රාජසිංහ දියණිය හොල්මං කරන මහනුවර රජ වාසලේ කතාව

මහනුවරට යන වැඩිදෙනෙක් නැරඹීමට එච්චර උනන්දුවක් නොදක්වන තැනක් තමයි පුරාණ මාළිගය හෙවත් රජ වාසල. එදා උඩරට නායක්කර් රජුන්ගේ බල පරාක්‍රමය විහිදුණු මේ සුදු පැහැති අලංකාර ගොඩනැගිල්ල, අද මහනුවර යුගයට අයත් පුරාවස්තු ප්‍රදර්ශනය කෙරෙන පුරාවිද්‍යා කෞතුකාගාරය වශයෙන් පවත්වාගෙන යනවා. අපේ පැරණි රාජධානිවලින් රජ මාළිගාවල නටබුන් කිහියක්ම හමුවුණත්, දැනට සතුටුදායක මට්ටමින් ඉතිරිව පවතින එකම උදාහරණය වන්නේ මේ මාළිගා ගොඩනැගිල්ල යි. එය පිහිටා තිබෙන්නේ දළදා මාළිගාවට යාබදව දේව වීදිය ඉදිරිපසින්.

ඉතිහාස කතාව

රජ වාසල ඉදිරිසින් – Wikipedia.org

මහනුවර මුලින්ම රාජධානිය කරගත් සේනාසම්මත වික්‍රමබාහුගේ (1473-1511) පටන් රජ පැමිණි පාලකයන් 12 දෙනෙකු දැනට මාළිගය පිහිටි ස්ථානයේ තම මාළිගාව තනාගෙන වාසය කර තිබෙනවා. මහනුවර වඩාත් විධිමත් රාජධානියක් බවට පත්කළ පළමුවන විමලධර්මසූරිය (1592-1604) රජ සමයේ දී මාළිගාව පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්කර තිබෙනවා. ඔහු මාළිගය අසලම දළදා මැදුරක් ද තනවා, දෙල්ගමුවේ සඟවා තිබූ දළදා  වහන්සේ රැගෙනවිත් එහි තැන්පත් කිරීමටත් ක්‍රියා කළා.

මාළිගය අසල සිට දළදා මැදුර පෙනෙන අයුරු- Kusumsiri Wijayawardhana

ඊට පසු කන්ද උඩරට රජවරුන් එම රජ වාසල අලුත්වැඩියා කරමින් වාසය කළ බව යි පේන්නේ. සෙනරත් රජ 1604- 1635) කාලයේ දී පෘතුගීසින් මහනුවර නගරය ආක්‍රමණය කර මාළිගය ඇතුළු ගොඩනැගිලි විනාශ කරනවා. ඊට පස්සේ මාළිගය නැවත ප්‍රතිසංස්කරණයට ලක් වෙනවා. අද අපට දකින්න ලැබෙන්නේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ අලුත්වැඩියා කර වාසය කළ රජ වාසල යි. එහෙත් එයට අයත් ගොඩනැගිලි රැසක් ඉංග්‍රීසි කාලයේ විනාශ වෙලා.

හෙයිඩ්ට්ගේ විස්තරය

ඇතුළත බිත්තිවල හංස රූ – Kusumsiri Wijayawardhana

යොහාන් හෙයිඩ්ට් නම් ඕලන්ද ජාතිකයා මහනුවරට පැමිණෙන්නේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ කාලයේ, 1736 දී පමණ. ඔහු මහනුවර රජ වාසල පැවති ආකාරය මෙසේ විස්තර කරනවා:

අශ්වයන් පවා කළුගල් 19ක් සහිත පියගැට පෙළ මතට ගෙනවුත් රජුට ඉදිරිපත් කළ යුතු ය. මාළිගයට ඇතුළුවන දොරටුව ඉදිරිපස නිමවා ඇත්තේ මට්ටම් කළ කළුගලින් තැනූ කදිම තාප්පයකිනි. අනෙක් ගොඩනැගිලි  මැටිවලින් නිමවා තිබේ. දොරටුවෙන් ඇතුළු වූ පසුව ලීකණු මත තැනූ වහලක් සහිත ගොඩනැගිල්ලකට පිවිසේ. ඊට පසු මැදමිදුලකට පිවිසේ. ඊට පසු තවත් ගොඩනැගිල්ලකට පිවිසීමේ දොරටුවකි. මෙය බෙහෙවින් දික්වූත් සෑහෙන පළලකින් යුතුවූත් ගොඩනැගිල්ලකි.

