ගෙවී ගිය පෙබරවාරි හතර වැනි දින ශ්‍රී ලාංකික අප සැම සැමරුවේ 69 වැනි නිදහස් දිනය යි. සැමරූ නිදහස අප ලබා ගත්තේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ සියවසකට අධික කාලයක් යටත් විජිතයක් ලෙස සිටීමෙන් අනතුරු ව යි. නමුත් අපට නිදහස අහිමි කරමින් ක්‍රිස්තු වර්ෂ 1815 මාර්තු මස 10 වැනි දින බ්‍රිතාන්‍යයන් සහ උඩරට රදළ ප්‍රධානීන් අතර ඇති වූ උඩරට ගිවිසුම ගැන ඔබේ දැනුම කොහොම ද?

උඩරට ගිවිසුම අත්සන් කරන සමයේ සෙංකඩගල මාලිගා පරිශ්‍රය (serendib.btoptions.lk)

සෙංකඩගල නුවර මගුල් මඩුවේ දී බ්‍රිතාන්‍යයන් සහ උඩරට රදළ ප්‍රධානීන් විසින් අත්සන් තබන ලද උඩරට ගිවිසුමේ ප්‍රධාන ම අරමුණ වූයේ එවකට සිහසුන දැරූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහ කිරීම යි. දකුණු ඉන්දීය පරම්පරාවකින් පැවත ආ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට කන්ද උඩරට ප්‍රධානීන් දැඩි අප්‍රසාදයක් දැක් වූ අතර ඒ හේතුවෙන් බ්‍රිතාන්‍යයන්ගේ සහය ඇති ව සෙංකඩගල රාජධානියේ පාලනය සියතට ගැනීම සඳහා ඔවුන් දැඩි වුවමනාවකින් පෙළුණු බව යි ඉතිහාසයේ සඳහන් වන්නේ. ඒ අනුව ක්‍රි. ව. 1815 මාර්තු මස 2 වැනි දින ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලය සම්පූර්ණයෙන් ම බ්‍රිතාන්‍යයන් සතු වූ අතර ගිවිසුම අත්සන් තැබීමෙන් පසු ව සැඟවී සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ව අල්ලාගෙන ක්‍රිස්තු වර්ෂ 1816 ජනවාරි 24 වැනි දින දකුණු ඉන්දියාවේ වෙල්ලෝර් බලා පිටුවහල් කර තිබෙනවා.

ක්‍රිස්තු වර්ෂ 1815 දී සැඟ වී සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ව සිරභාරයට ගැනීම (en.wikipedia.org)

සිංහලයන් අතර අප්‍රසාදයට පත් ව සිටිය ද ඇතැම් ඉතිහාසඥයින්ගේ මතය වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිංහලයෙක් තරමට ම ලක් මෑණියන්ට ආදරය කළ බව යි. මේ බව තහවුරු කරන කවි පෙළක් ලෙස අප්‍රකට කවියෙකු විසින් රචිත ‘ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු’ කවි පෙළ හඳුන්වන්න පුළුවන්. එහි දී තමා පාලනය කළ දිවයිනෙන් හා ජනතාවගෙන් සදහට ම වෙන් ව යන මොහොතේ රජතුමාගේ මුවින් ගිලිහුණු සිතුවිලි පෙළක් කවියා ගළපා තිබුණේ මේ ආකාරයෙන්.

 “විකුම් සිහල පරපුර සිහි තිබෙන තුරු උතුම් රාජ ලේ ටික මගෙ සිඳෙන තුරු නෙතින් කඳුළු නො හෙළමි දිවි තිබෙන තුරු ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු”

උඩරට ගිවිසුම සඳහා බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් එවකට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රොබට් බ්‍රවුන්රිග් අත්සන් තැබූ අතර ගිවිසුමේ අනෙක් පාර්ශවය වූ සිංහල රාජධානිය වෙනුවෙන් පිළිවෙළින් ඇහැළේපොළ නිලමේ හා පළමු අධිකාරම්, හත් කෝරලේ දිසාවේ මොල්ලිගොඩ හා දෙවැනි අධිකාරම්, සබරගමුව දිසාවේ පිළිමතලව්වේ, හතර කෝරලේ දිසාවේ පිළිමතලව්වේ (නැවත වරක්), ඌවේ දිසාවේ මොනරවිල, වලපනේ දිසාවේ දූල්ලෑවේ, වෙල්ලස්සේ හා බින්තැන්නේ දිසාවේ වූ මිල්ලෑව, තමන්කඩ දිසාවේ ගලගම සහ නුවර කලාවියේ දිසාවේ වූ ගලගොඩ යන රදළයන් අත්සන් තබා තිබෙනවා.

