Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොකළ වරදකට වසර 18ක් සිරබත් කෑ කෙනී වෝටර්ස්

අපරාධකරුවෙක් නිදොස් වීමට වඩා, නිදොස් පුද්ගලයෙකුට දඬුවම් නියම වීම බරපතල කාරණයක් බව සමාජයෙහි මුල්බැසගත් මතයක් පවතිනවා. කෙසේ නමුත් සාධාරණ නීතියක් පවතින්නේයැ යි සැලකෙන, දියුණුයැ යි සම්මත රටවල පවා කලාතුරකින් එවැනි අවාසනාවන්ත ඉරණම්වලට ගොදුරු වූ පුද්ගලයින් අපට හමුවෙනවා. තමන් කිසිදා නොකළ වරදකට වසර 18ක් සිරබත් කෑ ඇමෙරිකානු ජාතික කෙනී වෝටර්ස් එවැන්නෙක්.

මිනී මැරුමක්

1980 මැයි මස 21 වන දිනට ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ප්‍රාන්තයට සුපුරුදු ලෙසින් හිරු උදා වුණා. උදෑසන සිටම තවත් එක් සාමාන්‍ය දිනයක ලක්ෂණ පෙන්නුම් කළත්, කෙසේ හෝ එහි ජනතාව එක්වරම සසල වූයේ එහි ජීවත් වූ කැතරිනා රයිට්ස් බ්‍රෝ නම් කාන්තාව අමානුෂික ලෙස ඝාතනය වී ඇති බැව් සැලවීමත් සමග යි.

තරුණ කෙනී වෝටර්ස්- Hetq

උදෑසන 10.45ට පමණ ප්‍රාණය නිරුද්ධ වී තිබූ ඇගේ නිසල දේහය ඇගේ නිවාස පරිශ්‍රයේම තිබී හමු වූ අතර නිවස පුරාම ලේ පැල්ලම් තිබුණා. එමෙන්ම ඈ සතුව තිබූ මුදල් හා රන් ආභරණ ද අතුරුදන්ව තිබුණා.

කෙනී වෝටර්ස් අත්අඩංගුවට

බ්‍රෝගේ නිවස පුරා තිබූ ලේ පැල්ලම් හා ඇඟිලි සලකුණු අපරාධකරුට අයත් බවට පෙනීගිය අතර ඉක්මණින්ම එහි කසල බඳුනක තිබී මිනීමැරුම සිදුකිරීමට යොදාගත්තේ යැයි සැක කළ හැකි ලේ වැකුණු පිහියක්ද හමුවනවා.

පොලිසිය විසින් ඉක්මනින්ම සැකකරුවන් ලුහුබැඳයාම ඇරඹුණු අතර, මේ සඳහා සැකපිට යාබද නිවසේ පදිංචිව සිටි තරුණයෙකු වූ කෙනී වෝටර්ස් හා ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගැනෙනවා. වයස විසි ගණන්වල පසු වූ කෙනී වෝටර්ස් ඒ අසල වූ රාත්‍රී ආපනශාලාවක සේවය කළා. ඝාතනයට ලක් වූ බ්‍රෝ නිතර එහි යන එන ගනුදෙනුකාරියක වූ අතර, ඈ සතුව මුදල් හා රන් ආභරණ බොහෝ ප්‍රමාණයක් ඇති බව අවන්හලේ සේවකයින් අතර ප්‍රසිද්ධ රහසක් වුණා.

කෙනී වෝටර්ස් සේවය කළ අවන්හල – Diner Hotline

පොලීසිය විසින් වෝටර්ස් දැඩි ලෙස ප්‍රශ්න කිරීම්වලට භාජනය කෙරුණා. ඝාතනය සිදු වූ දින උදේ 8.30 වන තුරු ඔහු අවන්හල් පරිශ්‍රයේ සේවය කරමින් රැඳී සිටි බවට තහවුරු වුණා. ඉන්පසුව ඔහු සිය නිවසට ගිය අතර, ඉන් අනතුරුව නීතීඥයෙක් සමග ප්‍රාදේශීය උසාවියට ගොස් තිබුණා. උදේ 9 සිට 11 දක්වා එහි රැඳී සිට, නැවත සිය සේවා ස්ථානයට ගොස් දහවල් 12.30 පමණ වන තුරු එහි රැඳී සිට තිබුණා. උසාවිය ඔහුගේ ප්‍රකාශ තහවුරු කළ හෙයින් ද, ඔහුගේ ඇඳුම් පැළඳුම්වල කිසිදු සැක කටයුතු පැල්ලමක් හෝ කැපුමක් නොතිබූ හෙයින් ද ප්‍රකාශය සනිටුහන් කරගෙන ඇඟිලි සලකුණු ද ලබාගෙන පොලිසිය විසින් ඔහුත්, ඔහුගේ පෙම්වතියත් නිවසට පිටත් කර හරිනවා. ඉන් අනතුරුව ඔහුගේ දිවිය කෙටි කාලයක් කිසිදු හැල හොල්මනක් නොමැතිව ගෙවී යනවා.