මාළිගයට ඇතුළුවීමට පෙර දිය අගලකින් එතෙර විය යුතු වුණා. දිග අගල උඩින් තිබූ පාලම අවශ්‍ය විට ඉවත් කළ හැකි එකක්. දිය අගල වටා වූ පවුරේ පහන් දැල්වීමට සැකසූ ත්‍රිකෝණාකාර සිදුරු පිහිටා තිබුණා.

1765 දී ඇඳ ඇති ඕලන්ද සිතියමට අනුව මහ වාසල සංකීර්ණය තුළ අලුත් විහාරය (දළදා මාළිගය), පැරණි විහාරය, තානාපති මගුල් මඩුව, සිංහාසනය ඇති ස්ථානය, බේත් ගේ, ලැගුම් ගේ, බිසෝවරුන්ගේ ලැගුම් ගේ, රජුගේ ඉස්තරම් භාණ්ඩ තබන කාමරය‍, දුනු හී ගඩබාව, තුවක්කු ගබඩාව, කුළුබඩු කාමරය, රජුගේ සොයුරන් සහ පවුල් නැවතී සිටි කාමර, වෙඩි බෙහෙත් තුවක්කු සාදන මඩු, රජුගේ අලුත් ලැගුම් ගේ, ඇත්හල සහ වැසිකිලි ආදී ගොඩනැගිලි තිබුණා.

බිත්තිවල ඇති සිංහ රූ – Kusumsiri Wijayawardhana

දැනට දකින්න ලැබෙන්නේ 1765ට පසුව අලුතින් එක්කළ ගොඩනැගිලි සහිත මාළිගා කොටසක්. 1798 දී එය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අලුත්වැඩියා කර ඇත්තේ නවාංග එකතු කරමින්. ඉංග්‍රීසින්ට උඩරට යටත් වන විට රජු සහ බිසෝවරු වාසය කර තිබෙන්නේ මේ මාළිගයේ යි.

ලුතිතන් ලිට්ල්මන් 1815 දී පමණ අඳින ලද සිතියමේ මාළිගය දැක්වෙන්නේ අද පවතින ආකාරයට යි. 1815 දී ඉංග්‍රීසි උඩරට යටත් කරගත් පසුව මාළිගය උඩරට ඉංග්‍රීසි නියෝජිත ජෝන් ඩොයිලිගේ නිල නිවාසය වුණා. එහිදී මාළිගය නිලධාරින්ගේ වාසයට අවශ්‍ය පරිදි වෙනස්කර තිබෙනවා. දැනට නොවෙනස්ව පැරණි ස්වරූපයෙන් පවතින්නේ ඉදිරිපස දොරටුව සහ ඒ හා සම්බන්ධ ශාලාව පමණ යි. එහි බරාදය කොටස දිගින් අඩි 74ක් ද පළලින් අඩි 12ක් ද වෙනවා. දකින ශාලාව වශයෙන් යොදාගත් කොටසේ අවට දැකගත හැකි සීමැදුරු කවුළු සකසා තිබෙනවා.

ඉංග්‍රීසින්ගේ සටහන්

සීමැදුරු කවුළුව අසල – Kusumsiri Wijayawardhana

ඉංග්‍රීසි හමුදාව 1803 දී උඩරට ආක්‍රමණය කර මහනුවර නගරයට පැමිණියා. ඉංග්‍රීසීන් එන බව සැලවුණු විට රජු දළදා වහන්සේ රහසිගත ස්ථානයකට පිටත්කර හැරියා. රජු සහ ඥාති පිරිස ඊට පසු නගරයෙන් පිට වුණේ මාළිගාව ගිනිබත් කර දැමූ පසුව යි. ඒ, ඉංග්‍රීසින්ට එය කොල්ලකෑමට ඇති අවස්ථාව අවහිර කිරීමට යි. ඉංග්‍රීසි හමුදා නගරයට පැමිණෙන විට කිසිම මිනිස් පුළුටක් නගරයේ සිට නැහැ. ඉංග්‍රීසි ලුතිනන් කර්නල් බාබට් තම වාර්තාවේ ඒ අවස්ථාවේ මාළිගය පැවති අන්දම මෙසේ විස්තර කරනවා:

