බ්‍රිතාන්‍යයන් සිය ගණනක් මිහිදන් කළ මහනුවර ගැරිසන් සුසානය

මෙරට සියලු ප්‍රදේශයන්හි පොදු සුසාන භූමි පිහිටා තිබුණත් ඓතිහාසික මහනුවර නගරයේ පිහිටා ඇති ‘බ්‍රිතාන්‍ය ගැරිසන් සුසාන භූමිය’ නමින් හැඳින්වෙන සුසාන භූමිය ඒ අතරින් සුවිශේෂී එකකි. සියවස් දෙකකටත් වැඩි කාලයකට පෙර ආරම්භ කර ඇති මෙම සුසානභූමිය තුළ මිහිදන් කළ සියලු ම දෙනා පාහේ බ්‍රිතාන්‍ය ජාතිකයන් වීම ඊට හේතුවයි. ඒ අතරින් සමහරුන් යටත් විජිත සමයේ මෙරට විවිධ තනතුරු දැරූ බ්‍රිතාන්‍ය ජාතිකයන් වූ අතර තවත් සමහරු විවිධ හේතු නිසා මෙරට පදිංචි වී සිටි අය වෙති.

බ්‍රිතාන්‍ය ගැරිසන් සුසාන භූමිය (මහනුවර ගැරිසන් සුසාන භූමිය ලෙසද හැඳින්වේ) යනු එවක ලංකාවේ මිය ගිය බ්‍රිතාන්‍ය ජාතිකයන් සඳහා ම ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි බ්‍රිතාන්‍ය සුසාන භූමියකි. එය 1817 දී පිහිටුවන ලද්දේ බ්‍රිතාන්‍යයන් මහනුවර අල්ලා ගැනීමෙන් පසුව ය. 1873 දී මහනුවර නගරසභා සීමාව තුළ මළ සිරුරු භූමදානය තහනම් කිරීම හේතුවෙන් එය වසා දැමිණි. එනමුදු සුසාන භූමියේ මිහිදන් වූවන්ගේ ඥාතීන් එහි භූමදානය කිරීමට විශේෂ විධිවිධාන සලසා ඇත. අවසන් වතාවට එහි තැන්පත් කරනු ලැබුවේ ඇනී ෆ්‍රිට්ස් ය. ඒ 1951 දී  ය. මෙම සුසාන භූමියේ පිරිමි, ගැහැනු සහ ළමයින්ගේ සොහොන් 195 ක් ඇත. මොවුන්ගේ මරණවලට වඩාත් පොදු හේතුව වූයේ මැලේරියාව සහ කොලරාව වැනි නිවර්තන කලාපීය රෝග ය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය යුද සොහොන්

පොදුරාජ්‍ය මණ්ඩලයීය යුද සොහොන් කොමිෂන් සභාවේ මූල්‍යමය දායකත්‍වය මත 1998 දී මෙම සුසාන භූමිය ප්‍රතිසංස්කරණය කරන ලද අතර දැනට එය නඩත්තු කරන්නේ ‘මහනුවර බ්‍රිතාන්‍ය ගැරිසන් සුසාන භූමියේ මිතුරන්’ නම් කණ්ඩායමකි.

මෙම සුසාන භූමිය තුළ මෙරට යටත් විජිත සමයේ කැපී පෙනුණු පුද්ගලයන් ද කිහිප දෙනකු මිහිදන් කර තිබේ. මෙරට සිටි කීර්තිමත් බ්‍රිතාන්‍ය නිලධාරියකු වූ ජෝන් ඩොයිලි ඒ අතරින් එක් අයෙකි. ඊට අමතර ව තවත් සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනකු ද මිහිදන් කර ඇති මහනුවර පිහිටි ගැරිසන් සුසානභූමිය පිළිබඳ ව වැදගත් කරුණු කිහිපයක් අපි මෙම ලිපියෙන් සොයා බලමු.