අවාසනාව කෙනී සොයා එයි

බ්‍රෝ ඝාතන සිද්ධියෙන් වසර දෙකක් පමණ ගත වන තුරු නියම අපරාධකරු හඳුනාගන්නට මැසචුසෙට්ස් පොලීසිය අසමත් වුණා. මේ නිසා පර්යේෂණ කටයුතු දිගින් දිගටම පැවතුණා. කිසිදු සාර්ථකත්වයක් නොලැබූ හෙයින් ඔවුන් සිටියේත් බොහෝ වෙහෙසෙනුයි. 1982 ඔක්තෝබර් මස එක් දිනෙක රොබට් ඕස්බෝන් නැමැත්තෙක් ඔවුනට අපූරු ‘ඔත්තුවක්’ ලබාදෙන්නේ මේ අතර යි.

ඕස්බෝන් පසුකාලීනව බ්‍රෝ මියගිය සමයේ දී කෙනී වෝටර්ස්ගේ පෙම්වතිය වී සිටි බ්‍රෙන්ඩා මාෂ්ගේ පෙම්වතා වී සිට ඇති අතර, ඔහු පොලීසිය හා පවසන්නේ කෙනී බ්‍රෙන්ඩා සමග බ්‍රෝ ඝාතනය කළ බවට පාපොච්ඡාරණයක් සිදුකර ඇති බව යි. මේ ඔත්තුව සඳහා ඔහු රජයෙන් මුදලක් ද බලාපොරොත්තු වුණා.

පර්යේෂණවලින් වෙහෙසට පත්ව සිටි පොලීසිය වහාම බ්‍රෙන්ඩා අත්අඩංගුවට ගෙන ඇයගෙන් දැඩි ලෙස ප්‍රශ්න කරන්නට පටන් ගත්තා. මුල දී සියල්ල ප්‍රතික්ෂේප කළත් කෙනී එසේ ප්‍රකාශයක් කළ බව ඇය පිළිගන්නේ ඇය හට පොලිසියෙන් එල්ල වූ තාඩන පීඩන ඉවසීමට නොහැකි වූ තැන යි. ඝාතනය සිදු වූ දින කෙනී මුහුණේ සීරුම් තුවාලයක් සහිතව නිවසට පැමිණි බව ද ඇය පවසනවා.

බ්‍රෙන්ඩාගේ ප්‍රකාශයක් සමග පොලීසියට නව ජවයක් ලැබෙනවා. කෙනී බ්‍රෙන්ඩාගෙන් පසුව කුළුපග වී සිටි රොසානා පෙරී නම් තැනැත්තිය ප්‍රශ්න කිරීම සඳහා පොලිස් ස්ථානයට ගෙන එන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස යි. ඇයට ද බ්‍රෙන්ඩාට මෙන්ම බලපෑම් එල්ල වූ අතර ඒවායින් බේරීම සඳහා ඇයත් එක් දිනෙක ‘මිනිමැරුමක් හා සොරකමක්’ පිළිබඳව කෙනී තමන් හා පැවසූ බැව් ප්‍රකාශ කරනවා. මේ ‘සාක්ෂ්‍ය’ දෙක ලැබූ වහාම කෙනී වෝටර්ස් අත්අඩංගුවට ගැනෙනවා.