දැවැන්ත මාළිගා ගොඩනැගිල්ල ගින්නෙන් විශාල ලෙස හානියට පත්ව තිබුණි. මෙහි තුන් පැත්තකින් ගොඩනැගිලි ඇත. මැද ආරක්ෂිත මිදුලකි. ඒ ආසන්නයේ ඉතා කුඩා ගොඩනැගිලි කිහිපයකි. මේවා මිනිසකුට හිටගෙන සිටීමට තරම් ප්‍රමාණවත් විය. ඒවායේ බිත්ති විවිධ රූපවලින් පිරී තිබුණි. මාළිගයට ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවන විටම පෙනෙන්නේ මනා සේ කැටයම් කරන ලද ගල්කුලුනුවලින් යුක්ත මහා ශාලාවකි. ඒ කුලුනු අතර සම දුරින් ඇත්දළ දක්නට ලැබුණි. එම ශාලාව පසුකර යන විට බුද්ධ ප්‍රතිමා සහිත පිළිම ගෙයකි.

1890 වන විට මාළිගය ඉදිරිපස පැවති ආකාරය- gettyimage.com

ජෝන් ඩොයිලිගේ දිනපොතේ මාළිගයට අරක්ගත් භූතයෙක් ගැන කියැවෙනවා. 1811 අවුරුද්දේ සටහනක මෙසේ දැක්වෙනවා:

ශ්‍රී වික්‍රම රාජසිංහගේ දියණියත් කිරිඅම්මාත් මියගිය අතර ඔවුන් මාළිගයට අරක්ගෙන භූතාත්මවල සිටින බවට විශ්වාසයක් පැතිර තිබේ. ඔවුන්ගේ මරණයෙන් පසු මාළිගයේ අද්භූත ලෙස එහි මෙහා යන ශබ්ද ද ජනේලවලට තට්ටු කිරීම් ද නොකඩවා පවතින හෙයින් එසේ සිතනු ලැබේ.

(ඩොයිලිගේ දිනපොත)

මාළිගාවේ අංග

අභ්‍යන්තර අලංකාරය- Kusumsiri Wijayawardhana

රජුට අවශ්‍ය සෑම දෙයක්ම ලැබෙන පරිදි විවිධ අංශවලට අයත් ගෘහ රාශියක් මාළිගා සංකීර්ණයේ තිබුණා. කොටින්ම රජ්ජුරුවන්ට කපුවන් ලබා සෙත්ශාන්ති කිරීමට ශාන්ති මණ්ඩපය නම් තැනකුත් තිබුණු බව සදහන් වෙනවා. 1815 දී අඳින ලද සැලසුමක සටහන් කර තිබූ ඒ අංග මෙසේ දැක්විය හැකියි.

හරමක්කාර මඩුව (සටන් පුහුණු වන ස්ථානය)

මහවාසල සැතපෙන ගේ

උල්පැන් ගේ හා හලු මණ්ඩපය

මුද්දර මණ්ඩය (රාජකීය මුද්‍රාව තබා තිබූ)

රන් ආයුධ මණ්ඩපය

කවිකාර මණ්ඩපය

දකින ශාලාව (රජු සහ අමුත්තන් හමුවන)

මගුල් මඩුව

සාන්ති මණ්ඩපය (රජුට සෙත් ශාන්ති කරන ස්ථානය)

දකින මණ්ඩපය (විදේශීය තානාපතින් රජු හමුවන තෙක් නැවතී සිටින තැන)

මහ ගබඩාව සහ අරමුදල (මෙම ගොඩනැගිලි පිහිටා තිබුණේ පැරණි කච්චේරිය හා උසාවි ගොඩනැගිලි තිබූ ස්ථානයේ යි)

