මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

1941 ජූලි 14 දින බෙලොරුසියාවේ ඔර්ශා දුම්රිය නැවතුම්පොළට ජර්මන් යුධ ප්‍රවාහන දුම්රිය 3ක් පැමිණියා.ඉන් එක් දුම්රියක් සමන්විත වූයේ ජර්මන් හමුදාවන්ට අවශ්‍ය යුද්ධ ටැංකිවලින් වන අතර දෙවන දුම්රිය තුළ වූයේ ඉන්ධන බහාළුම් ය. තුන්වන දුම්රිය තුළ ජර්මන් වෙයාමක්ට් භට පිරිස් හා ඔවුන්ට යුද්ධ පෙරමුණට අවශ්‍ය අනෙකුත් සන්නද්ධ වාහන හා මෝටර් බයිසිකල් ඇතුළත් වුණා.

සවස 03.15ට පමණ ඔර්ශා දුම්රිය පොළට හදිසියේම ප්‍රබල රුසියානු ප්‍රහාරයක් එල්ල වූ අතර මුළු දුම්රිය පළම මහා ගිනි ජාලාවකට මැදි වුණා. යුද්ධටැංකි දුම්රියෙන් ඉවතට විසිවී ගිය අතර ඒවා ගිනිගෙන දැවෙන්නට වුණා. ඉන්ධන බහාලුම් පුපුරා යන්නට වූ අතර පැමිණි මෝටර් රථ හා අනිකුත් වාහන ද ගිනි ජාලාවන්ට හසුවුණා. හදිසියේම තමන්ට එල්ල වූ ප්‍රහාරය හමුවේ භීතියටත් කම්පනයටත් පත් ජර්මන් හමුදාවන් හිස හැරුණු අතේ දිවගියා.

ඔර්ශා දුම්රිය නැවතුමේ දී ප්‍රහාරයට මැදි වූ ඉහළ ජර්මන් නිලධාරියෙක් පසුකලෙක තම දිනපොතේ මෙසේ සටහනක් තබා තිබුනා.

1941 ජූලි 14 දින රුසියානුවන් විසින් යම් කිසි නව ආයුධයකින් ඔර්ශා දුම්රිය නැවතුමට පහර දුන්නා. මේ වන තෙක්ම එය කුමක් ද යන්න අපට හඳුනාගැනීමට නොහැකි වූවත් මෙතෙක් අප දැක ඇති කිසිම ආයුධයකට වඩා එය අතිශය ප්‍රබල එකක් විය යුතු යි. අප වෙත පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රිය තුන ඇතුළත්ව මුළු දුම්රිය නැවතුම්පළම මුළුමනින්ම විනාශයට පත් වුණා. එහි ප්‍රබලත්වය කෙසේ ද යත්, යුද්ධටැංකිවල හා දුම්රියවල ලෝහ ආවරණ උණු වී ද්‍රව බවට පත් වූ අතර මහපොළව ද ගිනිගෙන දැවෙන්නට වුණා.

දෙවන ලෝක යුධ සමයේ අතිශය ප්‍රබල රුසියානු “කත්යූෂා රොකට් විදිනවල” ප්‍රථ‍ම ප්‍රහාරය වූයේ මෙම ප්‍රහාරය යි.

කත්යූෂා ක්‍රියාත්මක වෙමින්/ RT

මෙම නව කත්යූෂාවල මුල්ම අත්හදාබැලීම සිදුවුයේ 1941 ජුනි 17 දින යි. ඒ එවක සෝවියට් අණදෙන නිළධාරියෙක් වූ තිමශෙන්කොෆ්ගේ අධීක්ෂණය යටතේ යි. මෙම අත්හදාබැලීමෙන් දින තුනකට පසු මෙම ‘කත්යූෂා’ මහා පරිමාණයෙන් නිෂ්පාදනය සඳහා අත්සන් තැබුවා. ජූනි 26 වන විට නව ‘කත්යූෂා’ දෙකක් වොරොනෙෆ් හි පිහිටි කර්මාන්තශාලාවක දී නිපදවා අවසන් කෙරුණා. එය BM-13 ලෙස හැඳින්වූ අතර අක්ෂයන් 3ක් ඔස්සේ භ්‍රමණය කළ හැකි පරිදි Zis-6 ට්‍රක් රථයක සවිකරනු ලැබුවා. මෙයට විනාශකාරී 132mm රොකට් නිකුත් කිරීමේ හැකියාව පැවතියා.

අණදෙන නිලධාරී ඉවාන් ෆ්ල්යෝරොෆ්ගේ අණ යටතේ ඔර්ශා දුම්රිය නැවතුම්පළට පහර දීමට යොදාගත්තේ මෙම BM-13 මාදිලිය යි.

