසය

යාපනයට පැමිණෙන බෞද්ධයන්ගේ පළමු කැමැත්ත වන්නේ නාගදීප පූජාභූමිය වැඳපුදා ගැනීමයි. පුරාවිද්‍යාත්මක වශයෙන් නාගදීපයට වඩා ඉහළ වැදගත්කමක් හිමිකරගන්නා පුරාණ කඳුරුගොඩ විහාරය ඓතිහාසික නටබුන් වගේම ප්‍රාග් ඓතිහාසික ජනාවාස සහිත පුරාවිද්‍යා භූමියක් ලෙසත් හඳුන්වාදීමට පුළුවන්.

 ගමන් මඟ                                  

කඳුරුගොඩ පුදබිම – lifeoftravel.blogspot.com

යාපනය නගරය පසුකර චුන්නාකම් සිට කඳුරුගොඩ බලා යන ඔබට තල්වතු පිරුණු බිම් පෙදෙස්, තල්වැටවලින් වටවූ ගෙවතු සහිත යාපනයේ ගැමි පරිසරය දැකගැනීමට ලැබෙනවා. යාපනය නගරයේ සිට මානිපායි මාර්ගයේ   කිලෝමීටර 10ක් පමණ ගමන් කිරීමෙන් මේ පුරාවිද්‍යා භූමියට පැමිණීමට පුළුවන්. ප්‍රධාන මාර්ගය අද්දරමයි එය පිහිටා තිබෙන්නේ. චුන්නාකම් නගරයට කිලෝ මීටර පහක් දුරින් නිරිතදිගට වන්නට කඳුරුගොඩ පිහිටා තිබෙනවා.   

නම හැදුණු හැටි

විහාර බිමට මඟ පෙන්වන නාම පුවරුව– lifeoftravel.blogspot.com

කඳුරුගොඩ වචනයේ ‘කදුරු’ යන්න පාලි ‘කන්දර’ නාමයට සමාන බවත්, ඉන් දිය පහරක් හඳුන්වන බවත් එල්ලාවල මේධානන්ද හිමියන් පවසනවා. මෙම පුදබිම දිය කඳුරක් අසල බිමක පිහිටා තිබෙන්නට ඇති බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ. මෙයට නුදුරින් ගලා බස්නා වලූක ආරුව එම දිය මාර්ගය වීමට ඉඩ තිබෙනවා. මෙම ප්‍රදේශය මුලින්ම හඳුන්වා ඇත්තේ ‘කදුරුගොඩ’ යන සිංහල නමින්. එම වදනම දෙමළ උච්චාරණයට අනුව ‘කන්තරෝඩෙයි’ වී තිබෙනවා. පෘතුගීසි ලේඛනවල ‘කන්දර කුඩ්ඩෙ’ යනුවෙන් හඳුන්වා ඇත්තේ මෙම පුදබිමයි. මහනුවර යුගයේ ලියැවුණු නම් පොතෙත් කදුරුගොඩ විහාරය නමින් මෙය දක්වා තිබෙනවා.

මෑතක දී එහි විහාරයකට අවශ්‍ය නවාංග කිහිපයක් ද ඉදිකර තිබෙනවා. ඒ අතර කුඩා බුදුගෙයක් ද,රෝපණය කළ බෝධියක් ද තිබෙනවා.

පෝල් ඊ. පීරිස්ගේ ගවේෂණ

කැණීම්වලින් පෝල් පීරිස්ට හමුවූ දාගැබක හතරැස් කොටුවක් – Hyperleap.com

කිසිවකුගේ සැලකිල්ලට බඳුන් නොවී පැවැති මෙම භූමියේ ඓතිහාසික වැදගත්කම මුලින්ම අවබෝධ කර ගත්තේ 1900 මුල් භාගයේ යාපනයේ දිසා විනිසුරු ධූරය දැරූ මෙරට ඉතිහාසය පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ ආචාර්ය පෝල් ඊ පීරිස්. ඔහු කදුරුගොඩ භූමිය පරීක්ෂා කර බලා රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට නාගදීපය සහ යාපනයේ බෞද්ධ අවශේෂ නමින් 1917 – 1919 වර්ෂවල ලිපි සපයා තිබෙනවා. එකල මෙම ලිපි විද්වතුන්ගේ නොමඳ අවධානයට යොමු වුණා. ඔහු 1915- 17 වර්ෂවල මෙම භූමියේ කැණීමක් කර රෝම කාසි,  බෞද්ධ නෂ්ටාවශේෂ කොටස් සොයාගෙන ඒවා යාපනය කෞතුකාගාරයට බාර දී තිබෙනවා.  ඒවා අතර බුද්ධ  ප්‍රතිමා, දාගැබ් කොත් ආදිය  ද පැවති බව වාර්තාවල සඳහන්.