උඩ ගබඩාව

මැද වාහල

දළදා මැදුර

පල්ලෙ වාහල

දෙමළ ඉලංගම් මඩුව

කුණම් මඩුව

ගබඩා අටුව

ජලතිලක මණ්ඩපය

පුරාවිද්‍යා සංරක්ෂණය

පුරාවිද්‍යා සංරක්ෂණයේ දී පුරාණ රූකම් මතුකරගෙන ඇති අයුරු- Kusumsiri Wijayawardhana

ඉංග්‍රීසි පාලකයන් දිගුකලක් රජයේ කාර්යාලයක් ලෙස මහ වාසල භාවිත කළ අතර, නිදහසින් පසුත් එහි ආණ්ඩුවේ කාර්යාල පවත්වාගෙන ගියා. මේ නිසා පෞරාණික ස්වරූපය බොහෝ දුරට වෙනස් කරලයි තිබුණේ. පුරාණයේ බිත්ති අලංකාර කර තිබූ සෙමෙර සලන ලියන්ගේ ද සිංහයන්ගේ සහ හංසයන්ගේ රූප ද මත හුණු ආලේප කිරීම නිසා ඒවා මැකීගොස් තිබුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙහි අයිතිය හිමිවූ පසු එහි නොගැලපෙන අංග ඉවත්කර, පැරණි විදිහ මතුවන ලෙස සංරක්ෂණය කළා.

රජ වාසල ඉදිරිපස- Kusumsiri Wijayawardhana

සංරක්ෂණය සදහා මුල්වූ එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මෙසේ සදහන් කරනවා:

බ්‍රිතාන්‍ය පාලනය යටතේ මේ ගොඩනැගිල්ල දිසාවේ දිසාපතිවරුන්ගේ නිවාසය බවට පත්විය. මේ කාලයේ දී වර්ෂයෙන් වර්ෂය හුණු ආලේපය නිසා අලංකාර රූප හුණෙන් වැසී ගියේ ය. රූප විරූපීව දැකුම්කළු බවින් තොර විය. 

(පුරාවිද්‍යා පාලන වාර්තාව 1966-67).

පුරාවිද්‍යා කෞතුකාගාරයේ පුරාවස්තු- Kusumsiri Wijayawardhana

සංරක්ෂණයෙන් පසු නැවතත් පැරණි ස්වරූපය මාළිගයට ලැබී තිබෙනවා. එහි දැකගත හැක්කේ චාම් අලංකාරයක්. හුණු ආලේපය නිසා සුදු පැහැයෙන් දිලෙන ගොඩනැගිල්ලට ඇතුළුවීමට ඇත්තේ පලාපෙති මෝස්තර කැටයම් කළ දැව උළුවස්සකින්. මෙහි දොර පියන් දෙකකින් යුක්ත වන අතර පනේල 6කින් යුක්තයි. මෙම උළුවස්ස 17 වැනි සියවසට අයත් බව ගොඩකුඹුර සදහන් කරනවා.

මාළිගයේ උළුවස්සේ අලංකරණ- Kusumsiri Wijayawardhana

ඉදිරිපස බිත්තිය රාජකීයත්වයේ සලකුණ වශයෙන් සැලකෙන ඉර හද රූපවලින් අලංකාර කර තිබෙනවා. බිත්තියේ ඇති චතුරස්‍රාකාර කොටු වටා යන සේ ගජසිංහ රූප සහිත පිළිස්සූ මැටි පුවරු අල්ලා තිබෙනවා. මේ උළු එකල සායම් කර තිබුණු බව යි පෙනෙන්නේ. මාළිගය ඇතුළත බිත්ති චිත්‍රවලින් අලංකාර කර තිබූ බවට ද සාධක හමුවී තිබෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

මහනුවර ලෝක උරුම නගරයේ ස්මාරක- කුසුම්සිරි විජයවර්ධන

පුරාවිද්‍යා පාලන වාර්තාව , චාල්ස් ගොඩකුඹුර 1966-67

කන්ද උඩරට මහනුවර- අනුරාධ සෙනෙවිරත්න

කවරය- මාළිගය ඇතුළත අලංකරණ -Kusumsiri Wijayawardhana

Related Articles