Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක යුද්ධවල දී රටවල් දෙකකට සේවය කළ අපූරු පරෙවියා

ඈත අතීතයේ දී මිනිසා පණිවිඩ හුවමාරු කිරීම සඳහා පරෙවියන්ව යොදාගත් බව ඔබ අසා ඇති. ඒ සම්බන්ධයෙන් පැරණිතම සාධක හමුවන්නේ මෙසපොතේමියානු සහ ඊජිප්තු ශිෂ්ටාචාර ගැන සිදුකරන ලද පර්යේෂණවලින්. ඒ සම්බන්ධ කැණීම්වල දී පරෙවියන් පණිවිඩ ගෙනයාම සඳහා භාවිතා කළ ආකාරය සිතුවම් කර තිබුණා. ඒ මින් වසර 3500කට පමණ උඩ දී යි.

පරෙවියා විශේෂ බුද්ධියක් ඇති පක්ෂියෙකු බව මිනිසා අවබෝධ කරගෙන සිටියා. එනිසා පසු කලෙක යුද්ධ අතරේ දී පවා පණිවිඩ හුවමාරු කරගැනීමට පරෙවියන් භාවිතා කළා. ඇතැම් පරෙවි විශේෂයන්ට විවිධ අක්ෂර සහ වචන හඳුනාගැනීමට හොඳින් පුහුණු කළ හැකි බව කියැවෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පළමු සහ දෙවන ලෝක යුද්ධවල දී හමුදා මෙහෙයුම් සඳහා පරෙවියන් රැසක් සම්බන්ධ කරගත්තා. තැන් සිට ඔබ වෙත ඉදිරිපත් කරන්නේත් පළමු සහ දෙවන ලෝක යුද්ධවල දී රටවල් 2කට සේවය කළ කයිසර් නම් අපූරු පරෙවියෙක් ගැන යි. 

පණිවිඩ ගෙනයාම සඳහා භාවිතා කළ පරෙවියෙක් (IEEE Spectrum)

කයිසර්

1914 වසරේ දී ආරම්භ වුණු පළමු ලෝක යුද්ධයේ දී ජර්මනිය මධ්‍යම බලවතුන්ගේ පිල නියෝජනය කළා. එසමයේ දී ජර්මානුවන් පණිවිඩ එහා මෙහා ගෙනයාම සඳහා පරෙවියන්ව භාවිතා කළ නිසා සෑම මෙහෙයුමක් සඳහාම විශේෂයෙන් පුහුණු කරන ලද පරෙවියන් කිහිපදෙනෙකු අනියුක්ත කර තිබුණා. යුද මෙහෙයුම් සඳහා යොදාගත් පරෙවියන්ට පැවරුණු ප්‍රධානතම රාජකාරිය වුණේ මෙහෙයුමේ තීරණාත්මක අවස්ථාවල දී සතුරාව මුලාකරමින් යුද රහස් එහා මෙහා ගෙනයාම යි. 

කයිසර් 1917 පෙබරවාරි මාසයේ ජර්මනියේ දී උපත ලැබුවා. පරෙවියන් බෝකරන්නෙකු ළඟ උපත ලැබූ ඌ, යුද්ධයේ දී පණිවිඩ ගෙනයෑම සඳහා පුහුණු කිරීමට සති හයේ දී ජර්මානු හමුදාවට භාරදෙනු ලැබුණා.

පළමු මෙහෙයුම සඳහා සම්බන්ධවීම 

ප්‍රමාණවත් තරම් පුහුණුවක් ලබාදීමෙන් පසුව 17-0350-47 යන අංකය යෙදූ ඇළුමිනියම් තහඩුවක් කයිසර් පරෙවියාගේ වම් කකුලේ දවටනු ලැබුවා. අංකයේ මුලින්ම යෙදූ 17න් නිරූපණය වුණේ කයිසර් උපන් වර්ෂය යි. කයිසර් පරෙවියා මුල්ම වරට අනියුක්ත කරනු ලැබුවේ 1918 වසරේ දී ප්‍රංශයේ සිදුවුණු මියුස්-ආර්ගොන් සටනට යි. 