දාගැබ්වල කොත් කැරලි- lifie.com

මෙහි පුරාවිද්‍යාත්මක වැදගත්කම ඉස්මතු වීම නිසා මෙම ඉඩම පසුව පුරාවිද්‍යා තහනම් ඉඩමක් වශයෙන්  ප්‍රකාශයට පත් කෙරුණා. එම භූමි ප්‍රමාණය අක්කර 3 පර්චස් 33.8ක්. උඩුවිල් – කන්තරෝඩෙ පාර දෙපැත්තේම මෙම ඉඩම පිහිටා තිබෙනවා. අනවසර අත්පත්කර ගැනීම් නිසා දැන්වන විට එම භුමිය තවත් කුඩා වෙලා.

ඉතිහාස කතා

කඳුරුගොඩ පුරාවස්තු තැන්පත් කර ඇති යාපනේ කටුගේ-  athikaa.com

ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂර සහිත, පුළුස්සන ලද පාත්‍රා කැබැල්ලක් මෙහි කැණීම්වලින් හමු වී තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ දතහපත (දත්තගේ පාත්‍රය) යන්නයි. මෙම දත්ත එකල සිටි භික්ෂු නමක් හෝ එම පාත්‍රය පිදූ පුද්ගලයා විය හැකියි. ඒ අනුව ක්‍රිස්තු පූර්ව යුගයේ පවා මෙහි භික්ෂු වාසයක් පැවති බව පැහැදිලි වෙනවා. දෙවැනි අග්බෝ ( ක්‍රි.ව. 604-614) නාග දිවයිනෙහි (යාපනයෙහි) රාජායතන ධාතු ගෘහය ද, උණුලොම් ගෙය ද, ආමලක සෑය ද, ගොඩනැංවූ බව මහාවංශය සඳහන් කරනවා. මෙම ගොඩනැගිලි කඳුරුගොඩ අවට තිබිය යුතු බව  ඉතිහාසඥයන් සැක කරනවා. මෙහි තිබී 4 වැනි කාශ්‍යප රජුගේ සෙල්ලිපියක් සහිත අත්තාණි කණුවක් හමුවුණා. මෙම අත්තාණි කණුවේ ලිපි අතර තිබූ 15 වැනි සියවසට අයත් සෙල්ලිපියක් (අන්තරාලීන සෙල්ලිපි) මහාචාර්ය සෙනරත් පරණවිතාන කියවා ඇති අතර එහි ‘උත්තර පස්සයේ වල්පිට දිසාවේ කදුරුගොඩ’ නාමය දැක්වෙනවා.

ටැම් ලිපිය- lankapradeepa.com

1981 දී මෙම භූමියෙන් ටැම් ලිපියක් හමුවුණා. අඩි 2 අඟල් 7ක් උස ටැමක කොටා ඇති එය යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරයේ දී දැකගත හැකියි. අනුරාධපුරයේ රජ කළ දප්පුල ( ක්‍රි. ව. 923-935) රජ සමයට අයත් එහි සඳහන් වන්නේ අභයගිරි විහාරයට අයත්ව තිබූ යාපනයේ විහාරයකට කළ ඉඩම් පුජාවක් ගැනයි. මෙම විහාරය 16 වැනි සියවස දක්වා බැතිමතුන්ගේ පුද පූජාවට  පාත්‍ර වන්නට ඇති බවත්, යාපනය පාලනය කළ සංකිලි නමැත්තාගේ කෘර  ක්‍රියා නිසා මෙම පුදබිම ද විනාශ වන්නට ඇති බවත් එල්ලාවල මේධානන්ද හිමියන් සඳහන් කරනවා.