‘කත්යූෂා’වල පැවති කාර්යයක්ෂම බවත්, අඩු නිෂ්පාදන පිරිවැයත් නිසා රුසියාවේ යුධ සමය තුළ මේවා නිෂ්පාදනය සීඝ්‍රව ඉහළ ගිය අතර, 1941 ජූලි අවසන් වන විට දෙවන හා තුන්වන ‘කත්යූෂා’ රොකට් විදින බතරොයි (බැටෑලියනයකට වඩා කුඩා ඒකකයක්) යුද්ධයේ නැගෙනහිර පෙරමුණට පැමිණියා.

1941 අගෝස්තු වන විට ඉහළ සෝවියට් නිලධාරීන් විසින් ‘කත්යූෂා’ රෙජිමේන්තු 8ක් ස්ථාපනය කිරීමට තීරණය කළා. මෙම රෙජිමේන්තුවක් යුධ පෙරමුණේ ප්‍රහාර එල්ල කිරිමට යාමට ප්‍රථම, ඔවුන්ට විශේෂ සෝවියට් සේනාංකයක් මඟින් ආරක්ෂාව සපයනු ලැබුවා.

එක් රෙජිමේන්තුවක් යටතේ ඩිවිෂන 3ක් පැවතුන අතර එක ඩිවිෂණයක් යටතේ බතරොයි 3ක් පැවතියා. බතරොයි එකක BM-13 ට්‍රක් රථ 4ක් පැවති අතර මෙලෙස එක රෙජිමේන්තුවක් යටතේ පැවතී මුළු ‘කත්යූෂා’ ප්‍රමාණය 36ක්. 1941 වසර අවසන් වන විට නිෂ්පාදනය කර තිබූ මුළු ‘කත්යූෂා’ ප්‍රමාණය 592ක් වුණා.

මෙම එක් රෙජිමේන්තුවක් යටතේ සෝවියට් රතුහමුදා සෙබළුන් 1500ක් සේවයේ නිරත වුණා. මොවුන් තෝරාගැනීම අතිශය රහසිගතව සිදුකළ අතර එයට හේතුව වූයේ මෙම ‘කත්යූෂා’ ජර්මන් හමුදාවට පමණක් නොව බහුතර රතු හමුදාවට ද රහසක් වූ නිසා යි.

සෑම BM-13 ට්‍රක් රථයක් තුළම රොකට්වලට අමතරව 30kgක පුපුරණ ද්‍රව්‍ය අඩංගු වුණා.

මෙම රෙජිමේන්තුවලට තෝරාගන්නා යුධ සෙබළුන් තම පුහුණු කාලය අවසන් කර තම BM-13 (Zis-6) ට්‍රක් රථය සමග යුධ පෙරමුණට යාමට පෙර ප්‍රතිඥාවක් දිය යුතුව තිබුණා. ඒ තමා මිය ගියත් තම BM-13 ට්‍රක් රථය සතුරාට අල්ලාගැනීමට නොදෙන බවට යි.

සෝවියට් සෙබළුන් කත්යූෂාවකට රොකට් ඇතුළත් කරමින්/ MilitaryHistoryNow.com

සෑම ට්‍රක් රථයක් තුළම “අමතර” 30kgක පුපුරණ ද්‍රව්‍ය අඩංගු කර තිබූයේ මේ නිසා යි.

‘කත්යූෂා’ රෙජිමේන්තුවක මුළු ප්‍රහාරක කාලයම රදා පැවතියේ තත්පර 5-10 වැනි ඉතා කුඩා කාලයක් තුළ යි. නමුත් මෙම කාලය තුළ නිකුත් කරන මුළු රොකට් ප්‍රමාණය 576ක් වුන අතර එමඟින් හෙක්ටයාර 100ක් තුළ ඇති සියලු දේ ගිනිගෙන විනාශ කිරීමේ හැකියාවක් මෙම ‘කත්යූෂා’වලට පැවතියා.

මෙම රොකට් සෙල්සියස් අංශක 800 තරම් උෂ්ණත්වයකට ලක්ව පුපුරා ගියේ ඒ සමීපයේ පවතින සෑම දෙයක්ම දවා අළු කරමින්. මෙම රොකට් තුළ අන්තර්ගත කර තිබූ ගිනිගන්නා සුළු ඉන්ධනය වූයේ තර්මයිට් නම් සංයෝගයක්.

මෙම රෙජිමේන්තුවක් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ක්‍ෂණිකව තම ස්ථානය වෙනස් කරනු ලැබුවා. ඒ, තමන් වෙත එල්ල විය හැකි ප්‍රතිප්‍රහාරවලින් වැළකීමේ අරමුණින්.

යම් හෙයකින් රෙජිමේන්තුවක් සතු එක් BM-13 ට්‍රක් රථයක් හෝ අඩු වුයේ නම් එයට වගකිය යුතු සියලුදෙනාම යුධ අධිකරණයට පැමිණවීම සිදු වුණා.