ආර්ගොන් වනාන්තරයේ දී ඇමරිකානු සහ ජර්මානු හමුදාවන් අතර දරුණු සටනක් පැවතුණා. එහි දී ඇමරිකානු හමුදාවන් ජර්මානු හමුදාවන්ට දරුණු ලෙස ප්‍රහාර එල්ල කරද්දී ජර්මානුවන් කුඩා කණ්ඩායම් ලෙස විසිරීගොස් උපක්‍රමශීලීව සතුරාට ප්‍රතිප්‍රහාර එල්ල කළා. මේ විසිරී ගිය කණ්ඩායම් අතර පණිවිඩ ගෙනයාම සඳහා කයිසර් විශාල සහායක් ලබාදුන්නා. 

කයිසර් පරෙවියා (Truman Library)

ඇමරිකානු සිරකරුවෙකු බවට පත්වෙයි 

ජෙනරාල් ජෝන් ජේ. පර්ෂිං සහ ඇමරිකානු බලකාය ආර්ගොන් වනාන්තරයේ දී එල්ල කළ ප්‍රහාර හමුවේ ජර්මානු හමුදා අසීරු තත්ත්වයකට පත්වුණා. ඔවුන් සතුරා හමුවේ නොසැලෙමින් දිගින් දිගටම සටන් කළත් අවසානයේ දී පරාජය භාරගැනීමට සිදුවුණා. 1918 වසරේ ඔක්තෝබර් මාසයේ දී ආර්ගොන් වනාන්තරයේ සටන් කරමින් සිටි ජර්මානු භටයන් පිරිසක් ඇමරිකානුවන්ගේ සිරකරුවන් බවට පත්වුණා. 

ඇමරිකානු හමුදා සතුරන්ට අයත්ව තිබුණු අවි ආයුධ ද තමන්ගේ භාරයට ගත්තා. ජර්මානු පරෙවියන් 10 දෙනෙකු පමණ ද ඒ සමගින් ඇමරිකානු හමුදා අත්අඩංගුවට පත්වුණා. ඒ අතර කයිසර් ද සිටියා.

කයිසර් ඇමරිකාවට යයි 

1918 නොවැම්බර් 11 වැනිදා පළමු ලෝක යුද්ධය නිමාවට පත්වුණා. පළමු ලෝක යුද්ධයේ සටන් වැදීමට යුරෝපයට පැමිණ සිටි ඇමරිකානු සොල්දාදුවන් කොටස් වශයෙන් ආපසු ඇමරිකාව වෙත යවනු ලැබුවා. එම කාල සමය වන විට ඇමරිකානු හමුදාව ද විශාල පරෙවි සංඥා බලකායක් පිහිටුවා තිබුණා. එම බලකාය පළමු ලෝක යුද්ධයේ දී විශාල කාර්යභාරයක් ඉටුකළා. එනිසා ඇමරිකානු හමුදාවන් යුද බිමේ දී අල්ලාගත් කයිසර් ඇතුළු ජර්මානු පරෙවියන් 21 දෙනෙකු ද ඇමරිකාවට රැගෙන යාමට තීරණය කළා. 

1919 ජූලි 17 වැනිදා USS එෆ්. ජේ. ලූකන්බාක් නම් ඇමරිකානු ප්‍රවාහන නෞකාවෙන් කයිසර් ඇතුළු පරෙවියන් 21 දෙනා ඇමරිකාව වෙත රැගෙන යනු ලැබුණා. උන් නිව් ජර්සිහි මොන්මූත් පරෙවි සංඥා බලකා මධ්‍යස්ථානයේ රඳවා තැබුවා.