ගැරිසන් සුසානභූමිය උඩවත්ත කැලයට දිස් වන අයුරු – Facebook- Beyond the Yello Press

සුසාන භූමියේ පිහිටීම

මහනුවර දළදා මාලිගා පරිශ්‍රයට පිටුපසින් පිහිටි මහනුවර ජාතික කෞතුකාගාරයට දකුණු පසින් දිවෙන මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් ගැරිසන් සුසාන භූමියට පිවිසිය හැකිය. මෙම සුසාන භූමිය ශ්‍රී දළදා මාලිගාවට අයත් ඉඩමක, උඩවත්ත කැලෑවේ පහළ කොටසකට වන්නට පිහිටා ඇත. ඇතැම් ජනප්‍රවාදවලට අනුව දළදා මාලිගාව පිටුපස එයට උස් වූ භූමි භාගයක මෙම සුසාන භූමිය බ්‍රිතාන්‍යයන්  පිහිටුවා ඇත්තේ ඔවුන්ට විශේෂ ගෞරවයක් සිංහලයන් වෙතින් ලබා ගැනීමට බව පවසයි.

කෙසේ වෙතත් එය හුදු ජනප්‍රවාදයක් වන අතර උඩවත්ත කැලය නිස්කලංක ප්‍රදේශයක් වීම නිසා මෙම සුසාන භූමිය එහි පිහිටුවන්නට ඇති බව බොහෝ දෙනාගේ මතයයි. එකල බ්‍රිතාන්‍ය හමුදා රෝහල පැවතියේ නුවර වැව රවුමේ අවහන්හල අසල නිසා පහසුවෙන් මෙම ස්ථානයේ මෘත ශරීර භූමිදානය කිරීමට හැකි වූ නිසා මෙම සුසාන භූමිය බ්‍රිතාන්‍යයන් මෙහි පිහිටුවා ලූ බව ද පැවසේ. 

සුසානභූමිය ආරම්භ වීම

1815 වසරේ දී බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට රාජධානිය යටත් කර ගැනීමෙන් පසු ඔවුන්ගේ ප්‍රභූන්ගේ මෘතශරීර භූමිදානය කිරීම සදහා සොහොන් භූමියක් අවශ්‍ය වූ අතර ඒ සදහා මෙම භූමිය තෝරා ගන්නා ලදී. 1817 දී ඉදි කළැයි සලකන මෙම සුසාන භූමිය පසු ව දළදා මාලිගාවේ සතර දේවාල පරිශ්‍රයේ ම කොටසක ඉදි කළ ශාන්ත පාවුළු දේවස්ථානයේ සුසාන භූමිය වශයෙන් ද යොදා ගත් බව පවසයි.

ගැරිසන් සොහොන් බිම වඩාත් ප්‍රකට වී ඇත්තේ බ්‍රිතාන්‍ය යුද හමුදා සොහොන් බිමක් ලෙසිනි. එයට හේතු වී ති‌බෙන්නේ මෙහි මිහිදන් කොට ඇති පුද්ගලයන් බහුතරයක් කුමන අයුරකින් හෝ බ්‍රිතාන්‍ය යුද හමුදාවට සම්බන්ධ වූවන් බැවිනි. ඇතැම් විට මෙම භූමියට ගැරිසන් ලෙස නාමය යෙදීමට ද එය හේතුවක් වූවා විය හැකි ය. ඒ මන්ද යත් ගැරිසන් යන වචනයෙහි අර්ථය වන්නේ සෙබළුන් රඳවා තබන ස්ථානය යන්න වීමයි.

ගැරිසන් සොහොන් බිම සොහොන් කොතක්. -Getty Images

 

මෙහි මිහිදන් කොට ඇති මුල් ම පුද්ගලයාගේ මළ සිරුර වෙනත් ස්ථානයක භූමිදානය කොට ඇති අතර පසුව මෙම සොහොන් බිමේ මිහිදන් කොට සොහොන් කොතක් ද ඉදිකොට තිබේ. 1822 වසරේ දී ඇරැඹි ගැරිසන් සොහොන් බිමේ මිහිදන් කිරීමේ කටයුතු 1870 වසර දක්වා අඩසිය වසකට ආසන්න කාලයක් නොකඩවා සිදු වී තිබෙන නමුත් 1865 වසරේ දී මහයියාව පොදු සුසාන භූමිය ආරම්භ කිරීම නිසා මෙහි වැදගත්කම ක්‍රම ක්‍රමයෙන් අවම වූ බව පෙනෙයි.