jodiariasdiary.wordpress.com

වෝටර්ස්ට එරෙහි නඩු විභාගය 1983 මැයි මස ආරම්භ වූ අතර, මෙහි දී මොනයම් හෝ හේතුවකට කලින් වතාවේ දී මිනිමැරුම් චෝදනාවෙන් වෝටර්ස් නිදහස් කිරීමට හේතු වූ කරුණු උසාවියට ඉදිරිපත් කෙරෙන්නේ නැහැ. එහි ප්‍රබලම සාක්ෂ්‍යයක් වූ ‘අපරාධ ස්ථානයේ හා ආයුධයේ වූ ඇඟිලි සලකුණු වෝටර්ස්ට සමාන නොවූ බවට වූ පොලිස් වාර්තා’ පොලීසියෙන් උසාවියට ඉදිරිපත් කෙරෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉතිරිව තිබූ වඩා ප්‍රබල සාක්ෂ්‍ය වන ‘හිටපු පෙම්වතියන් දෙදෙනාගේ කටඋත්තර ද්විත්වය’ සලකා බලා මැසචුසෙට්ස් අධිකරණය 1983 මැයි මස 11 වන දා කෙනී වෝටර්ස්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනවා.

වසර 18 කට පසු ඉටු වූ යුක්තිය

1983 හා 1999 අතර දී කිහිපවතාවක්ම කෙනී සිය නිර්දෝෂීභාවය පවසා තමන්ට පැවරූ දඬුවම නැවත සලකා බලන ලෙස අධිකරණයට අභියාචනා ගොනු කළත් ඒ සියල්ල ප්‍රතික්ෂේප වෙනවා. මේ වන විට නීති ශිෂ්‍යාවක වී සිටි කෙනීගේ සොයුරියක වන බෙටී ඔහු වෙනුවෙන් ඉදිරිපත් වන්නේ මේ අතර යි. ඇය විසින් බ්‍රෝගේ මිනීමැරුම සිදු වූ ස්ථානයෙන් එක්කාසු කරගත් රුධිර සාම්පල ඩී.එන්.ඒ. පරීක්ෂණයකට යොමු කිරීම සඳහා අධිකරණයේ අවසරය ලබාගන්නවා.

අධිකරණයේ අවසර ලැබුණු වහාම ඩී.එන්.ඒ. පරීක්ෂණ ඇරඹුණු අතර, ඉන් ඔප්පු වන්නේ ඒවා හට කෙනී වෝටර්ස්ට කිසිදු සම්බන්ධයක් නැති බව යි. මේත් සමගම වහාම බ්‍රෝ ඝාතනය පිළිබඳ පර්යේෂණ නැවත ආරම්භ වූ අතර, එහි දී හෙළිවන්නේ වෝටර්ස්ට දඬුවම් පමුණුවා ඇත්තේ අසම්පූර්ණ පොලිස් වාර්තා ඔස්සේ බව යි. මේ අනුව පරයේෂණ රාශියකින් පසු 2001 මාර්තු මස 15 වන දා කෙනී වෝටර්ස් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරෙනවා.

කෙනී සිය සොයුරිය සමග – findagrave.com

අවසානයේ යුක්තියේ දෙවඟන කෙනීගේ මුහුණ බැලුවත් අභූත චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් ඔහුට සිය යෞවන කාලයම අහිමි වී තිබුණා. වසර 18කට පෙර බන්ධනාගාර ගත වන විට වසර 20 ගණන්වල යෞවනයෙකුව සිටි ඔහු, ඉන් ඉවතට ආවේ මැදිවියේ පසුවන තලතුනා පුද්ගලයෙකු ලෙස යි. කෙනී වෝටර්ස් සිද්ධිය ඇමෙරිකානු අධිකරණ ඉතිහාසයට කළු පැල්ලමක් එක්කල සිද්ධීන් අතර ඉහළින්ම ලියැවෙනවා.

නැවත දෛවය හරස් වෙයි

නව ජීවිතයක් ආරම්භ කිරීමේ පහන් හැඟීම් බන්ධනාගාරයෙන් ඉවතට ආ කෙනී වෝටර්ස්ට තිබුණු අතර මාස කිහිපයක් සිය සොයුරු සොයුරියන් සෙවනෙහි ඉතා සතුටින් ඔහු ගත කරනවා. කෙසේ නමුත් දෛවය ඔහුට නැවත අකාරුණික වන්නේ කිසිවෙක් නොසිතූ මොහොතක යි. 2001 සැප්තැම්බර් මස 6 වන දා සිය පවුලේ කටයුත්තකට සහභාගී වෙමින් සිටිය දී කෙනී අඩි 15ක පමණ උසකින් ඇදවැටෙනවා. හිස්කබලට සිදු වූ දැඩි හානි හේතුවෙන් ඔහු මියයනවා.

කවරයේ පින්තූරය: කෙනී (දකුණේ) සොයුරිය බෙටී සමග – alvarocorcuera.com

Related Articles