කයිසර් ඇතුළු ජර්මානු පරෙවියන් කණ්ඩායම ඇමරිකාවේ දී (americanhistory.si.edu)

සුඛෝපභෝගි ජීවිතයක් ගතකරයි 

ඇමරිකාවට රැගෙන ගිය ජර්මානු පරෙවි සිරකරුවන් අතරින් ලාබාලම පරෙවියා වුණු කයිසර්ගේ වයස ඒ වන විට මාස 30ක් පමණ යි. නමුත් කයිසර් සමග ඇමරිකාවට ගිය ඇතැම් පරෙවියන් වයසින් තරමක් වැඩි වුණු නිසා මොන්මූත් පරෙවි සංඥා බලකා මධ්‍යස්ථානයේ සිටිය දී මියගියා. කයිසර් සතුව විශේෂ බුද්ධියක් තිබෙන බව අවබෝධ කරගත් ඇමරිකානු පරෙවි සංඥා බලකා මධ්‍යස්ථානයේ නිලධාරින් ඌට සුඛෝපභෝගී කාමරයක් සකස් කරදුන්නා. කයිසර් වෙනුවෙන් වෙනම නිලධාරියෙකු ද පත්කරනු ලැබුවා. සැපවත් ජීවිතයක් ගතකළ කයිසර්ට සහකාරියක් සොයාදීමට පවා ඇමරිකානු හමුදා නිලධාරින් කටයුතු කළා. අභිජනන පක්ෂියෙකු බවට පත්වුණු කයිසර් වසර 12ක පමණ කාලයක් තුළ පැටවුන් 75කට ආසන්න ප්‍රමාණයක් බිහිකිරීම සඳහා දායකත්වය ලබාදුන්නා.

කයිසර්ගේ ඇමරිකානු ජීවිතය (Ozarks Alive)

කයිසර්ගේ දරුවන් ඇමරිකානු පරෙවි සංඥා බලකායට එක්වෙයි 

කයිසර්ගේ පැටවුන් ද ඌ මෙන්ම බුද්ධිමත් වුණා. උන් වේගවත්, කඩිසර, කාර්යශූර පරෙවියන් බවට පත්වුණා. එනිසා කයිසර්ගේ පැටවුන් බොහෝ දෙනෙකු ඇමරිකානු පරෙවි සංඥා බලකායට අනියුක්ත කරනු ලැබුවා. 

කාලය ගෙවීයද්දී කයිසර්ට දරාගැනීමට අපහසු දෙයක් සිදුවුණා. ඒ උගේ සහකාරිය හදිසියේ මියයාම යි. එයින් පසු කයිසර් කාලය ගතකලේ ඉතාමත් කනස්සල්ලෙන්. එය නිරීක්ෂණය කළ පරෙවි සංඥා බලකා නිලධාරින් කයිසර්ට අලුත් සහකාරියක් සොයාදුන්නා. බෙලි නම් වුණු එම ගැහැණු පරෙවියා කයිසර් සමග උගේ විශේෂිත කාමරයේ වාසය කළා.

කයිසර් සහ දරුවන් දෙවන ලෝක යුද්ධය සඳහා සහභාගී කෙරෙයි 

1939 වසරේ සැප්තැම්බර් මාසයේ දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වුණා. යුද්ධය ආරම්භ වී වසර 2ක් පමණ ගතවුණත් ඇමරිකාව එයට සම්බන්ධ වුණේ නැහැ. නිසොල්මනේ සිටි ඇමරිකාව යුද්ධයට සම්බන්ධ වුණේ ජපානය ඔවුන්ගේ පර්ල් වරායට ප්‍රහාර එල්ල කිරීම නිසා යි. ඒ අනුව 1941 දෙසැම්බර් මාසයේ දී ඇමරිකානුවන් දෙවන ලෝක යුද්ධය සඳහා එක්වුණා. 

ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වීමත් සමගම ඇමරිකානු භට පිරිස් යුරෝපයට පිටත් කර හැරියා. ඔවුන් සමග ඇමරිකානු පරෙවි සංඥා බලකායට අයත් පරෙවියන් කණ්ඩායමක් ද යුරෝපය බලා පිටත් වුණා. ඒ අතරට කයිසර්ගේ පැටවුන් විශාල ප්‍රමාණයක් ඇතුළත් වුණා. ඇමරිකාවේ සිටිමින් දෙවන ලෝක යුද්ධයේ මෙහෙයුම් සඳහා සම්බන්ධ වුණු කයිසර් ඒ වන විට මිසූරිහි කෑම්ප් ක්‍රෝඩර් වෙත ගොස් සිටියා. 