මෙහි මිහිදන් කොට ඇත්තේ ක්‍රිස්තු භක්තික බ්‍රිතාන්‍ය ජාතිකයන් පමණක් වන අතර ඉන් බොහෝ දෙනා තරුණ කාලයේ මිය ගිය අය බවට හඳුනා ගත හැකි ය. මැලේරියාව, කොළරාව ආදී වසංගත රෝග මෙන් ම වන සතුන්ගේ පහර දීම් ද මෙම මරණ සඳහා හේතු වී ඇති අතර කුඩා දරුවන්ගේ සිරුරු කිහිපයක් ද මෙහි මිහිදන් කර ඇත.

ජෝන් ඩොයිලිගේ සොහොන්කොත – Facebook- Priyanjan Suresh De Silva

ජෝන් ඩොයිලි ගේ සොහොන් කොත

ගැරිසන් සුසාන භූමියේ මිහිදන් කොට ඇති පුද්ගලයන් අතර ඉතා සුවිශේෂී පුද්ගලයකු වන්නේ 1824 වසරේදී මිය ගිය බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ජෝන් ඩොයිලි ය. ඔහු 1801 වසරේ දී ලිපිකරුවකු ලෙස ලංකාවට පැමිණ 1803 වසරේ සිට ගාල්ල හා මාතර ප්‍රදේශයන් හි බ්‍රිතාන්‍ය ඒජන්තවරයකු ලෙස කටයුතු කර ති‌බේ. එම කාලය තුළ දී දකුණේ විසූ බෞද්ධ භික්ෂූන් ඇසුරු කරමින් සිංහල භාෂාව හා සාහිත්‍ය, බුදු දහම හා සිංහල සිරිත් විරිත් ආදිය මනාව උගත් ඔහු එම දැනුම 1815 වසරේ දී ලංකාව යටත් කර ගැනීමේ බ්‍රිතාන්‍ය මෙහෙයම සඳහා යොදා ගැනිණි.

ඉන් අනතුරුව උඩරට රාජධානියේ ප්‍රධාන නිලධාරියා බවට පත් වූ ඔහු සත් කෝරළය ප්‍රදේශයේ රාජකාරී ගමනක යෙදී සිටිය දී උණ රෝගයක් වැලඳීමෙන් මිය ගියේ 1824 වසරේ මැයි මස 25 දින ය. ඉන් අනතුරුව ජෝන් ඩොයිලිගේ සිරුර ගැරිසන් සොහොන් බිමේ මිහිදන් කොට සොහොන් කොතක් ද ඉදිකොට ඇති අතර එය අද ද එම භූමියේ දී දැක ගත හැකි ය.

මෙහි මිහිදන් කළ වෙනත් සුවිශේෂී පුද්ගලයන්

මෙම සුසාන භූමියේ මිහිදන් වූ තවත් සුවිශේෂි තැනැත්තියක ලෙස 1872-1877 කාලය තුළ ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි මහතාගේ  බිරිය වූ එලිස‌බෙත් ග්‍රෙගරි ආර්යාව හැඳින්විය හැකි ය. ඇය ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා සමඟ අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයක යෙදී සිටිමෙන් අනතුරු ව දැඩි ලෙස රෝගාතුර වී 1873 වසරේ ජුනි මස 26 වන දින මහනුවර “පැවිලියන් මන්දිරය” හෙවත් වත්මන් මහනුවර ජනාධිපති නිල නිවසේ දී  මිය ගියා ය. පසුව ඇය ගැරිසන් සුසාන භූමියේ මිහිදන් කර ඇත.

ග්‍රෙගරි ආර්‍යාවගේ සොහොන – Facebook- නෙතු කවුළු

ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයාගේ බලවත් අවධානය දිනා සිටි ජේම්ස් එඩ්වින් මැක්ග්ලාෂන් නමැති පුද්ගලයකු ද මෙරට දී මැලේරියා රෝගය වැලඳීමෙන් 1817 වසරේ මිය ගිය පසු ගැරිසන් සුසාන භූමියේ මිහිදන් කොට ඇත.ඔහු වෝටර්ලූ සටනට ද  සහභාගී වූ රණ ශුරයකු ලෙසින් සැලකෙයි.