ජර්මන් හමුදාව සතුවත් රොකට් ප්‍රහාර එල්ල කිරීමට හැකි ආයුධ පැවතියත් ප්‍රහාර එල්ලකළ හැකි පරාසය සලකන විට රුසියානු ‘කත්යූෂා’ රෙජිමේන්තු සිටියේ ඔවුන්ට වඩා බොහෝ ඉදිරියෙන්.

ජර්මානුවන් මෙම ‘කත්යූෂා’සවි කළ BM-13 ට්‍රක් රථ අල්ලා ගැනීමට දඩයම් සිදුකළත් ඔවුන්ට සාර්ථක වීමට හැකි වූයේ නැහැ. ‘කත්යූෂා’ රෙජිමේන්තුවල රතු හමුදා සෙබළුන් තම ප්‍රතිඥාවට අනුව කටයුතු කළ බැවින් ඔවුන්ට අල්ලාගැනීමට හැකිවුයේ දැවී අළු වී ගිය සුන්බුන් රැසක් පමණ යි. රුසියානු රොකට් ඉංජිනේරුවන්ගේ රහස් මෙලෙස අඟුරු ගොඩක් තුළ සැඟව ගියා.

රුසියාව පුරා විවිධ කර්මාන්තශාලාවල මෙම ‘කත්යූෂා’ නිෂ්පාදනය ආරම්භ කළා. එම කර්මාන්තශාලාවල සේවකයන්ට දිනකට පැය 12-16 අතර කාලයක් තම රාජකාරිවල කටයුතු කරන්නට සිදු වුණා. මෙම කර්මාන්තශාලාවල බහුතරයක් සේවකයන් කාන්තාවන් වූ අතර ඒ අතර වයස අවරුදු 16 පමණ වන ගැහැණු ළමයින් ද සිටියා.

මෙම ‘කත්යූෂා’වලට අවශ්‍ය රොකට් නිෂ්පාදනය මුළු යුද්ධ කාලය තුළම නතර වූයේ නැහැ. ලෙනින්ග්‍රාද් වැටලීමේ දී පවා මෙම රොකට් නිෂ්පාදනය දිගින් දිගටම පැවතුනා.

මෙම ‘කත්යූෂා’ සැලසුම් කරන සැලසුම් කරුවන් දිනපතා තම නිර්මාණයන් හොඳම ප්‍රතිපළ ලබාගැනිමට යාවත්කාලීන කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1943 අප්‍රේල් මාසයේ දී BM-13N මාදිලිය යුධ පෙරමුණට හඳුන්වා දුන්නා.

 

BM-13N

රොකට් වර්ගය - M 13

පරාසය - 8.5kmට වැඩි

රොකට් ප්‍රමාණය - 16

ක්‍රියාකරුවන් ගණන - 5 - 7

 

මෙය සවි කරනු ලැබුවේ studebaker –u56 ට්‍රක් රථයේ යි.

මෙම රොකට්වලට ‘කත්යූෂා’ යන නම ලැබීමට හේතු කිහිපයක් පැවතුණා. කත්යූෂා යනු එකැතරීනා යන කාන්තා නමෙහි කෙටි සහ ආදරණීය ඇමතුම යි.

මෙම නා ලැබීමට එක් හේතුවක් වනුයේ මුල් කාලයේ මෙම රොකට් නිපදවූ කොම්ප්‍රෙසර් කර්මාන්ත ශාලාවේ ගැහැණු ළමුන් මෙය හැඳින්වූයේ මේ නමින් වීම යි.

දෙවැනි හේතුව වනුයේ මේවා නිපදවූ වොරොනෙෂ් කර්මාන්තශාලාවේ පෙර පැවති නම වන කොමින්ටර්න් යන නමේ මුල් අකුරින් ආරම්භ වන නමක් වීම නිසා යි.

තුන්වන හා වඩාත්ම ප්‍රබලම හේතුව වනුයේ රුසියාවේ ප්‍රසිද්ධ ගීතයක් වන ‘කත්යූෂා’ ගීතයේ නමින් මේවා හැඳින්වීම යි.

කත්යූෂා ගීයෙහි පදමාලාව පහත ආකාරයේ අර්ථයක් ගෙනෙනවා.

 

ඇපල් සහ පෙයාර්ස් ගස් ඵලවලින් බර වී

නදී තෙර මිහිදුමින් වැසෙද්දී

ගැඹුරු සහ උස් වූ නදී තෙර ඔස්සේ

ඇවිද යන්නට වුණා කත්යූෂා

ඇය පිය නගයි, ගීයක් ද ගයමින්

ස්ටෙප් බිමෙහි අළු වන් වානේ රාජාලියා ගැන

තමන් සුරැකිව තබාගත් ලියුම් එවන

ඇගේ පරම ප්‍රේමය ගැන

එම්බා ගීතය! තරුණිය ගයන ගීතය!