දෙවන ලෝක යුද්ධයේ දී කයිසර් සහ උගේ දරුවන් ඇමරිකාව වෙනුවෙන් විශාල සේවාවක් සිදුකළා. පළමු ලෝක යුද්ධයේ දී ජර්මනිය වෙනුවෙනුත් දෙවන ලෝක යුද්ධයේ දී ඇමරිකාව වෙනුවෙනුත් සේවය කළ කයිසර් විශේෂිත පරෙවියෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත්වුණා. 

පර්ල් වරායට එල්ල වුණු ප්‍රහාරය (Britannica)

ලෝක යුද්ධයෙන් පසුව කයිසර්ට ලැබුණු විශේෂ සැලකිලි 

ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවයේ රටවලට ජයග්‍රහණය අත්කරදෙමින් 1945 වසරේ දී දෙවන ලෝක යුද්ධය අවසන් වුණා. ලෝක යුද්ධය සඳහා සම්බන්ධ වී විශේෂ දස්කම් දැක්වූ ඇමරිකානු භටයන්ට විශේෂ උපහාර දැක්වීමක් සිදුවුණා. උපහාරයට ලක්වුණු පිරිස අතරට කයිසර් ද ඇතුළත් වුණා. එසේම හැරී එස්. ටෘමන් ජනාධිපතිවරයා සහභාගී වුණු ඇතැම් උත්සවවල ගෞරවනීය ආරාධිතයන් අතරට කයිසර්ගේ නම ද ඇතුළත් වුණා. 

හැරී එස්. ටෘමන් ජනාධිපතිවරයා (Britannica)

කයිසර්ගේ ජීවිතයේ අවසාන කාලය 

1946 වසරේ දී කයිසර් යළි කයිසර් නිව් ජර්සිහි තිබුණු ඔහුගේ විශේෂ කුටිය වෙත රැගෙන ගියා. කයිසර් සහ බෙලි යන දෙපල විවේක සුවයෙන් එහි කාලය ගතකළා. ඒ වන විට කයිසර් මහළු වියේ පසුවුණු නිසා සමහර කාලවල දී රාත්‍රියේ දැනුනු තද සීතල මකා දැමීම සඳහා උගේ කුටියේ විදුලි හීටරයක් සවි කිරීමට පවා ඇමරිකානු හමුදාවන් කටයුතු කළා. 

1948 පෙබරවාරි 27 වැනිදා පරෙවි සංඥා බලකාය භාරව සිටි භටයන් කයිසර්ගේ 31 වැනි උපන්දිනය සමරනු ලැබුවා. එදිනම එම ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසක් කයිසර් වෙනුවෙන් උපන්දින සාදයක් සංවිධානය කළා. එම සාදයේ ප්‍රධාන ආරාධිත අමුත්තා බවට පත්වුණේත් කයිසර්. 1948 අගෝස්තු මාසයේ දී අංක 667 සටහන් කළ රත්තරන් පටියක් කයිසර්ගේ දකුණු කකුලට සවිකරනු ලැබුණේ ලෝක යුද්ධ දෙකක දී කළ මෙහෙය සිහිපත් කිරීම සඳහා යි. 

දිගු කලක් ඇමරිකාවේ ජීවත් වුණු කයිසර් 1949 වසරේ දී මරණයට පත්වුණා. ඒ වන විට ඌ 32 හැවිරිදි වියේ පසුවුණා. සාමාන්‍යයෙන් පරෙවියෙකු එතරම් කාලයක් ජීවත් නොවුණත් මෙම පරෙවියාට ලැබුණු විශේෂ සැලකිලි සහ වෛද්‍ය ප්‍රතිකාර නිසා එතරම් කාලයක් ජීවත්වීමට වාසනාව ලැබුණා. 

කයිසර්ගේ පාදවල සවිකර තිබුණු පටි (americanhistory.si.edu)

කවරයේ ඡායාරූපය- කයිසර් පරෙවියා (Twitter)

Related Articles