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රින්ග් (nam.ac.uk)

සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන් සකස් කර තිබෙන උඩරට ගිවිසුම සඳහා ඇහැළේපොළ නිලමේ ඇතුළු සිංහල රදලයින් බොහෝ දෙනෙක් දෙමළ බසින් අත්සන් කිරීම මගින් එවකට සෙංකඩගල රාජධානිය තුළ පැවති දකුණු ඉන්දීය ආභාෂයන් මැනවින් පෙන්නුම් කරනවා. උඩරට ගිවිසුමේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් තබා ඇත්තේ බ්‍රිතාන්‍ය රජයේ ප්‍රධාන භාෂා පරිවර්තක වූ ජෝන් ඩොයිලි සහ බ්‍රිතාන්‍ය රජයේ උප ලේකම් වූ ජේම්ස් සදර්ලන්ඩ් යන අය යි.

සිංහල රදල ප්‍රධානීන් බොහෝමයක් දෙමළෙන් අත්සන් තැබූ උඩරට ගිවිසුමේ කොටසක්. (en.wikipedia.org)

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිග්ගේ අධික්ෂණය යටතේ ජෝන් ඩොයිලි විසින් වගන්ති දොළහකින් යුතු උඩරට ගිවිසුම කෙටුම්පත් කරනු ලැබ තිබුණේ ඉංග්‍රීසි සහ සිංහල වගන්ති එකිනෙකට සමාන්තර ව පිහිටන ආකාරයට යි. එසේ ම ගිවිසුමේ සිංහල වගන්තිවල කන්ද උඩරට රාජධානිය හැඳින්වීම සඳහා ‘සිංහලේ’ යන වදන යොදාගෙන තිබුණා. පිටපත් දෙකකින් අත්සන් තබන ලද ගිවිසුමේ පිටපත් දෙක ම පසු කාලීන ව අස්ථානගත වී තිබෙන අතර බ්‍රිතාන්‍යයන් විසින් පාලන කටයුතු සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් මුද්‍රිත පිටපතක් භාවිතා කර තිබෙනවා.

ආණ්ඩුකාරයාට ලබා දුන් සත්‍ය පිටපත 1979 වසරේ දී කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ දී සොයා ගන්නා ලද්දේ විධායක සභාවේ වාර්තා සටහන් කරන ලද පැරණි වෙළුමක් තුළ තැන්පත් කර තිබීමෙන්. කන්ද උඩරට රදළ ප්‍රධානීන් සඳහා ලබා දුන් පිටපත තවමත් හමු වී නැහැ.

උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු බ්‍රිතාන්‍ය කිරීටය විසින් පත් කළ රදලයින් (en.wikipedia.org)

උඩරට ගිවිසුමේ එක් එක් වගන්තිය මගින් පහත දැක්වෙන මූලික කරුණු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය සහ උඩරට රදළ ප්‍රධානීන් එකඟතාවයකට පැමිණ තිබුණා.