පුරාවිද්‍යා කැණීම්

දාගැබක ඉහළ කොටස – Nashaplaneta.net

1967 දී දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්ව සිටි, ආචාර්ය එස්.ඩබ්ලිව්. කරුණාරත්න සහ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය විමලා බෙග්ලි දෙදෙනා මෙම ස්ථානයේ සිට කිලෝ මීටර 1/2ක් දුරින් පිහිටි ඔඩ්ඩෙන්කඩු නම් පෞද්ගලික ඉඩමේ පර්යේෂණ කැණීමක් කළ අතර එහිදී ද පැරණි වළං කටු රුසක්  හමුවූවා. මේ පරීක්ෂණ කැණීමෙන්  ප්‍රථම වරට ජනාවාසයක් පිළිබඳ තොරතුරු ලැබුණා. විශේෂයෙන්ම රුලේටඞ් වර්ගයේ මැටි බඳුනක්, බ්‍රාහ්මී අක්ෂර සහිත පාත්‍රයක කොටස් ලැබුණා. අශ්වාරෝහකයකුගේ රුවක් සහිත මුද්‍රාව එහිදී ලැබුණු විශේෂ පුරාවස්තුවක්. මේ සියල්ල කියා පෑවේ කදුරුගොඩ ප්‍රදේශය අනුරාධපුර මුල් යුගයේ විශාල ජනාවාසයක් ලෙස පැවති බවයි.

1967  දී සිදු කළ කඳුරුගොඩ කැණීම්වලදී කොරල් ගලින් කළ බෝධිසත්ව හිසක්, හුණුගලින් කළ දාගැබ්  ි   චත්‍රාවලියක මුදුන් කැබලි දෙකක්, කුහරය සහිත දාගැබ් චත්‍රාවලියක කොටසක්, කොරල් ධාතු කරඬුවක පහළ කොටසක්, පබලු 2321ක් යන පුරාවස්තු හමුවුණා.

ඒවාට අමතරව දේශීය සහ විදේශිය කාසි රාශියක්ද ලැබුණු බව වාර්තා වෙනවා. 1 වැනි පරාක්‍රමබාහු සාහසමල්ල, ලීලාවතී, ධර්මාශෝක, බුවනෙකබාහු ආදී රජවරුන්ගේ කාලවලට ඒවා අයත් වෙනවා. 1615දී නිකුත් කළ එංගලන්තයේ 1 වැනි ජෝර්ජ් රජුට අයත් තුට්ටුවේ කාසියක් ද ඒ අතර තිබීම විශේෂයක්.

සිරිපතුල් ගල්, බුදුපිළිම හතරක කොටස්, පියන් රහිත ගල්කරඬු, ළා කොළ පැහැති වීදුරු කොතක්, වාමන රූපයක්, සිරිපතුල් ගලක්, උළුකැබලි ආදිය ද මෙහිදී හමු වූ පුරාවස්තු අතර තිබුණා.

දාගැබ් සංකීර්ණයක්

පුරාණ දාගැබ් සමූහය – Lifeoftravelsrilnaka.blogspot.com

කඳුරුගොඩට යන අපට දැකගත හැක්කේ කුඩා දාගැබ් විශාල සංඛ්‍යාවක් සහිත බිමක්. අඩි 8.5ත් අඩි 12ත් අතර විෂ්කම්භයෙන් යුත් මේ දාගැබ් බාරහාරාදිය පිණිස කළ ථූප හෝ සොහොන් යයි සිතිය හැකියි. මෙබඳු ථූප 12ක් කඳුරුගොඩ පිහිටා තිබෙනවා. මේ ස්ථානයේ  තිබුණා යැයි සැලකෙන, දැනට පදනමට පමණක් සීමාවූ අඩි 23.5ක විෂ්කම්භයක් සහිත දැගැබ වන්දනාමාන සඳහා කරන ලද්දක් යයි සිතිය හැකියි. තනි කළුගලින් කළ වටකුරු වතුර භාජන දෙකක්ද මෙම ඉඩමේ ළිං ළඟ තිබෙනවා.