ජෙනරාල් ජෝන් ප්‍රෙෂර්

ඊට අමතරව කොළඹ- නුවර ප්‍රධාන මාර්ගය ඉදි කිරීම සඳහා පුරෝගාමී සේවයක් ඉටු කළ ජෙනරාල් ජෝන් ප්‍රේෂර් ද ගැරිසන් සුසාන භුමියේ මිහිදන් කළ සුවිශේෂී පුද්ගලයෙකි. 1818 කැරැල්ල මෙහෙය වූ වීර කැප්පෙටිපොල අධිකාරම් අල්ලා ගැනීමට දායක වූ ප්‍රබල පුද්ගලයකු ලෙස සැලකෙන්නේ ද ජෙනරාල් ජෝන් ප්‍රෙෂර් ය.

බ්‍රිතාන්‍යයන් ජාතිද්‍රෝහියකු ලෙස නම් කළ ඔවුන්ගේ ම පරිපාලන නිලධාරියකු වූ එඩ්මන්ඩ් සැම්ප්සන් වෝන්ස් නමැත්තාගේ සොහොන් ගැබ පිහිටා ඇත්තේ ද මහනුවර ගැරිසන් සුසාන භූමියේ ය. ඔහු මාතලේ දිසාපති කාර්යාලයේ උප දිසාපතිවරයකු ලෙස කටයුතු කරමින් සිටිය දී 1848 වසරේ දී මාතලේ ප්‍රදේශයේ ඇති වූ කැරැල්ල අතරතුර කැරලිකරුවන්ට වෙඩි නොතබා පලා යාම නිසා ජාතිද්‍රෝහියකු ලෙස නම් කොට තිබේ.

එම හේතුව නිසා ම ඔහු උප දිසාපති තනතුරින් ද පහ කොට ඇත. වයස අවුරුදු 60 දී පමණ මිය ගිය ඔහුගේ අවමංගල්‍යයට කිසිදු බ්‍රිතාන්‍ය නිලධාරියකු සහභාගී වී නොමැත.

ප්‍රතිසංස්කරණය කළ ගැරිසන් සුසාන භූමිය – Getty Images

 

වන අලියකු පහරදීමෙන් ලංකාවේ දී මිය ගිය අවසන්  යුරෝපීය ජාතිකයා  ලෙස සැලකෙන ජෝන් ස්පෝට්ස්වුඩ් රොබට්සන් නමැත්තා ද, බොහෝ පළාත්වල සිවිල් සේවයේ නිරත වෙමින් සැළලිහිණි සංදේශය ප්‍රථමයෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ විලියම් චාල්ස් මැක්රෙඩි ද මිය ගිය පසු මිහිදන් කර ඇත්තේ මෙම සුසාන භූමියේ ය.

මහනුවර වැව රවුමේ පදිංචිව සිටි ජේම්ස් හෙන්රි ප්‍රශා නම් වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව  ගැරිසන් සොහොන් බිමේ අවසන් වරට මිහිදන් වූ තැනැත්තිය ලෙස හඳුනා ගත හැකි අතර පළමු ව ඇගේ දේහය වෙනත් ස්ථානයක මිහිදන් කොට තිබේ. ඉන් අනතුරුව ඇගේ ඥාතීන් ඇගේ මෘත ශරීරය මෙම පෞරාණික සොහොන් බිමේ තැන්පත් කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබේ.

ගැරිසන් සුසානභූමිය – Facebook- නෙතු කවුළු

ගැරිසන් සුසාන භූමිය ප්‍රතිසංස්කරණය කිරීම

ගැරිසන් සුසාන භූමියේ බ්‍රිතාන්‍යය ජාතිකයන් 400 දෙනකුට ආසන්න පිරිසක් මිහිදන් කර ඇති බවට තොරතුරු ලැබී ඇතත් මෑතක දී කළ සමීක්ෂණයක දී සොයා ගෙන ඇත්තේ සොහොන් කොත් 103කට ආසන්න ප්‍රමාණයක් පමණි. 1914 වසර වන විට මෙහි සොහොන් කොත් 163ක් තිබූ බව සඳහන් වේ. ශාන්ත පාවුළු දේවස්ථානයට අයත් ව තිබූ මෙම භූමිය ගෙවීම් කිරීමේ දී සිදු වූ ප්‍රශ්නයක් මත නඩත්තු කිරීම් අත්හැර දැමීම නිසා වසර 15 කට ආසන්න කාලයක් ඝන කැලෑවෙන් වැසී නටබුන් ව පැවැති අතර එය ප්‍රතිසංස්කරණය කොට ඇත්තේ 1997 වසරේ දී ය.