  1. මලබාර් රජෙකු වූ ශ්‍රී වික්‍රම රාජසිංහට කන්ද උඩරට රාජධානියේ කිරුළ සම්බන්ධයෙන් පැවති සියලු ම හිමිකම් අහෝසි කිරීම.
  2. රජතුමාගේ රාජ්‍ය කාලය සහ කන්ද උඩරට පාරම්පරික හිමිකම ද සිංහලේ ආණ්ඩුවක් පිහිටු වීමට දෙමළ ජාතිකයන්ට පැවති සියලු ම අයිතිවාසිකම් ද අහෝසි කළ බව ප්‍රකාශ කිරීම.
  3. රජතුමාගේ සියලු ම පුරුෂ ඥාතීන් රටින් පිටුවහල් කිරීම සහ යළි පැමිණීම තහනම් කිරීම.
  4. සිංහලේ පරමාධිපත්‍ය බලය බ්‍රිතාන්‍ය කිරීටය යටතට ගත් බව ප්‍රකාශ කිරීම සහ සිංහල නීති ක්‍රමය දිගට ම පවත්වාගෙන යාම සඳහා උඩරට අධිකාරම්වරුන්ට, දිසාවේවරුන්ට, මොහොට්ටාලවරුන්ට, කෝරාලේවරුන්ට සහ විදානේලාට බලය පිරි නැමීම.
  5. බුදු දහම, සංඝයා වහන්සේ, විහාරස්ථාන සහ දේවාල ආරක්ෂා කිරීමට සහ නිසි ලෙස නඩත්තු කිරීමට පොරොන්දු වීම.
  6. සෑම ආකාරයේ ම ශාරීරික වද හිංසාවන් සහ අවයව කැපීමේ දඬුවම් අහෝසි කිරීම.
  7. මරණ දඬුවම නියම කිරීම සඳහා අවශ්‍ය බලතල ආණ්ඩුකාරවරයා වෙත ලබා දීම සහ මරණ දඬුවම ක්‍රියාවට නැංවීම රාජ්‍ය නිලධාරීන් ඉදිරිපිට දී සිදු කළ යුතු බව ප්‍රකාශ කිරීම.
  8. කන්ද උඩරට රාජධානිය තුළ සිදු වන සෑම සිවිල් සහ අපරාධ ක්‍රියාවක් ම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ දී එය පවතින උඩරට නීති ක්‍රම යටතේ සිදු කළ යුතු බව තහවුරු කිරීම සහ අවශ්‍ය අවස්ථාවල දී පමණක් බ්‍රිතාන්‍ය නීතිය හඳුන්වා දෙන බවට පොරොන්දු වීම.
  9. කන්ද උඩරට නොවන අනෙකුත් ප්‍රදේශයන් හි බ්‍රිතාන්‍ය නීතිය බලපැවැත්වෙන බව ප්‍රකාශ කිරීම.
  10. එවකට තුන් කෝරලේ, හතර කෝරලේ සහ සබරගමුව සම්බන්ධයෙන් නිකුත් කරන ලද දැන්වීම් පත්‍ර සියල්ලක් ම අහෝසි කිරීම.
  11. ජනතාවගෙන් රැස් කරන බදු සහ අනෙකුත් ආදායම් සියල්ල ම බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් වෙන් කරන බව ප්‍රකාශ කිරීම.
  12. වෙළඳාම් කටයුතු සහ අනෙකුත් වාණිජ ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාට බලය ලබා දීම.

කන්ද උඩරට නොවන අනෙකුත් ප්‍රදේශයන් හි බ්‍රිතාන්‍ය නීතිය බලපැවැත්වෙන බව ප්‍රකාශ කළ ගිවිසුමේ නවවැනි වගන්තිය (namathumalayagam.com)

කන්ද උඩරැටියන් විසින් උඩරට ගිවිසුම සංශෝධනය කළ නොහැකි අවසානාත්මක ලේඛනයක් ලෙස පිළි ගත්ත ද බ්‍රිතාන්‍යයන්ට උඩරට ගිවිසුම සාමාන්‍ය වෙළඳ ගිවිසුමක් පමණක් ම විය. ඔවුන් කැමති ආකාරයට එහි සඳහන් වගන්ති සංශෝධනය කෙරුණු අතර බුදු සසුන රැක ගැනීමට සහ සිංහල නීතිය පවත්වාගෙන යාමට ඔවුන් දුන් පොරොන්දු සියල්ලක් ම කන්ද උඩරට රාජ්‍යයේ බලය අල්ලා ගැනීම සඳහා යොදන ලද උපක්‍රමයක් බව පැහැදිලි වීමත් සමඟ 1818 කන්ද උඩරට කැරැල්ලට මූලික අඩිතාලම වැටුණි.

1818 කැරැල්ලට මූලිකත්වය දුන් නායකයින්ට දඬුවම් පැමිණවීම (dailynews.lk)

උඩරට ගිවිසුමේ නීත්‍යානුකූල බව අදටත් මතභේදාත්මක යි. අන්තර්ජාතික නීතිය යටතේ උඩරට ගිවිසුම සම්පූර්ණයෙන් ම බල පවත්නා එකක් නොව කොන්දේසි සහිත විරාම ගිවිසුමක් බව යි කීර්තිමත් නීතිඥයෙකු වූ ගාමිණි ඊරියගොල්ල මැතිතුමාගේ මතය වූයේ. කෙසේ හෝ 1986 දී කැබිනට් අමාත්‍යවරුන්ගේ තීරණයක් මත 1815 උඩරට ගිවිසුම සහ 1818 ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක ප්‍රඥප්ති (Legislative Enactments of Sri Lanka) සඳහා ඇතුළත් කර තිබෙනවා.

කවරයේ පින්තූරය : ඉපැරණි කන්ද උඩරට රාජධානිය

(lankapura.com)

මූලාශ්‍ර :

  1. Legislative Enactments of Sri Lanka (Vol. XX)
  2. en.wikipedia.org
  3. island.lk
  4. lankaweb.com