අලුතින් ඉදිකළ පිළිම ගෙය- N.H. Samarasingha, sarisaraweb.blogspot.com

මෙහි කුඩාම ස්තූපයේ විශ්කම්භය අඩි 6ක් පමණ වෙනවා. මේවා සියල්ලම එකම ආකෘතියකට අනුව තනා තිබෙනවා. අප රටේ එකම ස්ථානයකින් වැඩිම දාගැබ් රාශියක් හමු වී ඇත්තේ කඳුරුගොඩ දී පමණයි. මේවා කුමන අරමුණකින් කළා දැයි නිශ්චිත නැහැ. ආචාර්ය ගොඩකුඹුරේ අදහස් කරන පරිදි ඒවා බාර ඔප්පු කිරීමට කළා විය හැකිය යන අදහස පිළිගැනීම අපහසුයි. හින්දු දෙවියන්ට වන බාර ඔප්පු කිරීමට දාගැබ් තැනූ බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නැති වීම එයට හේතුවයි.  මේවායෙන් හමුවූ දාගැබ් හතරැස් කොටු කොටස්වල ඉන්දියාවේ සාංචි ස්තූපයේ මෙන් ගරාදි වැටද නිරූපණය කර තිබෙනවා. ඡත්‍රය සවි කිරීම සඳහා වූ සිදුරක් ද ඒවායේ සලකුණූ කර තිබුණා.

දාගැබ්වල පාදම් කිහිපයක්- N.H. Samarasingha, sarisaraweb.blogspot.com

1970 දශකයේදී ද මෙම දාගැබ්වල සංරක්ෂණ කටයුතු සිදු කළ අතර ස්තූපවල පැරණි ස්වරූපය උපකල්පනය කර ඒ අනුව තහවුරු කර තිබෙනවා. දාගැබ්වල ප්‍රධාන අමුද්‍රව්‍යය වී ඇත්තේ කොරල් ගල්. දැනටත් සමහර තැන්වලින් කොරල් ගල් මතුවී පෙනෙනවා. මෙම දාගැබ් හුණු බදාම ස්ථරයකින් කපරාරු කර තිබී ඇති අතර පාදමේ සමහර ස්ථානවල පැරණි බදාම තට්ටු ඉතිරි වී පවතිනවා.  පැරණි ගොඩනැගිල්ලකට අයත් කණු පාදම් ගල් රාශියක්ද මෙහි හමුවෙනවා.

2011 කැණීම්

මෑතකදී රෝපණය කළ බෝධි වෘක්ෂය- Nashaplaneta.net

 2011 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ  බිමෙහි නැවත කැණීමක් කළ අතර ඒ ආචාර්ය නිමල් පෙරේරාගේ අධීක්ෂණය යටතේයි.  එම කැණීමෙන් ක්‍රිස්තු පූර්ව 600 ට පෙර පටන් මූල ඓතිහාසික යුගයේ ජනාවාසවල තොරතුරු කඳුරුගොඩින් හමුවීම විශේෂත්වයක්. පැහැදිලිවම මේ පුද බිම පිහිටි ස්ථානයේ ක්‍රිස්තු පූර්ව 400 දක්වා අතීතයක සිට ජනාවාසයක්ව පැවති බවට සාධක හමුවුණා. අනුරාධපුරය ජනාවාසවීමට සමගාමීව මෙම ස්ථානයේත් ජනාවාස තිබුණු බව තහවුරු වුණා. කළු රතු මැටි බඳුන් වගේම ක්‍රිස්තු පූර්ව යුගයේ රෝමයේ භාවිත කළ මැටි බඳුන් හා සමානව ලංකාවේ දේශීයව නිෂ්පාදනය කළ මැටි බඳුන්වල කොටස් මෙහි දී හමුවීමත් විශේෂත්වයක්. ක්‍රිස්තු පූර්ව 300 වැනි කාලයකට අයත් බ්‍රාහ්මීය අක්ෂර සහිත මැටි බඳුන් ද  ලැබුණු බවටත් වාර්තා  පවතිනවා.

Cover- දාගැබ් සහිත බිම-wikipeadia.org 

මූලාශ්‍ර:

ශ්‍රී ලංකාවේ රජමහා විහාර- කුසුම්සිරි විජයවර්ධන

නැගෙනහිර පළාත සහ උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය - එල්ලාවල මේධානන්ද හිමි

1966-67 පුරාවිද්‍යා පාලන වාර්තාව

Lankadeepa.lk

Related Articles