සූර්යයා දෙසට ම පියඹා යනු

එතැනින් දේශසීමාව කරා පියඹා

ඔහුට කත්යූෂාගේ සුබපැතුම් දෙනු.

ඔහුගේ සරල ගැමි තරුණිය මතක් කර

ඇගේ ගීතය අසන්නට දෙනු

කත්යූෂා තම ආලය රකින්නා සේ

ඔහුට රට රකින්නට දෙනු!

 

තම සේනාංක සමග ‘කත්යූෂා’ රෙජිමේන්තු ද සිටීම නිසා රතුහමුදා සෙබළුන් වඩාත් නොබියව හා දැඩි උද්වේගයකින් සටන් කරන්නට වුණා.

ජර්මන් සෙබළුන් මෙම ‘කත්යූෂා’ හැඳින්වූයේ ‘අඳුරු මරණය’, ‘අපායේ ගින්න’ වැනි නම්වලින්. මින් වඩාත්ම ප්‍රචලිත වූයේ ‘ස්ටාලින් ගේ ඕගනය’ යන නම යි. මීට හේතුව වූයේ මේවා දුරට පෙනෙනුයේ සංගීත භාණ්ඩයක නල සමූහයක් ලෙසින් වීම යි.

‘කත්යූෂා’හි ප්‍රහාරවලට මැදිව දිවි ගලවා ගත් ජර්මන් සෙබළුන්ට අනුව එය ඔවුන්ගේ ජීවිතය තුළ දී මුහුණ දුන් ත්‍රාසජනකම සිදුවීම යි. ජර්මානුවන් කත්යූෂා රොකට්වලට දැඩි සේ බිය වුණා. කත්යූෂාවක් ක්‍රියාකරවන රතු සෙබළකු හසු වී නම් එකණෙහිම ඔහු මරා දැමීමට ජර්මානුන් කටයුතු කළේ ද එබැවින්.

STOPLUSJEDNICKA.cz

මේවායේ හඬ යුධ බිමෙහි ප්‍රකට නාදයක් බවට පත් වූ අතර මෙම රොකට් වාතය තුළ වේගයෙන් ඇදී යන විට නැගෙන ශබ්දය ඇතැමුන් විස්තර කරන්නේ සිංහයෙකුගේ ගර්ජනාවක්, බල්ලකුගේ උඩුබුරාලීමක් හා කෙනෙකුගේ අඳෝනාවක් මිශ්‍ර වූ විට නැගෙන ශබ්දයක් ලෙස යි.

මුළු යුද්ධ කාලය තුළ දීම මේවා නිෂ්පාදනය හා යාවත්කාලීන කිරීම සිදු වූ අතර එකිනෙකට වෙනස් ප්‍රමාණයන්වලින්, වෙනස් අරමුණුවලට අනුව රොකට් වර්ග 30ක් පමණ නිෂ්පාදනය කළා.

මින් වඩාත්ම ප්‍රබලම මාදිලිය වූයේ M 31 මාදිලිය යි. රතු හමුදා සෙබළුන් මෙය හැඳින්වූයේ ‘LUKA’ යන අන්වර්ථ නාමයෙන්. මෙම එක් රොකටයක් 90kg ස්කන්ධයකින් යුක්ත වූ අතර එය තුළ 30 kg පුපුරන ද්‍රව්‍ය අඩංගු කර තිබුණා. මේවා ඉතා සාර්ථක ලෙස බර්ලින්වල ‘වීදි’ සටන්වල දී යොදාගනු ලැබුවා.

දෙවන ලෝක යුද්ධයේ අවසන් අවධියේ බර්ලින්වල දී දියත් කිරීමේ වේදිකා 1510ක් හා දියත් කිරීමේ රාමු 1795ක් මෙම ‘කත්යූෂා’රොකට් සඳහා යොදාගත්තා.

දෙවන ලෝක යුද්ධයේ මුල් කාලයේ දීම උපත ලද මෙම ‘කත්යූෂා’වන් 1945 මාර්තුවල දෙවන ලෝක යුද්ධය අවසන් කරන තෙක්ම මිත්‍ර පාර්ශ්වයේ ජයග්‍රහණය උදෙසා විශාල දායකත්වයක් ලබා දුන්නා.

වර්තමානයේ ඇතැම් දියුණු රටවල හමුදාවන් සතුව පවතින ඇති නවීන Multiple Rocket Launching Systems, Air Defence Systemsවල මූලාකෘතිය වන්නේ 1941 දී සෝවියට් රුසියාව විසින් නිපදවන ලැබූ මෙම “කත්යූෂා රොකට් විදින” යි.