ඒ 1998 වසරේ දී නියමිත ව තිබූ බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමී ව ය. ගැරිසන් සොහොන් බිමේ නඩත්තු කිරීම් නතර වීමත් සමඟ එම සොහොන් බිම සම්පූර්ණයෙන් ම ඝන කැලෑවෙන් වැසී ගිය අතර ඒත් සමඟ එහි ඉදි කොට තිබූ සොහොන්කොත් ද පස්වලින් යට විය.

1997 වසරේ දී සිදු කළ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර පස්වලින් වැසී තිබූ එම සොහොන් කොත් මතු කරගැනීම සඳහා දෛනිකව කම්කරුවන් 20 දෙනකු පමණ සේවයේ යෙදවීමට ද සිදු වී තිබේ. ගැරිසන් සොහොන් බිමේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට වසරකට ආසන්න කාලයක් ගත වී ඇති අතර බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය ඉන් අනතුරුව එහි භාරකාරීත්වය භාර ගත් බව සැළ යි.

චාල්ස් කුමරු ගැරිසන් සුසානභූමියට පැමිණි අවස්ථාව – gov.lk

චාල්ස් කුමරුන්ට මගහැරුණු සංචාරය

1998 වසරේ දී මෙරට සංචාරයක නියැළුණු චාල්ස් කුමරු ගැරිසන් සුසාන භූමිය නැරඹීමට පැමිණෙන බව දැනුම් දී තිබුණත් ඒ ආසන්න කාලයේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට එල්ල වූ ‌බෝම්බ ප්‍රහාරයත් සමඟ ඔහුට ඒ සඳහා එරට ආරක්ෂක අංශ අවසර ලබා දී නොමැත. එම අවස්ථාවේ චාල්ස් කුමරු ගැරිසන් සොහොන් බිමට අපේක්ෂා කළ පරිදි නොපැමිණෙන බව සඳහන් කරමින් සොහොන් බිමේ භාරකරු වෙත යොමු කළ ලිපිය සොහොන් බිමේ පිහිටුවා ඇති කුඩා කෞතුකාගාරයේ රාමු කොට තබා තිබෙනු වර්තමානයේ ද දැකිය හැකි ය.

සුසානභූමියේ පිහිටි කුඩා කෞතුකාගාරය –  divaina.com 

වර්තමාන තත්ත්වය

2013 වර්ෂයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අතරතුර චාල්ස් කුමරු මෙරට කළ සංචාරයේ දී ගැරිසන් සුසාන භූමිය වෙත ද පැමිණියේ ය. බොහෝ විට දේශීය සංචාරකයන් මෙම ස්ථානය ගැන නොදන්නා නිසා එය නැරඹීමට නොපැමිණියත් ඇතැම් සංචාරකයන් මෙම සුසාන භූමියේ මිහිදන් කර ඇති තම ඥාතීන් සිහි කිරීම සදහා එහි පැමිණෙනු දැකිය හැකි ය. ඔවුන් සොහොන් කොත් ඉදිරියේ ඉටිපන්දම් දල්වා මල් කිනිත්තක් තබා යාඥා කරමින් ඔවුන්ගේ මිය ගිය ඥාතීන් සිහිපත් කරනු දැකිය හැකි ය. වර්තමානයේ මෙය ආරක්ෂිත පුරාවිද්‍යා භූමියක් ලෙස ද නම් කර තිබේ.

කවරයේ පින්තූරය-  සුසානභූමියේ දැකිය හැකි සොහොන්කොත්වලින් කිහිපයක් - wikimedia.org

මූලාශ්‍ර:

මහනුවර "ගැරිසන්" සුසානයේ පුරාණය- රංජිත් ගුණවර්ධන

දහනමවන හා විසිවන සියවස්වල ලක්දිව බ්‍රිතාන්‍යය සමාජය පිළිබද මනුවර ගැරිසන් සුසාන භූමිය ඇසුරින් සිදු කළ පුරාවිද්‍යාත්මය අධ්‍යයනය - පී.ජේ.ඩබ්ලිව්.එන්.නෝනිස්

ඩොයිලිට අදත් තනි රකින චාල්ස් - දමිත් වෙස්ටන්

 

Related Articles

Exit mobile version